රට කෙමෙන් කෙමෙන් ජනාධිපතිවරණයකට ළංවෙමින් තිබේ. කකුල් වෙට්ටු දමමින් ජනාධිපතිවරණය මගහැරීමට ඇතැම් පාර්ශ්ව දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වෙමින් ජනාධිපතිවරණයකට රට තල්ලු වෙමින් තිබේ. මේ ජනාධිපතිවරණයෙන් පසුව බිහිවන ජනාධිපතිවරයා බලහීන, බෙලහීන විලියම් ගොපල්ලව වැන්නෙකි යැයි සමහර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පඬිවරුන් ලියා කියා ඇති නමුදු සත්‍ය එය නොවේ. දහනවයට පෙර තිබූ ජනාධිපති ධුරය මෙන් නොවූවද දහනවය සම්මත වූ සංක්‍රාන්ති සමයේ බිහි වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුරයද මෙන් නොවුවද ලබන නොවැම්බරයේදී මෙරට බිහිවන ජනාධිපති ධුරයද බලසම්පන්න තනතුරකි. එයට නැත්තේ 1978 ව්‍යවස්ථාවෙන් මුලින් ලබාදුන් සහ දහ අට වැනි සංශෝධනයෙන් වැඩි කරදුන් අත්තනෝමතික බලතලත්, ඉන් අනතුරුව දහනවය සංක්‍රාන්තියේදී ලැබුණු ආරක්ෂක අමාත්‍යාංශයට වැඩිමනත් වශයෙන් තවත් අමාත්‍යාංශ දැරීමේ බලතලත් පමණි. ඒ හැරෙන්නට අනාගත ජනාධිපතිවරයාද සර්වජන ඡන්ද බලයෙන් තේරී පත්ව ජනතා පරමාධිපති බලයේ සැලකිය යුතු පංගුවක් දරා සිටින්නෙකි. නව ජනාධිපති ධුරය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නැඹුරු වූ ජනාධිපති ධුරයකි. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරමින් එම ධුරය ලබාගන්නෙකුට රටේද අභිවෘද්ධිය සලසාදීමට භාවිත කළ හැකි පදවියකි.
ගොපල්ලව කතා පසෙකලමින් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ලහිලහියේ ජනාධිපතිවරණයට සැරසෙන්නේ මුලින් කී ව්‍යවස්ථා පඬිවරුන්ට වඩා මේ පදවිය වටා රාශිභූත වන බලයේ ස්වභාවය පිළිබඳ දේශපාලනඥයන්ට ප්‍රායෝගික ඉවක් තිබෙන බැවිනි. එහෙත් එම ප්‍රායෝගික එළඹුම බලය ලබාගන්නේ කුමක් සඳහාද යන්න ප්‍රශ්නය ගැන සැලකීමේදී අප රටේ දේශපාලනඥයන් අතරින් කනගාටුදායක ලෙස අතුරුදන් වී ඇත. ජනාධිපති ධුරයට පත් වී කුමක් කරන්නේද යන ප්‍රශ්නය මගහරිමින් ජනාධිපති බලය ඉල්ලා සිටින අපේක්ෂකයන් දේශපාලන කරළියට පැමිණෙන ආකාරය මේ දිනවල අපට දැකිය හැකිය.
බලයේ අරමුණ අන් කිසිවක් නොව බලය පමණක්ම යැයි උගන්වන ලද මැකියාවෙලියානු අදහස නූතන ලෝකය සම්භාව්‍ය අදහසක් ලෙස පිළිගන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය බලය අරමුණු සමගද ආචාරධර්ම සමගද බැඳී පවතී. මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී බලය අහිමි වූයේ ඔහු දැරූ බලයෙන් ගෞරවය විතැන් වුණු බැවිනි. 2015 ජනාධිපතිවරණයේදී මෙරට බහුතර ඡන්දදායකයා රාජපක්ෂ මහතාට එරෙහිව නගන ලද්දේ සදාචාරවාදී හෙවත් ආචාරධාර්මික අභියෝගයකි. 2015ට පසු එම ආචාරධාර්මික අවශ්‍යතා සියයට සියයක් කෙසේ වෙතත් සාපේක්ෂ වශයෙන් ඉටු කරගැනීමට සමාජයක් ලෙස අපට හැකි විය. නිදහස, මානව හිමිකම්, දූෂිත නොවන මැතිවරණ, ස්වාධීන අධිකරණ ආදිය ඒ අතර වේ. ප්‍රජාතන්ත්‍රවාදය නමැති එම මූලික ආචාරධාර්මික අවශ්‍යතාව සාධනය කරගැනීමෙන් පසු මෙරට දැන් පසුවන්නේ එම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටපිටාව ආරක්ෂා කරගනිමින් රටේ පොදු ආර්ථික සමාජ අභිවෘද්ධිය සලසාගැනීම පිළිබඳ උවමනාවකිනි. මේ අවශ්‍යතා සපුරාගැනීමට හුදු දේශපාලන කාව්‍යෝක්තිවලින් ඔබ්බට ගිය ප්‍රායෝගික ඉදිරි දර්ශනයක් බලගැන්වීම රටේ මීළඟ ජනාධිපතිවරයාගේ උර මත පැටවෙන වගකීමය.
අප රට තවමත් දිළිඳු රටක් වුවත් අන්ත දළිඳු රටක් නොවේ රට ඇත්තේ මැදි ආදායම් උගුලක සිරවූ තත්ත්වයකය. රුපියල් සියයක ඉපැයීම්වලින් රුපියල් අනූහතක්ම ණය ගෙවිමට සිදු වී ඇති ණයගැති ජාතියක් බවට රට පත්ව ඇත. වියදම් කරන ආකාරය පිළිබඳ ආදායම් උපයන ආකාරය පිළිබඳ ගැඹුරු දේශපාලන සාකච්ඡාවක් රටේ නැත. ලාභ ශ්‍රමය, ලාභ පරිසර නීති අප රටේ නැත්තේ අප රට අන්ත දිළිඳු මට්ටම පන්නා ඇති බැවිනි. නව රැකියා වෙළෙඳ පොළක් ජනිත වන පරිදි ආර්ථිකය නවීකරණ කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික දැක්මක් තමවත් රටට ඉදිරිපත්ව නැත.
රටේ ආර්ථිකවෘද්ධිය ළඟා කරගැනීමෙහිලා රටට මහත් ආශිර්වාදයක් විය යුතු විදුලිබල මණ්ඩලය, වරාය, ගුවන්තොටුපොළ, ඛනිජ තෙල් සංස්ථාව රටේ ජනතාව ණයකරුවන් බවට පත් කරමින් සිටියි. ආචාර්ය සරත් අමුණුගමගේ වචනවලින් පවසන්නේ නම් මේ වැදගත් රාජ්‍ය ආයතන දැන් ආර්ථිකය ගිලගෙන සිටින බහිරවයන් බවට පත් වී ඇත. පිළිකුල්සහගත ලෙස දේශපාලනීකරණයට සහ වෘත්තික හා පරිපාලන මාෆියාවන්ට යට වී ඇති මේ ආයතන එම බහිරව තත්ත්වයෙන් මුදවාගන්නා සාකච්ඡාවක් තවම සිදු වී නැත.
ගෝලීය පරිසර අර්බුදය අද රටේ අනෙකුත් අර්බුද පසුකරමින් ඉදිරියට ඇදෙමින් තිබේ. රටේ වියළි කලාපය පමණක් නොව තෙත් කලාපයද මේ වනවිට උග්‍ර ජල හිඟයකට මුහුණදෙමින් සිටියි. දසතින් ඇදහැලෙන දිය සහ සාගරය පරදවන මහ වැව් ගැන කවි ගී සින්දු කියනවා මිස රටේ උග්‍ර වන ජල හිඟයට මුහුණදෙන ආකාරය පිළිබඳ රටේ කතාවක් නැත. ඉදිරි ජනාධිපතිවරයෙකුට රට මෙහෙයවන්නට සිදුවන්නේ මෙවැනි වූ ඇත්ත ප්‍රශ්න රාශියක් විසඳීමට නොවේද?
එහෙත් දැනට පෙරමුණට පැමිණ ඇති අපේක්ෂකයන් හා ඔවුන් වෙනුවෙන් බිහිවන දේශපාලන සන්ධාන කියා සිටින්නේ එකම කරුණකි. එනම් ඔවුන්ට බලය අවශ්‍ය බවය. බලය ලබාගෙන කුමක් කරන්නේද යන ප්‍රශ්නය ගැන ඔවුන් පුදුමාකාර ලෙස නිහඬය. තමන්ට බලය ලැබුණු පසු තම ආනුභාවයෙන් රට යහපත් මගට හැරෙනු ඇතැයි යන පාර භෞතිකවාදී අදහස් දරමින් ඔවුන් තොරොම්බල් කරන්නේ තම පුද්ගලිකත්වයයි. මේ පුද්ගලිකත්වයද පදනම් කරගෙන තිබෙන්නේ පවුල්වාදය, ගජමිතුරුවාදය, ජනමාධ්‍ය ඇජෙන්ඩා ආදිය පදනම් කරගෙනය. එවැනි පෞද්ගලිකත්වයකට මතු කළ හැක්කේ අනුහස් නායකත්වය පිළිබඳ අන්ත පසුගාමී අදහස් කරළියට නැංවීම මිස අනෙකක් නොවේ. සමාජ විද්‍යාඥ මැක්ස් වෙබර් පැවසූ අනුහස් නායකත්වයන් සමාජයේ බිහිවන්නේ සමාජයේ විචාර බුද්ධිය සහ තාර්කිකව කටයුතු කිරීමේ හැකියාවද විපර්යකාරක ගුණයද බිඳවැටුණ මොහොතකය. කෙතරම් ගැටලු තිබුණද අප රට පොදුජන සමාජය තවමත් එතැනට පත් වී ඇතැයි අපට සිතෙන්නේ නැත.