සුප්‍රකට අනුරාධපුර - කොළඹ ප්‍රධාන මාර්ගය පසෙකට වී වසර ගණනාවක් තිස්සේ කැලෑ පලතුරු විකුණා දිවි සරිකරන තඹුත්තේගම, සෙනරත්ගම ආර්.එම්. විජේරත්න මහතාට දැන් හැට පැනලාය. එදා මෙදා තුර යුග පරිවර්තනය සියැසින් දැක ඇති ඔහු එවක් පටන් දිවුල්, මාදං, කෝන්, සියඹලා ආදිය කැලෑ රොද වලින් නෙළා විත් කීයක් හෝ උපයා සපයා දවස සරිකොට ඇත. ඇපල්, මිදි, දොඩම් ආදී ආනයනික පලතුරු මෙරට ගම්මැදිද ආක්‍රමණය කරන විට විජේසිංහලාගේ සරු කාලය අහවර විය. කාලෙන් කාලෙට විවිධ අරුමෝසම් සඳහා වග විභාගයකින් තොරවම වහ වැටෙන මෙසිරිලක වැසියන් එවක මෙරට කැලෑ පලතුරු සඳහා තිබූ වටිනාකමද අහවර කළෝය. කැලෑ පලතුරු නෙළීමත්, විකිණීමත් කාලානුරූපව වෙනස් වූ අන්දම ඔහුට හොඳින් මතකය. විජේරත්න කීවේ මෙවැනි කරුණු පෙළකි.
“එන්න එන්නම කැලෑවල ගඩා ගෙඩි අඩු වුණා. දැන් ඉස්සර තිබ්බ කැලෑ රොදවලුත් නෑ මේ ගම්මැදිවල. ඇත්තටම දැන් පලු, වීර එහෙම හොයාගන්නවත් නැති තරම්. කෝන්, දිවුල් එහෙම නම් තාම තියෙනවා. මාදං ගසුත් දැන් අඩුයි. ඒ කාලේ පැයක් හමාරක් කැලෑ රොදවල් පීරුවහම ගඩා ගෙඩි ඕන තරම්. අපි කොල්ලො කාලේ දවසකට දෙකකට සැරයක් හරි ඒ කාලේ කැලේ පීරනවා ගඩා ගෙඩි හොයන්න. දැන් දරුවන්ට එහෙම පිනක් නෑ. දැන් ඉන්න දරුවෝ කන්නෙත් ලෝකෙ වෙන කොහේ හරි රටකින් ගෙන්නපු මාස ගාණක් පරණ පලතුරු. මං අවුරුදු ගාණක් තිස්සේ කැලේ පලතුරක් විකුණගෙන ජීවත් වුණේ. දැන් උදේට ගේන දිවුල් ගෙඩි ටික ආපහු හවසට අරගෙන යනවා. විකිණෙන්නෙ නෑ. ඉස්සර මෙහෙම වුණේ නෑ.”
අද වන විට සොබාදහම මෙරට වැසියා වෙත ස්වයංපෝෂිත ජීවන සම්ප්‍රදායක වටිනාකම වටහාදීමට වෑයම් කරමින් සිටී. එය අප නිවැරදිව, තීරණාත්මකව වටහා ගැනීම මගින් සොබාදහම සිදුකරනු ලබන සිහිකැඳවීමට සැබෑ වටිනාකමක් ලබාදිය හැකිව තිබේ. ඒ සඳහා කළයුත්තේ සත්‍ය ලෙසම අපගේ අක්මුල් සොයා යෑමේ අවංක වෑයමක නියැළීම පමණකි. දේශීය ආහාර රටාවන් පිළිබඳ කථිකාව අලුත් කළ යුතුව ඇත්තේ එවැනි පසුබිමකය. අතෝරක් ආනයනික පලතුරු රසට වහවැටුණු අවදියක එවක ගම්මැදි ළමා ළපටීන්ගේ රස නහර පිනවූ, පෝෂණයෙන් අනූන මෙරට කැලෑ රොදවල වැවුණු පලතුරු පිළිබඳ සාකච්ඡා කිරීමද වටිනා සත්කාරයකි.
ඈත ගම්මැදිවල දරුවන්ට පලතුරු අඩුවක් නොවුණේ අවශ්‍ය තරම් කැලෑ පලතුරු යාබද කැලෑ රොදවල් ආශ්‍රිතව වැවුණු බැවිනි. අදත් ප්‍රමාණාත්මකව අඩු වුවත්, මෙරට සාම්ප්‍රදායික වන මායිම් ගම්මාන ආශ්‍රිතව වසරේ නිශ්චිත කාලයකදී මේ කැලෑ පලතුරු වැවෙනු දැකගත හැකිය.
කෝන්, දිවුල්, සියඹලා, මොර, පලු, වීර, මාදං, කරඹ, හිඹුටු, බෝවිටියා, මාදං, බෙලි ආදී කැලෑ පලතුරු මෙන්ම එදා ගෙවතුවල සරුවට වැවුණු දොඩම්, නාරං, නෙල්ලි, නමිනං, උගුරැස්ස, අනෝදා, පැපොල්, වෙරළු, අලිගැටපේර, අඹ ආදී පලතුරු රසයෙන් සේම ගුණයෙන්ද අනූන විය. අද වන විට කෝන්, දිවුල්, සියඹලා ආදී පලතුරු සඳහා වෙළෙඳ පොළ වටිනාකමක් දීමට ගනු ලබන උත්සාහයන් පිළිබඳවද අසන්නට ලැබේ.
වෙල්දෙනි, බඩවැටි, කැලෑ රොදවල වැවුණු පලතුරු හපමින් එවක ගැමි දරුදැරියන් ජීවිතයේ සොඳුරුතම පාඩම් උකහාගනු ලදුයේ නිරායාසයෙනි. ඔවුනට ගසකට නැග කෝන් පොකුරක් කඩාගැනීම මහා කාර්යයක් නොවුනි. වෙල් නියරවල් මත දිව යමින් නෙල්ලි, පේර ආදිය හපමින් සරුංගල් උඩ යැවීම වැනි සොඳුරු අත්දැකීම් එවක ගැමි දරුදැරියන්ගේ අනිවාර්ය ජීවන පුරුදු බවට පත්ව තිබිණි. එමගින් සමගිය, සහජීවනය, ඉවසීම, සංහිඳියාව, සමානාත්මතාව වැනි මානව ගුණාංග සමග දරුවන් මුහු වූයේ කවර හෝ බලපෑමකින් තොරවය. සොබාදහම හා බැඳුණු ජීවන සම්ප්‍රදායකට හුරු වූ දරුදැරියන් සතා, සිවුපාවුනට ආදරය, දයානුකම්පාව දැක්වීම ආදී ගුණාංගද සිය ජීවන චර්යාවන් හා මුහුකොට ගත්තේය. මේ මතකයන් අඩුවැඩි වශයෙන් තවමත් ශේෂව ඇත්තේ ඈත වන මායිම් ගම්මැදි කිහිපයක පමණි.
“බෝවිටියා දං පලු කං වාරේ මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වැහැලා නංගෝ
සිහි වනවිට තොලකටද තෙමෙයි මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පලු කං කරඹ ගොඩයි නංගෝ”
සංගීතවේදී සුනිල් ශාන්ත සූරීන් ගායනා කළ ගීතයකි එම ගීතයේ එදා ගම්මැදි කැලෑ රොද වලින් කුඩා දරුවෙකුට ආහාරයට ගත හැකි පලතුරු වර්ග රාශියක් සඳහන්ය. මේ බොහෝ පලතුරු පිළිබඳව හාංකවිසියක් අද දරුවන් දන්නේ නැත. අනුරාධපුරය, කැකිරාව, ගලෙන්බිඳුණුවැව, කහටගස්දිගිලිය ආදී ප්‍රදේශවල මෙන්ම අනුරාධපුර - කුරුණෑගල දිස්ත්‍රික් දෙමායිම සලකුණු කරන ගල්ගමුවේ ඈත වනමායිම් ගම්මැදිවල ගැමියන්ට මේ කැලෑ පලතුරු සහ ඒ හා බැඳුණු ජීවන සම්ප්‍රදාය පිළිබඳව ඇත්තේ නොමඳ අවබෝධයකි. ගල්ගමුව පුරාණ උල්පතගම ගමෙහි දිවි ගෙවන ජනශ්‍රැති පර්යේෂක සෝමරත්න උල්පතගම මහතා කැලෑ පලතුරු හා බැඳුණු සිය ජීවන අත්දැකීම් පැහැදූයේ මෙපරිද්දෙනි.
