බෝවන රෝග අතරින් ලංකාවේ වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන ක්ෂය රෝගය තුරන් කිරීමට ඔබේ සහය අවශ්‍යයි


ක්ෂය රෝගය ආසාදිත රෝගී තත්ත්වයක් මගින් ලොව සිදුවන වැඩිම මරණ 10 අතරට එකතුවී තිබෙන රෝගයකි. එය ඒඩ්ස් රෝගයටත් වඩා ඉහළ තැනක් ගන්නා අතර, එසේවුවද මේ සම්බන්ධයෙන් ජනතාව තුළ එතරම් උනන්දුවක් නොමැති තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ක්ෂය රෝග ආසාදිතයන් වන බවත්, ඔවුන්ට ජීවිත කාලය තුළ ක්ෂය රෝගය වැලඳීමේ අවදානමක් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 2018 වසර තුළ ලෝක ක්ෂය රෝගීන් ප්‍රරතිශතයෙන් 44%ක් පමණ අග්නිදිග ආසියාවෙන් වාර්තා වන අතර, එය 4,370,000 සංඛ්‍යාවකි. 2018 වසර තුළ ලෝකයේ ක්ෂය රෝගීන් ගණන මිලියන 10ක් පමණ වන අතර, එයින් මිලියනයක් පමණ වසර 15ට අඩු ළමයින් වීමද විශේෂත්වයකි. මේ හේතුවෙන් ක්ෂය රෝගය පිළිබඳ දැනුම්වත් වීම අවදානමට පෙර ආරක්ෂාව සලසා ගැනීමකි.

ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝගයේ ව්‍යාප්තිය

ශ්‍රී ලංකාව තුළ වර්ෂයකට 8000 – 9000ක් අතර ප්‍රමාණයකට ක්ෂය රෝගය වැලඳෙන බව සෞඛ්‍ය අංශ වලින් ගණන් බලා ඇති අතර,  එසේ වුවද  එම සියලු රෝගීන් හඳුනාගැනීමට නොහැකි වීම අවදානම් තත්ත්වයක් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

2018, 2019 වසරවලදී ශ්‍රී ලංකාවේ අලුතෙන් හඳුනාගත් ක්ෂය රෝගීන් 8856ක් සහ 8432ක් ලෙස වාර්තා වී ඇත.

2018 වසරේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වයස 15 හෝ ඊට වැඩි පිරිමි පුද්ගලයන් අතරින් සමස්ත රෝගීන්ගෙන් ක්ෂය රෝගීන් 64෴ක් පමණ වන අතර, වයස 15ට වඩා වැඩි කාන්තාවන් සහ ළමුන්ගේ සමස්ත රෝගී ප්‍රතිශතයන් පිළිවෙළින් 33෴ක් සහ 3෴ක් පමණ බව හඳුනාගෙන ඇත.

එමෙන්ම 2018 වසර තුළ ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ සියලුම ක්ෂය රෝගීන් අතරින් 41෴ක් එනම් රෝගීන් 3464ක් වසර 55ට වඩා වැඩි පුද්ගලයන් වන අතර, 2018 වසර තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 2019 වසර තුළ වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 24෴ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, මුලතිව්, වවුනියා, කිලිනොච්චි, මන්නාරම යන දිස්ත්‍රික්ක අඩුම රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත.

2018 වසර තුළ ළමා ක්ෂය රෝගීන් 272ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් 123ක් පමණ වසර 5ට වඩා අඩුවන අතර, රෝගීන් 149ක් වයස 5- 14ත් අතර වේ. ළමා ක්ෂය රෝගීන් ගණන මුළු ක්ෂය රෝගීන් ගණනින් 5෴ක් පමණ වේ. නොමේරූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති කුඩා දරුවන්ට වැඩිහිටියන්ට වඩා සක්‍රීය ක්ෂය රෝගයට ගොදුරු වීමේ ඉතා ඉහළ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය වශයෙන් දිනකට එක් රෝගියෙකු ක්ෂය රෝගය නිසා මිය යන අතර, වසරකට ශ්‍රී ලංකාව තුළ රෝගීන් 500ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ක්ෂය රෝගය නිසා මරණයට පත්වන බව සංඛ්‍යාලේඛන අනුව තහවුරු වී ඇත. බන්ධනාගාරගත පුද්ගලයන් අතර ක්ෂය රෝගයේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක පවතින අතර, 2012 වසරේදී 1.68෴ක් වූ එම ප්‍රමාණය 2018 වසර තුළ 9.7෴ක් දක්වා වැඩි වී තිබේ. 2035 වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම්කර ඇති අතර, මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී ක්ෂය රෝගයෙන් ආරක්ෂා වීම ශ්‍රී ලාංකිකයන් සතු වගකීමකි.

ක්ෂය රෝගය යනු

ක්ෂය රෝගය යනු ක්ෂුද්‍රජීවීන් නිසා (බැක්ටීරියාවක් - Mycobacterium tuberculosis) බෝ වනු ලබන රෝගයකි. මෙම රෝගය ප්‍රධාන වශයෙන් පෙනහළු වලට බලපාන අතර, නිය සහ හිසකෙස් හැරුණුකොට ශරීරයේ අනෙකුත් අවයව වලටද බලපායි.

