බොහෝදෙනෙකුට කුණු හිසරදයක් වුණාට මට නම් කුණු කියන්නේ සම්පතක්


ලංකාව තුළ කලින් කලට උඩුදුවන‍, කලක් එලෙසටම යටපත් වන, එනමුත් නැවත නැවතත් සිහිපත් කරන ප්‍රමුඛ මාතෘකාවක් වශයෙන් කැළි කසළ අර්බුදය හැඳින්විය හැකිය. ඒ රටක් වශයෙන් කැළි කසළ මගින් කළ හැකි දෑ පිළිබඳ තවමත් අප සිටිනුයේ පර්යේෂණ මට්ටමින් වීම නිසාය. නමුත් ලංකාව තුළ අලුෙතන් කුණු කඳු නිර්මාණය වීම එහි අහිතකරම ප්‍රතිඵලයයි.

එවැනි වූ කුණු, සම්පතක් කර ගනිමින් ව්‍යවසායකයෙකු ලෙසින්ද, අනෙක් අතට අගය මෙතෙකැයි කියා නිම කළ නොහැකි පරිසර ආරක්ෂකයෙකු ලෙසින්ද කටයුතු කරන පුද්ගලයෙකු වශයෙන් යුද හමුදා පොලීසියේ සේවය කළ මහේෂ් සමන් කුමාර අබේකෝන් මහතා හඳුනාගත හැකිය.

ඌව පළාත තුළ ඉවතලන දිරාපත් නොවන පොලිතීන් එකතු කොට කෙටි කලකින් දිරාපත්වන පොලිතින් නිෂ්පාදනය කිරීම ඔහුගේ ප්‍රධාන අභිප්‍රායයි. දිනෙන් දින වර්ගීකරණය කර නගර සභා, ප්‍රාදේශීය සභා මාර්ගයෙන් මහජනයා හෝ එක් එක් ආයතන මගින් ඉවතලන පොලිතින් භාර ගත්තද ඉන් එහාට සිදුවනුයේ කුමක්ද කියා පසුවිපරම් කරනුයේ අල්ප වශයෙනි. එම නිසා ඉවතලන කුණු අර්බුදයට ස්ථිරසාර විසඳුමක් අපට අදටත් සොයාගත නොහැකිය.

කරදියාන වැනි ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානය කිහිපයක් තිබුණද ඒවා කොතෙක් දුරට ප්‍රමාණවත්ද යන්න ගැටලු සහිතය. කොළඹ හෝ ඒ අවට ප්‍රදේශ කිහිපයක ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සිදුවුවත් බොහෝ ප්‍රදේශයන්හි නොදිරන ද්‍රව්‍යය එනම්, පොලිතින් ඇතුළුව සියල්ල පරිසරයට මුදාහැරීමක් ප්‍රමුඛ ලෙස සිදුකරයි. එයින් සිදුවනුයේ නිරායාසයෙන් ලංකාව තුළ නොයෙක් ප්‍රදේශයන්හි කුණු කඳු ගොඩ ගැසීමය.

වරක පොලිතීන් වර්ග කිහිපයක් තහනම් කළද, ඒවාට විකල්ප ආසන්න වශයෙන් හඳුන්වා දුන්නද, බොහෝ අවස්ථාවන්හිදී ඒවා ප්‍රායෝගික නොවීමක් අපට දැකගත හැකිය. එනමුත් පරිසරයට ආදරය කරන පරිසර සංරක්ෂණයට දශමයකින් හෝ දායක වන ව්‍යවසායකයෙකු වන මහේෂ් මහතා %සන්ස්ටා පැකේජින්^ යන ව්‍යපාර නාමයෙන් එයට ස්ථිරසාර කදිම විසඳුමක් දුන් තැනැත්තෙකි. එහිදී ඔහු පරිසරයට හානිදායක නොවන දිරාපත්වන පොලිතින් හඳුන්වා දෙයි.

