බැට්ල් ඕෆ් වැටලූ


රාජපක්ෂවරුන් නැවතත් අර්බුදයකට ගොස් තිබේ. ඒ ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට පසුගිය පස්වැනිදා පැවැති ජනබලය වැඩසහටහන සාර්ථක නොවීම නිසාවෙනි. මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම පාහේ පිරී පැවතියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ හා රාජපක්ෂවරුන්ගේ බලාපොරොත්තුවලිනි. 

පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා හා මිනී මැරීම්වලට සම්බන්ධ පිරිස්වල අධිකරණ ක්‍රියාදාමයන් අවසන් පියවරයන්ට පැමිණීමත්, විශේෂ අධිකරණය ක්‍රියාත්මක වීමත්, ඒවායින් බොහොමයක් මෙම කණ්ඩායම්වලට අවාසි සහගත වීමත් හේතුවෙන් ඔවුන්ට දේශපාලනික හා සමාජ ආරක්ෂාවක් යොදා ගැනීම මෙන්ම එමගින් ආණ්ඩුව සමග කේවල් කිරීමේ බලයක් ගොඩනගා ගැනීම ඔවුන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුවක් විය. මීට අමතරව විපක්ෂයේ ජන සහභාගීත්වය හා එහි නායකත්වය නාමල් රාජපක්ෂට ලබාදීමද මහින්ද ප්‍රමුඛ කණ්ඩායම්වල බලාපොරොත්තුවක් විය.
විශේෂයෙන් මා මීට පෙරත් මෙම කොලමෙන් පවසා ඇති පරිදි මහින්ද රාජපක්ෂගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම ගොනුවී ඇත්තේ නාමල් රාජපක්ෂගේ අනාගතය වෙනුවෙනි. නැතහොත් නාමල්ට හෙටක් තේමාවෙනි. එම පවුලේ අභ්‍යන්තර දේශපාලනයම විපක්ෂයේ දේශපාලනය බවට පත්කොට තිබේ. මෙහිදී රට තුළ ගොඩනැගී ඇති ගෝඨාභයවාදයත්, බැසිල්ගේ නායකත්වයත් වෙනුවට නාමල් රාජපක්ෂගේ නායකත්වය විපක්ෂ බලවේග ස්ථාවර කිරීම සඳහාගත් ප්‍රබලම වෑයම ලෙස මෙම ජනබලය හඳුනාගත හැකිය. 

මේ වෙනුවෙන් රාජපක්ෂවරු රට පුරා බෙදා ඇති මුදල් ප්‍රමාණය මිලියන 600ක් බව රජයේ බුද්ධි අංශ කියයි. විශුද්ධීකරණය නොකළ එතරම් මුදල් ප්‍රමාණයක් යෙදවීමට රාජපක්ෂවරු පෙළඹීමෙන් මෙම වැඩසටහනේ මහින්ද රාජපක්ෂට ඇති වැදගත්කම හා ප්‍රමුඛතාවය පැහැදිලි වේ.

එසේම එම පක්ෂය ගොඩනැගීමේදී ග්‍රාමීය මට්ටමේ ප්‍රධාන සංවිධාන යාන්ත්‍රණය වූයේ සමෘර්ධි බළකායයි. මේ වෙනුවෙන් පළාත් පාලනයට ප්‍රථම එවකට සමෘර්ධි ඇමති එස්. බී. දිසානායක විශාල සහයෝගයක් ලබා දුන්නේය. ඔහු ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග රාජපක්ෂ බලවේගයට වසර 13කට වඩා වැඩි කාලයක් තිබූ ග්‍රාමීය දේශපාලන යාන්ත්‍රණය අහිමි විය. 

එම බලවේගයේම බලය පිළිබඳ බැසිල් රාජපක්ෂට හැර අනිකුත් කණ්ඩායම්වලට එතරම් අවබෝධයක් තිබුණාදැයි සැක සහිතය. එම නිසාම මාධ්‍යවලට පැමිණි දේශපාලකයන් විවිධ තර්ජන කරමින් ආණ්ඩුවට බලපෑම් කළේය. රට හා ආණ්ඩුව ආක්‍රමණය කරන බවට පාරම් පෑවේය. නමුත් මේ සියලු සිහින පුස්සක් කරමින් පස්වැනිදා කොළඹ වැටලීමේ මෙහෙයුම මේ සියවසේ ලංකා ඉතිහාසයේ විශාලම විහිළුව බවට පත්වෙමින් අවසන් විය. මෙහි ඇති අනික් ප්‍රධානම කාරණය නම් මාධ්‍යවල ආණ්ඩුව ගෙදර යවන බවට පාරම්බෑ කිසිවෙකුත් මේ සඳහා පැමිණ නොතිබීමයි. එනම් ඩලස්, වාසු, දිනේෂ්, ගම්මන්පිල මෙහි පැත්ත පළාතේ නොසිටියේය. නමුත් කුමක් හෝ දේශපාලන හේතුවකට විමල් සිටියේය. එහෙත් ඔහුගේ වෙබ් අඩවිය මෙම මෙහෙයුමට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේය.

