බත බුලතින් සරු නොවූ ජීවිත


‌‍දෙතොල රතු පැහැ වන තෙක් බුලත් හැපීම මෙසිරිලක වැසියන් වෙතින් ඈත්ව නොයන පුරුද්දකි. අනාදිමත් කාලයක පටන් මෙරට සාම්ප්‍රදායික ගැමි ජනසමාජය තුළ "බුලත් විට" හැපීමේ පුරුද්ද පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය. සති පොළේ, ගමේ කඩ පිළේ සිදුවන බුලත්, පුවක් වෙළෙඳාමද අද ඊයේ ආරම්භ වූවක් නොවේ. එහෙයින්ම ගම්මැදිවල බුලත්, පුවක්, දුම්කොළ වවා දිවි සරිකරන පිරිසද එකෙකු දෙන්නෙකු නොවේ. කොහේ කොතැනක හෝ ඇති කඩමණ්ඩි යාබදව සේම විසල් ව්‍යාපාර ඇති නගර මධ්‍යයේ අතෝරක් දෙනා යන එන මහ මග පසෙකට වී බුලත් විට වෙළෙඳාමේ නියැළෙන්නෝ බොහෝ වෙති. ඉන් වැඩි පිරිසක් ජීවිතයේ සැදෑ සමයට පිවිසි ඇත්තෝ වෙති. කොතරම් බතින් සංග්‍රහ කළද බුලතින් සංග්‍රහ නොකළහොත් සමහරෙකුගේ සිත් සතුටු නොවන බව සිහලුන් අතර පැවසෙන ප්‍රවාදයකි. එහෙත් බත සරිකර ගැනුම උදෙසා බුලත් විටට මැදිව දිවි ගෙවන මේ මිනිසුන්ට ජීවිතය නොතිත් සටනකි.

මෙසේ බුලත්, පුවක්, හුණු, දුම්කොළ මුසු වූ බුලත් සමග ජීවිත සටනෙහි නියුතු හැමෙකෙකු ළඟම කතාවක් ඇත. අනිත් බොහෝ කතාවල සේම ඒ කතාවේද දුක වැඩිය. සතුට අඩුය. අනුරාධපුර, තලාව, මොරගොඩ පදිංචි කේ.පී. විජේරත්න මහතාද කලක සිට බුලත් විට වෙළෙඳාමේ නියැළෙන අයෙකි. සිනහ පිරි මුහුණින් ඔහු කීවේ මෙවන් ශෝකී කතාවකි.

“අපි පුවක් ගෙඩියක් ගන්නේ රුපියල් හතකට. බුලත් කොළයක් රුපියල් හතරක් වෙනවා. සාමාන්‍ය දුම්කොළයක් රුපියල් 120ක් විතර වෙනවා. පොඩි හුණු පැකට් එකක් රුපියල් විස්සයි. ඔය හැමදේමත් එක්ක තමයි අපි රුපියල් පනහකට බුලත් විටක් දෙන්නේ. හැමදේම ගණන් යන කාලේ ඒ ගානට බුලත් විටක් දෙන්නේ බොහෝම අමාරුවෙන්. මේ අඩුම කුඩුම ගන්න දවසකට රුපියල් දාහක් විතර යනවා. ඔක්කොම වියදම ඇරලා බලනකොට රුපියල් හාරසීයක් විතර තමයි අතට ඉතුරු වෙන්නේ. බලනකොට ඇති දෙයක් නෑ. ඒත් මේක නවත්තලා අපේ වයසත් එක්ක දැන් වෙන දෙයක් පටන් ගන්න කාලෙකුත් නෑ. ඇගේ පතේ හයියකුත් නෑ. දැන් අපේ ජීවිතේ ගතවෙලා ඉවරයි. ඒත් නිකං ඉන්න හිතක් නෑ. එහෙම හිටියා කියලා කීයක්වත් හොයාගන්න විදිහක් නෑ. මං කැමති නෑ දරුවෙකුටවත් බරක් වෙන්න.”

