භූතෝ චීනයට, මුජීබ් සෝවියට් දේශයට ළංවූයේ ඇයි?


 

1967 අගභාගයේදී සුල්ෆිකාර් අලි භූතෝ පාකිස්තාන මහජන පක්ෂය (පී.පී.පී.) පිහිටුවීමේ මූලිකත්වය ගත්තේය. එහිදී ඔහු %ඉස්ලාමය අපගේ ඇදහිල්ල, ප්‍රජාතන්ත්‍රවාදය අපගේ දේශපාලනය, සමාජවාදය අපගේ ආර්ථික ප්‍රතිපත්තියයි. සියලු බලය ජනතාවට^ යනුවෙන් සඳහන් කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය. පී.පී.පී. පක්ෂයෙහි මුල් ලේඛනවලට අනුව ‘පක්ෂයේ අරමුණ පාකිස්තානය සමාජවාදී සමාජයක් බවට පරිවර්තනය කිරීමය.

1968-69 ශීත ඍතුවේදී භූතෝගේ චමත්කාරජනක ආකර්ෂණීය නායකත්වය යටතේ පී.පී.පී. මහජන විරෝධතා රැල්ලක් සංවිධානය කරනු ලැබූ අතර, එහි ප්‍රතිඵලය වූයේ 1969 මාර්තු මාසයේදී අයුබ් ඛාන්ට ඉල්ලා අස්වන ලෙස බලකිරීමය. ඔහු බලය අත්හැරියේය. එහෙත් ඒ රටේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ කථානායකවරයාට හිමි වරප්‍රසාදවලට ගරු කරමින් නොව, සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් යාහ්යා ඛාන්ට අවශ්‍ය පරිදිය. අයුබ් ඛාන්ගෙන් බලය ලබාගත් ජෙනරාල් යාහ්යා ඛාන් වහාම රටේ යුද නීතිය ප්‍රකාශයට පත් කළේය.

අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් කේජීබි සංවිධානය යාහ්යා ඛාන් චීනය සහ එක්සත් ජනපදය යන දෙකම සැක කිරීම සඳහා පොලඹවන පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීම වහාම ආරම්භ කළේය. කේජී බිය විසින් රවී නමැති මෙහෙයුම ආරම්භ කළේ ඒ සඳහාය. මෙහෙයුම පදනම් වූයේ අතිශය සංවේදී කාරණයක් ගැන ව්‍යාජ තොරතුරු ප්‍රචාරණය කර නව පාලකයාට බලපෑම් කිරීමටය. එනම්, 1969 ජුනි 03වැනි දින කාශ්මීරය චීන ගැති ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමේ රහස් සැලසුමක් ගැන සඳහන් චීන විදේශ අමාත්‍යාංශයේ ලේඛනයක් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ලිඛිත නියෝගයක් ඉන්දියාවේ පිහිටි චීන තානාපති කාර්යාලයට යැවීම සඳහා කේජීබි කටයුතු කළේය.

කේජීබි විසින් සකස් කළ එම ව්‍යාජ ලේඛනවල අන්තර්ගතය යාහ්යා ඛාන් වෙත කඩිනමින් වාර්තා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජුනි මස 28වැනි දින එහි පිටපත් දෙකක් දිල්ලි සහ වොෂින්ටනයේ සේවය කළ පාකිස්තාන තානාපතිවරුන් වෙත යවන ලදී. ඊට සමගාමීව, සුබ්ර් යන ඛේත නාමයෙන් හැඳින්වූ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර, යාහ්යා ඛාන් කෙරෙහි ඇමෙරිකානුවන්ගේ විශ්වාසය බිඳ වැටී ඇති බවත්, බලයේ රැඳී සිටීම සඳහා හැකියාවක් නොමැති හෙයින් වාමාංශික ආණ්ඩුවක් බිහිවනු ඇති බවත් එම නව ආණ්ඩුව රටේ බැංකු ජනසතු කර ඒවායේ තැන්පතු රාජසන්තක කිරීමට සැලසුම් කරන බවත් සඳහන් කරමින් ව්‍යාජ ලේඛනයක් සකස් කර ප්‍රචාරය කළේය.  

