ලොවින් වඳවී ගොස් තිබෙන ලෙස සලකන ලද සත්ත්වයෙකු හෝ ශාකයක් යළිත් සොයාගැනීම ඉතා වැදගත් සහ සුවිශේෂී සිදුවීමකි. මෙසේ වඳවී ගොස් ඇති බවට කලක් විශ්වාස කළ සහ සහ පසුකලකදී යළිත් හමුවී තිබෙන යම් සත්ත්ව හෝ ශාක විශේෂයක් සඳහා ලාසරස් විශේෂ (Lazarus Species) යන නාමය පබැඳීම භාවිත කිරීම David Jablonski සහ Karl W. Flessa යන විද්‍යාඥයන් විසින් 1983දී මුල්වරට සිදුකරන ලදී. ලොවෙන් වඳ වී ඇති බවට විශ්වාස කළ නමුත් යළි හමුවුණු ශාක හෝ සත්ත්ව විශේෂයන් හඳුන්වාදීමට ලාසරස් යන නාමය එතැන්පටන් ලෝකයේ භාවිතයට ගැනිණ.
මියගොස් සොහොනේ තැන්පත් කිරීමෙන් සිවුදිනකට පසුව ජේසුස් වහන්සේ විසින් යළි ජීවය ලබාදුන් බවට බයිබලයේ සඳහන් චරිතය වන ලාසරස්ගේ කතාව අනුව මෙසේ යළි හමුවන විශේෂයන් ලාසරස් විශේෂ ලෙස ඩේවිඩ් ජැබ්ලොන්ස්කි හා කාල් ෆ්ලෙස්සා යන විද්‍යාඥයන් විසින් නම් කරන්නට හේතු වී ඇත. මේ යෙදුම වෙනත් රටවල භාවිත වුවද ලංකාව තුළ භාවිත වනු මීට පෙර අසා දැක නැත. නමුත් මේ පිළිබඳව ලංකාවට මතක් කර දෙන්නට ප්‍රවීණ පරිසරවේදියෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පසුගියදා ගත් උත්සාහයත් සමගම ලංකාව තුළත් ලාසරස් විශේෂ අතරට එකතුවන ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ අවධානය යොමු විය.
ලංකාවෙන් හමුවන ලාසරස් විශේෂ
පසුගිය සති කිහිපය තුළ වඩාත් කතාබහට ලක්වූ කෲඩියා සෙලෙනිකා ශාකය නිසාම මෙම ලාසරස් විශේෂ පිළිබඳ තමන්ගේ අවධානය යොමුවූ බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. විශේෂයෙන් දශක තුනකටත් වඩා කාලයක් වඳවී ගොස් ඇතැයි සලකන ලද මෙම Crudiazeylanica ශාකය යළිත් සොයා ගැනීමෙන් අනතුරුව එයත් තවත් ලාසරස් විශේෂයක් ලෙස හඳුන්වාදීමට හැකි බව ඒ මහතා පවසයි.
ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවෙන්ද මෙලෙස ලාසරස් විශේෂ ලෙස හඳුන්වා දිය හැකි සත්ත්ව විශේෂ කිහිපයක්ද ඒ මහතා මෙසේ පෙන්වා දෙයි.
ලොව පුරා පසුගිය සියවසේ සහ මේ සියවසේදී යළි හමුවුණු මෙවන් විශේෂයන් අතරිනුත් සුවිශේෂී වන්නේ සීලසාන්ත් (Coelacanth) මත්ස්‍යයායි. 1983දී ෆොසිල් අනුසාරයෙන් ලුයී අගාසීස් (Louis Aggazizz) නම් විද්‍යාඥයා විසින් හඳුනාගත් සීලසාන්ත් මත්ස්‍යයෙකු පළමුවරට සොයාගන්නා ලද්දේ දකුණු අප්‍රිකාවේ සිටි Marjorie Courtenay-Latimer මැතිනිය විසිනි. ඉන් පසුව එම මත්ස්‍යයා ඇතුළත් ගණය ඇය වෙනුවෙන් %Latimeria^ ලෙස නම් කර ඇත.
