බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ල රැකගනිමු


හාලිඇල - විජේරත්න රත්නායක

ඌව පළාතේ සංචාරක ස්ථාන අතර මනස්කාන්ත දියඇලි රැසක් දක්නට හැකිය. මේ ඇතැම් දියඇලි අසලට ඉතා පහසුවෙන් ළඟා විය හැකි වුවත්, තවත් ඇලි අසලට යාම අසීරු කටයුත්තකි. බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ලද එසේ තරමක් අසීරුවෙන් යායුතු එතරම් ප්‍රකට නොවූ එහෙත් ඉතාමත් සුන්දර දියඇල්ලකි. දියඇල්ල මෙන්ම ඊට ඉහළින් පිහිටි පරිසරයද නොමඳව රසවිඳිය හැකි සුන්දරත්වයකින් අනූන වේ.

බඩල්කුඹුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අතල, දුන්හිඳගම හරහා ගලාබසින මැණික් ගඟ එම ප්‍රදේශයේ එක් ස්ථානයකදී අඩි සියයක් පමණ උස ගල් කුලකින් පහළට කඩාහැළීමෙන් මේ සුන්දර පරෙයියන් ඇල්ල නිර්මාණය වී තිබේ. පරෙයියන් ඇල්ල ඉතා දර්ශනීය ගල්කුළු හා විශාල ගල්තලා සහිත පරිසරයක පිහිටි එකිනෙකට සමාන්තරව ඇදහැළෙන ඇලි දෙකකින් සමන්විත වේ.

මෙම ඇල්ල වැටෙන ස්ථානයේ එක් පසෙකින් විශාල ගල් ඇන්දකින් හා තවත් පැත්තකින් උස් ගල්කුළුවලින් වට වී නිර්මාණය වූ ඉතා දැකුම්කලු විශාල ජල තටාකය ඇල්ලට තවත් සුන්දරත්වයක් එක්කරයි.

බඩල්කුඹුර- බුත්තල ප්‍රධාන මාර්ගයේ බඩල්කුඹුර නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ යාමේදී හමුවන අතල, පුන්සිසිගම ප්‍රදේශයෙන් දකුණට හැරෙන පරෙයියන් ඇල්ල ග්‍රාමීය මාර්ගයේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ගොස් එතැන් සිට කිලෝමීටරයක් පමණ රක්ෂිතය තුළ පා ගමනින් යාමෙන් මෙම ඇල්ලට ළඟා විය හැකිය.  ඇල්ල අසලට යාමට පෙර ඊට මීටර් පන්සියයක් පමණ ඉහළින් හමුවන කුඩා පරෙයියන් ඇල්ල දක්වා පඩිපෙළක්ද තිබේ.

කුඩා පරෙයියන් ඇල්ල මෙන්ම එතැන් සිට පරෙයියන් ඇල්ල තෙක් මැණික් ගඟ ගලායන විවිධ හැඩතලයන් ඇතිවන ලෙස හෑරී ගිය විශාල ගල්තලාවද, එම ගල්තලාවේ පිහිටා ඇති ස්වාභාවික ගල්කටාරම්ද මවා ඇත්තේ මනරම් දසුන් පෙළකි.

කෙතරම් සුන්දරත්වයකින් යුතු වුවත්, වෙනත් ප්‍රකට දියඇලි මෙන් තාමත් සංචාරක පහස නිරතුරු නොලබන පරෙයියන් ඇල්ල පරිසරය පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍යවලින් කිලිටි වී නොතිබීම භාග්‍යයකි. යමෙක් මේ සුන්දරත්වය විඳින්නට ගියද ඇල්ලට ඉහළින් හෝ ඇල්ලෙන් පහළ ජල තටාකයේ හෝ දිය නෑමට උත්සාහ කිරීම හෝ දියට බැසීම ඉතාම අවදානම් බව අවධාරණය කළ යුතුමය.

පරෙයියන් ඇල්ලට යන මාර්ගය ආරම්භයේ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් සවිකර ඇති පරෙයියන් ඇල්ල නාමපුවරුව මේ වන විට දුර්වර්ණව තිබේ. ඒ පිළිබඳවත් මෙම ඇල්ල තවමත් සංචාරකයන් අතර අප්‍රකටව තිබීමත් පිළිබඳවත් විමසීමේදී බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එස්.එම්.අබේසේකර සමරසිංහ මහතා සඳහන් කළේ, සිය සභාවේ ඉදිරි පස් අවුරුදු සැලසුමට අනුව මෙම ඇල්ලට යන මාර්ගය ආරක්ෂිත වැටක් හා වෙනත් පහසුකම් සහිතව සංවර්ධනය කර මෙම ප්‍රදේශය සංචාරක ස්ථානයක් බවට පත්කිරීමට සැලසුම්කොට ඇති බවයි.

පැවැති කොරෝනා ව්‍යසනය හා මූල්‍ය දුෂ්කරතාවය හේතුවෙන් මෙම කටයුතු ප්‍රමාද වුවද, ඇල්ල ආශ්‍රිත ස්වාභාවික පරිසරයට හෝ ගහකොළට කිසිදු හානියක් නොවන ලෙස හැකි ඉක්මනින් මෙම ප්‍රදේශය සංවර්ධනය කොට සංචාරකයන් උදෙසා විවෘත කිරීම සිය අපේක්ෂාව බවද සභාපතිවරයා සඳහන් කළේය.



Recommended Articles