යාහ්යා  ඛාන්ගේ පාලන තන්ත්‍රය අන්ත දූෂිත බවත්, ඊට ලබාදෙන ඕනෑම විදේශ ආධාරයක් නාස්ති කරන බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය වොෂින්ටනයට වාර්තා කළ බව ප්‍රචාරය කළේය. මෙවැනි වටපිටාවක ඇමෙරිකානුවන් විසින් වියට්නාමයේ දියත් කළ යුද්ධයට එරෙහිව කරාචි නගරයේ ජීවත් වූ පාකිස්තානුවන් පොලඹවා පෙළපාළියක් සංවිධානය කිරීමටද කේජීබි සමත් විය.

රවී සහ සුබ්ර් මෙහෙයුම් සාර්ථක වීමෙන් පසු චීන ජාතිකයන් නැගෙනහිර පාකිස්තානයේ කැරලිකරුවන්ට සහයෝගය ලබාදෙන බව ඛාන් පාලනයට ඒත්තු ගැන්වීම සඳහා ක්‍රියාත්මක වූ පද්මා මෙහෙයුම ආරම්භ විය. කේජීබි නිලධාරීන්, ‘පංජාබි ඉඩම් හිමියන්ට සහ යාහ්යා ඛාන්ගේ ප්‍රතිගාමී පාලනයට එරෙහිව ආයුධ අතට ගන්නා ලෙස බල කරමින්, ‘බෙංගාලි විප්ලවවාදීන් වෙත චීන ආයාචනයක් ව්‍යාජ ලෙස කේජීබිය සකස් කළේය. අභියාචනය බෙංගාලි භාෂාවෙන් ලිවීමට වුවමනා වූ නමුත් කිසිදු කේජීබි නිලධාරියෙකු ප්‍රමාණවත් ලෙස භාෂාව නොදැන සිටි නිසාත් මෙහෙයුම බෙංගාලි නියෝජිතයෙකුට පැවරීමට නොහැකි තරම් සංවේදී වූ නිසාත්, එය ඉංග්‍රීසියෙන් ලිවීමට තීරණය කළේය.

එම ව්‍යාජ ආයාචනයේ පිටපතක් 1969 නොවැම්බර් මාසයේදී ඉන්දීය තානාපතිවරයා වෙත තැපැල් කරනු ලැබුවේ එය ඔහුට ලැබීමට පෙර පාකිස්තාන බුද්ධි අංශ විසින් විවෘත කර තම උසස් බලධාරීන්ට වහාම දැනුම් දෙනු ඇතැයි අනුමාන කරමිනි. තවත් පිටපතක් එක්සත් ජනපද තානාපතිවරයාට යවනු ලැබුවේ හෙතෙම අදාළ කාරණය පාකිස්තාන බලධාරීන් වෙත පෞද්ගලිකව දැනුම්දෙනු ඇතැයි යන විශ්වාසයෙනි. ඊට සමගාමීව ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සේවය කළ කේජීබි නියෝජිතයන් නැගෙනහිර පාකිස්තානයේ චීනය විසින් සැලසුම් කර ඇති කඩාකප්පල්කාරී ක්‍රියා ගැන පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අනතුරු ඇඟවීය.

