බත් ගසෙන් දිවි රැකිමේ කලාව


මේ 'කොස්' වාරයයි. අලුත් දළු, මල්, ඵල සමග උදාව ඇති වසන්ත කාලයත් සමගම කොස් වාරයද එළැඹ තිබේ. කුරුළු කූජනය වෙනදාටත් වඩා පැහැදිලිව ඇසේ. එහෙත් මේ මුළු මහත් මිනිස් ලෝකයම එකම මළගෙයක් වී ඇති අවදියකි.


ලෝකයම ලෙඩ වී තිබේ. බලා සිටියදී මිනිසුන් මැරී වැටෙන දසුන් දැකීමට තරම් අප අභාග්‍යසම්පන්න වී සිටිමු. මෙයින් මතු උදාවිය හැක්කේ අහේනි කාලයකි. වසංගතයට පසුව උදාවිය හැක්කේ සාගතයක් බවට දැන්ම ඉඟි පළවෙමින් තිබේ.

ජාති, කුල, ගෝත්‍ර ඉක්මවමින් එය මුළුමහත් ලෝකයම වෙළාගන්නා අහේනි කාලයක් විය හැකිව පවතී. එහෙයින් මෙකල්හි අපේ සාම්ප්‍රදායික, ආවේණික ආහාර රටාවන් පිළිබඳව අප්‍රමාණ අවධානයක් යොමු කිරීමේ ඉඩ අවකාශයක් උදාව තිබේ. එහෙයින්ම මෙරට සාම්ප්‍රදායික ආහාර පෙළපතේ වැදගත් ගමන් සගයෙක් සේ පිළිගැනෙන %කොස්^ පිළිබඳව නව කතිකාවක් නිර්මාණය කළ හැකිව තිබේ.

අතු බරට කොස් මනාව ඵලදරන කාලය මෙරටුන්ට නුහුරු නොවූවකි. ඒ සිංහලයාගේ ප්‍රධාන ආහාරය වන බත් තරමටම කොස් ද ජනප්‍රිය ආහාරයක්  වන බැවිනි. එහෙයින්ම කොස් ගසට බත් ගස ලෙස ද ව්‍යවහාර කෙරෙයි.

ගම්බදව මෙන්ම නගරයේ බොහෝදෙනෙකුද කොස් රසට ලොල් වුවද තවමත් මෙරට කොස් ඵලදාවෙන් වැඩි ප්‍රමාණයක් නිකරුණේ විනාශ වන වග සැගවිය නොහැක්කකි. කොස් වාරයේදී ගස් යට වැටී හැල්මේ විනාශ වී යන කොස් ගෙඩි ගණන මෙතෙකැයි කිව නොහැකි තරම්ය. එය ලක්ෂ ගණනකි.

කොස් අප රටෙහි ආහාර සුරක්ෂිතතාව කෙරෙහි කොතරම් බලපෑමක් කළේද යත් බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට ගම්මැදි වල තිබූ කොස් ගස් කපා විනාශ කිරීමට තරම් සාහසික වූ බව කියැවේ. ඒ ගම්මැදි ජනයා සාගින්නෙන් මැරී යනු දකිනු රිසියෙනි.

එහෙත් කොස් ගස් කපා ස්වදේශිකයන් කුසගින්නේ මරනු නොහැකි වූවා සේම කොස් මෙරටින් අතුගා දැමීමද විජාතිකයන්ට කළ හැක්කක් නොවීය. එහෙයින් කොස් මෙරට ආහාර සම්ප්‍රදාය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නක් වගද සැඟවිය නොහැක්කකි.  

ලක්වැසියන් කොස් ඵලදාව විවිධ ආකාරයෙන් සකස් කරමින් ආහාරයට එක්කර ගැනීම සිදුකරනුයේ දුරාතීතේ සිටමය. පෝෂණ ගුණයෙන් අනූන හොදින් පැසුණු කොස් තම්බා පොල් සමග හෝ පොල් සම්බෝලයක් සමග ආහාරයට ගැනීම සාම්ප්‍රදායික ගැමි ආහාර රටාවේ අනිවාර්ය අංගයක්ව පැවත තිබේ. කොස් මැල්ලුමක් ලෙස මෙන්ම කොස් මදුළු ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකිවේ.

මෙසේ සකසන කිරි කොස් ව්‍යාංජනය කා අතරත් ජනප්‍රිය ආහාරයකි. කොස් තම්බා, වියළා තෙලේ බැද අමුත්තන්ට තේ පැන් සංග්‍රහයකදී වුවද පිළිගැන්වීමට සුදුසුය. කොස් ගෙඩියෙහි අවස්ථා කිහිපයකදී ආහාරයට ගැනීම ලාංකික ආහාර සම්ප්‍රදායට ආවේණික වූවකි.

කොස් ගෙඩියෙහි ළපටි අවදියේදී සකසන පොළොස් ව්‍යාංජනය ආහාරයට එක්කර ගැනීම මගින් ලේ ධාතුව පිරිසුදු වන බව දේශීය වෛද්‍යවරුද පවසති.  වෙසක්, පොසොන් ආදී පොහොය දින අරඹයා මහ මග කොස් තම්බා දැන් දැන් දන්සල් පැවැත්වීමද සිරිතක්ව පවතී. ගැමියන්ගේ සරල, සැහැල්ලු දිවිපෙවෙත සවිමත් කරන්නක් ලෙසත්, දේශීය ආහාර සුරක්ෂිතතාවය සහතික කරන්නක් ලෙසත් දුරාතීතේ සිට අද දක්වාම කොස් මෙරට ජන ජීවිත හා යාවජීවව පවතී.

