බින්දුවේ සිට ඉහළට පැමිණි බංග්ලාදේශයේ කතාව


කරුණු හයේ ව්‍යාපාරය හෙවත් නිදහසේ ප්‍රඥප්තිය

‘මිනිසෙකු වශයෙන්, මනුෂ්‍ය වර්ගයා ගැන සැලකිලිමත් වන දේ මට අදාළ වේ. බෙංගාල ජාතිකයෙකු ලෙස මම බෙංගාලයන් සම්බන්ධ සෑම දෙයකටම ගැඹුරින් සම්බන්ධ වෙමි. මෙම ස්ථිර මැදිහත්වීම ආදරයෙන් උපත ලබා සදාකාලීක  ආදරයෙන්  පෝෂණය වේ., එය මගේ දේශපාලනයට සහ මගේ පැවැත්මට අර්ථයක් ලබා දෙයි.’ - බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්

(3.5. 1973)

නිදහස් රාජ්‍යය පරිපාලනයක් උදෙසා පාකිස්තානයට එරෙහිව බංගලාදේශයේ විමුක්තිකාමීන් විසින් සිදුකළ සන්නද්ධ අරගලය ජයග්‍රහණය කොට මේ වසරේ දෙසැම්බර් 16 වන දිනට එනම් අද දිනට වසර පනහක් සම්පූර්ණ වේ. ගෙවුණු වසර පනහක කාලය තුළ බංගලාදේශයේ ගමන් මග ගැන විමසා බැලීම කාලෝචිතය.  මන්ද, දේශපාලන සහ හමුදා කුමන්ත්‍රණවලින් පමණක් නොව ස්වභාවික විපත්වලින් ගහන වූ අස්ථාවර භූමියක නැගෙනහිර පකිස්තානය  1971 දී බංග්ලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම දකුණු ආසියානු දේශපාලනයේ තීරණාත්මක සිදුවීමක් නිසාය. 1971 වන විට මිලියන 75ක් ජීවත් වූ බංගලාදේශයේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 100 ට වඩා අඩු විය නමුත් මේවන විට එය ඩොලර 2140 ට ආසන්නය. 1990 වන විට රටේ මුළු ජනගහනයෙන් 56%ක් අන්ත දුගීභාවයෙන් පෙළුණු අතර එය 2018 වන විට 21.8% දක්වා අඩුකොට ඇත. දේශීය මුදල් ඒකකය වන ටකා සැලකිය යුතු මට්ටමිකින් ස්ථාවර වී ඇති අතර මූල්‍යය වාර්තාවලට අනුව බංගලාදේශයේ විදේශ විනිමය සංචිතය 2021 ඔක්තෝබර් මාසය වන විට ඩොලර් මිලියන 46459.30 දක්වා වර්ධනය වී ඇත. බංගලාදේශයේ භූමි ප්‍රමාණයෙන් 80%ක් මුහුදු මට්ටමේ සිට මීටර් 12ට වඩා අඩුය. එක් ඇස්තමේන්තුවකට අනුව, එරට වර්තමාන ජනගහන වර්ධනයේ සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ මට්ටම අනුව, 2050 වන විට බංග්ලාදේශයේ මිලියන 300ක ජනතාවකට ජීවත් වීම සඳහා ඇති භූමි ප්‍රදේශයේ විශාලත්වය වන්නේ වර්ග කිලෝමීටර් 120,000කි. ඒ අනුව රටේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 2,500ක් හෝ ඊට වඩා වැනි වනු ඇත. මේ අතර ගංගා ඉවුරු ඛාදනය නිසා බංගලාදේශයේ වාර්ෂිකව 100,000 කට වැඩි පිරිසක් අවතැන් වන බව ඇතැම් ඇස්තමේන්තු පෙන්වා දී ඇත. මුහුණ දෙමින් සිටින අභියෝග හමුවේ රටේ සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සඳහා ක්‍රියකාරී සැලසුම් ගණනාවක් සකස් කොට තිබේ. පසුගියදා පවති එක්සත් ජාතීන්ගේ COP26 දේශගුණික සමුළුවේදී එලි දැක්වූ මුජිබ් දේශගුණික සෞභාග්‍ය සැලැස්මට අනුව රටේ බලශක්ති ඉල්ලුමෙන් 40% ක් 2041 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සහතික කිරීමට සැලසුම් කොට ඇත.  ගෙවී ගිය වසර 50ක කාලය පුරා ඇතැම් රාජ්‍යයන්  බංකොලොත් විය, තවත් රාජ්‍යයන් සංවර්ධන ඉලක්ක කරා ගමන් කළේය.  පකිස්තාන මධ්‍යම ආණ්ඩුවේ උග්‍ර මර්දනයට මුහුණ දෙමින් තිබු භූමිය පසු කාලයකදී ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන රාජ්‍යයක් බවට පත්වූයේ කෙසේද. මිලියන තුනක පමණ ජනතාවක් ඝාතනය වී තවත් මිලියන දහයක් පමණ සරණාගතයින් බවට පත්කළ කුරුරු යුද්ධයකින් පසු ගෙවී ගිය වසර පනහක කාලය තුළදී සිදුවූ බංග්ලාදේශයේ රූපාන්තරණය ගැන සිදුකෙරෙන විමසා බැලීම වැදගත් වන්නේ ඒ  නිසාය.  