17වැනි සියවසේ සිට 20වැනි සියවසේ මැද භාගය වනතුරු එනම් අවුරුදු 300ක් පමණ කාලයක් මෙලොවෙන් වඳ වී ගොස් ඇතැයි සිතූ බර්මියුඩා පෙස්ටල් නමැති කුරුල්ලාගේ ජනපදයක් 1951 වර්ෂයේ සොයා ගැනීමත් සමගම එම කුරුල්ලාද ලාසරස් විශේෂ යටතට ගැනිණ. තවද ඉන්දියාවේ ජර්ඩ්න් ස්කෝසර් නමින් හඳුන්වන ජව ලිහිනියා යනුවෙන් හඳුන්වන වර්ගයට අයත් කුරුල්ලෙක් මෙලොවෙන් වඳ වී ගොස් ඇති බවට විශ්වාස කෙරිණ. මෙම කුරුළු විශේෂය 1986 වර්ෂයේදී භාරත් භූෂන් නැමැති තරුණ විද්‍යාඥයා විසින් සොයා ගනු ලැබීය.
මෙලෙස ලාසරස් විශේෂ ලෙස හඳුනා ගැනෙන සත්ත්ව හා ශාක ලැයිස්තු බොහෝ විට පවත්වාගෙන යනු ලබන්නේ පරිසර හා සත්ත්ව විද්‍යාඥයන් විසිනි. ඒ හැර එම ලැයිස්තු යාවත්කාලීන කරමින් පවත්වාගෙන යන නිශ්චිත එක් පුද්ගලයෙකු හෝ නිශ්චිත ආයතනයක් නොමැත. නමුත් මෙම ලාසරස් විශේෂ සම්බන්ධ ලේඛන පවත්වාගෙන යෑම සිදුවන්නේ රතු දත්ත පොත ආශ්‍රය කර ගනිමිනි. රතු දත්ත ලේඛනයේ EX ලෙස දක්වා ඇත්තේ මෙලොවින් වඳ වී ගොස් ඇතැයි සලකන සත්ත්ව හා ශාක විශේෂයන්ය. මීළඟට CR(PE ) එනම් වඳවීමට අත්‍යාසන්න හෝ ඇතැම්විට වඳ වී ගොස් ඇතැයි සැලකෙන විශේෂ දක්වා තිබේ. මෙම CR(PE) ලෙස දක්වා ඇති විශේෂ අවුරුදු ගණනාවකින් වාර්තා නොවුණු විට EX නැතහොත් වඳවී ගොස් ඇති කොටසට එකතු කරනු ලැබේ. ඒ අනුව රතු දත්ත ලේඛනයේ මේ කොටස් දෙකට අයිතිව සිටි සත්ත්ව විශේෂයක් හෝ ශාක විශේෂයක් යළි සොයා ගත් විට CR යන කොටසට එකතු කරනු ලබයි. ඒ අනුව එම විශේෂය ලාසරස් විශේෂයක් බවට පත්ව ඇති බව අපට දැනගත හැකිය.
ශ්‍රී ලංකාවෙන් පවා මෙසේ ලාසරස් විශේෂ ගණනාවක් ඉකුත් දශක කිහිපය තුළ සිදුවූ නැවත සොයාගැනීම් හරහා වාර්තා වේ. ඉන් පැරණිම, විද්‍යාත්මක සහ තවත් හේතු ගණනාවක් නිසාම සුවිශේෂී වන නිදසුන ලෙස මහාචාර්ය නිමල් ගුණතිලක සහ මහාචාර්ය කොස්ටමාන්ස් ඇතුළු විද්‍යාඥ පිරිසක් විසින් 1979දී බුලත්සිංහල පිහිටි වලව්වේවත්ත වතුරානයෙන් සොයා ගත් හොරවැල් ශාකය (Stemonoporusmooni) හඳුන්වා දිය හැකිය.
එසේම මෙරටින් සොයාගත් බවට වාර්තා වන එකම සමුද්‍රීය ලාසරස් මත්ස්‍යයා වන්නේ 2011 වසරේදී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මධුර ද සිල්වා සහ නදීක හපුආරච්චි මහතුන් ඇතුළු කණ්ඩායමක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් රුහුණු (යාල) ජාතික වනෝද්‍යානය තුළ සිදුකළ මත්ස්‍ය අධ්‍යයනයකින් හමුවුණු සහ 2014 වසරේදී රෙක්ස් ද සිල්වා මහතා විසින් හඳුනාගත් පොන්ඩිචෙරී මෝරාය. මෙම පොන්ඩිචෙරි මෝරා (Pondicherry Shark) 1979 පසු වාර්තා නොවූ ලෙස සලකන ලද සහ වඳවී යාමේ තර්ජනයට ඉතා දැඩි ලෙස ලක්ව තිබෙන හෙවත් වඳවී යාමට අත්‍යාසන්න (Critically Endangered) (CR) ලෙස සලකන ලද මත්ස්‍යයෙකි. මෙම මත්ස්‍යයා මිරිදියෙන් හමුවුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙන්ම එම මත්ස්‍යයාට හානි නොකර අල්වාගෙන, රූගත කර නිදහස් කර තිබීමත් යන හේතු නිසාත් මේ සොයාගැනීම විශේෂයෙන් වැදගත් වේ.
තවද හිමේෂ් ජයසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් වාර්තා කළ ලාසරස් ශාක මෙන්ම, මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් වාර්තා කළ ලාසරස් උභයජීවීන් විශේෂයන්ද සඳහන් කළයුතු වේ.
ලාසරස්ලා රැක ගැනීම
ලොව කොතැනක හෝ වඳවී ගියා යැයි සලකන ලද ශාක හෝ සත්ත්ව විශේෂයක් යළි හමුවීම හෙවත් තවත් ලාසරස් විශේෂයක් එකතු වීම සුවිශේෂී සතුටුදායක පුවතකි. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් යම් විශේෂයක් ලාසරස් විශේෂයක් බවට පත්වීම අතිශයින්ම වටිනා සහ වැදගත් මෙන්ම, සුවිශේශී ලෙස සතුටු විය හැකි සහ සතුටු විය යුතු සිද්ධියකි.
නමුත් පසුගිය සති කිහිපයේ මෙරට ලාසරස් විශේෂ අතරට වැටුණු කෲඩියා සිලෙනිකා ශාකය සම්බන්ධ සිද්ධියේදී මෙරට ඇතැම් පිරිස් හැසිරුණු ආකාරයන් හා දැක්වූ ආකල්ප පිළිබඳ ඇත්තේ පැහැදීමක් නොවේ.
මේ ඒ පිළිබඳ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා දක්වන අදහස්ය.
&මිහිමතින් සම්පූර්ණයෙන්ම තුරන්වී ඇති බව සිතූ ශ්‍රී ලංකාවට ආවේණික Crudia zeylanica නම් රනිල ශාකය, මධ්‍යම අධිවේගී මාර්ගයට නතු වීමට නියමිත ගම්පහ, දාරළුව ප්‍රදේශයේ ඉඩමකින් වාර්තා වීමත් සමග දැඩි කතාබහක් මෙරට ඇතිවුණා. පරිසරයට ආදරය කරන බොහෝදෙනෙක් එය අසිරිමත් සිදුවීමක් ලෙස සලකා අදාළ ශාකය ආරක්ෂා කිරීමට දැඩි වෙහෙසක් ගත්තා. නමුත් අපි දැක්කා මෙම ශාකය තවත් පිරිසකගේ වෛරයට ලක්වී ඇති ආකාරය. එමගින් අධිවේගී මාර්ග සංවර්ධනයට බාධා වන බවට චෝදනා නැගුණා. උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පවා මෙම ශාකය “දරට ගැනීම හැර වෙනත් ප්‍රයෝජනයක් නැතැයි” ආදී වශයෙන් විවිධ මත ප්‍රකාශ කර තිබුණා. නමුත් වඳවී ගිය ජීවී විශේෂ නැවත හමුවීම ඉමහත් සතුටට පත්විය යුතු කරුණක් මිස ද්වේශයට හේතුවක් නොවන බව අප අවධාරණය කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ අතිශය විශාල ජෛව විවිධත්වය සහ අප රටට පමණක් ආවේණික සත්ත්ව හා ශාක විශේෂ ගණනාවක් දැකගන්න පුළුවන්. නමුත් මෙරට ස්වාභාවික පරිසරයේ වාර්තා වූ ජීවී විශේෂ ගණනාවක් මෑත අතීතයේදී මිහිමතින් තුරන් වී ගොස් තිබෙනවා. උදාහරණයක් වශයෙන් මෙරට හමුවන උභයජීවී විශේෂ වලින් 21ක් මිහිතලයෙන් සදහටම වඳවී ගොස් ඇති බව 2012 රතු දත්ත ලේඛනයේ සඳහන්. නමුත් පසුව නැවතත් ඉන් තිදෙනෙකු අනාවරණය කරගැනීමට මෙරට ප්‍රමුඛ පෙළේ උරග සහ උභයජීව විද්‍යාඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට හැකියාව ලැබීම අතිශය සතුටු විය හැකි සිද්ධියක්. ඉතිරි උභයජීවීන් 18 දෙනා තවදුරටත් වඳවී ගිය ජීවීන් විශේෂ ලේඛනයට ඇතුළත්ව තිබෙනවා. වඩාත් කණගාටුදායක කරුණ වන්නේ ලෝක සංරක්ෂණ සංගමය විසින් මිහිමතින් තුරන්ව ගොස් ඇති බවට ස්ථීර කර ඇති මුළු උභයජීවීන් විශේෂ 35න් 18ක්ම ශ්‍රී ලංකාවේ ජීවත් වී සිට වඳවී ගොස් ඇති මෙරටට ආවේණික විශේෂ වීමයි. තවද මිරිදිය මසුන් විශේෂ දෙකක් වඳවී ගොස් තිබීමට ඉඩ ඇති ලෙස 2012 රතු දත්ත ලේඛනයේ දක්වා තිබෙනවා. පරිසරයට ආදරය කරන පිරිස් පර්යේෂණ කරලා නැවත සොයාගන්න මේ විශේෂ වලට අපි වෛර කිරීම නොවෙයි සිදුකළ යුත්තේ.*
මෙරට පරිසරවේදීන් ඉමහත් සේවයක් හා පරිශ්‍රමයක් දරමින් මෙලෙස ලෝකයෙන් වඳව ගිය බවට විශ්වාස කළ ශාක හා සත්ත්ව විශේෂ යළි ලෝකය හමුවට ගෙන එද්දී ඒවා තවදුරටත් ආරක්ෂා කිරීම සිදුකළ යුතු වෙයි.
නමුත් ලාසරස් ශාක විශේෂයක් වන කෲඩියා සිලෙනිකා ශාකය දාරළුවෙන් පමණක් නොව තවත් ප්‍රදේශ කිහිපයකින්ද සොයාගත් බව සඳහන් කිරීමත් සමග දාරළුවෙන් සොයාගත් ශාකය සංවර්ධන කටයුතු වෙනුවෙන් බිලි දීම ගැටලුවක් නොවන බවට ඇතැමුන් අදහස් දරන්නට විය. එය ඉතාම අවිද්‍යාත්මක සිතුවිල්ලක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙනු ලැබීය.
