බලාපොරොත්තුව පවතින තැන පෙළීමකුත් පවතිනවා


මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතුටහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිෂ්චිතතාවත්, රෝග පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය. එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්‍ෂාත් කර ගනිමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ළඟා කරවමිනි. එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සා‍පේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගැනීමටද? සෑම බදාදාවකම දිගහැරෙන මෙම සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සාපේක්‍ෂ සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්‍ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් හා වීර්ය වඩන ශ්‍රමණයන් වහන්සේලාය. 


ගිහි නම - කොතලාවලගේ ලක්මාල් කුලරත්න
වයස - 29
පදිංචිය -  අරකාවිල
රැකියාව - අපනයන ආයතනයක නිෂ්පාදන සම්බන්ධීකාරක, ව්‍යාපාරික
අධ්‍යාපනය- ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරත්න මහා විද්‍යාලය

 

?කොහොමද ඔබවහන්සේට සද්ධර්මය මුණගැහෙන්නේ

රැකියාව කරමින් සිටිද්දී තමයි මට මේ ධර්මය අහන්න ලැබෙන්නේ. ඒකාකාරී ජීවිතයේ පවතින හරයක් නැති වැඩපිළිවෙළ ගැන තේරුම් යන්න පටන් ගත්තේ එතකොටයි. ඒ නිසා තමයි රැකියාවෙන් ඉවත් වුණේ. ඉන්පස්සෙ තමයි මම මගේ යාළුවෙක් එක්ක හවුල් වෙලා මගේම කියල ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවේ. ඒත් ඒ ව්‍යාපාරයෙත් අනිච්චතාව අවබෝධ වෙලා තමයි පස්සේ ඒකත් යාළුවට බාර දීලා පැවිද්දට එළඹෙන්නේ. ගුරු ස්වාමීන් වහන්සේව මම දන්නේ 2006 වසරේ ඉඳන්. මොකද ගිහි කාලයේදී උන්වහන්සේ මගේ උසස් පෙළ ගුරුවරයා. ඒ අතර උන්වහන්සේගේ ගිහිකල ගෙදර තමයි මම වැඩිපුර හිටියේ. ඒ නිසා පිනට දහමට යොමුවීමට මටත් අවස්ථාව ලැබුණා. ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට මටත් අවස්ථාව ලැබුණා. උන්වහන්සේ එංගලන්තයේ ඉඳන් නැවතත් ලංකාවට ඇවිත් කරපු දේශනාවලටත් සම්බන්ධවෙන්න මට අවස්ථාව ලැබුණා. එවැනි අවබෝධයක් ඇතුවයි මම පැවිද්දට එළඹෙන්නේ.

?ඒත් යම් යම් බලපෑම් එන්න ඇති ඒ තීරණයට

ඔව්.බාධා ආවා.හැබැයි දහම අවබෝධවෙන්න කලින් ඉඳන්ම මට පැවිදිවෙන්න යම් කැමැත්තක් තිබුණා. ඒත් එතකොට මම තීරණය කළේ අවුරුදු පණහක් විතර වුණාම පැවිදිවෙන්න. හැබැයි ධර්මය අවබෝධ වුණාට පස්සේ තමයි මට තේරුණේ ඒ තීරණේ තවදුරටත් පස්සට දාන එකේ තේරුමක් නැහැ කියලා. මොකද මම ඒ වෙද්දිත් රැකියාව කරන ගමන් ධර්ම දේශනා අහමින් හිටියේ. පාන්දර වෙනකම්ම ත්‍රිපිටකය පරිශීලනය කරමින් හිටියේ. ඒ හින්දම තමයි මම මේ දහම පරිශීලනය කිරීමට සහ අවබෝධ කර ගැනීමට රැකියාව බාධාවක් කියලා හිතුවේ. අනික ගෙදර අයට පවා මං වෙනුවෙන් එයාලගේ නිදහස කැප කරන්න කියන්න මට බැහැ. ඒ නිසා තමයි මම ඒ සඳහා සුදුසු පරිසරයක් හොයාගෙන ආවේ.

