බුදු කරුණාව ලද මාබොටුවේ සුව සෙවණ


කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක හා කැලිෆෝනියාවේ බුද්ධි විහාරස්ථානයේ විහාරාධිපති කහඳ අමරබුද්ධි හිමියන් විසින් කරාපිටිය  ශික්ෂණ රෝහලට දුරබැහැර සිට පැමිණෙන රෝගීන් වෙනුවෙන් මාබොටුවන පියරතන නාහිමි නමින් සුව සෙවණ මධ්‍යස්ථානයක් ආරම්භ කොට තිබේ. මේ සඳහා රුපියල් කෝටි හතරහමාරක පමණ මුදලක් වැයකොට ඇති අතර, මෙය සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මධ්‍යස්ථානයකි. මෙහි නතරවන රෝගීන්ට තුන් වේලටම ආහාර නොමිලේ සැපයෙන අතර, සියලු පහසුකම් රෝගීන් වෙනුවෙන් නොමිලේ මෙමගින් සැපයේ.


දකුණේ වැසියන් පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ප්‍රතිකාර ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් පැමිණෙන අතර, නවාතැන් ගැනීමට හරිහමන් ස්ථානයක් නොමැතිකමින් රෝහලේ පැවැත්වෙන විවිධ සායන සඳහා සහභාගි වීමට දුරබැහැර  පළාත්වල සිට පැමිණෙන අහිංසක රෝගීහු දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙති.
රෝගීන් වැඩිදෙනෙකු සායන සඳහා සහභාගි වීමට රෝහලට පැමිණෙනුයේ සායන පැවැත්වෙන දිනයට පෙර දිනයේදී වන අතර, එසේ පැමිණෙන අහිංසක රෝගීන් රෝහලේ කොරිඩෝව මත වැතිරී නොයෙකුත් දුක්ගැහැටවලට ලක්ව සිටී.

එසේම හදවත් රෝග සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීම, පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ගැනීම, වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර ගැනීම යන කටයුතුවලදී රෝහලේ නේවාසිකව නොසිට, අදාළ දින කිහිපය සඳහා රෝහල වෙත පැමිණීමට රෝගීන්ට සිදුවී ඇති අතර, ඇතැම් විට එය දින කිහිපයක් හෝ සති කිහිපයක් විය හැකිය.

එවැනි විටෙක රෝගීන්ට නවාතැන් සහ ආහාර පාන සඳහා අතිවිශාල මුදලක් වැයවන අතර, දුර බැහැර, ආර්ථික අපහසුතා ඇති රෝගීන් මේ හේතුවෙන් මහත් අපහසුතාවට ලක්වේ.   සාමාන්‍යයෙන් හදවත් සැත්කම්, වකුගඩු සැත්කම් සිදුකළ රෝගීන් රෝහලෙන් පිට වූ පසු,  අවම වශයෙන් මාස දෙකක්වත් වෛද්‍ය උපදෙස් ගනිමින් ඉතා පිරිසුදු වටපිටාවක සිය අවදානම් කාල සීමාව ගතකළ යුතු අතර, මෙවැනි රෝගීන්ට කරාපිටිය අවට එවැනි නවාතැන් සඳහා දිනකට රු 2,000 - 3,000/= වැනි විශාල මුදලක් වැය කළ යුතු වේ. එලෙස මාස කිහිපයක් ගත කිරීම ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට අපහසු ආර්ථික කටයුත්තකි. මෙවැනි රෝගීන් ඉලක්ක කර ගනිමින් ජාති ආගම් මෙන්ම දුප්පත් පොහොසත්කම් නොසලකා, %මාබොටුවන පියරතන නාහිමි - සුව සෙවණ මධ්‍යස්ථානය මගින් සිය සේවාව නොමිලේම සපයනු ලැබේ.