ව්‍යවසායකු ලෙස ඔහුගේ ගමන් මඟ

බස්නාහිර පළාත තුළ රාජකාරී කරන කාල සීමාවේදී පොලිතින් ආයතනයක ක්‍රියාපටිපාටිය හඳුනා ගැනීමට මා හට අවස්ථාවක් උදා වුණා. එහිදී පොලිතින් නිෂ්පාදන යන්ත්‍ර හා පොලිතින් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය සියැසින් දැක ගැනීමට හැකි වුණා. ඇතැම්විට නිෂ්පාදනයේදී යම් ප්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකි පොලිතින් එම ක්‍රියාවලියේදී ඉවත් වී යනවා. එම නිසා එම කර්මාන්ත ශාලාව තුළ යම් ප්‍රමාණයක් අපතේ යන අතර, ඔවුන් මෙම හානියට පිළියමක් වශයෙන් මෙම ඉවතලන පොලිතින්වලින් නැවත භාවිතයට ගැනීමට නැවත කුඩු කර පොලිතින් සකස් කිරීමේ කාර්ය සිදුකරනවා. 5෴ක් වැනි අවම ප්‍රමාණයක් ඉවතලන නිසා ආයතනයක් වශයෙන් නිෂ්පාදනයේ ඇති වන පාඩුව ඉතා අඩුයි. ඒ ක්‍රියාවලිය මගේ ජීවිතයේ නව ගමනක ආරම්භයක් ලෙස පසුකාලීනව විකාශය වුණා.

නමුත් මම බස්නාහිර පළාත තුළ පොලිතින් නිෂ්පාදනය කළත් මට හරියාකාර වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීමට නොහැකි වුණා. එම නිසා මම මගේ යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණික දැනුම රැගෙන ඌව පළාතේ බණ්ඩාරවෙල, කටුගහ ප්‍රදේශයට   පැමිණෙන්නේ ඒ අනුවයි.

පරිසර හිතකාමී ව්‍යාපාරයක් ලෙස ඌව පළාත තුළ නැගී සිටී

ඌව පළාත තුළ මගේ නිෂ්පාදන අලෙවි කටයුතු සිදුකරන  විට බොහෝ ස්ථානවල පොලිතින් ඇතුළුව කුණු කඳු නිර්මාණය වී තිබීම මට දැකගත හැකිවුණා. එම නිසා මගේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් අලෙවිකරණය කළ ඌව පළාත තුළට පැමිණෙන්න සිතුවේ එක් අතකින් මගේ ව්‍යාපාරය දියුණු කිරීමටත් අනෙක් අතින් මෙම ප්‍රදේශයේ නොදිරන පොලිතීන් නිසා සිදුවන පරිසර හානිය අවම කිරීමටත් අරමුණු පෙරදැරිවයි.

ඌව පළාත තුළ පොලිතීන් කෙතරම් භාවිත වුණත් ප්‍රතිචක්‍රීය ක්‍රියාවලියක් පළාත තුළ සිදුනොවන බව මා දැන සිටියා. එය මගේ ව්‍යාපාරය දියුණුවට බලපෑ ප්‍රධාන කාරණාවක්. මම සමාජ ව්‍යසනයක් නතර කරන්නට දශමයකින් හරි උදව් කළත් මම එසේ සිදුකරන්නේ ඒ දශමයටත් සම්පූර්ණ වියදම යොදලා. මම දැනට ඌව  පළාත තුළ ඉවතලන පොලිතීන් බොහෝමයක් එකතු කළත් මගේ ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ නොහැකියාවක් තිබෙනවා.

සමාජ මෙහෙවරක් ෙලස මම ප්‍රතිචක්‍රීයකරණය සිදු කළත් ඒ සඳහා යන රසායනික ද්‍රව්‍ය, විදුලිය, කම්කරු ශ්‍රමය යන සියලු දේ මට මුදලට ගන්න සිදුවෙලයි තිබෙන්නේ. මම ලබාගන්නා ඉවතලන පොලිතින්වලට පවා මම මුදල් ගෙවනවා. එම නිසා පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන මෙය සමාන්‍ය මිලකට අලෙවි කිරීමේ ගැටලුවක් වෙළෙඳ පොළ තුළ නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම ආනයනික දිරාපත් නොවන පොලිතින් අඩු මිලට වෙළෙද පොළ තුළ තිබීමද එයට එක් හේතුවක්.

