බෝම්බ සහ බබාලා


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වසර 10කට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව සැබැවි. එයින් අප කම්පනයට පත්වූ බවත් ඒ කම්පනයෙන් යම් දෙගිඩියාවකට ලක්වූ බවත් සැබැවි. එහෙත් මෙවැනි තත්ත්වයකට මුහුණදෙන්නේ ස්විට්සර්ලන්තය, නෝර්වේ හෝ ෆින්ලන්තය හෝ නොවේ. මේ ශ්‍රී ලංකාවයි. අවුරුදු 30ක් තිස්සේ ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය සමග සටන් කළ, එය ජයගත් ශ්‍රී ලංකාවයි. 

මේ රටේ මිනිස්සුන්ට, විශේෂයෙන්ම වර්ෂ 2000ට පෙර ඉපදුන මිනිස්සුන්ට බෝම්බ යනු අමුතු දේවල් නොවේ. යුද්ධය යනු අමුත්තක් නොවේ. අපේ පරම්පරාව යුද්ධය සමග වැඩුණු පරම්පරාවකි. උදේ ගෙදරින් එළියට බහිද්දී දරුවන්ගේ හිස අත ගා මේ අවසන් වරට ඔවුන් දකින අවස්ථාව යැයි හිත හදාගෙන එළියට බැස ගිය තාත්තලා අම්මලා හිටි රටකි. තමන්ගේ බිරිඳ, දරුවන් හිතේ තබාගෙන මරණය අතේ තබාගෙන සතුරා සමග සටන් කළ වීරෝදාර රණවිරුවන් සිටි රටකි. එහෙව් රටේ ඇතැම් මිනිසුන් පසුගිය දින දෙක තුනේ හැසිරෙන්නේ බබාලා මෙනි. 

මේ රටේ දේශපාලනඥයන් ඊයේ, එනම් බ්‍රහස්පතින්දා දක්වාම හැසිරුණේ බබාලා මෙනි. අගමැතිවරයා ඇතුළු බොහෝ දෙනා කියන්නේ මේක ලෙහෙසි පහසු කෙළියක් නොවේ කියාය. ගෝලීය ත්‍රස්තවාදයක් ගැන ඔවුහු කෑ ගසති. මේක එල්.ටී.ටී.ඊ. වගේ මඬින්නට බැරි යැයි කියති. තවත් ප්‍රහාරයකට සැලසුමක් තිබේ යැයි විදේශ මාධ්‍යවලට කියන්නේ අගමැතිවරයාය. මේ කරන්නේ කුමක්ද? මේ කරන්නේ මේ රටේ මිනිසුන් භීතියට පත් කිරීමක් නොවේද? ජනාධිපතිවරයාද මට කිව්වේ නැතැයි කියමින් ආරක්ෂාව ගැන දෙගිඩියාවක් ජනතාවගේ සිත් තුළ ඇති කරයි.

ඒ අතරේ බයිසිකලයක් දැක්කාය, පාර්සලයක් තිබුණාය කියමින් මාධ්‍ය ආයතන බ්‍රේකින් නිවුස් ගසයි. ඒවා බලන ජනතාව නිරපරාදේ කලබලයට පත් වෙති. ඊයේ දිනයේදී බෝම්බ ලොරියක් තිබේ යැයි කියමින් සවස 2.30 වනතුරු කාර්යාලවලින් එළියට බහින්නට එපා යැයි කතාවක් ගියේය. කොළඹ නගරයේ බොහෝ සේවකයෝ කාර්යාලවලට වී සිටියහ. මේ කතාව කිසිදු පදනමක් නොමැතිව ගිය කතාවක් විය. පොලීසිය නිල වශයෙන් එවන් කතාවක් කිව්වේ නැත. එහෙත් ප්‍රධාන නගරය අඩපණ විය. අප්‍රේල් 11 වැනිදා සිට අද දක්වා දින 15ක් රටේම වැඩක් නැත. අප මේ කරන්නේ කුමක්ද? අප කරන්නේ සතුරා ශක්තිමත් කිරීමයි. 

