බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
මෙම ප්‍රකාශය තුළ අමාත්‍ය ගුණවර්ධන කරුණු දෙකක් සඳහන් කරයි:
- සංඛ්‍යා පිළිබඳව: 2014 දී රුපියල් බිලියන 1,050 ක්ව පැවති බදු ආදායම යහපාලන රජය යටතේ රුපියල් බිලියන 1,700 දක්වා ඉහළ නංවන ලද බවත් පසුව වත්මන් රජය එම බදු ආදායම රුපියල් බිලියන 520 කින් පහළ දමා ඇති බවත්.
- නිගමනයන්: පසුගිය [යහපාලන] රජය සමයේ සිදු වූ බදු එකතු කිරීම (අ) වැඩිමනත් බරක් වූ බව, සහ (ආ) යුධ සමයේ සිදු කරන ලද බදු එකතු කිරීමටත් වඩා අධිකතර වූ බව.
මෙම ප්‍රකාශයේ පළමු කරුණෙහි වැරදි නිවැරදි බව සනාථ කර ගැනීම උදෙසා, FactCheck.lk මගින් මුදල් අමාත්‍යාංශයෙන් 2020 වසර සඳහා නිකුත් කරනු ලැබූ වාර්ෂික වාර්තාව පරිශීලනය කොට ඇත. එහිදී දක්නට ලැබුණේ, අමාත්‍යවරයා පැවසූ ලෙසින්ම 2014 දී බදු ආදායම රුපියල් බිලියන 1,050 ක් වී ඇති බවයි. 2015-2019 යහපාලන රජය සමය පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන්නේ, 2019 දී බදු ආදායම රුපියල් බිලියන 1,735 ක උපරිමයකට ලඟාවී ඇති බවයි. එයද අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාවට ආසන්න වේ.
එසේම 2020 වසර වන විට බදු ආදායම රුපියල් බිලියන 1,217 ක් දක්වා පහත බැස ඇත. එනම් එය රුපියල් බිලියන 518 ක අඩු වීමක් වන අතර, එම සංඛ්‍යාවද අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සැසඳේ.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන දෙවන කරුණෙහි වැරදි නිවැරදි බව පිරික්සීම උදෙසා, FactCheck.lk මගින් ගතවූ කාලයේ බදු ආදායම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් සලකා බලමින් සංසන්දනය කොට ඇත.
ඒ, ගත වූ කාලය ඔස්සේ බදු ආදායමේ විශාලත්වය තක්සේරු කොට බැලීම සඳහායි. 1983 සහ 2009 (යුද්ධය පැවතුණු සමය) කාලය අතර බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට, අවම අනුපාතය වාර්තා වී ඇත්තේ 2003 වසරේදීයි. ඒ 12.7% ක් ලෙසිනි. මෙම කාලසීමාව ඇතුළත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට බදු අනුපාතය උපරිමයකට ළඟා වී තිබුණේ 1985 වසරේදී වන අතර, ඒ 19.5% ක අනුපාතයක් වාර්තා කරමිනි. පසුගිය යහපාලන රජය කාලය පමණක් ගත් විට, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් බදු අනුපාතය 2017 දී 12.5% ක උපරිමයකට ළඟා වී තිබිණි.
බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් සලකා බලන විට, යහපාලන රජය සමයේ වාර්තා වූ ඉහළම අනුපාතයද (12.5%) යුද්ධය පැවති සමයේ වාර්තා වූ අවම අනුපාතයට (2003 දී 12.7% ක්) වඩා අඩු අගයක් ගනී. 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ලෙසින් වන බදු අනුපාතය 11.6% ක් වූ අතර, එය ඒ වනවිටත් ලෝක මට්ටමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ලෙසින් ගත් විට වන අවම බදු අනුපාත පංචමකයක් තුළ තිබිණි. එනම්, ගෝලීය සම්මතයෙන් ගත් විට වුවද එය පමණ ඉක්ම වූවක් ලෙසින් සැලකිය නොහැක. මේ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එන දෙවන කරුණ දත්ත මගින් තහවුරු නොවේ.
එනිසා, අමාත්‍ය ගුණවර්ධනගේ ප්‍රකාශය අර්ධ වශයෙන් නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු.
අතිරේක සටහන්: වෙරිටේ රිසර්ච් මගින් පවත්වා ගෙන යන පර්යන්තයක් වන PublicFinance.lk මගින්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ලෙසින් වන බදු අනුපාතයන් කාලය සමගින් වෙනස් වූ ආකාරය සහ එය අනෙක් රටවල් හා සංසන්දනය වන ආකාරය ඉදිරිපත් කොට ඇත. වැඩි විස්තර සඳහා ප්‍රවේශය මෙතැනින්: http://bitly.ws/fTpT.
* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
මූලාශ්‍ර:
මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තාව 2020, ප්‍රවේශය: http://oldportal.treasury.gov.lk/web/guest/publications/annual-report [අවසන් වරට ප්‍රවේශය: 11 අගෝස්තු 2021]