එයින් පැනනගින තවත් ගැටලුවක් වන්නේ මෙම පොලිතින් නිෂ්පාදන දිරාපත් වන නිසා ගැනුම්කරුවන් ගැනීම ප්‍රතික්ෂේප වන අවස්ථාද බහුලව අත්විඳීමට සිදුවීමයි. ආනයනික දිස්නයක් ඇති පොලිතීන් නිෂ්පාදනවලට තමයි වැඩි ඉල්ලුමක් වෙළෙඳ පොළේ තිබෙන්නේ. මගේ පොලිතින් නිෂ්පාදනය කර තිබෙන්නේ පරිසරයට කිසිදු හානියක් සිදු නොවන්නට.

නිෂ්පාදනයේ හා ආයතනයේ තත්ත්ව කළමනාකරණය

මගේ නිෂ්පාදනය පරිභෝජන භාණ්ඩයක් හෝ පරිභෝජන භාණ්ඩ ඇසුරුම් කරන දෙයක් නෙමෙයි. එම නිසා මෙම නිෂ්පාදනයන්ගේ තත්ත්වය ආරක්ෂා කරනුයේ මෙම පොලිතීනය දිරාපත්වන දෙයක් බවට පත්කිරීම තුළිනුයි. අලෙවිකරණයේදී මට එය හානියක් ලෙසින් සිදු වුණත් මගේ මූලික ප්‍රයත්නය වන්නේ අපි වෙළෙඳ පොළට නිකුත් කරන පොලිතින් දිරාපත් වන්නට සැලැස්වීමයි. බොහෝ මිනිසුන් ගුණාත්මක භාවයෙන් වැඩි ලෙසින් අර්ථදක්වන්නා වූ නිෂ්පාදන එනම් නොදිරන පොලිතින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නම් මට දිරාපත් වීමට මා යොදන රසායනික ද්‍රව්‍ය නොදා මේ නිෂ්පාදනය සිදුකළ හැකියි. නමුත් මම එසේ සිදුකරන්නේ නැහැ.

ව්‍යාපාරික සම්බන්ධතා

මගේ ව්‍යාපාර කටයුතු බොහෝමයක් සිදුකිරීමට මට සහයෝගය දක්වන්නේ මගේ බිරිඳ. ඇය මගේ සෑම බිඳ වැටීමකදීම මාව දිරිමත් කරමින් ව්‍යාපාර දියුණුවට නිතර අතහිත දුන්නා. එසේම පරිසර අමාත්‍යාංශය සහ හාලිඇල ප්‍රාදේශීය සභාවෙන් මට නිරන්තර මාර්ගෝපදේශ කාර්යයන් සිදුකරනවා. ඔවුන්ට ඒ කරන උපකාරයට ඇත්තෙන්ම මම ස්තූතිවන්ත විය යුතුයි.

මෙම ව්‍යාපාරය සිදුකිරීමේදී ශ්‍රමිකයන් රඳවා ගැනීමද මට ඉතා අපහසු කටයුත්තක්. මොකද දෛනික රැකියවක් සඳහා එන මිනිසුන් නිසා මෙම කාර්යයේ දිනපතා නියුක්ත විය යුතුම කියා ඔවුන්ගේ බැඳීමක් නැහැ. ඒ වගේම සේවයේ ස්ථිර කිරීමටද ඔවුන්ගේ කැමැත්තක් නැත්තේ එදා ආදායම ඔවුන්ට එදාම ලබා ගැනීමට අවශ්‍ය නිසයි. ග්‍රාමීය සේවක සේවිකාවන්ගේ සාමාන්‍ය තත්ත්වය එයයි.

ව්‍යාපාරයේ වගකීම හා වගවීම

මෙම කාර්යයේදී ඉතා ප්‍රවේශම් සහගතව සෑම කටයුත්තක්ම සිදුකළ යුතුයි. නිෂ්පාදනය අමුද්‍රව්‍ය පිරිසුදු කිරීමේ කාර්යේදී වැලි කැටයක්වත් හසු නොවන සේම, ඉතා සියුම්ව වර්ගීකරණය කරමින්ද, නියමාකාරයෙන් ඒවා වෙන්කර ගැනීමට අවශ්‍යයි. මම පොඩිතැනේ ඉඳලා නැගිටින කෙනෙක් නිසා මම ආයතනයේ මුදල් නිකරුණේ වියදම් කරන්නේ නැහැ. මම කරන සේවයට වුණත් මම ලාභ සියල්ල භුක්ති විඳින්නේ නැතිව මම කරන සේවයට පමණක් වැටුපක් ලබාගෙන අනෙක් සියලුම මුදල් බැංකුගත කරනවා. ඒ ලබන වැටුප තමයි මම මාසයක කාලයක් තුළ පවුලේ වියදම්වලට යොදවන්නේ.  ඒ නිසා සියලු කටයුතු සමබරව කිරීමට අපහසු වුවත් යම් මූල්‍ය පාලනයක් යටතේ සිදුකරගෙන යනවා. මම සියල්ල සිදුකරන්නේ විය යුතු යැයි සිතන ක්‍රියා පටිපාටියකට යටත්වයි. සේවකයන්ට යම් ඉලක්කම් මට්ටමක් දීලා අපට අපේක්ෂිත ප්‍රතිඵලය ලබාගන්න බැහැ. එහිදී යම් අතපසුවීමකින් හෝ සියුම් ගල් කැටයක් වැරදිලාවත් එක් වුණොත් ඔහු හෝ ඇය පිරිසුදු කළ පොලිතින් කිසිවකින් නිෂ්පාදනයක් සිදුකළ හැකි වන්නේ නැහැ. එම නිසා හැකි උපරිමයෙන් හැකි පමණක් නිම කරන ලෙස මම සේවකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ව්‍යාපාර අනාගත දැක්ම

අප රටේ ඇඟලුම් කර්මාන්තය ප්‍රමුඛ ස්ථානයක් කර්මාන්ත අංශයෙන් ගනු ලබනවා. එවැනි ඇඟලුම් කම්හල්වලින් දෛනිකව ඉවතලන නුල් ඔතන ලද ප්ලාස්ටික් කෝන්වලින්ද ප්‍රතිචක්‍රීකරණය කොට දිරාපත්වන නොයෙක් මාදිලියේ  නිෂ්පාදනයන් සිදුකරන්නට පුළුවන්. මම ඉදිරියේදී එම නූල් කෝන් කුඩු කිරීම හා එසේ සකස් කළ අමුද්‍රව්‍යවලින් දිරාපත් වන අවශ්‍ය නිෂ්පාදන සිදුකිරීම සඳහා යන්ත්‍ර මිලදී ගැනීමටද අපේක්ෂා කරනවා. එයින් මේ ඌව පළාත තුළ දෛනික, මාසික, වාර්ෂික වශයෙන් එකතුවන කුණු කන්දෙන් බාගයක් හෝ ඉවත් කිරීමට මම අපේක්ෂා කරනවා.

අපි සෑම කෙනෙක්ම පුරුදු වෙලා තිබෙන්නේ අපට පහසු දිගුකාලීන භාවිත කළ හැකි දේ මිලදී ගන්නයි. නිවසට ගන්නා කොස්සක් වුණත් අපි පොල් කොහු කොස්සක් ගන්න පෙලඹෙන්නේ නැත්තේ ඒක ඉක්මනින් දිරාපත්වන නිසා. නමුත් ආනයනික ප්ලාස්ටික් කොස්ස පහසුයි, දිගුකාලීනව භාවිත කළ  හැකියි. එසේ සිතන මානසිකත්වයක සිටින තාක්කල් මෙවැනි නිෂ්පාදනයන්ට වැදගත්කමක් හිමි නොවේවි. ඒවා දිර්ඝකාලීන වශයෙන් එකතු වී, නොදිරා පරිසරයට සිදුවන හානිය පිළිබඳ නිවසේ සිටින ගෘහණියටවත් අවබෝධයක් නැහැ. අවබෝධය දිය යුත්තේ එකී මානසික මට්ටමින් මිදී ඔවුන්ට අනාගතය පිළිබඳ දැකීමටයි.

