බෞද්ධ සාහිත්‍යය උළෙල හෙට (19දා) සවස 2.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත. නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2018 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළ බෞද්ධ සාහිත්‍ය කෘතීන් ඇගයීමට ලක්කොට, සම්මාන ප්‍රදානය කිරීමට නියමිත මෙම උළෙල සඳහා ග්‍රන්ථ 13කට වැඩි ප්‍රමාණයක් නිර්දේශිත වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් මහැඳුරු ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන් සහ ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් අනුස්මරණ සම්මාන දෙකක් විද්වත් ප්‍රභූවරුන් දෙදෙනෙකුට පිරිනැමීමටද බෞද්ධ සාහිත්‍ය කමිටුව සංවිධානය කර ඇත.
බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව බෞද්ධ සාහිත්‍ය උත්සවය සංවිධානය කරයි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර සියයක් සපිරෙන මෙම වසරේ පවත්වන බෞද්ධ සාහිත්‍ය උත්සවය සම්බන්ධයෙන්, බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා මෙලෙස අදහස් දැක්වීය.
බෞද්ධ සාහිත්‍යය වෙනුවෙන් යමක් කළ යුතුයි කියන තීරණයට අපි ආවේ මීට වසර 13කට පෙරය, සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. මේ නිසා 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී සාහිත්‍ය සතියක් පවත්වන්න අපි කටයුතු කළා. එහිදී අපිට අවශ්‍ය වුණේ සාහිත්‍යය වෙනුවෙන් බුද්ධ ශාසනයෙන් සිදුවුණ සේවාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ඇගයීමට ලක්කිරීමයි. එහිදී සාහිත්‍ය දේශන මාලාවක්, සාහිත්‍ය කෘතීන් ඇගයීමක් වැනි දේවල් සිදුකළා.
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දවසේ සිට අපේ රටේ බුද්ධ ශාසනය පෝෂණය වෙලා ස්ථාපිත වුණා. මේ නිසාම බුද්ධ ශාසනයෙන් තොරව සාහිත්‍යය ගැන කතා කරන්න බැහැ.
පසුගිය වසර ගණනාව පුරාවටම රාජ්‍ය සාහිත්‍ය උත්සව ආදී විවිධ සාහිත්‍ය උත්සව මගින් කෘතීන් ඇගයීමට ලක් කළා. නමුත් බෞද්ධ සාහිත්‍ය කෘතීන් ඇගයීම විශේෂයෙන් සිදුනොවුණ නිසා බෞද්ධ සාහිත්‍ය උළෙලක් මගින් එය සිදුකරන්න අපි කල්පනා කළා.
සාහිත්‍ය උළෙල වලින් පොත් අගයනවා. නමුත් අපේ කලා කෂේත්‍රයට විශේෂ කැපවීමක් කරන අය ඇගයීමක් ලෙස විශේෂ සම්මාන දෙකක් මේ සාහිත්‍ය උළෙලේදී හඳුන්වා දුන්නා.
ඒ අනුව අපේ හිටපු සභාපතිවරයෙක් වන මහාචාර්ය ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන්ගේ නමින් ‘මලලසේකර ගුණානුස්මරණ ඇගයීමක්’ සිදුකරන්නත්, ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් වෙන සෝලිස් මෙන්දිස් ශ්‍රීමතාණන්ගේ නමින් චිත්‍ර ශිල්පීන් සඳහා ඇගයීමක් කරන්නත් අපි තීරණය කළා. එය අඛණ්ඩව සිදුකරගෙන ආවා. ඒ වගේම සෑම වර්ෂයකම බෞද්ධ සාහිත්‍ය උළෙලට සමගාමීව බෞද්ධ නායකයන් ඇගයීමටත් කටයුතු කළා.
මෙවර සාහිත්‍ය උළෙලේ විශේෂත්වය ගැන කතා කළොත් සාහිත්‍ය පොතපත ඇගයීමට ලක්කිරීමට අමතරව ගීත සාහිත්‍යය සඳහාත් ඇගයීම් ලබාදීමට අපි තීරණය කළා. ඒ අනුව බෞද්ධ ගීත රචනා කළ, ගායනා කළ පිරිස් විශේෂ ඇගයීමකට ලක්කිරීම මෙවර සිදුකරනවා. මේ වසරේ සිට ඉදිරියට එය සිදුකරන්න බෞද්ධ මහා සම්මේලනය බලාපොරොත්තු වෙනවා.
2018 වසරේ ප්‍රකාශයට පත්වුණ කෘතීන් සැලකිල්ලට ගනිමින් ඒ අතරින් කාණ්ඩ කිහිපයක් යටතේ විශිෂ්ට කෘතීන් මෙවර බෞද්ධ සාහිත්‍ය උළෙලට තෝරා ගන්නවා. ඒ අනුව මෙවර කෘතීන් 13කට වැඩි ප්‍රමාණයක් නිර්දේශ වී තිබෙනවා.
ඒවා නම්,
කේ.ඩබ්.ආර්.එම්.ආර්. චාමිකර බණ්ඩාර පිළපිටිය රචනා කළ ‘මහනුවර යුගයේ අප්‍රකට විත්ති’ පළවන සහ දෙවන වෙළුම, මහාචාර්ය ටී.ජී.කුලතුංග රචනා කළ ‘අනුරාධපුර මහා විහාරය’, ගයාන් චානුක විදානපතිරණ රචනා කළ ‘ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව’, චන්ද්‍රසිරි පල්ලියගුරු රචනා කළ ‘මහබිසෝ ලීලාවතී’, පූජ්‍ය ලේල්වල අරියධම්ම හිමි රචනා කළ මහාසමය සූත්‍රය හා සමයාන්තර දේව සංකල්පය’, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා රචනා කළ ‘සිංහල අකුරු පුරාණය’, පණ්ඩිත අශෝක කරුණාරත්න රචනා කළ ‘සිදුහත් මෙහෙසි යශෝධරා - කාව්‍ය’, රත්න ශ්‍රී විජේසිංහ රචනා කළ ‘රන් තැටියට ගී සිංදු’, ඒ.එල්.එස්. අබේවික්‍රම රචනා කළ ‘ගිනි කබල සහ රන් පලස’, වෑතර මහින්ද හිමි රචනා කළ ‘දතක මහිම’, ප්‍රේමරත්න සමරනායක රචනා කළ ‘මහාමානව’, පූජ්‍ය දම්පේ විජිතරතන හිමි රචනා කළ ‘ශ්‍රී ශාක්‍යමුනීන්ද්‍රාවදාන මහා කාව්‍යය’, අතුල ජයදේව රචනා කළ ‘ස්වර වැස්සට තෙමී’ ග්‍රන්ථයි.