බූමරංගයක් බවට පත් වූ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය


දෙදහස් දහඅට වර්ෂයේ ඔක්තෝබර් මස විසිහය වැනි දිනය වසරේ වෙනත් සාමාන්‍ය දිනයක ආකාරයට ගෙවී අවසන් වෙමින් පැවතුණි. ඒ වනවිටත් සාකච්ඡා මට්ටමේ පැවැති මෛත්‍රී මහින්ද හවුල් ආණ්ඩුව පිළිබඳ බලාපොරොත්තු කඩවී ඇති බව විද්‍යුත් මාධ්‍යයන්ගේ හැසිරීම අනුව අනුමාන කළ හැකි විය. එදින රාත්‍රී හත පසුවී මිනිත්තු හතළිහක් පමණ ගත වනවිට සියල්ල උඩුයටිකුරු විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙහි දිවුරුම් දුන් බවට විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අතර, රජයේ ප්‍රවෘත්ති මාධ්‍ය විසින් ඒ කරුණු සනාථ කළේය.

2018 ඔක්තෝබර් මස විසිහය වැනි දින රාත්‍රීයේ සිදු වූ අගමැති පුටුමාරුවේ ජවනිකා සියල්ල මෙතෙක් අවසන් වී නොමැත. ජනාධිපතිවරයා පෙරේදා(28දා) සන්ධ්‍යාවෙහි මාධ්‍යයන්ට නිවේදනයක් නිකුත් කරමින් අලුත් රජයට සහාය ලබාදෙන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගෙන්ම විවෘත ඉල්ලීමක් කළේය. 

එදින මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සාරාංශ ලෙස ගතහොත් මෙම පුටුමාරුව තනිකරම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත මත සිදුවූවකි.
මේ ලිපිය සකස් වන මොහොත වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය අතහැර දැමීමට සූදානම් වන බවක් නිරීක්‍ෂණය කළ නොහැකි විය. ඔහුට අනුව අගමැතිවරයා පෑන් පහරකින් ඉවත් කිරීමේ බලයක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාට නොමැත. එබැවින් තමන් තවදුරටත් මෙරට නීත්‍යනුකූලව පත්වූ අගමැති වන්නේය යන ස්ථාවරයෙහිම ඔහු සිටියි.
ලෝක බලවත්තු මේ ප්‍රශ්නය ඉදිරියේ ස්ථාවර කිහිපයකට පැමිණ සිටිති. චීනය ‘‘මහින්දාගමනයට’ මුලින්ම ආශීර්වාද කළ විදේශ රජයයි. අනෙක් බොහෝ බලගතු රාජ්‍ය වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය නිවැරදි බව ප්‍රකාශ කරන බව කියතත් විදේශ රටවලින් ලැබුණු අනතුරු හැඟවීම්වල සාරාංශය වනුයේ ‘‘ මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සාමකාමීව ක්‍රියා කළ යුතුය. යන්නයි. එබැවින් බටහිර බලවතුන් වික්‍රමසිංහ මහතා වෙත සහය දක්වන්නේද යන්න කීමට තවමත් ඉක්මන් වැඩිය.
 
සමස්තයක් ලෙස බලන කල මේ අපූර්ව සිදුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක නොවැළැක්විය හැකි ප්‍රතිඵලයකි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මුළු ආණ්ඩුක්‍රමයම අර්බුදකාරී තත්ත්වයකට පත්වන බවට දේශපාලන විචාරකයන් ගණනාවක්ම රජයට අනතුරු අඟවා තිබුණි. රජය ඒ අනතුර තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය. 
 
සැකෙවින් දක්වතොත් රනිල් වික්‍රමසිංහ මහතා පැටලී සිටින්නේ තමන් විසින්ම අටවන ලද උගුලෙහිය. කෙසේ වෙතත් මේ වනවිට බලය පැවැති සමයේ සාමාන්‍ය ජනතාවට මෙන්ම පොහොය දින ධර්ම දේශනාවන්ට වැසී තිබූ අරලිය ගහ මන්දිරයේ දැවැන්ත දොරටු, බලය සහ පැවැත්ම අභියෝගයකට ලක්ව ඇති මේ මොහොතේදී පාක්ෂිකයන් වෙනුවෙන් හා සෙත් පිරිතක් වෙනුවෙන් විවෘත වී තිබේ. පාලකයන්ට ජනතාවගේ හා ධර්මයේ ආරක්ෂාව සිහිවන්නේ බලය බිඳී ගිය විටදීය යන පොදු ධර්මතාව මෙහිදී පිළිඹිබු වන බව ඔබට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.
 
මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හටගත් විශාලතම අර්බුදයේ සත්‍ය තොරතුරු එකිනෙක පෙළගස්වමින් මේ පිළිබඳ විග්‍රහයක් ගෙන ඒමට නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු. 
 
&ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීම සඳහා අත්සන් කරන ලද ලිපියෙහි සඳහන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තියෙහි සඳහන් බලතල ප්‍රකාරව ක්‍රියාකරමින් ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරෙන් නෙරපා හැර තිබේ. 19 වැනි සංශෝධනයෙන් වෙනස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය මෙසේය.
‘42 (4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය.
 
දැන් අපි 42 (4) වගන්තිය මගින් ඇති කරන ලද අතුරු ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරමු. පළමු ප්‍රශ්නය නම්, දැනට බලයේ සිටින අග්‍රාමාත්‍යවරයෙකු එම ධුරයෙන් ඉවත් කිරීමට 42 (4) වගන්තිය අනුව හැකියාවක් ඇත්ද යන්නයි. ඒ වගන්තිය මතුපිටින් බලන කල බලයේ සිටින අග්‍රාමාත්‍යවරයෙකු නෙරපා හැරීමට 42 (4) වගන්තියේ ප්‍රතිපාදන යොදාගත නොහැකි බව පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ මහතා නීතිය පිළිබඳ වෘත්තීය නිපුණතාවයක් ඇති අයෙකි. ව්‍යවස්ථා අර්ථ නිරූපණය පිළිබඳ මැක්ස්වෙල්ගේ කෘතියෙහි කියන පරිදි කිසියම් ව්‍යවස්ථාවක අරුත පැහැදිලි නම්, පදයන්හි වචනාර්ථ අනුව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ යුතුය. 42(4) ව්‍යවස්ථාව පදානුගතව අර්ථ දැක්වුවහොත් දැනට බලයේ සිටින අග්‍රාමාත්‍යවරයෙකු සේවයෙන් පහකිරීමට භාවිත කළ හැකි ස්වභාවයක් එහි නොමැත.
 
එනමුත්, මෙම මස 26 වැනි දින සන්ධ්‍යාව වනවිටත් හවුල් ආණ්ඩුවට සහාය දුන් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන්ගේ සහාය තවදුරටත් ඔවුන්ට නොලැබෙන බවට කථානායකවරයාට දැනුම් දී තිබුණි. ඒ අනුව ඔවුන් දෙකොට්ඨාසය එක්ව පිහිට වූ හවුල් ආණ්ඩුව අවසන් ගමනට සූදානම්ව තිබුණු බව අනුමාන කළ හැකිය. එයින් ඇතිවන ප්‍රතිඵල අතර, අමාත්‍ය මණ්ඩලය අහෝසි වීමත්, අග්‍රාමාත්‍ය ධුරය හිස්වීමත් යන කරුණු නිශ්චිතවම ඇතිවන බව ජනාධිපතිවරයාගේ තීරණයට සහය දෙන පිරිස් යෝජනා කරති.
 
එය තරමක් අවුල් සහගත අර්ථකථනයකි. මන්දයත්, පාර්ලිමේන්තුව යනු ජනතාවගේද ව්‍යවස්ථායක බලය ක්‍රියාත්මක කරවන තැනයි. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලතල පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරවනු ලබන්නේ සුවිශේෂී හේතුවක් මතය. ඒ සියලු ව්‍යවස්ථාදායක කටයුතුවලදී ජනතාව සක්‍රීයව සහභාගි කරවා ගැනීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බැවිනි. 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (අ) වගන්තිය මෙසේය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද, ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේය.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තියෙහි මෙසේ දැක්වේ.
‘‘4 (ආ) රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන රජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.
 