නැගෙනහිර පාකිස්තානය පුරා කාලයක් තිස්සේ මතුවෙමින් තිබු විරෝධය කෙසේ හෝ යටපත් කොට තම බලය රැක ගැනීම පාකිස්තාන ආණ්ඩුවේ අරමුණ විය.   පාකිස්තාන හමුදාව විසින් 1970 දෙසැම්බර් මාසයේදී සර්ච්ලයිට් මෙහෙයුම  රහසිගතව ආරම්භ කරනු ලැබුවේ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහාය. ඒ වන විටත් මුජිබුර් රහ්මාන්, තාජුදීන් අහමඩ්, ජෙනරාල් එම්.ඒ.ජී. ඔස්මානි, අබ්දුල් කාදර් සිද්දික්,ෂියායුර් රහ්මාන්, ඇතුළු විශාල පිරිසක් තම දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් අරගල ආරම්භ කොට වසර ගණනාවක්  ගත වී ගොස්ය.  ඇතැමෙකු සිරගත කොටය. තවත් අයෙකු ගරිල්ලන් සමග වනගත වී සටන් කරමින් සිටියෝය.

නැගෙනහිර පාකිස්තානයට වඩාත් පුළුල් වූ ස්වයං පාලනයක් ඉල්ලා සිටි ෂෙයික් මුජිබර් රහ්මාන් විසින් මෙහෙයවන ලද කරුණු හයේ ව්‍යාපාරය ව්‍යාපාරය විසින් ආණ්ඩුවට එරෙහිව ජනතාව විශාල වශයෙන් ඒකරාශිකොට තිබුණි. රෙහ්මාන් සෝබාන්, නුරුල් ඉස්ලාම් සහ කයිරුල් කබීර් ප්‍රමුඛ බුද්ධිමතුන්  විසින්  කෙටුම්පත් කොට අවාමි ලීගය විසින් සමාජගත කරනු ලැබූ මූලික කරණු හය  බංගලාදේශ ජාතිකයන්ට නව බලාපොරොත්තුවක් ලබා දීමට සමත් විය. එය නිදහසේ ප්‍රඥප්තිය  ලෙස හැඳින්වූයේ ඒ නිසාය.