කාමර 14කින් සමන්විත මෙම සුව සෙවණ මධ්‍යස්ථානය සියලු පහසුකම්වලින් සමන්විතය. මෙහි එක් කාමරයක් තුළ සේවා කටයුතු සඳහා සේවකයන් තිදෙනෙකු සිටින අතර, ආගමික කටයුතු සඳහා විහාර මන්දිරයක්ද ඉදිකර තිබේ. රෝගී අවශ්‍යතා පරිදි රෝගීන්ට මාස ගණනාවක් වුවද මෙහි සේවාව නොමිලේ ලබාගත හැකිය. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අමරබුද්ධි හිමියන් විසින් මෙකී සුව සෙවණ මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර, උන්වහන්සේ විසින් සිදුකරනු ලබන මෙම උතුම් කාර්ය අගය කළ යුතුය.
මේ පිළිබඳව අදහස් දක්වමින් කහඳ අමරබුද්ධි හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

මේ සුව සෙවණ මධ්‍යස්ථානය වෙත පැමිණෙන සියලු රෝගීන් වෙනුවෙන් සෑම දෙයක්ම නොමිලේ සපයනවා. එක කාමරයක ඇඳන් දෙකක් තිබෙනවා.  රෝගියා සහ භාරකරුවා වෙනුවෙන් ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට හැම දෙයක්ම දෙනවා. වස විසෙන් තොර එළවළුවලින් සමන්විත පෝෂ්‍යදායී අාහාරවලින් යුතු කෑම වේලක් තුන් වේලටම දෙනවා. ඊට අමතරව තේ  උණු වතුර ලබා දෙනවා. රෝගීන්ගේ  බෙහෙත් බඩු තියා ගන්න ශීතකරණයක් තිබෙනවා. සෑම රෝගියෙකුටම පිරිත් බණ ශ්‍රවණය කිරීමට ඒ  අයගේ කැමැත්ත අනුව ගුවන්විදුලි යන්ත්‍රයක් සපයනවා. දන්තාලේපයක් හා බුරුසුවක් සපයනවා. මෙහි රෝගීන්ට අවශ්‍ය හැම පහසුකමක් තියෙනවා. 

හෘද හා වකුගඩු රෝගීන්ට වෙනම කාමර පහසුම් හා වැසිකිළි පහසුකම් වෙන්කරලා තියෙනවා. හෘද රෝගීන් සැත්කම කළාට පසු මාසයක් දෙකක් විතර රෝහල ආසන්නයේ සිටින ලෙස වෛද්‍යවරුන් පවසනවා. ඒ අයට සායනවලට ඒමට සිදුවෙනවා. එවැනි රෝගීන්ට මේ තුළින් විශාල සේවාවක් සිදුවෙනවා. ඇත්තටම දැන් මෙකී ස්ථානය පවතින්නේ විහාරස්ථානයක් වගේ නෙවෙයි. නමුත් පන්සලක් තියෙනවා. හෙට අනිද්දා බෝධීන් වහන්සේ නමක් මෙහි රෝපණය කරනවා. විහාරයක් තිබෙනවා. චෛත්‍ය වහන්සේ  ගොඩ නැගීමට බලාපොරොත්තු වෙනවා. එකම දෙය තමයි දායකයන්ගෙන් දානය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විහාරස්ථානයක පහසුකම්ද මෙහි තිබෙනවා.

කිසිම ජාති  බේදයක්  ආගම් බේදයක් අපි  සලකන්නේ නැහැ. මුලින්ම මෙහි ලියාපදිංචි වෙලා තියෙන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉඳලා ආපු මුස්ලිම් පවුලක්. බෞද්ධ, ක්‍රිස්ත්‍රියානි, මුස්ලිම් අය බොහෝ පිරිසක් මෙහි පහසුකම් ලබලා තිබෙනවා. අප රෝගියෙක් වශයෙන් පමණයි බලන්නේ. මෙම ආයතනයේ කළමනාකරුවෙකු ඇතුළු තිදෙනෙක් ඉන්නවා. රෝගීන්ට උවටැන් කිරීමට සේවකයන් දෙදෙනෙකු ඉන්නවා. ඒ අයට අපි සතුටුවිය හැකි වැටුපක් ගෙවනවා.

ඇත්තටම මේ කරන වැඩෙන් මා ලොකු තෘප්තියක් ලබනවා. කරාපිටිය අවට මේ වගේ ස්ථාන 10ක් තිබුණත් මදි. ඒ නිසා මෙවැනි ස්ථාන ආරම්භ කරන්න කියලා ධානපතියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. ඉදිරියේදී  අංග විකල දරුවන් මෙම ස්ථානයට රැගෙනවිත් ඒ අයට කෑමබීමවලින් සංග්‍රහ කොට සතුටු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජිනේෂ් නානායක්කාර



Recommended Articles