බින්දුවේ සිට ඉහළට පැමිණි බංග්ලාදේශයේ කතාව - 02


අගර්තාලා කුමන්ත්‍රණ නඩුවෙන් චූදිතයන් නිදහස් වෙයි

1947දී ඉන්දියාව සහ පාකිස්තානය දෙකඩ වූ විට නැගෙනහිර පාකිස්තානයට නව ජාතික රාජ්‍යයක් සඳහා අවශ්‍ය දේශපාලන සාධක බොහෝමයක් තිබුණි. නැගෙනහිර පාකිස්තානයේ, බටහිර පාකිස්තානයට වඩා විශාල ජනගහනයක් ජීවත් වන අතර, බෙංගාලි ප්‍රජාව සාම්ප්‍රදායිකව දකුණු ආසියාවේ බුද්ධිමත් නායකයන් බිහි කර ඇත.

“1971 මාර්තු 01වැනි දින ලියනු ලැබූ සී.අයි.ඒ. - බුද්ධි සමාලෝචනය (නැගෙනහිර පාකිස්තානය: ස්වාධීන ජාතියක්ද?)”

අයුබ් ඛාන්ගේ ආණ්ඩුව ෂෙයික් මුජිබර් රහ්මාන් (ෂෙයික් මුජිබ්) සහ ඔහුගේ සගයින් 34දෙනෙකු අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීමෙන් පසු නැගෙනහිර පාකිස්තානය පුරා මහජන විරෝධය තවත් උග්‍ර විය. පාකිස්තාන ආණ්ඩුව එම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා පවසා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස ඉන්දියාව සමග එකතු වී දේශද්‍රෝහී කුමන්ත්‍රණයක නිරත වන බවයි.

වසර දෙකකට ආසන්න කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි යුහුසුළුව එකතු කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව කුමන්ත්‍රණකරුවන්ට එරෙහි නඩුව 1968 මුල් භාගයේදී ගොනු කරන ලදී. මෙම නඩුව නිල වශයෙන් රාජ්‍යයට එදිරිව ෂෙයික් මුජිබර් රහ්මාන් සහ තවත් අය ලෙස හැඳින්වේ. ඉන්දියාවේ ත්‍රීපුර ප්‍රාන්තයේ අගර්තලා නගරයේදී ෂෙයික් මුජිබ්ගේ සගයන් ඉන්දීය හමුදාව හමුවූ බවත්, එහිදී ඔවුහු පාකිස්තානයට එරෙහිව කුමන්ත්‍රණය කළ බවත් චූදිතයන්ට එරෙහිව එල්ල වූ චෝදනාව විය. මේ නිසා මෙම නඩුව අගර්තලා කුමන්ත්‍රණ නඩුව හෙවත් අගර්තලා ෂෝජොන්ට්‍රෝ මාම්ලා ලෙස හැඳින්වේ.

අත්අඩංගුවට ගත් චූදිතයන් බොහෝමයක් හමුදා සාමාජිකයන් වූ බැවින් විත්තිකරුවන් යුද අධිකරණයක් මගින් විභාග කිරීමට පාකිස්තානය මුලදී තීරණය කළේය. එහෙත් 1970දී පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයට පෙර ඊට ඉදිරිපත් වීමට සිටි දේශපාලනඥයන් වැරදිකරුවන් බවට පත් කිරීම සහ නඩු විභාගයට විනිවිදභාවය ලබාදීම සඳහා එය සිවිල් අධිකරණයේදී විභාගයට ගැනීමට පසුව තීරණය කරනු ලැබීය.

කුමන්ත්‍රණයට සහාය දීමේ චෝදනා මත ආරම්භයේදී දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවද අවසානයේ චෝදනා එල්ල කිරීමට හැකි වූයේ 35දෙනෙකුට පමණි. ඩකා නගරයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි චූදිතයන් කඩිනම් නඩු විභාගය සඳහා නගරයේ පිහිටි ප්‍රධාන හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබීය.