එක්සත් ජාතීන්ගේ පාකිස්තාන රජයේ නියෝජිතයා වෙතද එම ව්‍යාජ වාර්තා යැවූ අතර, ඒවා හෙතම ඉතා බැරෑරුම් ලෙස සැලකූ බව වාර්තා විය. පද්මා මෙහෙයුම අවසන් වූයේ ඉතාම සාර්ථක රහසිගත මෙහෙයුමක් ලෙසය. බෙංගාලි විප්ලවවාදීන්ට යවනු ලැබුවේ යැයි කියන එම ඊනියා චීන ආයාචනය පාකිස්තානයේ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර දැඩි අවධානයට යොමුවූ ලියවිල්ලක් විය. වඩාත් හාස්‍යජනක කාරණය වූයේ එම ව්‍යාජ ආයාචනය කේජීබි විසින් නොව චීනය විසින්ම නිර්මාණය කළ සත්‍ය එකක් බවට ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා විශ්වාස කළ බව කේජීබි මූලස්ථානයට වාර්තා විය.  

කේජීබි දකුණු ආසියාතික දෙපාර්තමේන්තුවට අලුතින් ඇතුළු වූවන්ට නිතරම සිහිකර දුන් මූලික කාරණයක් තිබුණි. එනම් 1947 ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරනු ලැබූ පසු සෝවියට් සංගමයේ නායක ජෝශෆ් ස්ටාලින් ලෝක සිතියමේ තිබූ පාකිස්තානය දෙස බලා, ‘එවැනි රාජ්‍යයකට වැඩි කලක් පැවතිය නොහැකියි යැයි සඳහන් කළ කතාවය. එසේම 1960 ගණන්වල අගභාගය වන විට ක්‍රෙම්ලිනය පාකිස්තානයේ බටහිර කොටස නැගෙනහිරින් වෙන් කිරීම සෝවියට් සංගමයේ මෙන්ම ඉන්දියාවේ අවශ්‍යතා මත සිදුවනු ඇති බවට නිගමනයකට පැමිණ තිබූ බව කේජීබි වාර්තා සනාථ කරනු ලබයි.

ඒ අනුව, කේජීබි නිලධාරීන් අවාමි ලීගයේ නායක ෂෙයික් මුජිබර් රහ්මාන් (මුජීබ්) සමග සම්බන්ධයක් ගොඩ නගා ගැනීමේ මාවත සකස් කළේය. පාකිස්තානය වෙන් කිරීම සඳහා ඉන්දියානු බලධාරීන් සමග කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් ඊනියා අගර්තලා කුමන්ත්‍රණයට ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ඇමෙරිකා එක්සත් ජනපදය වගකිව යුතු බව, කේජීබි ප්‍රචාරය කළේය. අතරමැදියෙකු මාර්ගයෙන් 1969 සැප්තැම්බර් මාසයේදී කේජීබි නිලධාරීන් මුජීබ්ට දන්වා සිටියේ එක්සත් ජනපද තානාපතිවරයා විසින් සියලුම කුමන්ත්‍රණකරුවන්ගේ නම් පෞද්ගලිකව අයුබ් ඛාන් වෙත ලබා දී ඇති බවයි. කේජීබි වාර්තාවකට අනුව මුජීබ් සම්පූර්ණයෙන්ම එම වැරදි තොරතුරුවලට හසු වූ අතර, ඔහුගේ අභ්‍යන්තර කවයේ සිටි අයෙකුගෙන් ඇමෙරිකානුවන්ට ඔහු ඇතුළු සගයන් ගැන තොරතුරු පිටවෙන්නට ඇතැයි නිගමනය කර ඇත.

පැවැති ව්‍යාකූල තත්ත්වයට පිළියමක් ලෙස යුද නීතිය ක්‍රියාත්මක කර රට පාලනය  කළ යාහ්යා ඛාන් 1969 අගභාගයේදී නිවේදනය කළේ ඊළඟ වසර අවසානයේදී මැතිවරණයට සූදානම් වීම සඳහා 1970 ජනවාරි 01වැනිදා පක්ෂ දේශපාලනය නැවත ආරම්භ කිරීමට අවසර දෙන බවයි. මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් කේජීබිට අවශ්‍ය වූයේ බටහිරින් භූතෝගේ පී.පී.පී. සහ නැගෙනහිරින් මුජීබ්ගේ අවාමි ලීගය ජයග්‍රහණය කිරීම සහතික කිරීමය. ඒ සඳහා කේජීබි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.

1970 ජුනි මාසයේදී දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වී.අයි. ස්ටාර්ට්සේව්, පී.පී.පී. සහ අවාමි ලීගය හැර සියලුම ප්‍රධාන විරුද්ධවාදීන් අපකීර්තියට පත් කිරීම සඳහා පුළුල් ව්‍යාජ ප්‍රචාරණ ව්‍යාපෘතියක් නිර්මාණය කළේය. 1947 සිට 1953 දක්වා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කයියුම් මුස්ලිම් ලීගයේ සභාපති අබ්දුල් කයියුම් ඛාන් 1947ට පෙර ස්වාධීන පාකිස්තානයක් බිහි කිරීමට එරෙහිව කටයුතු කළ බව සඳහන් කරමින් අපකීර්තියට පත් කළේය. ජමාත්-ඉ-ඉස්ලාම් ආගමික පක්ෂයේ නිර්මාතෘ සහ නායක මවුලානා සයිඩ් අබුල් අලාමෞඩිඩි ප්‍රතිගාමී සහ සී.අයි.ඒ. නියෝජිතයෙකු ලෙස හංවඩු ගැසුවේය.

කලක් ලන්ඩන් නුවර පදිංචි වී සිටි නිසා මුස්ලිම් ලීග සභාවේ ප්‍රධානියා වූ මියන් මුම්ටාස් දවුල්තානා සූක්‍ෂම ලෙස කටයුතු කරන බ්‍රිතාන්‍ය ඒජන්තයෙකු සහ දේශපාලන මිනීමැරුම්වල හවුල්කරුවෙකු ලෙස හැඳින්වීය. සම්මුති මුස්ලිම් ලීගයේ නායක ෆසාල් ඉලාහි චෞද්‍රිද අතීත දේශපාලන මිනීමැරුම්වලට මෙන්ම භූතෝ ඝාතනය කිරීමේ සැලසුම්වලට සම්බන්ධ බව චෝදනා කළේය. (උපහාසයට කරුණක් නම්, 1973දී ඔහු භූතෝගේ සහාය ඇතිව පාස්කිතානයේ ජනාධිපති බවට පත් වීමය). පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති නුරුල් අමීන් බටහිර පාකිස්තානය අපකීර්තියට පත් කිරීම සඳහා අගර්තලා කුමන්ත්‍රණයේ ප්‍රමුඛ චරිතයක් ලෙස කටයුතු කළ බව හැඳින්වීය.

කෙසේ වෙතත් 1970 දෙසැම්බරයේ මැතිවරණය කේජීබි විසින් රහසිගතව සහයෝගය දැක්වූ අපේක්ෂකයන්ට ජයග්‍රහණය හිමි වුවද, කේජීබි සංවිධානය විසින් අදාළ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ බවට සාක්ෂි නැත. නමුත් ක්‍රෙම්ලීනයේ දේශපාලන මණ්ඩලයට මැතිවරණය ගැන දැනුම්දීමේදී තමන්ගේ කීර්තිනාමය ආරක්ෂා වන පරිදි ඒ ගැන දැනුම් දීමට කෙජීබිය ප්‍රවේසම් වූයේ තම නම්බුව රැක ගැනීම සඳහාය. මැතිවරණයේදී භූතෝගේ පී.පී.පී.ය බටහිර පාකිස්තානය වෙනුවෙන් වෙන් කර තිබූ ආසන 138න් 81ක් දිනා ගත්තේය. බටහිර අනුශූරයන් වූ කයියුම් මුස්ලිම් ලීගයට හිමි වූයේ ආසන නවයක් පමණි.

