මෙරට බුද්ධි අංශ සම්බන්ධයෙන් සමාජය පුරා දේශපාලනඥයන් සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන ව්‍යාජ තොරතුරු හේතුවෙන් රටට දිගුකාලීන හානියක් සිදුවීම වැළැක්විය නොහැකිය. බුද්ධි අංශවල සාමාජිකයන්ට මුහුණ දීමට සිදු වූ දෛවෝපගත සිදුවීම් රාශියක් තිබේ. අතුරුගිරියේ මිලේනියම් සිටි පාවා දීම ඒ අතර එක් සිදුවීමක් පමණි. සැබෑ සත්‍යය විකෘති කරමින් සිදුකරන පටු විවේචන සෑමවිටම කෙටිකාලීන සහ දිගුකාලීන ජාතික විනාශවලට අත වනන්නේය. මේ නිසා මෙම විෂය සම්බන්ධයෙන් කෙටි සටහනක් තැබීම වැදගත් යැයි සිතේ. අපි මින් ඉල්ලා සිටින්නේ රටේ කොඳු නාරටියේ ශක්තිය සඳහා ජීවය සපයන මෙම නිහඬ වීරයන්ව හිරිහැරයට පත්කිරීමෙන් වළකින ලෙසයි.
බුද්ධි අංශවල කාර්යභාරය තේරුම් ගැනීම සඳහා වෙනත් රටවල මෙන් අපේ රටේ ප්‍රමාණවත් පොතපත ලියැවී නැත. ඒ ගැන සාධනීය සංවාද සිදුවන්නේද නැත. මේ සඳහා දායකත්වය සපයන රෑ දහවල් නොබලා කටයුතු කරන අව්‍යාජ මිනිසුන් ගැන ප්රශස්ත ගී ගැයීමට කණ්ඩායම් නැත. නමුත් ඔවුන්ගේ සේවාවන් අප්‍රසන්න ලෙස විවේචනය කරමින් විවිධ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පමණක් ඇතැම්හු කටයුතු කරති. මෙය අතිශය අවාසනාවන්ත තත්ත්වයකි. ඔවුහු ගැන ප්රශස්ති ගී නොගැයුනාට කමක් නැත. වැදගත් වන්නේ ඔවුහු ගැන බොරු මතවාද පතුරුවා හැරීමෙන් වැළකීමය. රටේ බුද්ධි අංශ යනු කෝකටත් තෛලය ලෙස භාවිත නොකළ යුතුය.
මෙම සන්දර්භය තුළ, පටු දේශපාලන අරමුණු දිනාගැනීම වෙනුවෙන් මෙම විෂයපථය තුළ ඇති රාජ්‍ය රහස් සහ අනෙකුත් අගනාකම් නොමනා ලෙස අවභාවිත කිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මෙහි හොඳම උදාහරණය වන්නේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් පත්කරනු ලැබූ කොමිෂන් සභාවල ක්‍රියාකලාපයන්ය. එම කොමිෂන් සභා නොකළ යුතු කටයුතු රාශියක් සිදුකළ බව නිරීක්ෂණය කළ හැකිය. යම් සිදුවීමක පරීක්ෂණ සහ විමර්ශන සිදුකිරීම ජාතික වගකීමකි. නමුත් ඒවායේ මූලික අරමුණ විය යුත්තේ යළිත් එවැනි ප්‍රහාරයක් සිදුනොවීමට වගබලා ගැනීම සහ අනාගතයේදී මුහුණ දීමට සිදුවිය හැකි තර්ජන වලින් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමය. විවිධ බාධක මැද තම රාජකාරිය සිදුකරනු ලැබූ නිලධාරීන්ගෙන් අසාධාරණ පළිගැනීම සඳහා සහ ඔවුහුගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් එවැනි වාර්තා අවභාවිත නොකළ යුතුය.
ඉස්ලාමීය අන්තවාදයේ ප්රචණ්ඩත්වය ශ්‍රී ලංකාව අත්දකිනු ලැබූ පළමු ප්‍රධාන අවස්ථාව පාස්කු ප්‍රහාරය විය. ඒ වන විට රටේ ප්‍රධාන පාලකයන් දෙදෙනා දේශපාලනික වශයෙන් කුලල් කා ගනිමින් සිටියෝය. එම පාලකයන්ගේ පාලනයේ ස්වභාවය සමස්ත රටට පමණක් නොව ලෝකයටම විහිළුවක් වී තිබුණි. එවැනි වටපිටාවක රටේ මූලික ව්‍යුහය දිරායමින් තිබුණි. ජාතික ආරක්ෂාව එතරම් සැලකිය යුතු විෂයක් බවට ඔවුහු කිසිවෙකුත් නොසැලකූහ. හුදු හිස් වචන පමණක් භාවිත කරමින් තම අසමත්කම් වසා ගැනීමට උපරිමයෙන් උත්සාහය ගත්තෝය. පාස්කු ප්‍රහාරය මෙම දේශපාලන නොසැලකිල්ල හේතුවෙන් මුහුණදීමට සිදු වූ ඛේදවාචකයකි. ඊට කදිම නිදසුන එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක විසින් අමාත්‍ය මද්දුම බණ්ඩාරට යවනු ලැබූ ලිපියයි. කොමිෂන් සභා යම්කිසි පුදුම සහගත නොදන්නා හේතුවක් නිසා එවැනි වැදගත් ලිපි නොසලකා හැර ඇත.