"දාරළුවෙන් සොයාගත් ශාක විශේෂයේ තවත් ශාක විවිධ පැතිවලින් සොයාගනු ලැබුණු බව පසුගිය සති කිහිපයේ හෙළිදරව් වූවා. නමුත් මේ ශාක වලින් ගම්පහ උද්භිද උද්‍යානයේ තිබෙන ශාක කිහිපය හැරෙන්නට අනිත් ශාක තිබෙන්නේ ආරක්ෂිත නොවන ප්‍රදේශ තුළයි. ඒ වගේම මේ හැම තැනකම විශාල ගහන අපි දකින්නේ නැහැ. තිබෙන්නේ පැළ කිහිපයක් පමණයි. ඒ වගේම මේ ගස් හමුවන්නේ හුදෙකලා වුණු ගහනයන් ලෙස දුරින් දුරයි. අපි මේ හමුවන ගස් හෝ පැළෑටි එකිනෙකට ඈත්ව කුඩා ගහනයන් ලෙස එකිනෙකට හුදෙකලාව තමයි දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ අඛණ්ඩ පරිසර පද්ධතියක නොවෙයි තිබෙන්නේ. ඒ වගේම නෛතික වශයෙන් ආරක්ෂිත ප්‍රදේශවලින් නොවෙයි මේ ශාක හඳුනා ගන්නේ. මේ කාරණා එකතු වුණාම අපිට විද්‍යාත්මක හා නෛතික කරුණු එක්ක විශ්ලේෂණය කළාම අපිට තත්තාරූපීව පේන දේ තමයි මේ ශාකය අවදානම් තත්ත්වයක තිබෙන බව. මේ තැනින් තැන හමුවෙන කෲඩියා සිලෙනිකා ශාකවලින් අපිට පෙනී යන්නේ මේ විශේෂ නෂ්ට වීම ආරක්ෂා කරගෙන දරාගෙන සිටින්නන් ටිකක් තමයි මේ අපිට හමුවෙලා තිබෙන්නේ කියන එක. යුද්ධයකදී අවසානයේ හුදෙකලා සෙබලුන් තැනින් තැන හම්බෙනවා වගේ දෙයක් තමයි මේ. ඒ නිසා අපිට මේ ශාකය තැන් කිහිපයකින් හමුවුණා කියලා අපිට සතුටු වෙන්න බැහැ. සතුටු විය හැකි එකම දේ තමයි වඳවී ගියා යැයි සැලකූ කෲඩියා සිලෙනිකා නම් ශාකය නැවත හමුවී ලාසරස් විශේෂයක් බවට පත්වීම. එය කඩිනමින් ආරක්ෂා කිරීමයි දැන් සිදුවිය යුත්තේ."
මෙරට සතුන් හා ශාක ගැන සලකා බැලීමේදී ආරක්ෂිත හා ආරක්ෂිත නොවන ලෙස කොට්ඨාස දෙකක් පවතී. දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ සියල්ල වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ ආරක්ෂා කර තිබේ. ඒ අනුව ආරක්ෂිත ශාකයක පැළ උදුරාගෙන යෑම, පැළ ගලවාගෙන යෑම නීතියෙන් තහනම්ය. යමෙක් පරීක්ෂණ සඳහා හෝ මේ ශාක විශේෂ සංරක්ෂණය සඳහා බෝ කිරීමට රැගෙන යනවා නම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අවසරය අවශ්‍ය වේ. එසේ නොමැතිව ශාක කොටස් රැගෙන යෑම හෝ නිදර්ශක සෑදීම සිදුකළ නොහැකිය. වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරයෙන් තොරව යම් අයෙක් මේ කටයුතු සිදුකිරීම නීතිවිරෝධී කටයුත්තකි. නමුත් පෞද්ගලික වත්තක තිබෙන ගසකින් බීජ ඇහිද ගොස් ඒවා පැළ කිරීමට නීතියෙන් තහනමක් නොමැත. ඒ හැර වන ශාක පැළ තවන් ලෙස පවත්වාගෙන යෑමට අවසරයක් ගැනීම සිදුකළ යුතුය. යමෙක් අවසර ගෙන මේ කටයුතු සිදුකිරීම ඉතා හොඳ ක්‍රියාවකි. නමුත් පැළ ගලවාගෙන ගොස් එසේ කිරීම නීතිවිරෝධී බව සඳහන් කළ යුතුය.
එසේම යම් සංරක්ෂිත සත්ත්ව විශේෂයක් බෝ කිරීමට රැගෙන යෑමද නීතිවිරෝධී වේ. ලාසරෙත් විශේෂ නැත්නම් වඳවී ගිය බවට සැලකෙන ශාක හෝ සත්ත්ව විශේෂයක් යළි හමුවීම වාසනාවක් යැයි සැලකිය යුතුය. යළි හමුවූ විගසම එම ශාක හෝ සත්ත්ව විශේෂය ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක හා නෛතිකමය කරුණු එකතු කරගෙන සැලැස්මක් සකස් කිරීම සිදුවිය යුතුය. ඒ අනුව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර මේ ලාසරස් විශේෂය ස්ථානයට ආවේණිකද, ගහන කිහිපයක් පවතීද යන්න හඳුනාගැනීම මූලිකව සිදුකළ යුතු වේ. ඒ අනුව ආරක්ෂිත කලාප සැකසීම සිදුකළ යුතුය. එසේම ස්ථානීයව බෝ කිරීම සිදුකළ යුතුද, ඉන් පරිබාහිරව සිදුකළ යුතුද යන්නද විද්‍යානුකූලව තීරණය කළ යුතුය. ඒ අනුව විශේෂය බේරාගැනීම සඳහා සමුච්චිත වැඩපිළිවෙළක් සකස් කළයුතු වේ. නමුත් ලංකාවේ එවන් වැඩපිළිවෙළක් මෑතකාලීනව රාජ්‍ය මට්ටමෙන් විධිමත්ව සිදුවන බවට දක්නට නොමැති බවට පරිසරවේදීහු පෙන්වා දෙති. නමුත් 1979 වර්ෂයේ වලව්වත්ත වතුරාන ප්‍රදේශයෙන් හොරවැල් ශාකය සොයාගත් අවස්ථාවේ හා ස්වාභාවික පරිසරයෙන් වඳවී ගොස් ඇති බවට සැලකූ %සුවඳ^ නම් නා ශාක විශේෂය සොයාගැනීමේ අවස්ථාවේදී ශාකයේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කිරීම දැකගත හැකි විය.
කෲඩියා සිලෙනිකා ශාකය මෙන්ම මෙරට හමුවූ උභයජීවීන් අතරින් ආවේණික විශේෂ 21ක් ලොවෙන් සදහටම වඳවී ගොස් තිබෙන බවට සඳහන් වන්නේ කලක සිටය. නමුත්, පසුගිය කාලයේදී මින් විශේෂ තුනක් නැවත සොයාගෙන ලාසරස් විශේෂයන්හී (Lazarua Species) තත්ත්වයට පත්වූයේ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා කළ පර්ය්ෂණ මගිනි.
නමුත්, මේ වනවිටත් මෙරටට ආවේණික සහ දුර්ලභ උභයජීවීන් රැසක් වඳ වීමේ තර්ජනයට මුහුණ දී හමාරය. වඳවී යන ජීවීන් පිළිබඳව පළකරන රතු දත්ත ලේඛනයේ (National Red Data List) වඳවී යාමේ තර්ජනයට ලක්වී තිබෙන තක්සේරු කිරීම් අනුව මෙරට උභයජීවීන් රාශියක් වඳවී යාමේ තත්ත්වයට අත්‍යාසන්න (Critically Endangered)(CR), වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස ලක්වූ (Endangered)(EN) සහ වඳවී යාමේ තර්ජනයට පාත්‍ර (Vulnerable)(VU) යන කොටස් තුනෙන් එකකට අයත් වේ.