වැලි කොස් ඇට දැමීම සහ කොස් මදුළු වේලා දුමේ දැමීම එවක සෑම ගැමි නිවෙසකම පාහේ සිදුකළ කාර්යයක් වී ඇත. එය ගැමියන්ගේ ආහාර සුරක්ෂිතතාවයට මහෝපකාරයක්ම වී තිබේ.

ඉදුණු කොස් වැල හෝ වරකා ලෙස ආහාරයට ගත හැකි ඉතා මිහිරි පලතුරකි. කොස් ඇට මනා පෝෂණ ගුණයකින් යුක්ත වේ. කොස් ඇට ව්‍යාංජනයක් මෙන්ම කළු පොල් මාලුව ආකාරයෙන් සෑදීමටද ගෘහණියෝ ඇලුම් කරති.

කෙසෙල් මුව, කොහිල දළු වැනි එළවලු වලට කොස් ඇට දැමීමෙන් රසවත් ව්‍යාංජනයක් තැනීමට ගෘහණියෝ දක්ෂ වෙති. කොස්වල බහුල ලෙස කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ. ප්‍රෝටීන්, මේදය, කැල්සියම් වැනි පෝෂක වර්ගයන්ගෙන් කොස් ඵලදාව අනූන බව දේශීය වෛද්‍යවරු පවසති.

නිවසට අවැසි ආහාර භෝග ගෙවත්ත තුළදීත්, ගමට අවැසි ආහාර භෝග ගම තුළදීත්, සමස්තයක් ලෙස රටට අවැසි ආහාර භෝග රට තුළදීත් නිපදවීම සලකුණු කරන දේශීය ආහාර භෝග නිෂ්පාදන වැඩපිළිවෙළක අවැසි බව අන් කවරදාටත් වඩා අද දැනෙමින් තිබේ. එහෙත් මේ සා රසයෙන් හා ගුණයෙන් අනූන කොස් ඵලදාව කෙරෙහි තවමත් ඇත්තේ අඩු අවධානයක් බවට කොස් වාරේ තැන තැන හැල්මේ විනාශ වන කොස් ඵලදාවම හොඳ සාක්ෂියකි. 

කොස් වාරෙට පැසුණු කොස් ඉදී ගස් යට වැටී කුණු වී යන දසුන කෙරෙහි වගකිව යුතු කිසිවෙකුගේ නිසි අවධානය මෙතෙක් යොමු නොවීම කණගාටුවට කරුණකි.

කොස් ඵලදාව කෙරෙහි අවධානය යොමු කරන කල්හී කොස් වගාව මෙරට ඈත ගම්මැදි වල මෙන්ම නාගරික ගෙවතු වලද ව්‍යාප්ත කිරීමට මූලික වී ඇති 'කොස් මාමා' ලෙස විරුදය ලත් ආතර් වී දියෙස් මහතා අමතක කළ නොහැක.

ජාතික ආහාර භෝග නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයෙන් මෙරටට ගැළපෙන පිරිමැසුම්දායක ආහාර රටාවක් කෙරෙහි අවධානය යොමු කරමින් කොස් ආදී ගහ කොළ සිටුවීමේ වැදගත්කම පහදමින් මෙතුමා ගමින් ගමට ගොස් ඇත. නිදහසින් පසුව ගතවූ මුල් දශකයක පමණ කාලය තුළ මියෙන තෙක්ම මෙරට තුළ කොස් වගාව ව්‍යාවප්ත කිරීම උදෙසා ඉමහත් අවංකභාවයෙන් කටයුතු කොට ඇති හෙයින්ම ආතර් වී දියෙස් මහතා කෘතවේදී ජනයාගේ මතකයේ කොස් මාමා ලෙසින් අදද ජීවමානව සිටී.

දියෙස් මහතා සිය නිවසට පැමිණෙන ඕනෑම අයෙකුට කොස් පැළ හෝ කොස් ඇට ලබාදීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ. ගිය සෑම ගමකින්ම බීජ වර්ග එකතු කොටගෙන විත් ගෙවත්තේ පැළ තවාන් ඇතිකර, නිවසට පැමිණි සැමට පැළ බෙදීමට ක්‍රියා කොට තිබේ. මඟුල් ගෙවල් ආදී උත්සව අවස්ථා වලදී කොස් වලින් සාදා ගත් රසවත් කෑම හඳුන්වාදීමට ද දියෙස් මහතා මූලික වී ඇත.

තැපෑලෙන් කොස් බීජ යැවීමට කටයුතු කොට ඇති එතුමා දහඅට මසකින් ඵල දරණ කොස් වර්ගයක් මලයාසියාවෙන් මෙරටට ගෙන්වීමට ප්‍රමුඛ වී ඇත්තේ කවර හෝ ලාභ අපේක්ෂාවකින් හා සම්මාන, උපහාර වලින් තොරවය. ගම්, නගර සිසාරා යමින් කොස් ආදී දේශීය ආහාර සුරක්ෂිතතාවට පාදක වන වගාවන් පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමට ඔහු ගෙන ඇති වෑයම අතිමහත්ය.

1918 වර්ෂයේදී ඇරඹි එතුමාගේ මේ මාහැඟි වෑයමට දැන් වසර සියයක් සැපිරී අවසන්ය. කොස්, පොළොස් කන නිරෝගී මිනිසුන් සිටි එදවස වෙත යළි පිවිසෙන්නට අද අපට සිදුව ඇත. ඒ සඳහා මේ උදාව ඇත්තේ මහාර්ඝ අවස්ථාවකි. එය දෑත් එක්කොට පිළිගැනීමට අප දැන් දැන්ම සූදානම් විය යුතුව තිබේ.

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග

 



Recommended Articles