බුෆේ එකකට යද්දි මේවා ගැනත් දැනගෙන යන්න


සාමාන්‍යයෙන් බොහෝමයක් හෝටල් සහ නිවාඩු නිකේතනවල ආහාර පිළිගන්වන්නේ, බුෆේ ක්‍රමයට. ස්ථානය අනුව, බොහෝවිට විදේශීය සංචාරකයන්ගේ රුචිය අනුව මේ බුෆේ විවිධාකාර වන්නට පුළුවන්. කොහොම වුණත් පොදුවේ බුෆේ ආහාර වේලක් ගැනීමේදී අනුගමනය කළ යුතු සහ කළ හැකි දේවල් කිහිපයක් තිබෙනවා.

මොනවද අඳින්නේ?

අපේ අරමුණ නිවාඩුවේ සැහැල්ලුව සහ නිදහස භුක්ති විඳීම. නමුත් පහසු ඇඳුමක් වුණත් පිළිවෙළට අඳින්නට අවශ්‍යයි. සමහර නිකේතනවල ප්‍රතිපත්ති අනුව, පිරිමින්ට උඩුකය නිරුවතින් හෝ අත් රහිත බැනියම් හෝ පොදුවේ නාන ඇඳුම් රෙස්ටුරන්ට් එක ඇතුළට ඇඳ ගෙන එන්න හැකියාවක් නැහැ. මේ විදියේ නීතිරීති අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැනත් හොයල බලලා පිළිවෙළට කන්න යන එක වැදගත්.

කොහේද වාඩි වෙන්නේ?

ඔබට අදාළ දින ගණන ඇතුළත වෙන් කරලා දුන්නු මේසයක් තියෙනවා නම්, ඒ අදාළ මේසයම භාවිත කරන්න. Outdoor arrangement එකක් තියෙනවා නම් හෝ විශේෂයෙන් වෙන් කරලා නැත්නම් ඔබට අවශ්‍ය තැන තෝරා ගන්න පුළුවන්.

මොනවද කන්නේ?

බුෆේ එකක Sri Lankan / Chinese / Western ආදී එකී නොකී කෑම වර්ග බොහෝමයක එකතුවක් තිබෙන්නට පුළුවන්. සුප්, සලාද වර්ග, appetizers, main menus, desert ආදී වශයෙන් සැකසුනු බුෆේ එකේදී ඔබට කන්නට අවශ්‍ය දේ අවශ්‍ය විදියට බෙදා කියා ගන්න පුළුවන්. නමුත් බුෆේ එක පටන්ගන්න තැන ඉඳන් ටික ටික ඔක්කෝම බෙදා ගන්නේ නැතිව, මුලින්ම තියෙන්නේ මොනවද කියල වටයක් ගිහින් බලන්න. එහෙම බැලුවට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඊටපස්සේ අවශ්‍ය දේ විතරක් අවශ්‍ය පමණට බෙදාගන්න. අපි කන්නේ සල්ලි ගෙවලා කියන හැඟීමෙන් බැහැර වෙන්න. බඩගින්නට කන්න පුරුදු වෙන්න.

කෑම බෙදාගනිද්දි, ඒ ඒ භාජනවලට අදාළ හැන්ද විතරක් භාවිත කරන්න වගේම, එය නියමිත තැනින් තබන්නටත් කල්පනාකාරී වෙන්න.

වෙනත් ආරක ආහාර වර්ගයක් try කරලා බලන්න ඕනේ නම්, අලුතෙන් පිඟානක් අරන් බෙදාගන්න. ඒ නිදහස ඔබට උපරිමයෙන් තිබෙනවා.

කොහොමද කන්නේ?

බුෆේ පෝලිමේ ඉන්න ගමන් 'කොහොමද කෑම රසද' කියලා බලන එක ලස්සන නැති බව මතක තියාගන්න.

ඔබ කන්නේ ලංකාවේ කෑම නම් අතින් කෑවට කමක් නැහැ. Finger bowl එකක් ඉල්ලා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. එය කොහොමටවත් ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි.

ඒ ඇර cutlery සැකසුම/ අදාළ හැඳි ගෑරුප්පු භාවිත කරන ආකාරය, කොයි හැන්දෙන්ද සුප් බොන්නේ, dessert කන්නේ, අත්පිස්නාව භාවිත කරන්නේ කොහොමද කියන දේවල් (dinning etiquette) ගැන දැනුවත් වීම ඔබට පහසුවක් වේවි.

 

  • විශේෂ කරුණු
  • කෑම කද්දි හැන්දක් ගෑරුප්පුවක් වැටුණොත් අලුතෙන් ඉල්ලා ගන්න. ඒ දේවල් අහුලන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
  •  ඔබට බීමක් අවශ්‍ය නම් බුෆේ එකේ අන්තර්ගත බීම වර්ග ලබාගන්න, නැත්නම් වෙනම ඇණවුම් කිරීමේ හැකියාව තිබෙනවා.
  • සාමාන්‍යයෙන් බුෆේ වේටර්වරුන්ට ටිප්ස් දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ස්තුති කරන්න අමතක කරන්න එපා.
  • බුෆේ එක ආරම්භ වූ අලුත කෑම ගැනීම වැදගත්, වඩාත් නැවුම් ආහාර වේලක් ඉතාම නිදහසේ ගැනීමේ අවස්ථාව එවිට ඔබට ලැබේවි.
  • නමුත් අනවශ්‍ය විදියට කාලය ගත කරන්න එපා. ඉඩකඩ අපහසුකම් තිබෙනවා නම්, ඔබේ අනවශ්‍ය කාලය ගතකිරීම අනෙක් අයට අපහසුවක් වේවි.

 නිමේෂා තන්ත්‍රිමුදලි



Recommended Articles