ඊට මාස කිහිපයකට පෙර සෝවියට් දේශයේ මැදිහත්වීමෙන් ඉන්දු-පකිස්තාන යුද්ධය අවසන් වීමෙන් පසු දෙපාර්ශවය අතර සාමය පවත්වා ගැනීම සඳහා ටස්කෙන්ට් ගිවිසුම 1965 දී අත්සන් කරනු ලැබීය. ගිවිසුමේ කරුණු නොසලකා හරිමින් පාකිස්තාන ආණ්ඩුව නැගෙනහිර පාකිස්තානයේ ජනතාවගේ ආර්ථික විෂමතාවයන් සහ දුක්ගැනවිලි වලට දැක්වුයේ උදාසීන ප්‍රතිචාරයකි. එම තත්වය  මධ්‍යම ආණ්ඩුවට එරෙහිව නැගෙනහිර පාකිස්තානය පුරා ව්‍යාප්ත වී තිබු සමාජ කණ්ඩායම් සහ දේශපාලන ව්‍යාපාර වලට උත්ප්‍රේරකයක් විය. 1955 පෙබරවාරි මාසයේදී ස්වාධීනත්වය උදෙසා වූ ප්‍රධාන කඩඉමක් පසු කිරීමට එම කණඩායම් වලට හැකි වූ එහි ප්‍රතිඵලයක් ලෙසය. එහිදී ඉදිරිපත් කළ කරුණු හය ගැන අවදානය යොමු කිරීම ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරෙය් ප්‍රධාන අරමුණු ගැන අවබෝධ කර ගැනීම සඳහා ඉතා වැදගත්ය. බංගලාදේශයේ අනාගතය තීන්දු කළ එක් ප්‍රධාන ලියවිල්ලක් වන්නේ මෙයයි.

01. ලාහෝර් යෝජනා ප්‍රකාරව සන්දීය ආණ්ඩුක්‍රමයක් හඳුනවා දී, ඒ සඳහා නියෝජිතයින් පත්කිරීමට සර්වජන ඡන්ද බලය  ව්‍යවස්ථානුකූලව ලබා දිය යුතුය

02. මාධ්‍යම ෆෙඩරල් රජය ආරක්ෂක සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් පමණක් කටයුතු කළ යුතු අතර අනෙකුත් සියලුම අවශේෂ විෂයන් ෆෙඩරල් ප්‍රාන්ත ආණ්ඩුව වෙත පැවරිය යුතුය.

03. නිදහසේ හුවමාරු කළ හැකි මුදල් වර්ග දෙකක් හඳුන්වාදිය යුතුය. එය කළ නොහැකිනම් බටහිර සිට නැගෙනහිරට ප්‍රාග්ධනය සංසරණය වීම ව්‍යවස්ථානුකූලව නවත්වා සමස්ත රටටම තනි මුදල් ඒකකයක් හඳුන්වා දිය යුතුය.   තවද, වෙනම බැංකු සංචිතයක් ස්ථාපිත කළ යුතු අතර නැගෙනහිර පකිස්තානය සඳහා වෙනම මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.

04. බදු අයකිරීමේ සහ ආදායම් එකතු කිරීමේ බලය සන්ධීය ඒකක (ෆෙඩරේටින් යුනිට්ස්) වෙත පැවරිය යුතු නමුත් මධ්‍යම ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් බලයක් නොතිබිය යුතුය. නමුත් මධ්‍යම ආණ්ඩුවේ ( ෆෙඩරේෂන්) වියදම් පියවා ගැනීම සඳහා රාජ්‍ය බදුවලින් කොටසක් හිමිවිය යුතුය.

05. විදේශ විනිමය ඉපැයීම් සඳහා මධ්‍යම ආණ්ඩුවට සහ ෆෙඩරල් ප්‍රාන්ත ආණ්ඩුවට වෙනම ගිණුම් දෙකක් තිබිය යුතුය. ෆෙඩරල් රජයේ විදේශ විනිමය අවශ්‍යතා  මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු දෙක සමානව හෝ නියම කළ යුතු අනුපාතයකින් සපුරාලිය යුතුය; දේශීය නිෂ්පාදන මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්තය අතර තීරුබදු රහිතව හුවමාරු කළ යුතු අතර විදේශ රටවල් සමඟ වෙළඳ සබඳතා ඇති කර ගැනීමට ව්‍යවස්ථානූකූල බලයක් ප්‍රාන්ත ආණ්ඩුවට ලබාදිය යුතුය.

06. නැගෙනහිර පකිස්තානයට වෙනම උපහමුදාවක් (මිලීෂියාවක්) හෝ පැරාමිලිටරි බළකායක් තිබිය යුතුය.

1966 පෙබරවාරි මාසයේදී එළිදක්වා මාර්තු මාසයේදී රට පුරා බෙදා හරිනු ලැබූ මෙම කරුණු හයට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණි. එසේම බලාපොරොත්තු වූ පරිදිම එය පාකිස්තාන ආණ්ඩුවේ වෛරයට පාත්‍ර විය. තමන්ගෙන් වෙන්වීමට මාන බලන නැගෙනහිර පාකිස්තානය කෙසේ හෝ රඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අයුබ් ඛාන්ගේ ආණ්ඩුව තීන්දු කළේය. 1958 දී හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ බලයේ සිටි ඉස්කන්දර් මිර්සා බලයෙන් පහකොට රටේ බලය අල්ලාගෙන පාකිස්තානයේ දෙවන ජනාධිපතිවරයා බවට පත්වූ ෆීල්ඩ් මාර්ෂල් අයුබ් ඛාන් මුහුණ දෙමින් සිටියේ තම ධූරකාලයේ දැවැන්තම අභියෝගයටය.  

නැගෙනහිර පාකිස්තානය පුරා මහජන විරෝධතා එන්න එන්නම පුළුල් විය. 1966 ජූනි 7වෙනිදා අවාමි ලීගය විසින් රට පුරා හර්තාලයක් කැඳවීය. ඒ කලාපීය ස්වයං පාලනයක් සඳහා වූ ඓතිහාසික කාරණා හයේ වැඩසටහනට සහාය දැක්වීම සඳහාය. හර්තාලයට සති කිහිපයකට පෙර එනම් මැයි

8වැනිදා පක්ෂයේ නායක බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන් අත්අඩංගුවට ගත් නමුත් අනෙකුත් නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන්  විසින් මෙම දීප ව්‍යාප්ත හර්තාලය කැඳවනු ලැබීය. එය ඉතාම සාර්ථක විය. අයුබ් ඛාන්ගේ ආණ්ඩුව විසින් බංගබන්ධු අත්අඩංගුවට ගත් අටවන අවස්ථාව එය විය. එය පෙර අවස්ථාවලදී කළ අත්අඩංගුවට ගැනීම්වලට වඩා වෙනස් විය. මන්ද, එවර ඔහු වසර තුනක් එනම් 1969 දක්වා සිරකොට තැබීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කළේය. නායකයන් සිරගතකිරීම් සහ අනුගාමිකයින් මර්දනය කිරීම මඟින් ආණ්ඩුව බලාපොරොත්තුව වූයේ නිදහස් ව්‍යාපාරය කෙසේ හෝ  කඩා බිඳ දැමීමය. නමුත් ඒ වෙනුවට සිදු වූයේ බංගලාදේශ ජාතිකයන් ස්වයංපාලනය වෙනුවෙන් කළ සටන තව තවත් ශක්තිමත් වීම පමණි.

- සටහන නිලන්ත ඉලංගමුව

1956 පෙබරවාරි 26 දින අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් ෂෙයික් මුජිබර් රහ්මාන්, චීන අගමැති චෞ එන්-ලායි (ෂෝ එන්ලායි)ගේ ඩකා සංචාරය අතරතුර පිළිගැනීමේ කතාව කියවූ අවස්ථාව. පාකිස්තානයේ අගමැති හුසේන් ෂහීඩ් සුහුරවර්ඩිද ඊට සහභාගි වී සිටියේය. 

 චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ මාඕ සේ තුං සමඟ ෂෙයික් මුජිබර් රහ්මාන් (ඔක්තෝබර්, 1957).

දෙවන කොටස හෙට...



Recommended Articles