විත්තිකරුවන්ට නඩු පැවරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන ලද අතර, විශේෂ විනිශ්චය සභාවක් යටතේ නඩු විභාගය 1968 ජුනි 19වැනිදා ආරම්භ විය. නඩු විභාගය ඩකා හමුදා කඳවුරේ ආරක්ෂිත කුටියක් තුළ සිදු විය. මුජිබර් රහ්මාන් තම දේශපාලන අදහස්  සමාජගත කිරීමට සහ අවාමි ලීගයේ දේශපාලන ඉල්ලීම් ප්‍රචලිත කිරීම සඳහා මෙම නඩු විභාගය අවස්ථාවක් කර ගත්තේය. ඔහුට එරෙහිව එල්ල වූ දීර්ඝ චෝදනා පත්‍රය සාක්‍ෂිකරුවන් 227කින් සහ අනුමත කරන්නන් 07දෙනෙකුගෙන් සමන්විත විය.

ත්‍රිපුද්ගල විනිසුරු සභාව බෙංගාලි ජාතිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත විය. නීතිපති ටී.එච්. ඛාන් සහ හිටපු විදේශ අමාත්‍ය මන්සූර් ක්වාඩර් විසින් රජයේ පාර්ශ්වය නියෝජනය කළ අතර, බ්‍රිතාන්‍ය ජාතික නීතිඥයකු වූ තෝමස් විලියම්ස්, ප්‍රාදේශීය නීතිඥයන් සමග එක්ව ෂෙයික් මුජිබ්ට පක්ෂව පෙත්සමක් ගොනු කරමින් ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය සභාව පිහිටුවීම අභියෝගයට ලක් කළේය. අනුමත කරන්නන් සාක්කි කූඩුවේ පෙනී සිටි අතර, ඔවුන්ට රජයේ බලහත්කාරය නිසා බොරු සාක්ෂි ලබාදීමට සිදු වූ බව පිළිගත්හ.

ඒ වනවිට ජනතාව අතර කීර්තියට පාත්‍ර වී සිටි දේශපාලනඥයෙකු වූ ෂෙයික් මුජිබ් ඉන්දියානු නියෝජිතයෙකු සහ බෙදුම්වාදියෙකු බව ඔප්පු කිරීමට පාකිස්තාන ආණ්ඩුව දැඩි උත්සාහයක් දැක්වීම ජනතාව අතර ආණ්ඩුව තවදුරටත් ප්‍රතික්ෂේප වීමට හේතු විය. ඒ නිසා බොහෝ දෙනෙකු මෙම නඩු විභාගය නැගෙනහිර පාකිස්තාන ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කර තවදුරටත් ඔවුහු මර්දනය කිරීම සඳහා සිදුකරනු ලබන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ලෙස සැලකූහ. ඊට එරෙහිව මහජන විරෝධය තව තවත් පුළුල් වූයේ ඒ නිසාය. එම විරෝධය ජාතික මට්ටමේ පුළුල් ව්‍යාපාරයක් බවට පත් විය. එම මහජන ව්‍යපාරයට අදාළ නඩුව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් සියලුම සිරකරුවන් නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බලකරනු ලැබීය. 1969 පෙබරවාරි 06වැනිදා අදාළ නඩු විභාගය අවසන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණද වර්ධනය වූ මහජන විරෝධය හේතුවෙන් එය වෙනස් කරනු ලැබීය.

මේ අතර 1969 පෙබරවාරි 15වැනි දින උදෑසන සිරකරුවන් ආරක්ෂා කිරීම සඳහා ස්ථානගත කර සිටි පාකිස්තාන හමුදාවේ සාජන්වරයෙකු විසින් සාජන් සහුරුල් හක්ට, ඔහු රඳවා සිටි සිරකුටිය තුළදීම වෙඩි තබා ඝාතනය කළේය. මෙම ඝාතනය සැලවීමත් සමග කෝපාවිෂ්ට වූ ජනතාව රජයේ ප්‍රධාන නීතිඥවරයා සහ විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා රැඳී සිටි රාජ්‍ය අමුත්තන්ගේ නිවසට සහ අනෙකුත් රජයේ ගොඩනැගිලිවලට ගිනි තැබූහ. ඔවුන්ට සිදුවූයේ එම ස්ථානවලින් රහසිගතව ඉවත් වීමටය. ගිනි තැබීම හේතුවෙන් නඩු විභාගයට අදාළ ඇතැම් ලිපිගොනු සහ සාක්ෂි ගිනිබත් විය.

මහජන විරෝධය තව තවත් පුළුල් වූ අතර, ආණ්ඩුවට නඩුව ඉල්ලා අස්කර ගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. ඒ අනුව 1969 පෙබරවාරි 22වැනිදා අගර්තාලා කුමන්ත්‍රණ නඩුව පාකිස්තාන ආණ්ඩුව විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී. චූදිතයන් සියලුම දෙනා පසුදින නිදහස් කරනු ලැබීය. සිරෙන් නිදහස් වූ ෂෙයික් මුජිබර් රහ්මාන් ඇතුළු පිරිසට සහයෝගය දැක්වීම පිණිස ධකා නුවර පිහිටි රම්නා තුරඟ තරග පිටියේදී විශාල පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එම පිළිගැනීමේ උත්සවයේදී ඔහුට බංගබන්ධු හෙවත් %බෙංගාලයේ මිත්‍රයා^ යන විශේෂ නාමය  පිරිනමන ලදී.

මෙම තුරඟ තරග පිටිය වර්තමානය්දී සුහ්‍රවර්ඩි උද්‍යාන් ලෙස නම් කර ඇත්තේ 1946-1947 කාලය තුළදී බෙංගාලයේ අගමැති සහ 1956-1957 කාලයේදී පාකිස්තානයේ අගමැති ලෙස කටයුතු කරනු ලැබූ හුසේන් ෂහීඩ් සුහ්‍රවර්ඩිට ගෞරවයක් වශයෙනි. 1946දී සිදු වූ කල්කටා ඝාතනවලට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයෙකු ලෙස සැලකෙන හෙතෙම ඉන්දීය සමාජය තුළ %බෙංගාලයේ මස් වෙළෙන්දා^ ලෙස හැඳින්වුවද බංග්ලාදේශයේ ඔහු මහත් ගෞරවයට පාත්‍ර වූ චරිතයකි. ඔහු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ප්‍රධාන දේශපාලන උපදේශකයා ලෙස පිළිගැනේ.

සාක්ෂි නොමැතිකම නිසා අගර්තාලා කුමන්ත්‍රණ නඩුව හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවුවද එවැනි කුමන්ත්‍රණයක් සැබවින්ම සිදු වූ බව ඊට සහභාගි වූ කුමන්ත්‍රණකරුවන් පසු කාලයකදී පිළිගත්හ. ඊට සහභාගි වූ එක් කුමන්ත්‍රණකරුවෙකු වූ පසු කලෙක බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය දැරූ ෂවුකට් අලි හෙළිදරව් කරනු ලැබුවේ ඔවුන්ට එරෙහිව පාකිස්තාන ආණ්ඩුව එල්ල කළ චෝදනා නිවැරදි බවය.  

කෙසේ වෙතත් බටහිර පාකිස්තානයේ මධ්‍යම ආණ්ඩුව තුළ තිබූ දේශපාලන අස්ථාවරත්වය සහ අයුබ් ඛාන්ගේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්වී තිබීම මෙන්ම දේශපාලන කටයුතුවලට හමුදා නිලධාරීන්ගේ ඍජු මැදිහත්වීම නිසා නැගෙනහිර පාකිස්තානයේ සිදුවූ දේශපාලන අරගලයේ ගැඹුර තේරුම් ගැනීමට සහ ඊට අවශ්‍ය නිවැරදි විසඳුම් ලබාදීමට පාකිස්තාන ආණ්ඩුව දිගින් දිගටම අසමත් විය. එය අසල්වැසි රටවලට සහ උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන් වෙත නැගෙනහිර පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා පැහැදිලි අවකාශයක් නිර්මාණය කරනු ලැබීය.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ අවාමි ලීගයේ නායක ෂෙයික් මුජිබර් රහ්මාන්ට පාකිස්තානයෙන් වෙන්වීමට එතරම් අදහසක් නොතිබුණු බව ඇතැම් ඓතිහාසික වාර්තා හෙළිදරව් කර ඇත. ඔහු අවස්ථා රාශියකදී දෙපාර්ශ්වය අතර සිදුවිය යුතු දේශපාලන සංවාදයක් ගැන අවධාරණය යොමු කළ බව ඒවායේ සඳහන් වේ. ඔහුට අවශ්‍ය වූයේ මධ්‍යම ආණ්ඩුවේ බලයට නතු වූ නමුත් තම කොටසේ ජීවත් වන ජනතාවගේ අනන්‍යතාවලට ගරු කරන වඩාත් ශක්තිමත් සන්ධීය ආණ්ඩුවකි. එහෙත් මධ්‍යම ආණ්ඩුව එම ඉල්ලීම්වලට දැක්වූ ප්‍රතිචාරය ඉතාම අශ්ලීල වූ අතර, සෑම විටම නිරායුද ජනතාව සහ දේශපාලන විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම එකම මෙවලම බවට පත් කර ගත්තේය.

මෙවැනි වටපිටාවක 1969 මාර්තු මාසයේදී අයුබ් ඛාන් බලයෙන් පහකර පාකිස්තානයේ බලය අල්ලා ගැනීමට යාහ්යා ඛාන් කටයුතු කළේය. හමුදා කුමන්ත්‍රණයෙන් බලය ලබාගත් යාහ්යා ඛාන් රටේ ව්‍යවස්ථාව අත්හිටුවමින් යුද නීතිය බලාත්මක කළේය. ඉන් මාස කිහිපයකට පසු එනම් නිදහසින් වසර 23කට පසු 1970 දෙසැම්බර් මාසයේදී ප්‍රථම දීප ව්‍යාප්ත මැතිවරණය පැවැත්වීමට ඔහු කටයුතු කළ නමුත්, නැගෙනහිර පකිස්තානයේ මැතිවරණ ජයග්‍රාහකයා වූ ෂීක් මුජිබර් රහ්මාන් වෙත බලය ලබාදීම ප්‍රතික්ෂේප කළේය. එය නැගෙනහිර පාකිස්තානය පුරා සිවිල් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව තවදුරටත් අවුලුවාලීමට හේතු විය. ඊට යාහ්යා ඛාන්ගේ ප්‍රතිචාරය වූයේ නැගෙනහිර පකිස්තානයේ විරුද්ධවාදීන් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමට බලධාරීන්ට බලය ලබාදීමය. ජෙනරාල් ටික්කා ඛාන් ප්‍රමුඛ බලඇණිය විසින්  බංග්ලාදේශ ජන සංහාරය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රථම ප්‍රධාන රහස් මෙහෙයුම වූ සර්ච්ලයිට් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ එහි මූලික පියවර වශයෙනි.  

සටහන - නිලන්ත ඉලංගමුව

1970 තීරණාත්මක මැතිවරණය: අවාමි ලීගයේ ප්‍රධානී ෂෙයික් මුජිබර් රහ්මාන් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ඩකාහි මහජන රැලියක් අමතමින්.

තෙවැනි කොටස හෙට

පලමු කොටස කියවීම සඳහා පිවිසෙන්න - click here 

 



Recommended Articles