බ්ල්ලක් ගැනීමට ප්‍රථම සිංහරාජයේ අලි-මිනිස් ජීවිත සුරක්‍ෂිත කරමු


මීට මාස කිහිපයකට පෙර වඩාත් උත්කර්ෂයට නැංවූ මාතෘකාවක් බවට පත්ව තිබූ සිංහරාජයේ අලි පිළිබඳ කතිකාව නැවතත් ක්‍රමයෙන් කරළියට නැගෙමින් තිබේ. ඊට හේතු වන්නේ සිංහරාජයේ අලින්ගේ ඍතුමය සංක්‍රමණ රටාවේ ප්‍රතිඵලයක් ලෙස දැනට ජීවත් වන අලින් දෙදෙනා නැවතත් සිංහරාජයේ උතුරු කලාපයට පැමිණ සිටීමය. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, මිනිසුන්ගෙන් අලින්ටද, අලින්ගෙන් මිනිසුන්ටද හානියක් නොවන අයුරින් ඔවුන්ගේ උතුරු ප්‍රදේශයේ සංචාරය අවසන් කර ගැනීම මූලික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. නමුත් අවාසනාවකට මේ වන තෙක් කිසිවෙකුගේ පුළුල් අවධානයක් ඒ වෙත ලැබී නොමැත.


වර්තමාන තත්ත්වය 

මීට සති එකහමාරක පමණ කාලයක සිට සිංහරාජයේ නැගෙනහිර කොටසේ මානික්කවත්ත තුනේ කණුව ආශ්‍රිත විවෘත තණ භූමි ආශ්‍රිතව මෙම අලින් දෙදෙනා නිරීක්‍ෂණය කළ හැකිය. බොහෝ විට මෙම සතුන් එම ප්‍රදේශයේ සුලභව දැකිය හැකි ගෝතමාලා (Tripsacum andersonii) කෙරෙහි ආකර්ෂණය වී තිබේ. තේ වගා බිම් පර්යන්ත පහත්බිම්  ප්‍රදේශවල මෙම තෘණ වර්ධනය වී තිබෙන අතර, ඒවා අලින්ගේ ප්‍රියතම ගොදුරු බිම් බවට පත්ව තිබෙන බව පෙනේ. වඩාත් අවධානයට ගත යුතු කාරණය නම්, මෙම කලාපය දැඩිව මානව ක්‍රියාකාරකම්වලට ලක්ව තිබෙන සහ නිරන්තරයෙන් මිනිසුන් ගැවසෙන කලාපයක් බවට පසුගිය කාලය තුළ ශීඝ්‍ර පරිවර්තනයක් ලබා තිබීමය. එසේම සිංහරාජය පර්යන්තයේ තිබෙන වනාන්තර කොටස් සහ වෙනත් අවශේෂ වනාන්තර කුට්ටි පසුගිය කාලය තුළ වෙනත් භූමි පරිහරණ රටාවන්ට යෙදවී තිබෙන බව ප්‍රදේශයේ භූ දර්ශනය නිරීක්‍ෂණය කිරීමෙන් පැහැදිලි වේ. මෙම වෙනස්වීම් අලින්ගේ සංක්‍රමණ රටාවන්ට බාධා ඇති කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ හැසිරීමේද වෙනස්කම් අපේක්‍ෂා කළ හැකිය. එහි අනිවාර්යය ප්‍රතිඵලයක් ලෙස මෙම සතුන් සහ මිනිසුන් එකිනෙකට සම්මුඛ වීමේ අවස්ථාවන් ඉතා ඉහළ අගයක් ගනී.  එබඳු අවස්ථාවකදී සිදු වන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙයින් එසේ සම්මුඛ වීමේ අවස්ථා හැකි තරම් අවම කර ගැනීමට කටයුතු කිරීම අතිශය වැදගත් අවශ්‍යතාවකි. එය කළමනාකරණය කරගත හැක්කේ අලින්ට නොව මිනිසුන්ටය. ඒ සඳහා වගකීම් දරන ආයතන සහ එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවද උපරිම කැපවීමෙන් සහ අවබෝධයෙන් ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය වේ.

සිදුකළ යුත්තේ කුමක්ද…?

පසුගිය කාලය තුළ සිංහරාජයේ අලි දෙදෙනා සිංහරාජයෙන් ඉවත් කිරීමට එවකට වනජීවී ඇමතිවරයාට සහ නියෝජ්‍ය ඇමතිවරයාට තිබූ කැපවීම සහ උනන්දුව සැබැවින්ම මෙම සතුන් සංරක්‍ෂණය කිරීමටත්, එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීමේත් අවංක හැඟීමෙන් සිදුකළ මැදිහත්වීමක් නොවන බව පෙනෙනුයේ සිංහරාජයේ අලි ඉවත් කිරීම හුදු දේශපාලන බලය ප්‍රදර්ශනය කිරීමේ සංසිද්ධියක් බවට පසුකාලීනව පරිවර්තනය වීම හේතුවෙනි. අද වනවිට හිටපු වනජීවී ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා අතර ඇතිවන වාග් සංග්‍රාමයන් තුළින්ද පැහැදිලි වන්නේ වනජීවී සංරක්‍ෂණය සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණු හැඟීම සහ කැපවීමය. 

මෙම වර්තමාන අවදානම් තත්ත්වය සමනය කිරීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ පමණක් මෙහිදී අවධානය යොමු කරන අතර, සිංහරාජයේ අලි ගහනය අඛණ්ඩව පවත්වා ගැනීම සහ අලි-මිනිස් ගැටුම පාලනය සඳහා වන මධ්‍ය කාලීන, දිගු කාලීන විකල්ප යෝජනා ගැන කිසිවක් මෙහි සඳහන් නොකරමි. 

දැනට අලි-මිනිස් ගැටුම් තිබෙන ප්‍රදේශයේ ස්ථිර වනජීවී කාර්යාලයක් පිහිටුවීම සහ ඔවුන්ට අවශ්‍ය මානව සහ ද්‍රව්‍යමය පහසුකම් සපයා දීම. 

මෙම ප්‍රදේශයේ දැනට වනජීවී කාර්යාලය පවත්වාගෙන යන නමුත් එය තාවකාලිකව ලබා ගන්නා ලද ගොඩනැගිල්ලක අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන්නකි. නියුතු සේවක සංඛ්‍යාව රියැදුරුද සහිතව හත් දෙනෙකි. සාමාන්‍යයෙන් දෛනිකව සේවයෙහි නිරත වන්නේ සිවු දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් වන අතර, අධිකරණ කටයුතු සහ වෙනත් කටයුතු සමග අලින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමද දුෂ්කර කාර්යක් වී තිබෙන බවට පැමිණිලි ලැබී තිබේ. එසේම මෙම කාර්යාලයේ නිලධාරීන්ට විශාල භූගෝලීය වපසරියක රාජකාරි කිරීමට සිදුව ඇත. එය ප්‍රායෝගිකව අතිශය දුෂ්කර කාර්යක් වන බැවින් මෙම කලාපයට වෙනම අඩවි වන කාර්යාලය ස්ථාපිත කිරීම යෝග්‍ය වේ. එය හුදෙක් අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට පමණක් නොව, මෙම ප්‍රදේශයේ දිනෙන් දින ඉහළ යන වනජීවී අපරාධ ප්‍රමාණයද සැලකිල්ලට ගැනීමෙනි. ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම් ආදිය සපයා දිය යුතුව තිබේ.

ප්‍රජාවගේ සහභාගිත්වය සහිතව වනඅලි කළමනාකරණ ඒකකයක් පිහිටු වීම.

මෙය දැන්ටමත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන වැඩසටහනක් වන අතර, මීට පූර්වයෙහි %ගජ මිතුරෝ^ නමින් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහිදී සිදුවන්නේ ප්‍රජාවගේ සහයෝගය සහිතව අලි-මිනිස් ගැටුම පාලනය කර ගැනීම සඳහා කටයුතු කිරීමය. සිංහරාජයට අවශ්‍ය වන්නේ එවැනි ප්‍රජා සහභාගිත්ව වනජීවී කළමනාකරණ උපාය මාර්ගයකි. නිදසුනක් විදියට ගැටුම් සහිත ප්‍රදේශවල ජනතාවට අලි වෙඩි ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන්නේ, අලියා එළවා දමන ඉලක්කගත ප්‍රදේශය පිළිබඳ ප්‍රජාවට දැනුවත්කමක් නොමැති වීම නිසා අනවශ්‍ය ලෙස අලියා කුපිත කිරීමට යොමුවීමය. එනිසා මෙවැනි කටයුතු සඳහා ප්‍රජාවගෙන් යම් පිරිසක් තෝරාගෙන ඔවුන් පුහුණු කිරීම යෝග්‍ය වේ. ඒ සඳහා වඩා හොඳ විභවතාවක් එහි තිබෙන අතර, එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පරිසර සංවිධානවල දායකත්වය මේ සඳහා ලබාගත හැකිවනු ඇත.

