බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති Ai-Da රොබෝව හෙට (11දා) එරට පාර්ලිමේන්තුවේ House of Lords හෙවත් සාමි මන්ත්‍රණ මණ්ඩලය ඇමතීමට සූදානමින් සිටින බව එරට මාධ්‍ය පවසයි. එරට ඉතිහාසය තුළ සාමි මන්ත්‍රණ මණ්ඩලය අමතන පළමු වැනි රොබෝව වන්නේද මෙම Ai-Da රොබෝවයි.
මෙම රොබෝව වඩාත් තාත්වික ආකාරයෙන් නිර්මාණය කර තිබීම එහි ඇති විශේෂත්වය වෙයි. ඇයට Ai-Da නම ලැබී ඇත්තේ 19 වැනි සියවසේ බ්‍රිතාන්‍යයේ විසූ ගණිතඥයෙකු වන Ada Lovelace ගේ නම අනුවය. එහි නිර්මාණකරුවන්ට අනුව Ai-Da යනු රොබෝ කලාකාරිනියකි. ඒ නිසාම ඇයට ඊට ගැළපෙනම ඇඳුම් විලාසිතාවන් ලබාදීමට ඔවුන් පියවර ගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Bodleian පුස්තකාලය ඉදිරියේදී ලබාගත් ඇගේ අලුත්ම ඡායාරූප කිහිපයක්ද පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි.
රොබෝවේ ඇස්වල පිහිටුවා ඇති කැමරා මගින් සහ පරිගණත ඇලිගොරිතමයක් හරහා තමා ඉදිරියේ ඇති දේ හඳුනාගැනීමේ හැකියාව ඇයට ඇති අතර, එහි පිහිටුවා ඇති විශේෂිත කෘත්‍රිම බුද්ධි ආදර්ශනය මගින් ඇයට සංවාද පැවැත්වීම සහ ප්රශ්නවල පිළිතුරු සැපයීම සිදුකළ හැකිය. එසේම රොබෝ අත් යොදාගෙන ඇයට සිතුවම් නිර්මාණය කළ හැකිය.
වාර්තාවලට අනුව අඟහරුවාදා දිනයේදී Ai-Da රොබෝව සාමි මන්ත්‍රණ මණ්ඩලයේ සන්නිවේදන සහ ඩිජිටල් කමිටුවේ සාමාජිකයන් ඇමතීමට නියමිතව තිබේ. එහිදී ඇය නිර්මාණශීලීත්වය, කෘත්‍රිම බුද්ධිය සහ තාක්ෂණය මගින් බලපෑමට ලක්වන්නේද යන්න පිළිබඳව කතා කරනු ඇතැයි සඳහන් වෙයි.
එසේම බ්‍රිතාන්‍ය තුළ කලා, නිර්මාණ, විලාසිතා සහ සංගීතය යනාදී නිර්මාණාත්මක කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක කටයුතු පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක්ද ඇය විසින් සිදුකරනු ඇතැයි එහි නිර්මාණකරුවෝ සඳහන් කරති.
මෙම Ai-Da රොබෝවේ මූලික අදහස ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නූතන සහ අධ්‍යයතන කලා පිළිබඳ විශේෂඥයෙකු වන අයිඩාන් මෙලර්ගේය. අනතුරුව එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ නිර්මාණකරුවන් විසින් ඇය නිර්මාණය කර තිබේ.
එසේම මෙම රෙබෝවේ වැඩසටහන්කරණය සඳහා ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් දායක්ත්වය ලබා දී තිබේ. එහිදී මෙම රොබෝවේ හැකියාවන් සංවර්ධනය සඳහා ඔක්ස්ෆර්ඩ් සහ බර්මිංහැම් විශ්වවිද්‍යාවල පශ්චාත් උපාධි සිසුන් සහ මහාචාර්යවරුන් සම්බන්ධ වී තිබේ.
Ai-Da ව්‍යාපෘතියේ ප්‍රධාන නියමුවන් සඳහන් කරන ආකාරයට මෙය අනාගත නිර්මාණාත්මක කලාව පිළිබඳ තාක්ෂණයේ නවමු දැක්මක් ඇති කරනු ඇතැයි යන්න අදහස වී තිබේ. “මිනිසුන්ගෙන් පසු බිහිවන ලෝකයේ කලාකරුවෙකු කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් Ai-Da අපිට කරුණු පහදාවි” යනුවෙන් මෙම ව්‍යාපෘතියේ අධ්යක්ෂ අයිඩාන් මෙලර් පවසයි.
Ai-Da දැනටමත් අවස්ථා කිහිපයකදීම ඇගේ කලාත්මක දක්ෂතාවන් පෙන්නුම් කර තිබේ. ඉන් එක් අවස්ථාවක් වන්නේ අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ රාජ්‍යත්වයේ ප්ලැටිනම් ජුබිලිය සැමරීමේ අවස්ථාව වෙනුවෙන් ඇය නිර්මාණය කළ රැජිනගේ ආලේඛ්‍ය සිතුවමයි.
“කලාකාරිනියක ලෙස ඇගේ හැකියාවන් කලා ලෝකයේ සහ නිර්මාණාත්මක කර්මාන්තයේ පදනම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරාවි. ඇය House of Lords හි සිදු කරන මේ පළවැනිමු ඇමතීමෙන් කෘත්‍රිම බුද්ධි රොබෝවක් ලෝකය ගැන දකින හැටි වගේම, අනාගත නිර්මාණාත්මක බව පිළිබඳව අපිට අදහසක් ලබා ගැනීමට හැකිවේවි.” යනුවෙන්ද මෙලර් සඳහන් කරයි.
ඒ අනුව ඇගේ මෙම අදහස් දැක්වීමේදී ඇය යාන්ත්‍රික ඉගෙනුම, යාන්ත්‍රික නිර්මාණාත්මක බව සහ කෘත්‍රිම බුද්ධිය තුළ බ්‍රිතාන්‍යයේ නිර්මාණාත්මක කර්මාන්තය පිළිබඳව කරුණු දක්වනු ඇතැයි පැවසෙයි. එසේම කෘත්‍රිම බුද්ධිය මගින් ලෝකයේ මානවයා අතික්‍රමණය කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් පවතින බිය පිළිබඳවද ඇය අදහස් දැක්වීමට නියමිතව ඇත.
මේ අතර එක්සත් ජනපදයේ නිව්යෝක් විශ්විවද්‍යාලය මගින් මෑතකදී සිදුකළ පර්යේෂණයකට අනුවද මෙම කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධයෙන් කටයුතු කරන විද්‍යාඥයන්ගෙන් තුනෙන් එකක් ඒ හරහා අනාගතයේදී දරුණු ඵලවිපාකවලට මිනිසාට ලක්වීමට සිදුවනු ඇතැයි කරුණු දක්වා තිබේ.