ඉදහිට හෝ බුලත් විටක් නොකන කෙනෙකු නැති තරම්ය. සමහරෙකු පවසන පරිදි අවමංගල්‍යයක ආදාහන කටයුතු සිදුකොට ආපසු හැරී බලන කල්හි ඉහළම වියහියදම් ගිය දෑ අතර බුලත් විටද නිරන්තරව රැදෙයි. කවරදාක හෝ බුලත් විටක රහ නොබැලූ, නැතිනම් පුරුද්දක් ලෙස බුලත් නොකන සමහරෙකුද මරණ ගෙදරකදී ඒ සඳහා යොමුවන්නේ නිතැතිනි. ඒ ලාංකීය ජනසමාජයේ හැටිය. බුලත් විට වෙළෙඳාමටද මේ ගතව යන කාලය යහපත් නැත. තලාව දුම්රිය පොළ ආසන්නයට වී බුලත් විට වෙළෙඳාමෙන් දවස සරිකරන හැත්තෑ අට වියැති  එච්.ඒ. ගුණරත්න මහතා පැවසුවේ ඒ පිළිබඳවය.

“දරුවෝ කසාඳ බැදලා ඉන්නේ. කොච්චර අමාරු වුණත් දරුවන්ට කරදර කරන්න මං කැමැති නෑ. පුරුද්දක් හැටියට විට කන කට්ටියක් ඉන්නවා. ඒ ගොල්ලෝ මේ  අහල පහල ඔෆිස්වල එහෙම වැඩ කරන අය. ඒ ගොල්ලෝ දවල් කෑම වෙලාවට එහෙම එනවා. ඒ අය නිසා අපිත් කීයක් හරි හොයාගෙන ජීවත් වෙනවා. මොනවා වුණත් අපි වගේ රස්සා කරන අය විඳින දුක කාටවත්ම පේන්නෙ නෑ. මේ දවස්වල වෙළෙඳාමක් නෑ. සමහර දවස්වලට රුපියල් තුන් හාරසීයක් හොයාගන්න බෑ. මේ කෝවිඩ් වසංගතෙත් එක්ක සමහරු බුලත් විට කන එක අතෑරලා දාල වගේ. හැමදේකින්ම කරදර එන්නේ අපි වගේ දුප්පත් මිනිස්සුන්ට.”

කොහේ හෝ ගස් හෙවනක, කඩ පිළක, කුඩ හෙවනකට වී බුලත් විට වෙළෙඳාමේ නියැළෙන බොහෝදෙනෙකු මේ ජීවිත සටනට පිවිස ඇත්තේ තරුණ අවදියේ සිටියදීය. එන්. කරුණාතිලක මහතා ද එවැන්නෙකි. 1978 වර්ෂයේ දිනකදී ඔහු අනුරාධපුර නගරයට පැමිණ ඇත්තේ ජීවනෝපාය සඳහා බුලත් විට වෙළෙඳාමේ යෙදීම සඳහාය. එදා සිට ගෙවී යන මේ මොහොත දක්වාම සිනහ කඳුළු පිරි ජීවිත ගමන බුලත්, පුවක්, හුණු, දුම්කොළ අතර ගෙවා දැමූ ඔහු අදද ඉන් බැහැරව නැත්තේ දෛවය එලෙසම ලියැවී ඇති නිසාය. කලබැගෑනි සපිරි නගරයේ රුක් හෙවනකට වී බුලත් විටට අඩුම කුඩුම සුරුවමට සකසන නිමල් මහතාගේ දෙනෙත සැදෑ සමයේ දුක්ඛ දෝමනස්ස හමුවේ බොඳ වී ඇත. ඔහු මෙසේ කීය.