ප්‍රජාව දැනුවත් කිරීම සහ අනතුරු අවදානම් අවම කර කර ගැනීමට ක්‍රියා කිරීම.

විශේෂයෙන්ම රක්වාන - පොතුපිටිය මාර්ගයේදී මෙම අලින් හමුවීමේ වැඩි ඉඩකඩක් තිබේ. විශේෂයෙන්ම වංගු සහිත පටු මාර්ගයකදී මෙම සතුන් සම්මුඛ වීමේ වැඩි ඉඩකඩක් පවතී. එයින් මෙම මාර්ග දෙපස එළිපෙහෙළි කිරීම් තුළින් එම සතුන් දුරතියා හඳුනා ගැනීමට හැකියාවක් ඇත. නමුත් මේ වන විට මෙම මාර්ගය දෙපස එළිපෙහෙළි නොකිරීම හේතුවෙන් අනතුරු ඇතිවීමේ වැඩි අවස්ථාවන් නිර්මාණය වී තිබේ. මීට අමතරව අලින් නිතර ගැවසෙන ප්‍රදේශවල සංඥා පුවරු ප්‍රදර්ශනය කිරීම සහ මාර්ග විදුලි ආලෝකය යොදා ආලෝකමත් කිරීම ආදී විකල්ප ප්‍රවේශ වෙතද යොමු විය හැකිය. ඊට අමතරව ප්‍රජාව වෙත සයිරන් නළා වැනි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම් වැනි ප්‍රවේශ වෙතද එළඹිය හැකිය. එයින් ඇතිවිය හැකි අනතුරු යම් ප්‍රමාණයකට වළක්වාගත හැකිය.

මෙය වඩාත් සාර්ථක ප්‍රජාපාදක කළමනාකරණ ප්‍රවේශයක් විය හැක්කේ අලි-මිනිස් ගැටුම බහුල ප්‍රදේශවල ජනාවාස පොකුරු වශයෙන් දක්නට ලැබීමය. එහෙයින් තෝරාගත් ගම්මාන පොකුරුවලට මෙම උපකරණ ලබා දීමෙන් අලින් ගම්වැදුණු පසු සමස්ත ප්‍රදේශය පුරාම එම තොරතුරු සන්නිවේදනය කිරීමේ හැකියාව පවතී. පසුගිය කාලයේ සිදු වූ මිනිස් මරණවලට මූලිකවම හේතු වූයේ, තොරතුරු විධිමත්ව සන්නිවේදනය කිරීමට නොහැකි වීමය.

තවත් ඉතා වැදගත් කාරණයක් වන්නේ සිංහරාජයේ අලින් නැරඹීමට යෑමෙන් වැළකීමය. මේ දිනවල තුනේ කණුව සහ පහේ කණුව ආශ්‍රිත ප්‍රදේශයේ අලි නැරඹීමට එකතු වන පිරිස සුලබ දසුනක් වී ඇත. මෙය ඉතා අවදානම් කාර්යක් වන අතර, නරඹන්නන්ගේ හැසිරීමද එම සතුන්ට ඇති කරන්නේ අනවශ්‍ය පීඩනයකි. ඇතැම් රියැදුරන් අලින් පෙනෙන මානයට ගෙන්වා ගැනීමට වාහනවල නළා ශබ්ද කරවීම මෙම ස්ථානවලදී නිරීක්‍ෂණය කළ හැකිය.

මීට අමතරව අලින් නිතර ගැවසෙන ප්‍රදේශ තාවකාලිකව හෝ මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව පවත්වා ගැනීමත්, අලින් සංක්‍රමණය වන මාර්ග අවහිර නොකිරීමත් මූලික වශයෙන්ම වැදගත් වෙයි. එමෙන්ම අනවශ්‍ය ලෙස මෙම සතුන් පීඩාකාරී ක්‍රමවේද මගින් පීඩාවට ලක්කිරීමද නොකළ යුතුය. එමෙන්ම මෙම වනාන්තර කලාපයේ රක්‍ෂිත ප්‍රදේශවල සිදුවන මැණික් ගැරීම්, දැව හෙළීම්, ආරක්‍ෂිත ප්‍රදේශ වෙනත් වගාවන් සඳහා අනවසරයෙන් අල්ලා ගැනීම්, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වැනි අනවසර මානව ක්‍රියාකාරකම් වහාම නතර කිරීමටද වගකීම් දරන ආයතන ක්‍රියා කළ යුතුය.

 



Recommended Articles