බයිලා යන වචනය පෘතුගීසි භාෂාවේ %බයිලර්^ යන වචනයෙන් නිර්මාණය වූයේ යැයි සැලකේ. එහි අර්ථය වූයේ නැටීමයි. එහෙත් %බයිලා^ සඳහා වර්තමාන සිංහල බසෙහි යෙදෙන අර්ථය වනුයේ සංගීතයයි.
බයිලර් සම්ප්‍රදාය ලතින් ඇමෙරිකාව තුළ සිටි පෘතුගීසි ජනතාව තුළ සියවස් ගණනකට ඉහතදී හැදී වැඩුණකි. පසුකාලයකදී %බයිලා^ යන යෙදුම භාවිත වුවද මුල් අර්ථය තුළදී ගායනය සඳහා යොදා ගැනුනේ කපිරිඤ්ඤා යන යෙදුමයි. %කෆිර්^ යන්නෙන් කාපිරි ජනතාවද %රිඤ්ඤා^ යන්නෙන් දේශීය කාන්තාවද අදහස් කෙරිණි.
යටත් විජිතකරණයත් සමග ශ්‍රී ලංකාව වැනි රටවලටද බයිලා සම්ප්‍රදාය පැමිණි අතර, ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ ඊටම සුවිශේෂිත වූ අනන්‍යතා සමග එය තවදුරටත් වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවට අමතරව මෙම සංගීත සම්ප්‍රදාය ගෝව, බැංගලෝරය වැනි ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලද ප්‍රචලිත වී තිබේ.
ලංකාව තුළ බයිලා කලාව ප්‍රචලිත වීමට ප්‍රධාන වශයෙන් බලපෑ නිර්මාණකරුවෙකු වූයේ වොලී බැස්ටියන්ය. ඔහු සිංහල වචන යොදමින් 6/8 තාලයට අනුව බයිලා ගීත නිර්මාණය කිරීමේ යෙදුණේය. පසුව එම්.එස්. ප්‍රනාන්දුගේ ආගමනයත් සමග මෙම සංගීත සම්ප්‍රදාය තවදුරටත් ව්‍යාප්ත විය.
බයිලා කලාව ගත්විට එහි ප්‍රධාන උපෂානර හතරක් හඳුනාගැනීමට හැකිය. එකක් නම් කෝරස් බයිලාවයි. අනෙක්වා නම් වාද බයිලා^, පපරේ බයිලා සහ කැලිප්සෝ බයිලායි. බයිලා සංගීත සම්ප්‍රදාය වැඩි වශයෙන් ප්‍රචලිත වූයේ වෙරළබඩ පළාත්වලය. පෘතුගීසින් සමග පැමිණි කාපිරි ජනතාව වෙතින් මෙම වේගවත් සංගීත සම්ප්‍රදාය වැඩි වශයෙන් ප්‍රචලිත විය. ඊට අමතරව ශ්‍රී ලංකා බර්ගර් ජනතාව අතින්ද බයිලා සම්ප්‍රදාය වඩාත් ශක්තිමත් විය. වයලීන්, වියෝලා, ගිටාර්, ටැබොරින්, රබන්, හාර්මෝනියම් වැනි සංගීත භාණ්ඩ ඒ සඳහා යොදා ගැනිණි.
ඇතැම්විට ට්‍රම්පට් සහ හමුදා ඩ්‍රම් වර්ග මෙන්ම ස්නෙයාර් සහ සිම්බල් වැනි සංගීත භාණ්ඩද බයිලා වාදනයන් සඳහා යොදා ගැනේ. වොලී බැස්ටියන් විසින් කෝරස් ගායනයන් බයිලා සංගීතය සඳහා හඳුන්වා දීමෙන් පසු එය නවමු ආරකින් වර්ධනය විය.
බයිලා ගීත සඳහා සෑම විටම යොදා ගැණුනේ ඉතා සරල පදවැල්ය. වාද බයිලා සම්ප්‍රදායක්ද මුහුදුබඩ පළාත්වල ජන කලාවක් වශයෙන් සියවස් ගණනක් මුළුල්ලේ වර්ධනය වූ ආකාරය දැකගැනීමට හැකිය. මෝදර, මොරටුව, ගල්කිස්ස ආදී ප්‍රදේශ අදටත් %වාද බයිලා^ ප්‍රසංග සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලයි. පුත්තලම ප්‍රදේශයේ ජීවත්වන කාපිරි ජනතාවගේ මංගල උත්සවයන්හිදී බයිලා කලාව සඳහා ප්‍රමුඛත්වයක් ලැබෙන අතර, වයින් සහ කේක් රස විඳිමින් ඔවුහු බයිලා ගීත ගායනා කරති.
කෙසේ වෙතත්, අද වන විට බයිලා යනු ශ්‍රී ලංකාවේ ජන කලාවක් වී ඇති අතර, මෙරට උරුමයක් වන තරමට සුවිශේෂතා නිර්මාණය කර ගත්තකි. ඒ. ඊ. මනෝහරන් විසින් ගායනා කරන ලද “සුරංගනී” වැනි බයිලා ගීත ජාත්‍යන්තරය පවා ජය ගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට ගෙන යෑමේදී උත්තර භාරතීය රාගධාරී සංගීතයටත් වඩා බයිලාවට හැකියාවක් ඇති බව මගේ අදහසයි.