නැගෙනගිර අවාමි ලීගය ආසන 162න් 160ක් ලබා ගනිමින් අනෙකුත් සියලුම පක්‍ෂවලට වඩා විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේය. මුජීබ් බටහිර පාකිස්තානයේ එක ආසනයකට හෝ තරග කිරීමට අපොහොසත් වූ නමුත් ඔහු ජාතික සභාවේ සමස්ත බහුතරයක් දිනා ගනිමින් අගමැති වීමට හිමිකම් ලැබීය. එහෙත් මීට පෙර කොටසකදී අවධාරණය කළ පරිදි, මුජීබ්ට බලය ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කරමින් භූතෝ, අයුබ් සහ හමුදාව සමග හවුල් වී කුමන්ත්‍රණය කළේය. එසේම 1971 මාර්තු 25වැනි දින යාහ්යා ඛාන් මුජීබ් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ අතර, නැගෙනහිර පාකිස්තානයට එරෙහි ම්ලේච්ඡ හමුදා මර්දනය ආරම්භ කළේය.

මොස්කව් මධ්‍යම කාරක සභාවට කේජීබිය වාර්තා කළේ පාකිස්තානයේ වෙන්වීම ස්ථිර බවය. කුමන්ත්‍රණයෙන් පසු, භූතෝ බොලඳ සහ නරුම ලෙස ‘පාකිස්තානය ආරක්ෂා වී ඇතැයි ප්‍රකාශ කරන විට බෙංගාලය 1947දී ඉන්දීය නිදහසෙන් පසු ඇති වූ අන්තර් වාර්ගික ගැටුම්වල ජනසංහාරක බිමක් බවට පත්වී හමාරය. 1971 නොවැම්බර් මාසයේදී නැගෙනහිර සහ බටහිර අතර සිවිල් යුද්ධය ආරම්භ වූ පසු පාකිස්තාන හමුදාවට එරෙහිව සටන් වැදුණු බෙංගාලි හමුදාවන්ට ඉන්දියාව ආරක්‍ෂිත තෝතැන්නක් විය. එම ගැටුම පාකිස්තානය සහ ඉන්දියාව අතර යුද්ධයක් බවට පත්කිරීමට හේතු විය.

නැගෙනහිර සහ බටහිර පාකිස්තානය අතර සිදුවූ දික්කසාදය ඉන්දියානු උපමහාද්වීපයේ දේශපාලන පරිවර්තනයකට හේතු වූ අතර, එය මොස්කව්හි අවශ්‍යතාවලට ගැළපෙන පරිසරයක් නිර්මාණය කළේය. ඉන් ඉන්දු-සෝවියට් විශේෂ සබඳතාව තවදුරටත් වැඩි දියුණු වූ අතර ඉන්දිරා ගාන්ධිගේ පෞද්ගලික අභිමානය සදාකාලික මට්ටමකට ළඟා විය. බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් බවට පත්වීමත් සමග පාකිස්තානය ඛේදනීය ලෙස දුර්වල විය. මොස්කව් පරිපාලනය සමග ගනුදෙනු කළ දේශපාලන අපේක්ෂකයන් ඉස්ලාමාබාද් සහ ඩකා යන දෙකෙහිම බලය අල්ලා ගත්හ. ඉන්දියාව ඉදිරියේ දණින් වැටුණු යාහ්යා ඛාන් ඉල්ලා අස්වී භූතෝට ජනාධිපතිකම ලබා දුන්නේය. 1972 ජනවාරි 10වැනි දින බටහිර පාකිස්තානයේ සිරගත කර සිටි මුජීබ් නිදහස් වී ජාතික වීරයෙකු ලෙස තම නිජබිම වෙත ආපසු පැමිණියේය.

සේයාරූ- ජාතියේ පියා බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්, පාකිස්තානයේ සිරභාරයෙන් නිදහස් වී 1972 ජනවාරි 10වැනිදා ආපසු සිය රට බලා යමින් සිටියදී එවකට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හමුවූ අවස්ථාව.

සටහන - නිලන්ත ඉලංගමුව

හයවැනි කොටස හෙට



Recommended Articles