නීති සහ අධිකරණ ක්ෂේත්රය සහ බන්ධනාගාර ක්ෂේත්රය මේ දිවනවල වැඩිවශයෙන් කතාබහට ලක්ව තිබෙන ක්ෂේත්‍ර බවට පත්ව තිබේ. මේ නිසාම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සමග මෙම ක්ෂේත්රයන් සහ එහි ඉදිරිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද අපි අදහස් කළෙමු.
? මරණ දඬුවම ලබාදීම පිළිබඳව යළි කතාබහක් ඇතිවී තිබෙනවා. මරණ දඬුවම ලබාදිය යුතු යැයි කියා ජනාධිපතිවරයා කියනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද
මරණ දඩුව දීම ගැන ජනාධිපතිතුමා කතා කළේ මත්කුඩු ජාවාරම නිසා. මොකද මත්කුඩු ජාවාරම නිසා අද සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වය අපි හැමෝම දන්නවා. ඒක අපි අනිවාර්යෙන්ම පිළිගත යුතුයි. මේ නිසා නගරයේ මෙන්ම ගම්වලත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන කාරණය සහ අපි ඒ පිළිබඳව ජාත්‍යන්තරව ඇතිකරගෙන තිබෙන බැඳීම් සහ සම්මුතීන් සමග අපිට රටක් විදිහට තව ටිකක් කල්පනා කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අපිව දැනුවත් කරයි. ඉන්පසුව අපිට තීරණයක් ගන්න පුළුවන්.
?මරණ දඬුවම ලබාදිය යුතු පුද්ගලයන්ගේ ලයිස්තුව ලබාදීම ප්‍රමාද කළා කියා ජනාධිපතිවරයා වරෙක චෝදනා කළා
ඒක ප්‍රමාද කරන්න මට කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඒ සියල්ල දින වකවානු ඇතිව මම ජනාධිපතිතුමාට භාරදී තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා මේ කියපු කතාවට හේතුව අපි නොදන්න කරුණක් වෙන්න පුළුවන්. මොකද මරණ දඬුවම නියම වෙලා නමුත් හංගලා තියෙන සැකකරුවෝ ඒ තුළ ඉන්නවා වෙන්න පුළුවන්. අපි ඒක දන්නේ නැහැනේ. බන්ධගාර දෙපාර්තමේන්තුව හරි තොරතුරු ලබාදුන්නාද කියලා ජනාධිපතිතුමාට ගැටලුවක් ඇති. කොහොම වුණත් එතුමා පාර්ලිමේන්තුවේදී කතාකරලා එය නිවැරදි කළා.
?නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා. එහි ඉදිරි කටයුතු කෙසේද?
අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනයට රටේ නීතිය ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා අපි ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවුණා. මොකද අධ්‍යාපනය අඩු අය වැඩිපුර බන්ධාගාරගත වෙනවා. ඒ වගේම පාසල් යන දරුවෝ නීතිය මොකද්ද කියලා දන්නේ නැහැ.
නීතිය නොදැන සිටීම වරදක්. ඒ වගේම දරුවන්ට හොඳ දේවල් කියලා දෙන්න දෙමාපියන්නට එදා ඇති තරම් වෙලාව තිබුණා. නමුත් දැන් එහෙම නැහැ. දරුවන් ගැන විශාල වගකීමක් දෙමාපියන්ට තිබෙනවා.
ඒ නිසා අධ්‍යාපනයට නීතිය ඇතුළත් කරන්න අපි තීරණය කළා. ඒ අනුව නීතිය කියන්නේ මොකද්ද, නීතියට සියලු දෙනාම යටත් කියන කාරණය, මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ කවදා සිටද කාරණය , නීති වර්ග මොනවාද වගේ සාමාන්‍ය කාරණා 06 , 07, 08 වසරවල දරුවන්ට මේ යටතේ උගන්වන්න සැලසුම් කර තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය, ලැබෙන දඬුවම් යන කාරණා 09,10,11 වසර සඳහා ඉගැන්වීමට සූදානම් කර තිබෙනවා. මේ හැම දෙයක්ම දරුවන්ට කියලා දිය යුතුයි.
නීතිය විෂයක් විඳහට හෝ වෙනත් විෂයක කොටසක් විදිහට විෂය නිර්දේශයට ඇතුළත් කරන්න කියලා අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. එය ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරයි.
?මරණීය දණ්ඩය ලබාදීමට අලුතින් කඹයක් මිලදී ගැනීම සහ අලුගෝසු තනතුර සඳහා අලුතෙන් පුද්ගලයෙකු බඳවා ගැනීම සිදුකරනවාද?
හදිසියේම කිව්වොත් මරන්න කියලා ඒ සඳහා කෙනෙක් ඉන්න ඕන නිසා අලුගෝසුවෙකු බඳවා ගන්න යනවා. මරණ දඬුවම ලබාදෙන්න අලුත් කඹයක් ගේන්න යනවා කියලා කවුද කිව්වේ? කවුරුත් කඹයක් ගේන්න යන්නේ නැහැ. ඒක බොරුවක්. මරණ දඬුවම ගැන කතාකරද්දී ඒ දේවල් ගැන අමාත්‍යාංශ ලේකම් සොයාබැලීම සාමාන්‍ය සම්ප්රදාය. මෙසේ කළ සොයාබැලීම තමයි අද මේ කඹයක් ගෙන්නන්න යනවා කියලා පැතිරීගෙන යන්නේ. දැනට මේ සඳහා ගෙන්වූ හොඳ කඹයක් තිබෙනවා. එය 2012දී ගෙන්වපු කඹයක්. එහි ප්‍රමිතිය පරීක්ෂා කරන්නට ප්‍රමිති ආයතනයට යොමු කර තිබෙනවා. එපමණයි සිදුකර තිබෙන්නේ.
?ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන සහයෝගීතාවන් සමග මරණ දඬුවම ලබාදීම ප්‍රායෝගිකව සිදුකළ හැකියි කියල ඔබතුමිය සිතනවාද?
මරණ දඬුවම රටවල් බොහොමයක ක්‍රියාත්මක වෙනවා. ඇමෙරිකාවේ, සිංගප්පූරුවේ වගේ රටවලත් එය සිදුවෙනවා. විවිධ ක්‍රමවලට මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල් තිබෙනවා ඒ සම්බන්ධයෙන් එකඟතාවට ඇවිත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නවත්වලා තිබෙන රටවල්. ශ්‍රී ලංකාවත් වසර 42කට එය ක්‍රියාත්මක කළේ නැහැ. මේ සියල්ල සලකලා තමයි ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙන්න ඇත්තේ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කලින් ජනාධිපතිතුමා අපිත් එක්ක සාකච්ඡා කරයි කියලා මම විශ්වාස කරනවා.
?ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මඳුෂ් සමග බන්ධනාගාර නිලධාරීන් සිටි බවට තහවුරු කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළාද?
බන්ධනාගාර නිලධාරීන් හැමතැනම ඉන්නවා. පාතාලය සමගත් ඉන්නවා , හොරකණ්ඩායම් සමගත් ඉන්නවා , ව්‍යාපාරිකයෝ සමගත් ඉන්නවා. ඒ දෙපාර්තමේන්තුව හැදිලා තියෙන විදිහ තමයි ඒ. බන්ධනාගාර නිලධාරීන්ගේ විනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. මේ නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් කරන්න සිදුවෙලා තිබෙනවා. මෙම අපරාධවලට නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබෙනවාද කියන දේ පිළිබඳව බොහෝ දේවල් හොයාගෙන තිබෙනවා. දන්න දේවල් තිබෙනවා. ඉදිරියට ඒ ගැන බලමු නේද මොනවද වෙන්නේ කියලා.
?එය වෙනස් කරන්න සැලසුමක් තිබෙනවාද?
සැලසුමක් තිබුණා සහ තාමත් තිබෙනවා. කාලයත් තිබුණොත් කරනවා.
?කාලයක් තිබුණොත් කරනවා කියන්නේ ඇයි?
කියන්න බැහැනේ. ඔක්තෝබර් 26දා සිදුවුණේ හිතපු නැති දෙයක්නේ. ආයෙත් ඒදේ වුණොත් මම කොහොමද ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ. වෙනස්වෙන ලෝකයකනේ අපි ඉන්නේ.
?අගුණුකොලපැළැස්ස බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා 02 ක් ලබාගත්තා. ඉන්පසුව කුමක්ද සිදුකරන්නේ?
ඒ වාර්තාවල හැටියට තීරණයක් ගන්න පුළුවන්. නැතිනම් තීරණයක් නොගෙන ඉන්න පුළුවන්. කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න බැහැ. පසුගිය දවස් 54දී බන්ධනාගාරය තුළදී මනුස්සයෙකුට ගහලා මරලා දාලා තිබුණා. නොවැම්බර් 16දා ඒක සිද්ධ වුණේ. ඒ මනුස්සයාගේ ජීවිතය ගැන කවුරුත් කතා කළේ නැහැ. ඉතාම පාතාල ගනයේ සිදුවීම්වලට සම්බන්ධ කෙනෙක් තව කෙනෙක්ට ගහද්දී ඒක බේරන්න තමයි මේ නිලධාරීන් ඇතුළට ගිහින් තිබුණේ. යකඩ පොල්ලකින් පවා ගහල තිබුණා. ඒ ගුටිකාපු මනුස්සයා මාස දෙකක් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලැබුවට පසුවයි බන්ධනාගර රෝහලට ගෙන එන්න හැකි වුණේ . ඒවා ගැන කවුරුත් කතාකරන්නේ නැහැ. පහරදීම හරි කියලා මම කියන්නේ නැහැ.
?මත්ද්‍රව්‍ය ජාවාරමේ මූලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බව ජනාධිපතිවරයා වරෙක පැවසුවා. මේ පිළිබඳ අදහස කුමක්ද?
ජනාධිපතිතුමා එහෙම කිව්වා නම් ඒකට හේතුවක් ඇති. මම ඒක නැහැ කියන්නේ නැහැ. මොකද එතුමා වැලිකඩ කියලා කිව්වාම වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය කියන බන්ධනාගාර තුනම ඇතුළත් වෙනවා. එතුමා එහෙම කියන්න මොකක් හරි හේතුවක් ඇති. ඒ ගැන මාව දැනුවත් කරනවා කියලා එතුමා කිව්වා. නමුත් තවම දැනුම්වත් කළේ නැහැ.
?ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි අධිකරණයේ කටයුතු කෙසේද?
ඒ උසාවි තුනම කොළඹ අධිකරණ කලාපයේම තමයි පිහිටුවන්න තිබෙන්නේ. මහාඅධිකරණ ශාලා අංක 01 තුළ එම විශේෂ මහාධිකරණය පිහිටුවන්න හැකිවේවි. ඒ සඳහා විනිසුරුවරුන් පත්කර අවසන්. අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මේ සඳහා අවශ්‍ය නිලධාරීන් පත්කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු අවසන් වීමෙන් පසුව එය සිදුවෙයි.
?ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචන සිදුවෙනවා. කලින් එහි සමාජිකයෙකුව සිටි විජේදාස රාජපක්ෂ මහතාත් එය විචේචනය කර තිබුණා. එහි නියෝජිතයෙක් ලෙස මේ සම්බන්ධයෙන් අදහස පැවසුවොත්?
ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ නියෝජිතයෙක් විදිහට ඒක ඇතුළේ වෙන දේවල් කියන්න තරම් මම බොළඳ නැහැ. එළියේ ඉඳන් කෑගහන කට්ටිය ගැන කතාකරන්න යන්නෙත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා තියෙනවා කියල කියන්නේ එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙයි මහින්ද රාජපක්ෂ මහත්යගෙයි හැමෝගෙම එක දේශපාලනයක් වෙන්න ඇති තිබෙන්නේ. මොකද මේ අයනේ ඒක ඇතුළේ ඉන්නේ.
ඒ වගේම සමහර පත්කිරීම් අනුමත නොකිරීම ගැන සමහර අය ගොඩක් කෑගහන්නේ ඒ අයට මොනවාහරි හේතුවක් තියෙනවා වගේ. මම නම් දන්නේ නැහැ ඒ මොනවද කියලා. අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත්කිරීමට ආ නම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කථානායකතුමාව දැනුවත් කරලා තිබෙන්නේ. ඒවා ගැන මම ප්‍රසිද්ධියේ පත්තරවලට කියන්න සූදානම් නැහැ. ඒ වගේම ව්‍යවස්ථා සභාවේ කටයුතු කෙරෙන විදිහ ගැන විජේදාස මහත්තයාව දැනුවත් කරන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමාව දැනුවත් කරනවා. අභියාචනාධිකරණයේ සභාපති ධුරය සම්බන්ධයෙන් පත්කිරීමක් වහාම කළ යුතු වෙනවා. එය නීත්‍යානුකූලව හරි ආකාරයට පත්කළේ නැත්නම් කාටහරි ඒ සම්බන්ධයෙන් උසාවි යන්න පුළුවන්. ඒ නිසා නීත්‍යානුකූලව එය කළ යුතුයි.