“මට දැන් අවුරුදු 79ක් වෙනවා. අවුරුදු 40ක්  විතර කෙරුවේ බුලත් විට විකුණපු එක. දරුවො ලොකුමහත් කෙරුවේ මේ රස්සාවෙන්. 1978 අවුරුද්දේ තමයි බුලත් විට වෙළෙඳාම කරන්න පටන් ගත්තේ. එදා ඉඳලා අද වෙනකන්ම රස්සාව කරනවා. ඒ කාලේ රුපියල් දෙකකට තමයි අපි බුලත් විට වික්කේ. දැන් රුපියල් 50කට තමයි විකුණන්නේ. මට මතකයි අපි දෙතුන්දෙනෙක් තමයි ඒ කාලේ මුළු අනුරාධපුරේටම බුලත් විට විකුණන්න හිටියේ. දැන් නම් දහ පහළොස්දෙනෙක් ඉන්නවා. ඒ කාලේ ටවුන් එක මේ තරම් දියුණුවක් නෑ. හැබැයි මීට වැඩිය බුලත් විට විකුණුනා. අඩුම ගානේ දවසකට බුලත් විට සීයක් විතර වික්කා. දැන් දවසකට විට තිහ හතළිහක් තමයි විකිණෙන්නේ. ඒකත් හැමදාම නෑ. සමහරදාට විට විස්සක්වත් විකිණෙන් නැති දවස් තියෙනවා. එතකොට මේ වෙළෙඳාම මොකටද කියලා හිතෙනවා. ඒත් දැන් අපේ කාලෙ ඉවරයි.”

ගිරිදා, නාගවල්ලි, ගැටතවාල, දළු බුලත්, කොවුල් බුලත්, මල් බුලත් යනා‍දී වශයෙන් බුලත් වර්ග රැසකි. හෙළ ඉතිහාසයට අනුව මහ වාසල බෙහෙත් ගෙයි මුහන්දරම් නමින් පත්වී සිටි නිලධරයා සතු රාජකාරි රාශියෙන් එකක් ලෙස දිනපතා රජ මාලිගයට බුලත් සැපයීම නියමව තිබූ බව සඳහන් වෙයි. ලාංකීය ජනසමාජයීය ඉතිහාසය කොතරම් ඈතට දිවයන්නේද එපමණටම පැරණි යටගියාවක් බුලත් හා සම්බන්ධව ඇත. සිංහලයාගේ ආර්ථික සමෘද්ධිය මූර්තිමත් කරන්නක් ලෙසත්, සාමයේ හා සහෝදරත්වයේ සංකේතයක් වශයෙනුත් බුලත් උසස් තැනක වැජඹෙන්නේ අද ඊයේ සිට නොවේ.

බුලත්, පුවක් සපිරි දැහැත් වට්ටියක් භික්ෂූන් වහන්සේ උදෙසා සම්ප්‍රදානුකූලව පිරිනැමීම අදද සිදුවන්නකි. බුලත් සමග බුලත් විටද අවියෝජනීයව එකිනෙක ඈදී ඇත්තේ එවක පටන්ය. වසර තිහක පමණ කාලයක සිට බුලත් විටට මුහුවන දුම්කොළ වෙළෙඳාමේ නියුතු රාජාංගණය ජනපදයේ ඊ.එම්.බී. ගාමිණී පැවසුවේ මෙවැනි අදහසකි.

“දන්න කියන දවසේ ඉඳලා කරන්නේ මේ රස්සාව. දරුවො ජීවත් කරවන්නේ මේ හොයාගන්න කීයෙන් හරි. දුම්කොළවලට ඒ කාලේ ඉඳන්ම තියෙන ඉල්ලුම තාමත් අඩුවෙලා නෑ. බුලත් විට කන මිනිස්සු සතියකට හමාරකට සැරයක් අපෙන් දුම්කොළ අරන් යනවා. විට විකුණන කට්ටිය අපෙන් දුම්කොළ ගන්නවා. දැන් අපි මේ රස්සාවට හුරුවෙලා ඉන්නේ. මේක අතහැරලා වෙන ජීවත් වෙන්න මාර්ගයක් නෑ. එකපාරක් දුම්කොළ එක්ක බුලත් විට විකුණන එක තහනම් කෙරුවා. ගහෙන් ගෙඩි එනවා වගේ. අවසානේ කොහොම හරි ඒ තහනමට වෙච්ච දෙයක් නැතිව ගියා. බැරි වෙලාවත් ඒ තහනම ඒ විදිහටම තිබුණා නම් අපි වගේ පොඩි වෙළෙන්දෝ කී දාහක් නම් මහ පාරට වැටෙයිද?”

මේ අසාර වූ ජීවිත ගමනේ කටුක බව මේ හැම දෙනෙතකම ලියැවී තිබේ. කාෂ්ඨක අව්වේ කඩිමුඩියේ ඔබමොබ යන අතෝරක් සෙනග වෙත ඔවුහු බලාපොරොත්තුවේ දෑස් දල්වති. විටෙක ඒ අපේක්ෂා ඵලදරයි. විටෙක නොපෙනෙන කඳුළක බොදව යයි. අතීතය කොතරම් නම් සුන්දරද? අයෙකුට අවැසි තරම් එසේ පැවසිය හැක. ඒ මිය ගිය අතීතය යළි කවරදාක හෝ ජීවමාන නොවන බැවිනි. මේ වියපත් මිනිසුන් බොහෝදෙනෙකුගේ මනසේ කැකෑරෙන අතීත මතකයන් සමහරක් මගින් ඔවුන් යම් සැනසුමක් ලබන සෙයකි. කලක පටන් තලාව නගරය පසෙකට වී බුලත් විට අලෙවියේ යෙදෙන හැට වියැති එච්.බී. රන්මැණිකා මහත්මිය වියැකී ගිය අතීතය සිහිපත් කළේ බොද වූ දෙනෙතිනි.

“ඒ කාලේ අපි කවුරුවත් මහ ලොකු දේවල් බලාපොරොත්තු වුණේ නෑ. ඒ හින්දමද මන්දා මහ ලොකුවට ප්‍රශ්න තිබුණෙත් නෑ. ගහ මරා ගත්තෙත් නෑ. දැන් කොතැන බැලුවත් ප්‍රශ්න. ඉස්සර අනිවාර්යෙන්ම ගෙදරට එන මනුස්සයෙකුට කෑවත් නැතත් බුලත් විටක් කන්න බුලත් හෙප්පුව දුන්නා. දැන් ඒ සිරිත් මොකුත් නෑ. බුලත් විටක් කන්න දෙන එකෙන් මිනිස්සු පෙන්නුවේ ඒ අයගේ මනුස්සකම. දැන් ඉස්සර වගේ අපිටත් ලොකු වෙළෙඳාමක් නෑ. දැන් මිනිස්සු හැමදේම කරන්නේ තමන්ගෙ තත්ත්වෙ රැකගන්න. ඉස්සර තිබුණ සැනසීම දැන් මිනිස්සුන්ගේ හිත් ඇතුළෙ නෑ. මං දරුවන්ට කරදර කරන‍්න බැරි හින්දා මේ විදිහට වෙළෙඳාමක් කරලා කීයක් හරි හොයාගන්න බලනවා. මේ දවස් වල වෙළෙඳාමක් නෑ. බුලත් විට හය හතක්වත් විකිණෙන්නෙ නෑ. ජීවත් වෙන්න විදිහක් නෑ. දරුවන්ට කරදර කරන්නත් බෑ. පිං පඩියක්වත් හදල දෙන්න කිව්වට ග්‍රාම සේවක මහත්තයා ඒක කරල දුන්නෙත් නෑ.”

හැමගේ කතා දුකින් පිරී ඇත. එහෙත් ඇසීමට කෙනෙක් නැත. මේ දුක් කරදර මැද අනාදිමත් කාලයක පටන් මෙරට සාම්ප්‍රදායික ජනසමාජයේ මිනිස්කමේ සංකේතයක් ලෙසද සැලකූ බුලත් විට සඳහා ඇති පිළිගැනීම තව කොපමණ කලක් එලෙසම පවතිනු ඇතිද යන්න කිව නොහැකිව පවතී.

සටහන හා ඡායාරූප - බුල්නෑවප්‍රදීප් රණතුංග



Recommended Articles