බලධාරීන්ගෙන් විසඳුමක් නොලැබෙන දුම්රිය සේවාවේ ගැටලු


මෙරට ප්‍රවාහන මාධ්‍ය අතරින් දුම්රිය සේවාවට තිබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත් පවතින ගැටලු නිසා දුම්රිය සේවාවේ විවිධ ගැටලුකාරී ස්වභාවයන් ඇතිවී තිබේ. මෙම ගැටලු පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ සංගම් අදාළ බලධාරීන් වෙත විටින් විට වාචිකව හා ලිඛිතව දැනුම්දීම් සිදුකර තිබේ. නමුත් එම ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන්නට අදාළ අංශ අපොහොසත් වී ඇතැයි එම සංගම් චෝදනා කර සිටියි. විශේෂයෙන් දුම්රිය සේවාවේ වසර ගණනාවක් තිස්සේ ඇතිවී තිබෙන පුරප්පාඩු හා උසස්වීම් සම්බන්ධ ගැටලුව තවමත් විසදී නැත. මේ නිසාම ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් සංගම් කිහිපයක් එක්ව ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීමය ක්‍රියාමාර්ගවලට එක්ව සිටීමට තීරණය කර ඇත. මේ හේතුව නිසා දුම්රිය ප්‍රමාදවීම් හෝ දුම්රිය වාර අවලංගු වීම් සිදුවීමට ඉඩ ඇති බව ඔවුහු පවසති. මේ ඊයේ (10දා) ඒ පිළිබඳ එම සංගම් මාධ්‍ය දැනුම්වත් කරමින් දැක්වූ අදහස්ය.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්- කසුන්

දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා මේ වෙනකන් අපි කළ දැනුවත් කිරීම් වලට විසදුම් ලබාදුන්නේ නැහැ. ඒ අනුව දිගුකාලීන ගැටලුවක් තමයි මේ තියෙන්නේ. කනිෂ්ඨ කාර්යය මණ්ඩලය වගේම දුම්රිය ස්ථානාධිපතිවරුනුත් ගැටලු රාශියකට මුහුණ දී ලයි තිබෙන්නේ. අපි දිගින් දිගටම ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් සාකච්ජා ඉල්ලා තිබුනත් මේ ගැටලු ගැන කතා කරන්නට මේ වන තුරු කිසිදු සාකජ්චාවක් ලබා දීලා නැහැ. අපි මේ වෙද්දී ආවරණ රාජකාරී ඉටුකරනවා. නමුත් අපි සේවක පුරප්පාඩු නිසා අධීක්ෂණ ආවරණ රාජකාරී කරගෙන ආවා. ඒ අධීක්ෂණ ආවරණ රාජකාරීවලින් ඉවත් වෙන්න තීරණය කලා. ඒ වගේම කියන්න ඕන දුම්රිය ස්ථානවල නිවේදක තනතුරු 100 පවතින අතර ඒ සියල්ලම පුරප්පාඩුයි. භාෂා ප්‍රතිපත්තිය මත අපිට ගැටලු ආවා. අපේ දෙපාර්තමේන්තුවේ පුහුණු වීම් සදහා මුදල් වෙන් වෙනවා. අපිට මේ සල්ලී වලින් භාෂා පුහුණුව ලබා දෙන්න පුලුවන්. අපි ඉල්ලලා තිබෙනවා භාෂා පුහුණුව සේවකයින්ට දෙන්න කියලා. ඒවා මේ වෙනකන් සිදුවී නැහැ. මේ කටයුතු සදහා වෙන්කරන මුදල් ඉහළ නිළධාරින්ගේ විදේශ සංචාර සදහා යොදවා ගන්නවා. අපි  අධීක්ෂණ ආවරණ රාජකාරී වලින් ඉවත් වීමෙන්  දුම්රිය ප්‍රමාධයන්, හා දුම්රිය අවලංගු වීම් සිදුවෙන්නට පුලුවන් . මෙයින් මගීන්ට සිදුවන අපහසුතා ගැන අපි කනගාටු වෙනවා. අපි මේ අවස්ථාවේ කරන්නේ මගීන් වෙනුවෙන් යමක් කරන එකයි. මොකද අපි අධීක්ෂණ රාජකාරී කරනවාට අපිට අතිකාල ගෙවීම් කරනවා. නමුත් තවත් කනිෂ්ඨ සේවකයෙක් මේ සදහා අපිට යොදවාගන්න වෙනවා. එවිට සේවකයින් දෙදෙනෙක්ට ගෙවීම් කරන්න දෙපාර්තමේන්තුවට සිදුවෙනවා.එක් සේවකයෙක්ට කරන්න ඕන ගෙවීම තමයි මේ සේවකයින් දෙදෙනෙක්ට ගෙවන්න වෙලා තිබෙන්නේ. අපි කියන්නේ 2019 බඳවාගැනීම් සදහා සිදුකළ සම්මුඛ පරීක්ෂණ වලින් තේරීපත්වුණ අයට මේ පත්වීම් ලබා දෙන්න කියලා. අපේ වෘත්තීමය ක්‍රියාමාර්ගයට අනෙකුත් දුම්රිය සේවක සංගම්වලත් දායකත්වය ලැබී තිබෙනවා. කඩිනමින් මේ සදහා පිළිතුරු නොලැබුනොත් අඛන්ඩව මෙම වෘත්තීමය ක්‍රියාමාර්ගවල යෙදෙන්න අපි තීරණය කර තිබෙනවා.

සුමේධ සෝමරත්න- සභාපති ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වශයෙන් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවෙන්න තීරණය කිරීමට මූලික හේතුව තමයි සේවක හිඟය දැඩිව දුම්රිය දෙපාර්තමේන්තුවට බලපා තිබීම. දුම්රිය ස්ථානවල හා දුම්රිය ස්ථාන කණිෂ්ඨ කාර්යමණ්ඩලය, දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළුව කණිෂ්ඨ කාර්යමණ්ඩලය 4000ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. එයින් සුවිශේෂී කාරණාවක් තමයි දුම්රිය මෙහෙයුම් කටයුතු සිදුකරන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහය දෙන්න සිටින සංඥාකරුවන්ගේ පුරප්පාඩු. මේක දුම්රිය ප්‍රවාහනයට ඉතාමත්ම වැදගත් රාජකාරියක්. දිගින් දිගටම මේ පුරප්පාඩු පුරවන්න දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සතු පත්වීම් ශාඛාව හරහා කටයුතු කර නැහැ. ඒ පිළිබඳව අපි වාචිකව හා ලිඛිතව දිනපතා දැනුම්දීම් සිදුකළාට කිසිදු උනන්දුවක් ගන්න බවක් අපිට පේන්නෙ නැහැ. ඒකට අපිට සාධක සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න පුළුවන්. අපි පසුගිය දින කිහිපයේදීත් මේ පුරප්පාඩු වලට, සහන සේවා වලට හෝ බඳවාගැනීම් සිදුකරන්න කියලා ඉල්ලීම් කළා. නමුත් අපි දකිනවා මෙහිදී පුහුණු සේවකයන් ගන්න කල් ගියත් නුපුහුණු සේවකයන් බඳවාගන්න අපහසුවක් නැති බව. රැකියා විරහිත තරුණයන් දහස් ගණන් අපේ රටේ ඉන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඕනෑතරම් නුපුහුණු කම්කරු පුරප්පාඩු  තිබෙනවා. දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක කම්කරුවන් සඳහා තනතුරු 320ක් තිබෙනවා. ඒ 320ම පුරප්පාඩුයි. ඇයි මේවට බඳවාගැනීම් කරන්නේ නැත්තේ? මේ බඳවාගැනීම් නැතිව අපි කොහොමද දුම්රිය ස්ථාන පිරිසුදුව හා අලංකාරව තියාගන්නේ. විශේෂයෙන් වර්තමානයේ සෞඛ්‍ය උවදුරක් තිබෙන කාලපරිච්ජේදයක මගීන්ගේ ආරක්ෂාවට, මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට වැසිකිළි පවිත්‍රව තබාගත යුතුයි. නමුත් ඒ සඳහා අපිට සේවකයන් නැහැ. අපි ඉහළ සේවාවල ඉන්න සේවකයන් යොදවාගෙන තමයි අමාරුවෙන් මේවා කරගෙන යන්නේ. මෙහෙම කරගෙන ගියත්, තවත් ඉදිරියට මෙහෙම පුරප්පාඩු ගොන්නක් මැද්දේ මේ සේවාව කරගෙන යන්න බැරිව තව මාසයක් දෙකක් යද්දී කඩන් වැටෙනවා. අපිට දිගින් දිගටම ආවරණ රාජකාරී අධීක්ෂණය කරමින් රාජකාරී කරන්න බැහැ. ඒ නිසා තමයි අපි මෙවැනි තීරණයකට ආවේ. මෙය වැඩවර්ජනයක් නෙවෙයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ කරනවා. නමුත් දුම්රියන් දුම්රිය ස්ථානයට ඇතුළු කිරීමේදී හා පිටත් කිරීමේදී ප්‍රමාදයන් හා අවලංගුවීම් සිදුවෙන්න පුළුවන්. මෙලෙස අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එන්න තීරණය කළේ ඇමතිවරයාගේ, ජනාධිපතිවරයාගේ අවධානයට මේ ගැටලුව යොමුවෙලා කඩිනම් විසඳුමක් ලබාදෙයි කියන අපේක්ෂාවෙන්. ඒ වගේම කණිෂ්ඨ කාර්යමණ්ඩල වල උසස්වීම් දිගින් දිගටම ප්‍රමාද වී තිබෙනවා. අවුරුදු හතක් අටක් දුම්රිය කාර්යමණ්ඩල සහායක තනතුරුවල ඉන්න අයට තමන්ගේ උසස්වීම් වලට යන්න බැරිව හිරවෙලා ඉන්නවා. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දෙවන පෙළ දුම්රිය ස්ථානාධිපති තනතුරු සියල්ල මේ වන විට පුරප්පාඩුවයි පවතින්නේ. තුන්වන පෙළ අයට දෙවන පෙළට උසස්වීම් නැහැ. ඒ වගේම දෙවන පෙළ දුම්රිය ස්ථානාධිපතිවරුන් නැති නිසා පළමු පෙළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට උසස්වීම් දෙන්න විදිහක් නැතිවෙලා තිබෙනවා. මේ කරුණු අපි දැනුම් දුන්නට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. පසුගිය දිනක අපි යොමු කළ ලිපියවත් හරි හැටියට ඔහු කියවලා නොමැති බවයි අපිට පේන්නේ. ඒ නිසා ලියුමක් හරියට කියවගන්න පුළුවන් පුද්ගලයෙක්ව මේ තනතුරට පත්කරන්න. ඉස්සරහට දුම්රිය සේවාව කරගෙන යන්න මේ තියෙන තත්ත්වය මත බැහැ. මගීන්ට අවම පහසුකම් සපයමින්වත් ගමන් කරන්න බැරි තත්ත්වයක් ඇතිවේවි. දුම්රිය ස්ථානවලට සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ලබාදෙන පහසුකම් පවා ප්‍රමාණාත්මකව ලැබෙන්නේ නැහැ. නමුත් කණිෂ්ඨ සේවකයන් කෝවිඩ් වසංගතයට බිල්ලට දීලා, දුම්රිය සාමාන්‍ය අධිකාරී කාර්යාලයට පැමිණිය හැකි පිරිස සීමා කරලා ඔවුන් රැකෙන්න උත්සාහයක යෙදෙනවා. අපිට මේ ගැන දැඩි වි‍වේචනයක් තිබෙනවා. ඒ වගේම දුම්රිය සේවය පාඩු ලබන සේවයක් කියලා කියනවා. සේවක වැටුප් ගෙවාගන්න බැහැ කියලා කියනවා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් හිතූ හිතූ ආකාරයට එක එක පුද්ගලයන්ට පැවරීම හා විකිණීම සිදුකෙරෙනවා. දුම්රිය ස්ථාන සීමාවේ අනවසර පදිංචිකරුවන් කවුද? බදු පදනමින් ඉන්නේ කවුද කියලා හඳුනාගන්න මේ වෙනකල් ක්‍රියාමාර්ග සලසවලා නැහැ. දුම්රිය ඉඩම් හිතූ හිතූ පුද්ගලයන් අත්පත් කර ගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලබාගත හැකි ආකාර අපි ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක කරන්න මේ සාමාන්‍ය අධිකාරීවරයා කටයුතු කරන්නේ නැහැ. මේ යන ක්‍රමවේදය දිගින් දිගටම ගියොත් දුම්රිය සේවාව කඩා වැටීමකට ලක්වෙයි. දුම්රිය සේවය ගොඩගන්න දැනුත් ප්‍රමාද නැහැ. අපි සේවකයන් ලෙස අවශ්‍ය සහය දෙන්න සූදානම්.

දුම්රිය ස්ධානාධිපතිවරුන් අපිට අයිති සියලුම මෙහෙයුම් රාජකාරිවලින්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි වලින් ආදී සියලුම රාජකාරිවල අපි නියුක්ත වෙනවා. මේ මොහොත වන විට සංඥාකරුවන්ගේ පුරප්පාඩු නිසා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් යොදවාගෙන ඉන්නවා. දුම්රිය ස්ථානාධිපතිවරයෙකුගේ අධීක්ෂණය සහිතව ඔවුන් රාජකාරී ආවරණය කරනවා. මේක අද ඊයේ සිට කරන දෙයක් නෙවෙයි, අවුරුදු දෙකක් තුනක් තිස්සේ කරන දෙයක්. නමුත් මෙයින් රජයට විශාල  මුදලක් අහිමි වෙනවා. මොකද එක් සේවකයෙකුට ගෙවන වැටුප වෙනුවට අද වෙනකොට මේ සේවාවන්ට දෙන්නෙකුට වැටුප් ගෙවන්න සිදු වී තිබෙනවා. මෙය බරපතළ මුදල් නාස්ති කිරීමක්. ඒ කටයුතු වලින් අපි ඊයේ රාත්‍රියේ (10දා) සිට ඉවත් වෙන්න තීරණය කළා. දුම්රිය ස්ථානාධිපතිවරුන් තමන්ට නියමිත රාජකාරි සිදුකරනවා. කිසිම දුම්රිය ස්ථානාධිපතිවරයෙක් රාජකාරියෙන් බැහැර වෙන්නේ නැහැ. වැඩවර්ජනයකට යන්නෙ නෑ. නමුත් ඉදිරියේදී ගන්න තීන්දු තීරණ ගැන බලලා, අනෙකුත් දුම්රිය සංවිධානත් එක්ක එකතුවෙලා අපි තීරණයක් ගන්නවා. අපි බලාගෙන ඉන්නවා පැය 48ක් ඇතුළත රජයේ අවධානය යොමුවෙලා විසඳුම් ලබාදෙයි කියලා.

ශ්‍රී ලංකා දුම්රිය ස්වශක්ති සංගමයේ ලේකම් එම්.ජේ රොබට්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවා වගේ දුම්රිය දෙපාර්තමේන්තුවේ, ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු දාහකට වඩා තිබෙනවා. සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 7000කට වඩා තිබෙනවා. 2019 අගෝස්තු මාසේ මේ පුරප්පාඩු පුරවන්න ගැසට් කළා. ඒ අනුව 12,000ක් පමණ අයදුම් කර තිබුණා. එයින් 10,000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳෙව්වා. මේවාට දෙපාර්තමේන්තුව ලක්ෂ ගණන් මුදල් වැය කළා. ඉන්ටර්විව් බෝඩ් පහක්, දින 20ක් සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවා. එක් අයදුම්කරුවෙක් රුපියල් 300ක මුද්දර ගාස්තුවක් යොමු කරලා තමයි මේ සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වුණේ. ඒ අයටත් විශාල අසාධාරණයක් වෙලා තිබෙනවා. මොකද මෙම සම්මුඛ පරීක්ෂණ වලින් සමත්වූවන් සිටිනවා. නමුත් ඔවුන්ව බඳවා නොගෙන සිටින්නේ දේශපාලන පත්වීම් ටික දාගන්න බැරි නිසා බවයි අපිට පේන්නේ. අපි කියන්නේ මේ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ අය බඳවාගන්න. නැත්නම් මේ දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යන්න අපහසුයි. දිනකට විශ්‍රාම ගන්නා පිරිසයි, අසනීප නිවාඩු ගන්න සිදුවන පිරිසයි බැලුවම මේ සේවාව දෛනිකව පවත්වාගෙන යන්න අපහසු තත්ත්වයකයි තිබෙන්නේ. කණිෂ්ඨ කාර්යමණ්ඩලය ගැන බැලුවම එකදිගට දින දහයක් පමණ වැඩකරන අයයි ඉන්නේ. අපි කියන්නේ බඳවාගැනීම් ඉතාම ඉක්මනින් කරන්න කියලා. විරැකියාවෙන් ඉන්න පිරිස් වලටත් මෙයින් රැකියා ලැබේවි. මෙය නිසි ක්‍රමවේදයක් අනුව සිදුකරන්න.

අමිල දිසානායක- නව දුම්රිය සේවක එකමුතුවේ සභාපති

දුම්රිය ස්ථානවල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට මේ වන විට විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙනවා. සේවක පුරප්පාඩුව නිසා තමයි අපිට මේ ගැටලුවට වැඩි වශයෙන් මුහුණ දෙන්න  වෙලා තියෙන්නේ. සමහර දුම්රිය ස්ථානවල දුම්රිය සේවකයන්ට ඇඳුමක් මාරු කර ගන්නවත් විවේකාගාරයක් නැහැ. මහජන වැසිකිළියේ තමයි ඒ කටයුතු කරගන්න වෙලා තියෙන්නේ. මේවා දෙපාර්තමේන්තුවෙන් ඇවිත් බලන්නෙවත් නැහැ. නමුත් දිගින් දිගටම නිවාඩුවක් වත් නැතිව දින හත අට වැඩ කරන සේවකයන් අතින් සුළු හෝ අඩුපාඩුවක් වුණොත් ඒවාට දඬුවම් දෙන්න නම් ඉදිරිපත් වෙනවා. ඒ වගේම 2014 ස්ථිර වුණ දුම්රිය කාර්ය මණ්ඩල සහායකයන් උසස්වීම් නැතිව දැන් අවුරුදු 7ක් වගේ කාලයක් ඉන්නවා. අවුරුදු 5න් උසස්වීම් ලැබිය යුතු පිරිසක් තමයි මේ උසස්වීම් නැතිව ඉන්නේ. ඒ වගේම පුරප්පාඩු රැසක් තිබුණත් බඳවාගැනීම් සිදුකරන්නේ නැහැ. උසස්වීම් අවුරුදු පහෙන් නොදීමෙන් මීළඟ උසස්වීම කරා යන්න තිබෙන අවුරුදු ගණනින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ අයට අහිමිවෙලයි තියෙන්නේ. අපි රජයෙන්, අමාත්‍යවරයාගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලන්නේ පහළ ශ්‍රේණිවල පුරප්පාඩු පුරවලා බඳවාගැනීමේ පටිපාටියේ පවතින ආකාරයට උසස්වීම් ලබාදීම කඩිනමින් සිදුකරන ලෙසයි.

 ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ භාණ්ඩාගාරික උදයංග ජයසේකර

දුම්රිය දෙපාර්තමේන්තුව වාර්ෂිකව දුම්රිය සේවක පුහුණුව සඳහා විශාල මුදලක් වෙන් කරනවා. පසුගිය අවුරුදු දෙකේ තුනේ වැය ශීර්ෂය අරන් බලන්න පුළුවන් කොතරම් මුදලක් වෙන් කර තිබෙනවාද? ඒවායෙන් කොපමණ මුදලක් දුම්රිය සේවකයන්ගේ පුහුණු කටයුතු සඳහා වැයකර තිබෙනවාද? කියන කාරණය සම්බන්ධයෙන්. ඒ සියලු මුදල් වලින් සිදුවෙන්නේ ඉහළ නිලධාරීන් වසර අවසානයේ විදේශ සංචාරවල යෙදෙන එකයි. එකම දුම්රිය සේවකයෙක් වත් එම මුදල් වලින් පුහුණු සඳහා යොමුකර නැහැ. ඒ වගේම අපේ ගොඩනැගිලි අංශය ගැන කියන්න ඕන. ඕනෑම මගියෙක් දුම්රිය ස්ථානයකට ආවම පේන්න තියෙන්නේ ගොඩනැගිල්ල. ඒවායේ විශාල අඩුපාඩු තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය ලෙස අදාළ අංශ විදුලි පුවත් මගින් දැනුම්වත් කළත්, කිසිදු දුම්රිය ස්ථානයක නිසි ආකාරයෙන් මේ වැඩපිළිවෙළවල් සිදුකරලා නැහැ. වාර්ෂිකව වැය ශීර්ෂ හරහා මේවාට වෙන්කරන මුදල් වලට වෙන්නෙ මොනවද අපි දන්නෙ නැහැ. විශේෂ කමිටුවක් පත්කරලා මේවා විගණනය කරන්න කියලා අපි ප්‍රවාහන අමාත්‍යාංශයෙන්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  වෙන් කළ මුදල් හරි ආකාරයෙන් වියදම් කළා නම් මේ වෙද්දි ලංකාවේ දුම්රිය ස්ථාන සියල්ල නවීකරණය වෙලා ඉවරයි. මේ ගැන සොයා බලන්න කියලා අපි වගකිවයුතු ආයතන හා නිළධාරින්ගෙන් ඉල්ලනවා. ඒ වගේම මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන අඩුපාඩු මොනවාද? දූෂණ වංචා මොනවාද ? කියලා ඇවිත් හොයලා බලන්න. අපේ සංගම් අවශ්‍ය සියලුම තොරතුරු දෙන්න සූදානම්. අපිට අවශ්‍ය නවීන ලෝකයට ගැළපෙන විදිහට මේ සේවාව කරගෙන යන්නයි. නමුත් ඒවා වළක්වන්නේ කවුද කියන එකත් අපි පෙන්වා දෙන්නම්. අපේ දුම්රිය ස්ථානවලට අන්තර්ජාල පහසුකම්වත් දැන් නෑ. ඒ වගේම මොබිටෙල් සමාගමත් එක්ක එකතුවෙලා දුම්රිය ආසන වෙන් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදයක් හදලා තියෙනවා. එයට අවශ්‍ය කටයුතු සියල්ල සිදුකර අවසන් වුණත්, දෙපාර්තමේන්තුව ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මහින්ද අමරවීර අමාත්‍යවරයා විෂය භාරව ඉන්නකොට විශ්‍රාමිකයන්ට දුම්රියේ ගමන් කරන්න බලපත්‍රයක් නිකුත් කළා. එහි ක්‍රමවේදය තමයි ග්‍රාමසේවා නිලධාරීතුමා ළඟට ගිහින් සහතික කර ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කළාට පසු දුම්රිය ස්ථානයෙන් බලපත්‍රය ලබාගැනීම. නමුත් පසුකාලීනව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් එක්ක එකතුවෙලා විශ්‍රාම හැදුනුම්පත දුම්රිය ස්ථානයට ඉදිරිපත් කර ආසන වෙන්කරන ක්‍රමවේදයක් සකස් කළා. මේ සියල්ල මේ වෙද්දී නවතා දමා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ අංශවල කටයුතු කරන අයගේ නොහැකියාවයි ඊට හේතුව. අපිට තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න අවශ්‍ය කටයුතු සැලැස්වීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.



Recommended Articles