මෙම ප්‍රදේශවල වුවත් නගරාසන්නව පමණයි කුණු කසළ එකතු කිරීමට පැමිණෙන්නේ. එම නිසා ඇතැම් පිරිසකට කුණු කසළ බැහැර කිරීම නිසි ලෙස නගර සභාවක් හෝ ප්‍රාදේශීය සභාවක් මාර්ගයෙන් සිදුකර ගැනීමට නොහැකි වෙනවා. යෝගට් කෝප්ප, පොලිතින් වැනි දෑ එයට විකල්පයක් වශයෙන් බොහෝ පිරිස් ගිනි තබා විනාශ කර දමනවා. එයින් සිදුවන්නේ මිලකළ නොහැකි පාරසරික හානියක්. නමුත් මම දැන් මේ ව්‍යාපාරය ආරම්භ කළ නිසා ඔවුන් මුදලකට මට එකී ද්‍රව්‍ය ලබා දෙනවා. ඇතැම් අවස්ථාවල යෝගට් කෝප්ප විශාල ප්‍රමාණයක් එකවර එකතුකර ගන්නට මට හැකි වෙනවා. මගේ ළඟ යන්ත්‍ර පහසුකම් අඩුවෙන් තිබෙන නිසා මම ඒවා වෙනත් ආයතනයක් වෙතට යොමු කරනවා. ඔවුන් එයින් පරිසර හිතකාමී ප්‍රතිචක්‍රීකරණය කළ ෆයිල් කවරයක් නිෂ්පාදනය කරනවා. මට ලාභයක් නොවූවත් මම එයින්ද මානසික තෘප්තියක් ලබනවා.

බොහෝදෙනෙකුට කුණු යන්න හිසරදයක් වුණත් මට නම් කුණු කියන්නේ සම්පතක්. අපි සිතන්නේ නැති වුණත් මේ කුණු කඳු සියල්ල සුඟන්දවත් පොහොරක් බවට පත්කරන්න පුළුවන්. මේ රටේ අපට තිබෙන සම්පත් අපි නිසි ආකාරව ප්‍රයෝජනයට ගන්නේ නැහැ. යටත් විජිත මානසිකත්වයක් තුළ විදේශයෙන් එන සියල්ල කිසිවක් නොවිමසා භාරගන්න එකයි අපි කරන්නේ. එම නිසයි අපි නොසිතූ අයුරින් විපත්තිදායක තත්ත්වයන්ට මුහුණ දෙන්නේ.

මම ව්‍යවසායකයෙක් වශයෙන් බැංකු ණයවලට ගිහින් නැහැ. මොකද මගේ ව්‍යාපාරය ගැන විශ්වාසයක් තබා කිසිවෙකු මට බැංකු ණයක් ලබා නොදෙන නිසා. සියල්ල සිදුවන්නේ ඇපකරුවන්ගේ විශ්වාසය හෝ දේපළ සුරැකුම මත. එම නිසා කෝවිඩ් - 19 වැනි හදිසි තත්ත්වයක් පැමිණියහොත් මගේ ව්‍යාපාරය මාස තුනක් වැනි කාලයක් පවත්වාගෙන යෑම සඳහා මම ස්ථීර තැන්පතුවක් දමා තිබෙනවා. මගේ මෙන්ම  ආයතනයේ සුරක්ෂිතභාවය සඳහා මම දැනට තියාගෙන සිටින්නේ එයයි. මම මේ නිෂ්පාදන ක්‍රියාවලියට දරාගන්න අපහසු මහන්සියක්, ශ්‍රමයක් හා දායකත්වයක් යොදවලා තිබෙනවා. ආර්ථික වශයෙන් මගේ වගේම මගේ බිරිඳගේ මහන්සිය උපරිමය යොදවනවා අපි මේ ව්‍යාපාරයට.