මේ වන විටත් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 31(අ) වගන්තිය අනුව සහ ඒ යටතේ තිබෙන පස්වන උපලේඛනය අනුව මෙරට හමුවන සුලභ උභයජීවී විශේෂ දහයක් හැරුණුවිට අන් සියල්ලන්ම නීතියෙන් ආරක්ෂිත වේ.
ඒ අනුව ආරක්ෂිත උභයජීවියෙකු මරා දැමීම, තුවාල කිරීම හෝ හානි කිරීම, යම් උභයජීවියෙකු හෝ කොටසක් තම සන්තකයේ හෝ භාරයේ තබාගෙන සිටීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමත් තහනම් වේ.
මෙම පස්වන උපලේඛනය තුළ සිටින්නේ ආරක්ෂිත නොවන විශේෂ දහය නිසා එය බැහැර ලේඛනයකි (negative list). එනම්, එහි තිබෙන්නේ ආරක්ෂාව නොලබන්නන් නිසා එහි සඳහන් නොවන සියලු විශේෂයන් ආරක්ෂිත වේ. මේ ක්‍රමවේදය නිසා අලුතින් හමුවී හඳුන්වාදෙනු ලබන නව විශේෂ සියල්ලටම නීතිමය ආරක්ෂාව නිතැතින් හිමිවේ.
පර්යේෂණ ප්‍රමාණවත්ද?
මෙරට ලාසරස් විශේෂ සොයාගත් පර්යේෂකයන් පිළිබඳ අවධානය යොමුකරන විට ඔවුන් සියලුදෙනාම පාහේ ජනතා විද්‍යාඥයන් බව පැහැදිලි වේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා, ජයසිංහ මහතා ඇතුළු බොහෝදෙනා තම පෞද්ගලික මහන්සියෙන් හා පෞද්ගලික කැප කිරීමෙන් මෙම පර්යේෂණවල නියැළෙන්නන් බවට පැවසිය හැකිය. එසේම නීතීඥ ජගත් ගුණවර්ධනයන්, සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් සියල්ලන්ම පාහේ ජනතා විද්‍යාඥයන් වේ. ඒ අනුව මෙරට බොහෝ පර්යේෂණ සිදුකරනු ලබන්නේ ආයතනගත පර්යේෂකයන් නොව ජනතා විද්‍යාඥයන් බව පෙනී යයි. එයින් පෙනී යන්නේ මෙරට බලය හා වගකීම ඇති ආයතනවල පවතින යම් අඩුපාඩුවකි. 90 දශකයෙන් පසු මෙරට වඳවී ගොස් ඇතැයි සැලකූ ශාක හා සත්ත්ව විශේෂ සොයාගැනීම වෙනුවෙන් වැඩි මෙහෙයක් සිදුකළ ඩී.එස් ජයසිංහ, මෙන්ඩිස් වික්‍රමසිංහ, මධුර ද සිල්වා, නදීක හපුආරච්චි ආදී සියලුදෙනාම ජනතා විද්‍යාඥයන් වේ. ඒ අනුව අදාළ විෂය දරණ රාජ්‍ය ආයතනවල සිටින විද්‍යාඥයන් හා පර්යේෂකයන්ට මේ සම්බන්ධයෙන් වැඩකටයුතු කිරීමට ලබාදෙන පහසුකම් හා සහයෝගය හා අනුග්‍රහයේ අඩුවක් දක්නට ලැබේ. එය වඩාත් ප්‍රත්‍යක්ෂ වූයේ කෲඩියා සිලෙනිකා ශාකය සම්බන්ධ සිදුවීමේදීය. කෙසේවෙතත් කෲඩියා සිලෙනිකා ශාකයේ සිදුවීම තුළින් මෙරට පරිසරය සම්බන්ධ කාරණා රැසක් පිළිබඳ අවධානය යොමු වීම ජාතියේ වාසනාවකි.
ස්තූතිය- පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට හා ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ් මහතාට.
ජයරූප - එල්.ජේ මෙන්ඩිස් මහතාගෙන් හා නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගේ ෆේස්බුක් ගිණුමෙන්