පැරණි සතුරා මුළුමනින්ම පරාජය කිරීමෙන් පසු නව සතුරෙකු රටේ ජාතික ආරක්ෂාවට අභියෝග කරන අවස්ථාවකදී වැදගත් වන්නේ එම සතුරාගේ පරාසය සහ ක්රමෝපායන් තේරුම් ගැනීමය. මෙහිදී පළමුවෙන්ම අවබෝධ කරගත යුතු කාරණයක් තිබේ. එනම්, මෙරට කොටසක් කඩා ගැනීමේ අරමුණින් සටන් කළ පැරණි සතුරා තනි පුද්ගලයෙකු කේන්ද්‍ර කරගනිමින් බිහි වූ ත්‍රස්තවාදී සංවිධානයකි. නමුත් නව සතුරා දෘෂ්ටිවාදයක් මූලික කරගෙන බිහි වූ ත්රස්තවාදීන් පිරිසකි. නව සතුරා වන ඉස්ලාමීය අන්තවාදය තේරුම් ගැනීම සඳහා පැරණි සතුරා ගැන අවබෝධ කර ගැනීමට භාවිත කළ ක්‍රමවේදය ගැළපෙන්නේ නැත. නමුත් බොහෝ දෙනෙකු විසින් එම අත්වැරැද්ද සිදුකරති. මේ නිසා සහරාන්ට එහා ගිය තව පුද්ගලයෙකු සිටිය හැකිය, ආදී වශයෙන් වූ කුමන්ත්‍රණ න්‍යායන් මෙම ගැඹුරු සමාජ ගැටලුව තේරුම් ගැනීම සඳහා භාවිත කරති.
මෙම මූලික කාරණය නිවැරදිව තේරුම්ගත් බවක් මේ සම්බන්ධයෙන් කතාකරන බොහෝ දෙනෙකුගෙන් පෙනෙන්නේ නැත. අවාසනාවට මෙන් මේ සම්බන්ධයෙන් දැඩි උවමනාවක් ඇතැයි පෙන්වන කාර්දිනල් හිමිද මේ ගැන පුළුල් අවබෝධයකින් කතාකරන බවක් පෙනෙන්නට නැත. බොහෝදෙනෙකු මේ ගැන කතා කිරීමේදී ඕපාදූපකාරයෝ බවට පත්වූහ.
මෙම නව සතුරාගේ පළමු ප්‍රහාරය විමර්ශනය කිරීමට ගොස් මෙරට බුද්ධි සේවාවන් වල මානව සහ තාක්ෂණික සම්පත් ගැන ලෝකයට හෙළිදරව් කිරීමෙන් සිදුවූ හානිය නිසා රටට අගතියක් සහ අවාසියක් සිදුවීමේ වැඩි ඉඩකඩක් තිබේ. මෙය සිදුනොවිය යුතු කාරණයකි. හෙළිදරව්කොට ජාතික මට්ටමේ සංවාද ඇති කළයුතු කාරණා රාශියක් තිබුණද, රටට අහිතකර කාරණා ගැන පමණක් අවධානය යොමුකිරීමේ ප්‍රවණතාවයක් තිබීම අවාසනාවන්තය. මෙවැනි තත්ත්වයක රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන පිරිස් අධෛර්යයට පත්වීම වැළැක්විය නොහැකිය. රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අපි සිහින දකින්නේ නම් මෙම අඥාන පුරුදු අත්හැර ගැනීම වහාම කළයුතු නොවේද?
රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ රටේ බොහෝ ක්ෂේත්‍ර ගැන විශාල කැපවීමකින් සේවය කරයි. ඔවුනට ඇති ඉතා අඩු පහසුකම් යටතේ සිදුකරන මෙම සේවාවන් ගැන ඇගයීමක් නැතත්, පටු විවේචන පමණක් දක්නට ලැබේ. රටේ බොහෝ දෙනෙකු පටු විවේචකයන් මිස පුරවැසියෙකු ලෙස තමන්ගෙන් රටට සිදුවිය යුතු වගකීම් ගැන සිහිනෙන්වත් නොසිතති. මෙය වෙනස් විය යුතුය.