ව්‍යපාර ගමන් මගේ බිඳ වැටීම්

මම මෙතරම් කැප කිරීමක් කරලා මගේ නිෂ්පාදන අලෙවිය සඳහා යන විට බොහෝ ගැනුම්කරුවන් බාල වර්ගයේ පොලිතීනයක් විසිකළොත් මට දරාගන්න බැරි දුකක් ඇති වෙනවා. එකක් දෙකක් නොව කිහිප වතාවක්ම මම එවැනි ඉවසුම් නොදෙන තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. එවැනි තත්ත්ව තුළදී මගේ නිෂ්පාදන විශාල වශයෙන් නැවත ලොරියට පටවලා තිබෙනවා. එම නිසා මට කලකිරීමක් දුකක් ඇති නොවෙන්න එම ක්‍රියාව සඳහා අලෙවි නියෝජිතයෙකු බඳවා ගත්තා. දැන් මට එවැනි ගැටලුකාරී කලකිරීම් තත්ත්වයන් ඇති වන්නේ නැහැ. ව්‍යාපාර ලියාපදිංචිය ගැනීමේදී මෙන්ම මගේ ව්‍යාපාරයට විදුලිය ලබා ගැනීමේදී පවා මම බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට ලක්වුණ කෙනෙක්. මම පරිසරයට හිතකාමී ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යෑමට සිතුවත් එය ඇත්තෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාරයක් වුවත්, පොලිතින් ව්‍යාපාරයක් නිසා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය අනිවාර්යෙන් ලබාගත යුතු වෙනවා.

අප රට තුළ නීතිමය රාමුවක් තිබෙනවා. අප සියලු දෙනා කටයුතු කළ යුත්තේ ඒ අනුවයි. මම ප්‍රතිචක්‍රීකරණය කර නැවත නිෂ්පාදන ක්‍රියාවලියට දායක වුවත් බොහෝ ආයතන මගෙන් පරිසරයට හානියක් වේදෝ කිවා සුපරික්ෂාකාරීව සිටිනවා.

ආයතනික වශයෙන් ලැබූ ජයග්‍රහණ

නොදිරණ පොලිතින්වලින් තොර ලොවක් යන තේමාව යටතේ ව්‍යාපාරය ආරම්භ කර දැනට වසර දෙකක් වැනි කෙටි කාලයක් වෙනවා. ඒ තුළ මට ව්‍යවසායික මෙන්ම පාරිසරික අගය කිරීම් ඔස්සේ සම්මාන කිහිපයක් දිනා ගැනීමට හැකි වුණා. 2019 වර්ෂයේ ඌව අභිමානි සම්මාන උළලේ වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයා සම්මානය, 2019 වසරේ හොඳම පරිසර හිතකාමී ව්‍යාපාර සම්මානය සහ 2019 වර්ෂයේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ රන් සම්මානයද දිනා ගැනීමට හැකියාව ලැබුණා. ඉදිරි වසර පහක කාලය තුළ මම අපේක්ෂා කරන්නේ දැනට ප්‍රතීචක්‍රීකරණය කරන ඉවතලන පොලිතින් ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් ප්‍රතිචක්‍රීකරණය කර දිරාපත්වන පොලිතින් ලෙස සමාජයට මුදා හරින්න. මම හිතනවා මට ඒ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් කියා.

රටක් වශයෙන් මෙම පොලිතින් ගැටලුවට විසඳුමක් දීමට සෘජුවම අපහසු වුවත් පළාතක් හෝ ප්‍රදේශයක් වශයෙන් හෝ එක්ව මේ අයුරින් ප්‍රයත්නය කළහොත් දිනක එය රටටම ඵලදායී වනු නොඅනුමානයි. ඔබ පරිසරයට අහිතකර පොලිතින් කිසිවක් බැහැර කරන්න එපා. ගිනි තබන්නටද එපා. දිනෙක එහි අනිටු ප්‍රතිවිපාකය ඔබේ, අපේ දරුවන් භුක්ති විඳීවි. එකී බැහැර කරන පොලිතීන් නිසි ස්ථානයකට ගෙන ගොස් දෙන්න. නොදිරන පොලිතින්වලින් තොර රටකට එයින් ඔබද දායකත්වය දක්වන්න. එය ව්‍යාපාරයකට හෝ හුදු ක්‍රියාවකට වඩා තෘප්තිමත් සමාජමය සත්කාරයක් වනවා නොඅනුමානයි.

ෂෙහානි දිල්රුක්ෂිකා



Recommended Articles