?ඒ කියන්නේ අතහැරීම තුළද නිවන තියෙන්නේ

අතහැරීම තුළ නෙමෙයි ශාන්තිය උදාවෙන්නේ. අතහැරෙන්නයි අවශ්‍ය කරන්නේ. මොකද අතහරින එක ඉවසන්න පුළුවන් එක්තරා කාල සීමාවක් දක්වා පමණයි. ඒ නිසා දහම අවබෝධ වීම තුළින් සිදුවිය යුත්තේ අතහැරෙන්න අවශ්‍ය හේතු සකස් කර ගැනීමයි.

?එහෙනම් ඇත්තටම මොකක්ද අවබෝධය කියලා කියන්නේ

තථාගතයන් වහන්සේ දුක කියලා පෙන්වා දුන් යථාර්ථය හරියට හඳුනා ගැනීම තමයි අවබෝධය කියල කියන්නේ. ඉන්පස්සේ දුකින් නිදහස් වීම තුළයි හිතේ ශාන්තිය ඇතිවෙන්නේ. හැබැයි අපි දුකින් නිදහස් වෙලා ඉන්නවා කියලා වචනයෙන් විස්තර කරන්න බැහැ. මොකද ඒක ලෝකෝත්තර ස්වභාවයක්. ඒ නිසා පෙළීමෙන් නිදහස් වීම තමයි මෙහි අවශ්‍යතාව කියල කියන්නේ. එතකොටයි සැබෑම සතුට ළඟාවෙන්නේ.

?ඒත් ඒ දුකින් නිදහස් වීමට නම් පැවිදි විය යුතුමද

පැවිදි විය යුතුම නැහැ. හැබැයි පැවිදි වීම ඒ ගමන පහසු කරවනවා. මොකද පැවිදි ජීවිතයේ ඉන්න අපේ අරමුණු වෙන්නේ දහම මෙනෙහි කිරීම, දහම ශ්‍රවණය කිරීම, දහම සාකච්ඡා කිරීම, දහම සජ්ඣායනා කිරීම, භාවනා කිරීම ආදිය පමණයි. අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු සත් පුරුෂ සේවනයත් ලැබෙනවා. හැබැයි ගිහි ජීවිතයේදී මේ සඳහා ලැබෙන ඉඩ අවකාශය ඉතා සීමිතයි. මොකද දවස තිස්සෙම සල්ලි හොයන්න මහන්සි වෙලා ගෙදර එන කෙනෙක්ට ඇඳට වැටිලා නිදා ගන්නවා ඇරුණම ධර්ම අවබෝධ කර ගන්න තරම් මානසිකත්වයක් නැහැ. එයාලා ඊළඟ දවසෙත් කරන්නේ පාන්දර නැගිටිලා, අර විදිහටම ආයෙත් ගෙදර ඇවිත් නිදාගන්න එකයි. ඒ ගැන හිතන එකයි. ඒක එයාලා දන්නවා. ඒ නිසා එතැන තව තව බැඳීම් ඇතිවෙනවා මිසක් ගැලවීමක් නැහැ.

?ඒත් කුතුහලය කියන්නෙත් එක්තරා කෙලෙස් ස්වභාවයක් නේද

ඔව්. දෙයක් දැන ගැනීමේ, හඳුනාගැනීමේ ආසාව තමයි කුතුහලය කියන්නේ. මොකද ඒ තුළ නැවත එය දැක ගැනීමේ ආසාව තියෙනවා නම් ඒක කෙලෙස් ස්වභාවයක් බවට පත්වෙනවා. බලාපොරොත්තුවක් ඒ තුළ පවතිනවා. බලාපොරොත්තුවක් පවතින තැන පෙළීමක් පවතිනවා. තමන් තුළ පවතින කෙලෙස් ස්වභාවය ප්‍රහීන වෙලා නැහැ කියන්නේ ඒකයි.
?ඒත් ඒ කුතුහලයම නේද බුදුරජාණන් වහන්සේට සත්‍යය අවබෝධ කර ගැනීමට උපකාරී වුණේ 

ඔව්. බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයාගෙන යන ගමනේදී කෙලෙස් පහ කරලා තිබුණේ නැහැ. කෙලෙස් තිබුණු කෙනෙක් තමයි සත්‍ය සොයාගෙන ගියේ. ඒ නිසා උන්වහන්සේ බුද්ධත්වයට පත්වුණායින් පස්සෙ තමයි කෙලෙස් ප්‍රහීන කරන්නේ. එතකොටයි බුදුරජාණන් වහන්සේට කුතුහලයත් නැතිවෙලා ගියේ.

?ඔබවහන්සේට එදා තිබුණු චිත්‍රපට පිස්සුව ගැන දැන් මොකද හිතෙන්නේ

මනුෂ්‍යා ජීවත්වෙන්නේ අවිද්‍යාවේ. ඒක නිසා අසත්පුරුෂයෝ දුන් දේවල්වලට කැමැති වුණා. ආසා කළා. ඒ නිසා ඒ ආසාව ඉෂ්ට කරගන්න මහන්සි වෙනවා. ඒක තමයි බුදු දහමට අනුව පිස්සුව කියල කියන්නේ. 

?හරි වැරැද්ද යන්නත් සාපේක්ෂයි නේද

ඔව්. ඒ සාපේක්ෂ සත්‍යය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්වෙනවා. ඒකයි ඒක ඒ ඒ අය දෘෂ්ඨිගත වෙලා ඉන්න ස්වභාවය මත තීරණය වෙන්නේ. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. උන්වහන්සේ අනුමත කරන්නේ නිරපේක්ෂ සත්‍යය. මොකද තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළවෙන්නේ නිරපේක්ෂ සත්‍යය ලෝක සත්ත්වයාට පෙන්නලා දෙන්න. අරිහතුන් වහන්සේලාට විතරයි නිරපේක්ෂව හිතන්න පුළුවන්. ඒ නිසා අපිත් යමක් ගැන හිතන්නේ තව දේකට සාපේක්ෂව.

?මම කියලා කෙනෙක් නැත්නම් කොහොමද මගේ කියලා දෙයක් තියෙන්නේ 

බැඳීම තුළයි කෙලෙස් ඇතිවෙන්නේ. ඒ නිසා රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාන උදාවෙවී වැයවෙවී යන සිත් පරම්පරාව සමග ඡන්ද රාගයෙන් බැඳීමෙන් තමයි කෙලෙස් නිර්මාණය වෙන්නේ. ඡන්ද රාගයෙන් අල්ලාගත් දෙය මගේ බවට පත්වෙනවා. ඉන්පස්සේ තමයි %මම^ මුදුන් පත්වෙන්නේ.%මම^ කියලා කෙනෙක් ඉන්නවාද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. දුකට හේතුව ඡන්ද රාගයි. සෑම විටම අප කළ යුත්තේ මේ ඡන්ද රාගය ක්ෂය කර ගැනීමයි.

?ඒත් ඇත - නැත සංකල්පයක් කියල දේකුත් තියෙනවා නේද 

ඔව්. ඔය අන්ත දෙකින් එකක පිහිටලා වාදයක් ඉදිරිපත් කරපු මිත්‍යාදෘෂ්ටික ආගම් 64ක් එදා තථාගතයන් වහන්සේගේ කාලයේ තිබුණා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඔය අන්ත දෙකම ප්‍රතික්ෂේප කළා. හේතු ගැළපිලා, බැඳිලා තියෙනකම් ඵලය උදාවෙනවා. එක හේතුවක් හරි නිරුද්ධ වුණොතින් ඵලය නිරුද්ධ වෙනවා. ඒක තමයි හේතුඵලවාදය වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් කළේ. ඒ මිසක් ඇතද නැතද යන්න නෙවෙයි. ඒ නිසා තථාගතයාණන් වහන්සේත් දේශනා කළේ හේතුං පටිච්ඡ සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලයි.

?මැදුම් පිළිවෙත කියලා කියන්නේ එහෙටත් නැති මෙහෙටත් නැති පිළිවෙතක් කියලත් සමාජයේ මතයක් පවතිනවා 

නැහැ. ඒක වැරදි අදහසක්. බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත යනුවෙන් දේශනා කළේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැනයි. මේ ගැන ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී විග්‍රහ කරලත් තියෙනවා. එහෙම නැතිව එහෙටත් නැති, මෙහෙටත් නැති මැදින් යන ගමනක් ගැන උන්වහන්සේ දේශනා කරල නැහැ.

?ඒත් ශීලය යන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට එළඹීමටත් පෙර පටන් බමුණු දහම තුළ පැවතුණා නේද 

විවිධාකාර සිල් වෘත තියෙනවා. මොකද ඒ කාලෙත් ශාන්තිය උදෙසා කටයුතු කළ ශාස්තෘෘවරුන් හිටියා. උදාහරණයක් විදිහට අන්තගාමී වත් සමාදන් වුණු නිඝන්ඨනාථපුත්ත වගේ ශාස්තෘෘවරුන් ඒ කාලෙත් හිටියා. ඔවුන් රැක්කෙත් වෘත තමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙත් වත සමාදානය කියලා දෙයක් තියෙනවා. හැබැයි ශීලය කියලා දේකුත් තියෙනවා. ඒක දහම් අවබෝධය තුළින් යමෙක් තුළ පිහිටන දෙයක්. ඒ නිසා ඒ කාරණාවේ දෙපැත්තක් තියෙනවා.

?එහෙනම් ශීලය කියන්නේ රකින එකක් නෙමෙයි නේද

නැහැ. ශීලය කියලා කියන්නේ කෙලෙස් ගිනි නොවෙන හිතක ඇතිවන ස්වභාවයක්.

?ප්‍රත්‍යක්ෂ දහමක් දේශනා කළ බෞද්ධ දර්ශනයකට මොකටද බෞද්ධ සංස්කෘතියක් 

සංස්කෘතියක් අත්‍යවශ්‍යයි. ශාස්තෘෘවහන්සේගේ දහමට අනුව මේ දහම අවබෝධ කර ගන්න පුළුවන් වෙන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිලාභීන්ට පමණයි. ඔවුන්ට පමණයි මාර්ග ඵලයක් හෝ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ද්විහේතුක ප්‍රතිසන්ධියක් ලැබෙන පිරිස් නැතුව නෙමෙයි. අන්න ඒ අය වෙනුවෙනුත් පිළිසරණක් අවශ්‍යයි. එතැනදියි මේ ශාසනයට සංස්කෘතිය පාලමක් වෙන්නේ. මොකද මේක පටන් ගන්නේ කරුණා ශාසනයෙන්. ඒක ගොඩනැගෙන්නේ බෞද්ධ සංස්කෘතියෙන්. ඒ නිසා මේ ශාසනයට පිවිසීමට අවශ්‍ය පුණ්‍ය ශක්තිය ලබාදීමට සංස්කෘතිය උපකාරී වෙනවා. මොකද අපට වුණත් පොඩි කාලේ ඉඳන් ධර්ම දේශනයක් අහන්න අවශ්‍ය විශ්වාසය ගොඩනගන්නේ සංස්කෘතිය විසින්. ඒ නිසා ඒ සංස්කෘතිය යන්න වැදගත්. හැබැයි වඩා වැදගත් වෙන්නේ ඒ සංස්කෘතිය මීට වඩා අර්ථාන්විත කර ගැනීමයි.

?එදා ගත්තු තීරණේ සම්බන්ධයෙන් දැන් මොකද හිතෙන්නේ 

කිසිම කනගාටුවක් නැහැ. ගිහි ජීවිතේ ගත කරමින් ඉඳලා තියෙන්නේ කිසිම හරයක් නැති වැඩපිළිවෙළක් කියල නම් දැන් හොඳටම පැහැදිලියි.

(අවංකව නිවන උපනිශ්චයව ඉන්නා උන්වහන්සේලාගේ පැවිදි රුව මෙහි ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න, මෙහි පළවන සියලු ඡායාරූප ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව පළවන එ්වායි. උන්වහන්සේලා අත්විඳින ඒ නිරාමිස සුවය උදාකර දුන් නිර්මල සද්ධර්මය පරිශීලනයට පහත සඳහන් විස්තර උපයෝගී කරගන්න.) 
සම්බන්ධීකරණය - 077 279 0013 (සනත්), %ධර්මයයි ඔබයි^ ආරාමය, කීනගහවිල, කලටුවාව, රත්නපුරය

වෙබ් අඩවිය: http://www.dharmayaiobai.org
Facebook: http://www.facebook.com/dharmayaiobai/
YouTube: http://www.youtube.com/c/dharmayaiobai/



Recommended Articles