මේ අවස්ථාවේ දී මේ අන්තවාදී කණ්ඩායම්වලට අවශ්‍යව ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීමයි. ඒ හරහා සමාජයේ නොසන්සුන්තාවක් නිර්මාණය කර සාමාන්‍ය ජනතාව මේ සඳහා ප්‍රතික්‍රියා දක්වන තත්ත්වයක් ඇති කිරීමයි. ඒ හරහා තමන්ගේ අන්තවාදී කණ්ඩායම්වලට වැඩි වැඩියෙන් සාමාජිකයන් එක් කරගැනීමයි. මෙය අපේ ආණ්ඩුව නොදන්නවා නොවේ. මේ නිසා අප මේ අනවශ්‍ය ලෙස කලබල වීම නවතා දැමිය යුතුය. 
තිස් අවුරුදු යුද්ධයේදී සතුරාගේ බෝම්බ ලොරියට බයේ කාර්යාලයේ හෝ නිවසේ සැඟවී සිටියා නම් මේ රට අද සුඩානයටත් අන්තය. අප මේ තරමින් හෝ සිටින්නේ යුද්ධය අස්සේ වුව නොනවත්තවා අපේ කාර්යන් කරගෙන ගිය නිසාය. වසර 10කට පසු ලැබෙන කම්පනයට සංවේදී වූවාට කමක් නැත. එහෙත් සංවේදී යැයි කියා සියල්ල ආපස්සට හරවාගන්නට තරම් අප බෝම්බ අත්දැකීම් රහිත රටක් නොවේ. ආණ්ඩුව මේ වනවිට රඟපාමින් ඉන්නේ ඒ චරිතයයි. බෝම්බයක් පිපිරී ගියවිට කළ යුත්තේ කුමක්දැයි නොදන්නවා සේ හැසිරෙන්නේ මේ නිසාය. 

පාලකයන් සහ ආණ්ඩුව බබාලා වූවාට කමක් නැත. අපි බබාලාගේ තත්ත්වයෙන් මිදෙමු. පරීක්ෂණවලට උපරිම සහාය දෙමු. ඒවා ආරක්ෂක අංශවලට කරන්නට දී අපි අපට පැවරී ඇති රාජකාරි කරමු. දවස තිස්සේ රූපවාහිනිය ඉදිරියට වී බ්‍රේකින් නිවුස් එක කුමක්දැයි බලා නොසිට අපට පැවරී ඇති වැඩ කරමු. 

මරණය එන්නේ කෙළෙසදැයි කියන්නට හැකි අයෙකු මෙතෙක් මෙලොව බිහි වී නැත. අපේ භාෂාවෙන් කියන්නේ නම් 'මැරෙන්න තියෙන වෙලාවට මැරෙනවා'ය. එය නවත්වන්නට බැරිය. අපි ශක්තිමත් වෙමු. අපි එදිනෙදා අපේ කාර්යන් මඟහැර ගැනීමෙන් වළකිමු. රට වෙනුවෙන් අපට කරන්නට හැකි කාර්යය නම් අපේ සේවය සලසමින් ආර්ථිකය ශක්තිමත් කිරීමයි. එයට එක්වෙමු. බබාලා නොවී ශක්තිමත් පිරිමින් සහ ගැහැනුන් මෙන් ඉදිරියට යමු. 

ගෝලීය අන්තවාදය වේවා, දේශීය ත්‍රස්තවාදය වේවා ශක්තිමත් වන්නේ අප නිවටුන් මෙන් සැඟවී සිටින විටය. එසේ නොවී අප අපට හිමි කාර්ය කළහොත් දේශීය ත්‍රස්තවාදය මෙන් ගෝලීය අන්තවාදය පරදන්නට හැකිය. නැවත මතක් කරන්නේ මරණයට කල් පැමිණි විට මාත් ඔබත් මියයනු ඇත. එය බෝම්බයෙන්ද, උණ්ඩයෙන්ද, හෘදයාබාධයෙන්ද පිළිකාවෙන්ද කියා දන්නේ නැත. එහෙයින් බිය නොවී රාජකාරි අරඹමු. අඩුම තරමින් සඳුදා සිට හෝ නිසි පරිදි කාර්යාලවල වැඩ අරඹමු. රටේ ආර්ථිකය ශක්තිමත් කරමු. මේ අපේ ශ්‍රී ලංකාවයි. 



Recommended Articles