මේ අනුව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ පාර්ලිමේන්තු සාමාජිකයන් සතු නෛසර්ගික බලයක් නොව ජනතාව සතු ව්‍යවස්ථාදායක බලයයි. එසේම ජනාධිපතිවරයා විසින් විධායක බලය ක්‍රියාත්මක කරවිය යුත්තේ තමන්ගේ  තනතුර නිසා හිමිවන නෛසර්ගික බලයක් ලෙස නොව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන ආකාරයෙනි.
රනිල් වික්‍රමසිංහ මහතා ‘‘පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා’ වීම අවසන්ව ඇත්නම්, ජනාධිපතිවරයා විසින් ඔහු තනතුරෙන් නෙරපා හැරීම එක්තරා ආකාරයකින් සාධාරණීකරණයට ලක් කළ හැක්කේය. ඒ ක්‍රමය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව හෝ දේශපාලන න්‍යායන් මත පැනනගින්නක් නොව පරිපාලන නීතියේ පරිචය අනුව පැන නගින්නකි. ඒ පිළිබඳ විස්තරයට දැන් අපි අවධානය යොමු කරමු.
 
යම් රැකියාවකට, තනතුරකට  හෝ ධුරයකට යමෙකු පත් කිරීමට බලතල ඇති නිලධරයා පත්වීම් බලධරයා නම් වෙයි. පත්වීමක් ලබාදීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ප්‍රධාන බලධරයන් දෙදෙනෙකු අර්ථ දැක්වෙයි. ඒ පත්වීම් බලධරයා සහ විනය බලධරයා වශයෙනි. පත්වීම් බලධරයා සහ විනය බලධරයා නිශ්චිතව දැක්වීම බොහෝ අවස්ථාවන්හි සිදුවෙයි. සමහර අවස්ථාවන්හි පත්වීම් බලධරයා සහ විනය බලධරයා දෙදෙනෙකි. කෙසේ නමුත්, විනය බලධරයා නාමිකව දක්වා නැතිනම්, විනය බලධරයාගේ චරිතය රඟපාන්නට සිදුවනුයේද පත්වීම් බලධරයාටය. පත්වීම ලද තැනැත්තා තවදුරටත් පත්වීම දැරීමට යෝග්‍ය නොවන ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහි තීන්දු තීරණ ගැනීම විනය බලධරයාගේ කාර්යයකි. විනය බලධාරියා අවිනිශ්චිත විටකදී පත්වීම් බලධාරියාට ඒ කාර්යයට අත පෙවීමට සිදුවේ.
ජනාධිපතිවරයා විසින් පෙරේදා (28දා) ජාතිය අමතමින් කරන ලද ප්‍රකාශයේ සැබෑ අරුත නම්, ඔහු පත්වීම් බලධාරියා සහ විනය බලධාරියා යන කාර්යයන් දෙකම ඉටුකරමින් නීත්‍යනුකූල ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම අහෝසි කරන ලද බවයි.
 
මෙබඳු අර්බුදකාරී අවස්ථාවන්හි කුමන ආකාරයෙන් කටයුතු කළ යුත්තේද යන්න පිළිබඳව හිටපු සෝවියට් නායක මිහායිල් ගොර්බචොව් විසින් න්‍යායන් දෙකක් සකස් කර ඉදිරිපත් කර තිබේ. ඉන් පළමුවැන්න නම්, ජනහිතකාමී ප්‍රතිසංස්කරණයන් වෙත යොමුවිය යුතු බවයි. එය, %පෙරස්ත්‍රොයිකා^ නම් වෙයි. මෙතැන්හිදී අපට වඩා වැදගත් වනුයේ දෙවැනි න්‍යායයි. ගොර්බචොව්ගේ දෙවැනි න්‍යාය %ග්ලාස්නොස්ට්^ නම් වේ. ග්ලාස්නොස්ට් න්‍යාය අනුව පාලකයන් පූර්ණ විනිවිදභාවයෙන් ක්‍රියා කළ යුතු අතර ජනතාවට පූර්ණ සත්‍යය ප්‍රකාශ කළ යුතුය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව මෙරට පාර්ලිමේන්තුවත්, මෙරට ජනාධිපතිවරයාත් ග්ලාස්නොස්ට් න්‍යායෙන් බැඳී ඇති බව පැහැදිලිය. ඒ අනුව ජනාධිපතිවරයාද, පාර්ලිමේන්තු නියෝජිතයන්ද තමන් කරන කියන දෙය පූර්ණ විනිවිදභාවයෙන් ජනතාව හමුවේ තැබිය යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ‘‘පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොවන්නේ නම්, ජනාධිපතිවරයාට ඒ බව පහසුවෙන් ජනතාවට ඔප්පු කළ හැකිය. ඒ පාර්ලිමේන්තුව රැස්කිරීමෙනි. නමුත් සිදුව ඇත්තේ ඊට වෙනස් දෙයකි. ජනාධිපතිවරයා විසින්  නොවැම්බර් මස 16 වැනි දින තෙක් පාර්ලිමේන්තුව කල් තැබීය.
මෙම ක්‍රියාව රාජ්‍ය පාලනයේ විනිවිදභාවයට එරෙහිව එල්ලවන මරු පහරකි. අප එම කරුණ තවදුරටත් විශ්ලේෂණය කර බලමු. දැන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (2) වගන්තිය වෙත යොමු වෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (2) වගන්තිය තීරණාත්මක එකකි. අග්‍රාමාත්‍යවරයාගේ ධුරකාලය අවසන්වීම තීරණය කරනුයේ එමගිනි.
‘‘46 (2) අග්‍රාමාත්‍යවරයා-
 
(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, හෝ
(ආ)තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුණහොත් හෝ 
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒතාක් කල් ස්වකීය ධුරය දරන්නේය.’’
මේ අනුව, අග්‍රාමාත්‍යවරයාගේ ධුරය කල් පිරීමට පෙර අවසන් කිරීමේ පැහැදිලි අවස්ථා තුනක් 46 (2) වගන්තියෙන් උද්ගත වෙයි.
01.  අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලා  අස්වීමේ ලිපියක් ඉදිරිපත් කිරීම
02. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම අවසන් වීම
03. අමාත්‍ය මණ්ඩලය විසිර යෑම
 
ජනාධිපතිවරයාගේ පෙර සඳහන් තීරණයට මෙහි තුන්වැනි කාරණය පදනම් කරගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අනුව, හවුල් ආණ්ඩුව අවසන් කරන බවට ප්‍රකාශයට පත් කිරීමෙන් අමාත්‍ය මණ්ඩලය විසිර යන අතර, අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමේ අයිතියද, අලුත් අගමැතිවරයෙකු පත්කිරීමේ අයිතියද ජනාධිපතිවරයා වෙත පැවරේ.
මෙතැන්හිදී රජය විසින් අත්හැර ඇති එක් වැදගත් කාර්යයක් ඇති බව පැහැදිලිය. හවුල් ආණ්ඩුව අවසන් වී ඇත්ද නැද්ද යන්න ජනතාවට පැහැදිලි වන සේ ඔප්පු කර පෙන්විය යුතුය. ඒ සඳහා කළ යුත්තේ පාර්ලිමේන්තුව කල්තැබීම නොව පාර්ලිමේන්තුව කැඳවීමයි. පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද, නැතහොත් වර්තමාන අගමැති  මහින්ද රාජපක්‍ෂද යන්න එතැන්හිදී ජනතාව පහසුවෙන් තේරුම් ගනු ඇත. ජනතාවගේ පාර්ශ්වයෙන්ද, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන්ද රජයට එල්ලවන අවලාද, අපහාස සියල්ල බිඳ දැමීමට හැකි එකම විකල්ප ක්‍රියාමාර්ගය එයයි.
මෙආකාරයෙන් පාර්ලිමේන්තුව කල් තැබීම තුළින් රට තවතවත් අරාජිකත්වයට පත්වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනතාවගේ පාර්ශ්වයෙන් බලන කල ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජංජාලය කිසිසේත් නොතේරේ. ජනතාවගේ දෘෂ්ටිකෝණය අනුව අද මෙරට අගමැතිවරු දෙදෙනෙක් සිටිති. සේවා මුර ක්‍රමයට අගමැතිකම් කළ නොහැකිය. මෙය කිසිසේත්ම රටෙහි ස්ථාවරභාවයට හේතුවන දෙයක් නොවේ. රට අරාජික වීමේ තත්ත්වය පෙරේදා(28දා) සන්ධ්‍යා භාගය වනවිට පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තේය. වෙනදා ආරක්‍ෂිත කලාපයක් ලෙස සැලකුණු ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ වෙඩි තැබීමක් සිදුවී එක් අයෙක් මිය ගියේය. 
 