ක්ෂය රෝගය පැතිරීම

පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ආසාදනය වී ඇති රෝගියෙකු කහින විට, කිවිසුම් අරින විට, සිනාසෙන විට වාතයට මුසුවන කෙළ බිඳිති මගින් එම ක්ෂුද්‍රජීවින් වායුගෝලයට මුදාහැරේ. නිරෝගී පුද්ගලයෙකු මෙම ක්ෂුද්‍රජීවින් සහිත කුඩා බිඳිති ආශ්වාස කිරීමේදී ඔවුන්ටද මෙය ආසාදනය විය හැක.

සක්‍රීයක්‍ෂයරෝගය

ක්ෂුද්‍රජීවීන් ආසාදනය වූ විට, අදාළ පුද්ගලයා ජීවිත කාලයටම ආසාදිතයෙකු බවට පත්වේ. මෙම ක්ෂුද්‍රජීවීන් ආසාදනය  වූ සියලුම පුද්ගලයන් ක්‍ෂය රෝගීන් බවට පත්නොවන අතර, ආසාදිත පුද්ගලයන්ගෙන් 10෴ක් පමණ ඔවුන්ගේ ප්‍රතිශක්තිය දුර්වල වූ විට ජීවිතයේ කෙදිනක හෝ ක්‍ෂය රෝගීන් බවට පත්වීමට හැකියාව ඇත. 

ක්‍ෂය රෝගය සුව කළ හැකිද?

කලට වේලාවට රෝගය හඳුනා ගැනීම, මුල්පෙළ ප්‍රතිජීවක ඖෂධ මාස 06ක් නොකඩවා ලබාගැනීම මගින් ක්‍ෂය රෝගය වැලඳෙන බොහෝ රෝගීන් සුව කළ හැකි අතර, රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම අඩු කරගත හැකිය. කෙසේනමුත්, ප්‍රතිකාර නොකළ ක්‍ෂය රෝගීන් විවිධාකාරයේ ආබාධිත තත්ත්වයන්ට ගොදුරු විය හැකි අතර, ස්නායු ආබාධිත බව, විෂාදය, කාංසාව සහ මානසික ආතතිය වැනි මානසිකත්වයන්ටද ගොදුරු වීමේ අවදානම තිබේ.

පෙනහළු ආශ්‍රිත ක්‍ෂය රෝගයේ රෝග ලක්‍ෂණ

මඳ උණ සහිත හෝ රහිත ඕනෑම කාලසීමාවක් පවතින කැස්ස, බර අඩු වීම, කෑම අරුචිය, රාත්‍රියට දහඩිය දැමීම, අධික මහන්සිය, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ කැක්කුම,  ලේ සහිත සෙම පිටවීම සහ ළමයින්ගේ වැඩීම බාල වීම ඉතා සුලභව දැකිය හැක.

ක්‍ෂය රෝගය වැලඳීම සඳහා ඉහළ අවදානම් කාණ්ඩ

ආසාදන හැකියාව සහිත ක්‍ෂය රෝගීන් සමග සමීපව ඇසුරු කරන පුද්ගලයන්.

ක්‍ෂය රෝගීන් සමග වඩාත් සමීපව ගැටෙන සෞඛ්‍ය සේවකයන්.

ප්‍රතිශක්තිය හීන පුද්ගලයන් හෙවත් දියවැඩියාව, වකුගඩු රෝග වැනි නිධන්ගත රෝගීන්.

HIV/AIDS ආසාදිත රෝගීන්.

අවයව බද්ධ කිරීමෙන් පසු දිගුකාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්, පිළිකානාශක ඖෂධ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්.

මත්පැන් පානයට සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන්, දුම්පානය කරන්නන්.

අවුරුදු 5ට අඩු දරුවන් සහ වයස්ගත පුද්ගලයන්.

මන්දපෝෂණයෙන් පෙළෙන්නන්.

යනාදී අය ක්‍ෂය රෝගය ආසාදනය වීමට වැඩි අවදානමක් දක්වයි.

ක්‍ෂය රෝගය වැලඳීමට ඇති අවදානම් සාධක

සෞඛ්‍යය සම්බන්ධ අවදානම් සාධක - සිගරැට් බීම, දියවැඩියාව සහ HIV ආසාදනය.

දුප්පත්කම, අඩු පහසුකම් සහිත නිවාස, මන්දපෝෂණය යනාදී සාමාජීය සාධක.

වේගවත් නාගරිකරණය, පරිසර දූෂණය වැඩි වීම , වන විනාශය වැනි සාධකද ක්‍ෂය රෝගය ව්‍යාප්ත වීම අධික වීම කෙරේ බලපායි.

රෝගය හඳුනා ගැනීමේ පහසුකම

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව ක්ෂය රෝගීන්ට සපයන සේවාවන් වැඩිදියුණුකර ඇති අතර, ඒ හරහා දිවයින පුරා දිස්ත්‍රික් මට්මටින් ළය රෝග සායන 28ක් ස්ථාපිත කර තිබේ. මෙම මධ්‍යස්ථාන වෙත ඕනෑම පුද්ගලයෙකුට ගොස් මේ සම්බන්ධ පරීක්ෂාවන් සිදුකරගත හැකි අතර, තමා රෝගියෙකු බව හඳුනාගතහොත් සම්පූර්ණ සුවය ලබනතුරු නොමිලේ ප්‍රතිකාර කිරීමට එම මධ්‍යස්ථාන කටයුතු කරනු ලබයි. එසේහෙයින් මේ සම්බන්ධ කිසිදු බියක් නොදක්වා, ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීමට දායක වී ඔබේ ජාතික වගකීම ඉටුකරන ලෙස අපි මතක් කර සිටින්නෙමු.

(තොරතුරු ලබාගැනීම - ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන)



Recommended Articles