“අපේ ළමා කාලේ කැලේ පලතුරු හොයන්න යනවා කියන්නේ වෙනම අත්දැකීමක්. සමහර ගඩාගෙඩි හැදෙන්නේ අවුරුද්දකට සැරයයි. ඔය පලු, වීර, කෝන්, මොර වගේ පලතුරු හැදෙන්නේ අවුරුදු තුනකට සැරයයි. මේ විදිහට කාලෙන් කාලෙට වෙනස් වෙන පරිසරයේ හැසිරීම ගැන පොඩි දරුවෝ විදිහට අපිට හොඳ අවබෝධයක් තිබුණා. මේ කැලේ ඉබේ හැදුණු පලතුරු අපේ ජනජීවිත වලට කොයිතරම් දුරට බලපාල තියෙනවද කියන කාරණය තේරුම් ගන්න උදාහරණ ඕනතරම් තියෙනවා. අපේ ජනකවි සංස්කෘතියේ කැලෑ පලතුරු පාදක කරගෙන ලියැවුණු කවි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඒ ඒ පළාත්වලට ආවේණිකයි. අපේ පුරාණ ජනසමාජයේ තිබුණ සුන්දර වගේම දුෂ්කරතාවයන් වටහා ගන්නත් ඒ කවි ඉවහල් වෙනවා. අද දරුවන්ට මේ අත්දැකීම් විඳින්න වාසනාවක් නෑ.”
කැලෑ පලතුරු වර්ග අතර පලු සහ වීර විශේෂ ස්ථානයක් හිමිකර ගනියි. වර්තමානයෙහි මෙන් මාර්ග පහසුකම් නොපැවති අවදිධියේ මංහසර නොදැන මංමුළා වූවන්ටද, සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමේ අදහසින් වන්දනා ගමන් ගියවුන්ටද කුසගිනි නිවාගැනීම සඳහා පලු, වීර ගස්වල ඵලයන්ගෙන් ඉමහත් පිළිසරණක් සැලසී ඇත. හැට, හැත්තෑව, අසූව දශකය වනතෙක්ම වන්දනා ගමන් යන පිරිස කරත්තවල බඩු පටවා පයින් ගමන් කළහ. කරත්ත ගමන් කළ නොහැකි දුර්ග මාර්ගවලද පාගමනින්ම යෑමට ඔවුන්ට සිදුවිය. පලු ගෙඩි අනුභවයෙන් කටහඬ මිහිරි වන බවත්, ස්‌වසන රෝග නිවාරණය කරන බවත් කියැවේ. දුම්බර බැද්ද හරහා මහියංගණය වැඳ පුදාගන්නට ගිය ළියන් පිරිසක් පලු, වීර බුදිමින්, දිය බොමින් ආහාරපාන අවශ්‍යතාව සපුරාගත් අයුරු පහත ජනකවිය තුළින් විශ්ලේෂණය කළ හැකිවේ.
“දුම්බර බැද්දෙ මග සිටලා මැදින් යමු
කඩා පලු වීර කාලා වතුර බොමු
අඬන ළමයි මඟ සිටලා කිරි පොවමු
මහියංගණයේ වැඳලා අඬ අඬා යමු”
එදා තිබූ විශාල ගෙවතු අද නැත. පර්චස් කිහිපයක ඉඩමකට බොහෝදෙනා කොටුවී සිටිති. ගම අවට තිබූ කැලෑ ඉඩම්ද අතුරුදන් වී ගොඩනැගිලි ඉදිවී අවසානය. තවදුරටත් මේ කැලෑ රොදවල් විවිධ පටු අරමුණු උදෙසා භාවිත වෙමින් තිබේ. මෙහෙයින්ම වනපලතුරු සංස්කෘතිය බොහෝ ප්‍රදේශවලින් තුරන් වී ගොසිනි. අදත් වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේ පිටිසර ප්‍රදේශවල තරමක් වනපලතුරු තිබුණද නූතන ළමා පරපුර තුළ එවැනි පලතුරු සොයා ගොස් ආහාරයට ගැනීමේ සංස්කෘතියක්ද නැත. ඔවුහු ඩිජිටල් ලෝකයේ කල්පිත වීරයන් පසුපස වැටෙමින් දවස ගෙවති. සිහින ලෝකවල වල අතරමං වූ මේ දරුදැරියන් ඇත්ත මහපොළොවේ සුවඳ හඳුනන්නේ නැත. ප්‍රායෝගික ජීවිතයේ මිහිරිතම මතකයන් ඔවුන්ගෙන් මඟහැරී තිබේ. එය කිසි ලෙසකින් හෝ දරුවන්ගේ පමණක් වරදක් නොවන්නේය. අප සියල්ලෝද ඒ සඳහා වගකිවයුත්තෝ බව පිළිගත යුතුව ඇත.