මෙය ඉතා භයානක ප්‍රවණතාවයකි. රජය මෙසේ දුර්වල වීම තුළින් ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇත. රජය දුර්වල වීමත් සමග තැනින් තැන පුංචි ආණ්ඩු බිහිවීම වැළැක්විය නොහැකිය. ජනතාව නීතිය අතට ගැනීමද, අනුක්‍රමයෙන් අපරාධ කල්ලි අතට බලය මාරුවීමද වැළැක්විය නොහැකිය. එබැවින්, මේ අසීරු මොහොතේ බලලෝභීව ක්‍රියා නොකර ජනතාවාදීව සිතන්නට, ක්‍රියාකරන්නට පාලකයන් හුරු විය යුතුය.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සලකන කල එතුමා දැන් සිටිනුයේ කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකය. ජනාධිපතිවරයා පත්කරනු පිණිස ජනතාව ලබාදුන් හැට දෙලක්‍ෂයක ඡන්ද සංඛ්‍යාව ප්‍රධාන වශයෙන් සමන්විත වනුයේ එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද හා මහින්ද රාජපක්‍ෂගේ පාලන තන්ත්‍රය පිළිකෙව් කළ අයගේ ඡන්ද වශයෙනි. 2015 වර්ෂයේදී ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතා ස්වකීය පරම හතුරා බව යළි යළිත් සපථ කළේය. ඒ අනුව ස්වකීය දේශපාලන සතුරාට රජයක් පිහිටුවීමට ආරාධනය කිරීම තුළින් ජනාධිපතිවරයා විසින් අපේක්‍ෂා කළ ශාන්තිය නොලැබෙන බව එක් අතකින් පැහැදිලිය. 
අනෙක් අතට, ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයකට යෑම අතිශය අවදානම් සහගත ක්‍රියාවකි. මන්දයත් ඔහුට 2015 වර්ෂයේදී සහාය දුන් ප්‍රධාන බලවේගයන් දෙකම ඔහු විසින්ම අත්හැර දමා ඇති බැවිනි.
කෙසේ වෙතත්, අලුතින් හටගෙන ඇති බළපෙරළිය මහින්ද රාජපක්‍ෂගේ සහ ඔහුගේ දේශපාලන ආධාරකරුවන්ගේ ඉදිරි වාසිය සඳහා පැවැතීමට වැඩි ඉඩක් තිබේ. ඊට හේතු අපි දැන් සලකා බලමු.
ජනාධිපතිවරයා විසින්ම පෙරේදා(28දා) ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සොරකම මහ බැංකු සොරකමයි. මහ බැංකු සොරකමේ %මහහොරා^ ලෙස නම්කර ඇති අර්ජුන් මහේන්ද්‍රන් ඒ තනතුරට පත්කරවන ලද්දේ හිටපු අගමැතිවරයාගේ බලපෑමෙන් බව අද රහසක් නොවේ. එහෙත්, අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි නඩු කටයුතු ආරම්භ කරන ලද්දේ ඔහුගෙන් ප්‍රශ්න කර ඔහුට රටෙන් පිටව යෑමට අවස්ථාව ලබා දීමෙන් පසුවය. 
 
මෙය කුමන ආකාරයෙකින්වත් සාධාරණීකරණයට ලක් කළ නොහැකි ක්‍රියාවකි. යුක්තිය සාධාරණය අගයන කිසිවෙකු හෝ අනුමත නොකරන ක්‍රියාවකි. අනෙක් අතට, තවත් කාලයක් මේ තත්ත්වය පැවතුණහොත් රාජපක්‍ෂගේ ආධාරකරුවන්ට එෆ්.සී.අයි.ඩී. ආයතනය ඇතුළු නීතිය ක්‍රියාවට නංවන ඒකකයන්ගෙන් එල්ල වන බිය අතුරුදන් වනු ඇත.  
 
එසේම ජනතාවගේ පැත්තෙන් බලන කල මේ පරිවර්තනයෙහි නරක පැති මෙන්ම හොඳ පැතිද තිබේ. කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට හැකි යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි පරිශ්‍රමය මත ඉතාම මෑතකදී සම්මත කරගනු ලැබිණි. තමන් විසින් දුක් මහන්සියෙන් උපයා ගත් ධනය ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට යොදා ගන්නා බව ඇසීම බදු ගෙවන ජනතාවගේ පාර්ශ්වයෙන් බලන කල පිළිකුල් සහගත සිද්ධියකි. අහිංසක ජනතාව අමු අමුවේ ඝාතනය කළ කොටි සංවිධානය එවකට ලෝකයේ ම්ලේච්ඡම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් දැරීය. 
 
ලෝකයේ සිටි ම්ලේච්ඡම ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට ජනතා මුදල් යෙදවීමට එරෙහිව දිට්ඨධම්මවේදනීය කර්මවිපාකය ක්‍රියාත්මක වූබව සමහරුන් කියන්නේ එබැවිනි.
ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයන්හි ප්‍රතිඵල සිතනවාට වඩා අඳුරුය. සමහර විටෙක ඒ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල  ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමය සදහටම අහිමිවී යෑමට ඉඩ ඇත. විශේෂයෙන්ම ආසියානු අප්‍රිකානු කලාපයන් තුළ රටවල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවතට හැරී යන ප්‍රවණතාවක් විසිවැනි සියවසේ දෙවැනි භාගයේ සිට පෙන්නුම් කරයි. කලාපීය වශයෙන් සලකන කල දකුණු ආසියානු කලාපයෙහි ඉන්දියාව හැර අනෙකුත් සියලු රාජ්‍යයන් පැහැදිලිවම දේශපාලන වශයෙන් අස්ථාවරවී තිබේ.

මෙය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට මෙන්ම ඔහුගේ ප්‍රතිවාදීන්ටද අසීරු මො‍ෙහාතක් බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිවරයා විසින් මේ මොහොතේ කළ යුත්තේ ඔහු විසින් පාලන බලය ලබා ගැනීමට පෙර ජනතාවට දුන් පොරොන්දු යළි සිහිපත් කර එයින් කිහිපයක් හෝ සාධනීය මට්ටමට ගෙන ඒමයි. උදාහරණයක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූයේය. දින සීයක් තුළ වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක් ගොඩනගන බව ජනාධිපතිවරයා පොරොන්දු වූයේය. නමුත් සිදුවූයේ අනෙකකි. දින සීයෙන් දින කිහිපයක් ගත වනවිටදී වංචා දූෂණ කර තොප්පි වැටුණු පිරිස් ජනාධිපතිවරයා වෙත ළංවූහ. ජනතාව ස්වකීය ඡන්ද බලය යොදවා අසීරුවෙන් නෙරපා හැරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත ජාතික ලැයිස්තුව හරහා පත්කර ගැනීම කුමනාකාරයකින්වත් සාධාරණීකරණය කළ නොහැකිය.

 
දැන් ජනාධිපතිවරයාට ඇත්තේ ඉතා භාරදූර කර්තව්‍යයකි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, කැනඩාව ආදී ප්‍රබල රටවල් කිහිපයකම තානාපතිවරුන් කැඳවා ඇතුළත ගිනි පිටතට දීමට කටයුතු කර තිබේ. මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වන සමයේදීද රටවල් ගානේ ගොස් ජාත්‍යන්තරයට ගතු කියමින් ශ්‍රී ලංකාව හුදෙකලා කරන්නට ඔහු දැක්වූ දක්ෂතාව වරක් ආන්දෝලනාත්මක %විකිලික්ස්^ වෙබ් අඩවියෙන් පවා හෙළි කෙරිණි. එයින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට, නිදහසට සිදුවන හානිය අමුතුවෙන් කිව යුතු නොවේ. 
 
එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කළ යුතු මූලික කාර්යය නම් රටෙහි මහජන සාමය ආරක්‍ෂා කිරීමට කටයුතු කර, විදේශ බලපෑම් කැඳවීමේ උත්සාහය ව්‍යර්ථ කර දැමීමයි.
 
නඳුන් ශ්‍යාමාල්

 

 
 


Recommended Articles