මෙම තත්ත්වයන් සියල්ල මෙසේ තිබියදීත් රටේ පාලන බලය පතන දේශපාලන ව්‍යාපාරයක් පස්වැනිදා හැසුරුණු අකාරය අරුම පුදුමය. ඔවුන් ලක්ෂ ගණනක් එන බවට පුරසාරම් දෙඩුවාට තලවතුගොඩ හෝටලයකින් ඇනවුම් කොට තිබුණේ කෑම පාර්සල් 3000ක් පමණි. ඒ හැම කෑම පාර්සලයකම මහින්දගේ නම ගසා තිබුණි. මහින්දලා යනු රටම ණය උගුලක දැමූ වැඩවල සිට තම පාක්ෂිකයන්ට දෙන බත් පැකට්ටුව දක්වා තම නම ගසන බව ඔප්පු කළ පිරිසකි.

එසේම මෙහි පැමිණි සියල්ලන්ම අධික ලෙස මත්පැන් පානය කොට තිබිණි. 81 දෙනෙකු අධික වෙරි මත නිසා රෝහල් ගතකිරීමට මෙහිදී සිදුවිය. තරු පහේ හෝටල්වල ලස්සනට වවා ඇති පොල් ගස්වල පොල් කැඩීමේ සිට ලයිට් කණුවල නැගීම, රජයේ දේපොළවලට හානි කිරීම, නගරය මැද එළිමහනේ මල මූත්‍රා කිරීම වැනිදෑ මෙහිදී සිදුවිය. මාගේ පෞද්ගලික තක්සේරුව වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලනය මේ මගින් වසර ගණනාවකින් පස්සට ගිය අතර, ජාතික නායකයෙකු ලෙස ඔහුට මතුවීමට තිබූ අවස්ථාවද මෙහිදී අහිමි වූ බවයි. 

කෙසේ වුවත් දොස්තර පාදෙණියගේ නිරුවත  හෙළිවීමද මෙම පෙළපාළියේ තවත්  ප්‍රතිඵලයකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කල්පනා කළේ ආණ්ඩුවේ පැවැත්ම අවසන් බවයි. මන්ද ඔවුන් සාපේක්ෂකව චීවරධාරීන් මෙන් දුර්වල දේශපාලනය මෙහෙයවන්නන්ය. ඔවුන් වර්ජනය කිරීමෙන් හා සිවිල් බලය යොදා තර්ජනය කිරීම දේශපාලනය ලෙස හඳුනාගෙන රටේ සියලුම කාරණාවලට මැදිහත් වෙමින් මාධ්‍යයේ ගොදුරක් බවට පත්වී තමන්ට ඇති සමාජයීය සිවිල් බලය හා ගෞරවය නැති කරගත් සමාජ කණ්ඩායමකි. එබැවින් ඔවුන් මෙතෙක් සඟවාගෙන සිටි බැටළු හම ඉවත් කර පස්වැනිදා ආණ්ඩුව ගෙදර යැවීමට එකතු විය. නමුත් රටේ කිසිවෙකුත් එම කතාවන් වැදගත් කාරණා ලෙස නොසැලකූ අතර දොස්තර සංගමයද නාමල් සමග කුජීත විය. 

අවසානයේ සිදුවූයේ නාමල්ට මෙන්ම පොහොට්ටුවට සෑහෙන කාලයකට දේශපාලන නැගිටීමකට ජනතාව ගොනුකිරීමට ඇති හැකියාව අහිමිවීමය. එසේම ඒකාබද්ධ විපක්ෂයේ හොරකම් කිරීමේ සංස්කෘතිය කෙතරම් බරපතළද යත් මෙම වැටලීමට වෙන්කළ මුදල්වලින් සෑහෙන කොටසක් හොරකම් කළ බවටද එකිනෙකා චෝදනා කරගන්නා බවට තොරතුරු හෙළිවෙමින් පවතී.



Recommended Articles