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ පාරිසරික කලාපයක් ලෙස ලෝකයේ ඇගයීමට ලක්ව තිබේ. ජෛව විවිධත්වය ඉහළනංවන ශාක අතර පලතුරු විශේෂ තිබේ. ඒ අනුව මෙරට ආසියාවේ පලතුරු විවිධත්වය ඉහළම රටකි. ශ්‍රී ලංකාවේ පලතුරු වගාව හෙක්ටයාර් 150,000ක් පමණ පැතිරී තිබුණද ඉන් 90෴ක්ම දැකගත හැක්කේ ගෙවතු ආශ්‍රිතවය. මේ නිසා වාණිජමය අතින් පලතුරු ඉල්ලුමට සරිලන ආකාරයෙන් සැකසීමද අසීරු වී තිබේ. ආහාරයට ගත හැකි පලතුරු විශේෂ 200ක් පමණ මෙරට පැතිර තිබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ප්‍රකටව තිබෙන්නේ පලතුරු වර්ග 10ක පමණ ප්‍රමාණයකි. වෙරළු, උගුරැස්ස, බෙලි, දිවුල්, ගඩුගුඩා, නෙල්ලි, අනෝදා වැනි දේශීය පලතුරු රාශියක් පිළිකා හටගැනීම වළක්වන බවත්, තරුණ බව හා දීර්ඝායුෂ ලබාදෙන ප්‍රතිඔක්සිකාරක සංයෝගවලින් සමන්විත බවත් ආයුර්වේදයේ මගපෙන්වීමයි. සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා දිනකට පලතුරු ග්‍රෑම් 200ක් වත් ආහාරයට ගතයුතු බව පෝෂණ විශේෂඥයෝ පවසති.
හොද කැලෑ පලතුරක් වන මොර රසවත් පලතුරක් වනහෙයින්ම වනගහන මැදින් දුරබැහැර වන්දනා ගමන් ගොස් පෙරළා පැමිණෙන විට බරටම මොර කඩාගෙන ඒමට ඇතැමෙක් පෙළඹී ඇති බව ජනප්‍රවාදයේ තොරතුරු කියැවේ. කලකට පෙර මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ඕවිටි, ලඳු කැලෑ ආදියෙහි පේර සුලබව වැවුණි. මේ ඉඩම්වලට කම්බි ගසා වැටකඩුළු යොදා නොතිබුණෙන්, කාහට වුවද නිදහසේ ගොස් පේර නෙළාගත හැකි විය. කාන්තාවෝද රංචු ගැසී ගොස් ගස්වලට නැඟී පේර නෙළීමට එක්වූ බව කියැවේ. මෙරට ගැමි කතුන් ගත කළ ජීවිතයෙහි ගැබ් වූ නිදහසද මෙහිදී අනාවරණය වෙයි.
දෙහි, දොඩම්, නාරං, ජම්බෝල සහ නස්නාරං වැනි පැඟිරි කුලයට අයත් ශාක ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල වැවේ. මේ ශාක අතරින් දොඩම්, පැණි දොඩම් සහ ඇඹුල් දොඩම් යනුවෙන් ප්‍රභේද දෙකකි. පැණි දොඩම් පලතුරක් වශයෙන් ප‍්‍රයෝජනයට ගනු ලබන අතර, ඇඹුල් දොඩම් බෙහෙත් ඖෂධයක් ලෙස යොදා ගැනෙයි. නාරං වලද ජමනාරං, හීන්නාරං, නස්නාරං සහ යකිනාරං යනාදී ප්‍රභේද දක්නට ලැබේ. මේවා අතරින් පලතුරු ගණයට වැටෙන්නේ ජමනාරං හා හීන්නාරංය. නස්නාරං හා යකිනාරං බෙහෙත් ඖෂධ වශයෙන් භාවිත කෙරේ. එහෙත් අද මේ සියල්ලක් දුලභ වී තිබේ. දරුවන් දන්නේද ආනයනික දොඩම් ගැන පමණකි.
“මලේ මලේ නින්දට පෙර
ඩිංගක් මේ ගැන හිතපන්
මේ සේරම තෑගි ලැබුණේ ලොවින් නුඹට
මොනවද මල්ලියෙ දෙන්නේ නුඹෙන් ලොවට
එක පාරට
ටකේ ගසන්නෙපා මලේ
කුරුල්ලන්ට
ඉඩක් දියන්
එක කරලක් ඇදන් යන්ට..”
පරාක්‍රම කොඩිතුවක්කු කවියා සිය %පොඩි මල්ලියේ^ කාව්‍ය සංග්‍රහයේ එන පොඩි මල්ලියේ කවි පන්තියෙහි එසේ ආයාචනය කරයි. එපරිද්දෙන්ම අතහැරුණු බොහෝ දෑ පිළිබඳව සොබාදහම මෙකල්හි අප වෙත යළි සිහිකැඳවමින් සිටියි. අපටද අවසන ආයාචනය කළ හැක්කේ නගේ, මලේ ඒ පිළිබඳ සිතනු කියා පමණකි. එහෙත් සියලු තැන් පිරිහුණු මෙරට ජනසමාජය ඒ සඳහා කොතෙක් සූදානම්ද යන්න සිතනු උගහටය.
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග