ශ්‍රී ලංකාවේ තීරණාත්මක ජනපතිවරණක් නිමා වී දින 10ක් ගතවන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලියමි. ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා වූ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්කිරීමට හැටනම ලක්ෂයක ජනතාවක් කටයුතු කළේ බොහෝ බලාපොරොත්තු සහිතවය.
ජනපති ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු ගත් ක්‍රියාමාර්ග ගැන මේ වන විට මහජනතාව තුළ විශාල පැහැදීමක් ඇති බව පෙනේනනට තිබේ. සුරක්ෂිත රටක් යන මූලික සංකල්පය යටතේ මේ වන විටත් ඉතාමත් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ඔහු ගෙන තිබේ.
මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් එය තහවුරු කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සුවිශේෂි තීන්දු තීරණ කිහිපයක්ම මේ වනවිට ගෙන තිබේ.
පසුගිය ආණ්ඩුව සමයේ එක තැන පල්වෙමින් තිබූ රට දින කිහිපයක් තුළ ඉදිරියට ගෙන යෑමට අපට හැකියාවක් ලැබී තිබේ. මේ සඳහා පැහැදිලි උදාහරණ ලබාදිය හැකිය. කොළඹ කොටස් වෙළඳපොළ වසරේ ඉහළම වර්ධනය පෙන්නුම් කිරීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම එම උදාහරණයි. මෙම වර්ධනයන්ගෙන් පෙන්වන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ පළුඳු වී තිබූ විශ්වාසය යළිත් ක්‍රමයෙන් ඇතිවෙමින් පවතින බවයි.
එකතැන තිබූ රට ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් මහජනතාවට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය විය. එසේම ලබාදුන් පොරොන්දු ඉටුකරන නායකත්වය ජනතාවට අවශ්‍ය විය. මේ අනුව බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් අන්තර්කාලීනව පත්වූ කැබිනට් මණ්ඩලයත් ඉදිරියේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.
මෙවර පත්වූයේ සීමිත කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාවකි. එම සීමිත කැබිනට් මණ්ඩලය තුළ පවා තරුණ නායකයන්ට අවස්ථාවක් ලබාදීමට ගත් තීරණය පිළිබඳව ජනපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් ස්තූතිය ප්‍රකාශ කළ යුතුය. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් මණ්ඩලයට පත්වූයේ පළමු අවස්ථාවටය.
මේ සියලු කාරණා අතරේ යුද්ධයෙන් බැට කෑ උතුරේ ජනතාව වෙනුවෙන්ද අප සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන්නෙමු. දමිළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ද්‍රවිඩ ජාතික සන්ධානය මෙන්ම තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව මුහුණ දෙනවා යැයි සඳහන් කරන ප්‍රශ්න ඔවුන් යොදා ගන්නේ ඔවුන්ගේ වාසිය වෙනුවෙන් පමණයි.
මේ සඳහා හොඳම උදාහරණය වන්නේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුවයි. ද්‍රවිඩ ජාතික සන්ධානය සෘජුව හා වක්‍රව සහාය ලබාදුන් පසුගිය යහපාලන ආණ්ඩුව එම ගැටලුව විසඳීමට කටයුතු නොකළේය. හුදෙක්ම එම ගැටලුව සාකච්ඡා මේසයන්ට පමණක් සීමා විය.
මේ ගැටලුව ඇතුළු වන උතුරේ ජනතාව මුහුණ දී ඇති සියලුම ගැටලු පිළිබඳව අප මේ වන විට අවධානය යොමුකර අවසන්ය. මේ වන විට පත්ව තිබෙන අන්තර්කාලීන රජයෙන් පවා ඒ වෙනුවෙන් අප සාධනීය පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන්නේය.
උතුරේ ගැටලු පිළිබඳව හොඳින්ම දැනුවත් ඩග්ලස් දේවානනන්ද මහතා මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මනා දැක්මක් ඇති තොන්ඩමන් මහතාට අමාත්‍ය තනතුරු පිරිනැමීමට ජනපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් තීරණය කළේ ඒ හේතුවෙනි.
උතුරු- නැගෙනහිර ජනතාව වෙනුවෙන් අප බොහෝ දේ කළ යුතුව තිබේ. ඒ හුදෙක්ම ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙන් නොව්. ඔවුන්ගේ ජීවිතය යහපත් කිරීමේ අපේක්ෂාවෙනි. මැතිවරණ සමයේදී මම බොහෝ අවස්ථාවලදී උතුරේ බොහෝ ප්‍රදේශවල සංචාරය කළ අතර, ඔවුන්ගේ ගැටලු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි විය.
යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව එවකට මහින්ද රජපක්ෂ උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් උතුරේ ජනතාවට සංවර්ධනය ළඟාකර දීමට අප කටයුතු කළෙමු. කෙසේ වෙතත් ඉන් අනතුරුව බලයට පත්වූ ආණ්ඩුව උතුරේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් යමක් කර ඇති බවක් පෙනෙන්නට නොමැත.
යුද්ධය අවසන් කර වසර 30කට පසුව මහින්ද රාජපක්ෂ මහතා එවකට උතුරු පළාත් සභා මැතිවරණය පවත්වමින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීමට කටයුතු කළේය. නමුත් බලයට පත්වූ යහපාලන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා තියා උතුරු පළාත් සභාව ඇතුළු ශ්‍රී ලංකාවේ පළාත් සභා නමයේම ඡන්දය නොපවත්වා සිටීමට කටයුතු කළේය. මේවා නිවැරදි කිරීමට අප ඉදිරියේදී කටයුතු කරන්නෙමු.
මේ අවස්ථාවේදී අපගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවද යමක් පැහැදිලි කිරීමට අවශ්‍ය වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 29දා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යෑමට නියමිතව තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළුදු වී ඇති සබඳතා ශක්තිමත් පදනමක් සහිතව යළිත් ස්ථාපිත කිරීමට කටයුතු කෙරනු ඇත.
පසුගිය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා දැඩි මතභේදාත්මක තත්ත්වයකට පත්කිරීමට කටයුතු කළේය. ඔවුන් චීනය, ඉන්දියාව හා ඇමෙරිකාව යන රටවල් සමග සබඳතා පැවැත්වූයේ එක් එක් රටවල් අතර සැකයක් ඇතිවන ආකාරයෙනි. මෙම තත්ත්වය අප නිවැරදි කිරීමට කටයුතු කරන්නෙමු. විශේෂයෙන්ම අපි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමු.