බඩඉරිඟු අස්වැන්න අඩුවීමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට බලපෑම්


බඩඉරිඟු පසුගිය කාල සීමාවේ වැඩි අවධානයක් දිනා ගන්නට වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විසින් කළ ප්‍රකාශයත් සමගය.

ඒ නිසාම බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කරන ත්‍රිෙපා්ෂ හා ත්‍රිෙපා්ෂ නිෂ්පාදනයට බඩඉරිඟු හිඟය නිසා ඇති වී තිබෙන බලපෑමත් පිළිබඳව අපේ අවධානය මෙසේ යොමු වේ.

ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී වැදගත්ම අමුද්‍රව්‍ය වන්නේ බඩඉරිඟුයි -  - මහාචාර්ය රේණුක සිල්වා

ධාන්‍ය ලෙස ගත් විට වී, තිරිඟු හා ඉරිඟු ප්‍රධාන තැනක් ගනී. ලෝකයේ වැඩියෙන්ම පරිභෝජනය කරන්නේ සහල් වන අතර අප්‍රිකානු කලාපයේ ජනප්‍රියම ධාන්‍යය බවට පත් වන්නේ බඩඉරිඟුය. බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කරන ළමුන්ගේ පෝෂණයට විශේෂ ආහාරයක් ලෙස හඳුන්වා දුන් ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නම් කළ හැකිය. ළමුන්ට හා ගර්භිණී මවුවරුන්ට රජය මගින් නොමිලයේ ත්‍රිපෝෂ ලබා දීමේදී පරමාර්ථය වී තිබෙනුයේ මන්දපෝෂණ තත්ත්වය මගහරවා ගැනීමය.

දැනටමත් මන්දපෝෂණයෙන් පෙළෙන හා ඉදිරියේදී මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇති අයට ත්‍රිපෝෂ ලබාදීම සිදුවේ. මෙරට පෝෂණ ඌනතා අතරින් ප්‍රධාන වශයෙන් ඇති වන පෝෂණ ඌනතාවක් වනුයේ ප්‍රෝටීන ඌනතාවයි. එමෙන්ම ක්ෂුද්‍ර පෝෂක වන විටමින් හා ඛනිජ ලවණවල ඌනතාවක්ද පවතී. ඒ අතර විටමින් ඒ, කැල්සියම්, යකඩ වැනි ඌනතා ගර්භිණී මවුවරුන්ට හා කුඩා ළමුන් අතර පවතී. මෙම ඌනතා මග හැරවීමටනම් එම පෝෂක කුමන ආකාරයකට හෝ ලබාදිය යුතු බැවින් රජය විසින් සකසන ලද විශේෂිත වූ ආහාරය වනුයේ ත්‍රිපෝෂයි.

රජයේ සායන හරහා ලබාදෙන ත්‍රිපෝෂ සඳහා වන වෙනත් ආදේශක නිෂ්පාදන රැසක් මේ වනවිට වෙළෙඳ පොළේ දැකගත හැකිය. ඒවායේ  ත්‍රිපෝෂවල අඩංගු සංඝටක අඩු වැඩි වශයෙන් අන්තර්ගත වේ.

 ප්‍රෝටීන ඌනතාව වෙනුවෙන් ත්‍රිපෝෂ සකස් කරන විට ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය ලෙස භාවිත කෙරෙනුයේ සෝයා බෝංචි වේ. සත්ත්ව ප්‍රෝටීන තරම්ම ශාක ප්‍රෝටීන තත්ත්වයෙන් උසස් නොවුණත් සෝයා හඳුන්වනුයේ ප්‍රෝටීන බහුල විශේෂ ආහාරයක් ලෙසය. ඊට හේතුව සෝයාවල විශේෂිත ඇමයිනෝ අම්ල රැසක් අඩංගු වීමය. ඒ නිසාම සෝයා හඳුන්වනු ලබන්නේ සර්ව සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රභවයක් ලෙසටය. මීට අමතරව ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සඳහා විජලනය කරන ලද කිරි නැත්නම් පිටි කිරි එකතු කිරීම සිදු කරනු ලබයි.

මීළඟට ත්‍රිපෝෂ සඳහා එක්කරන වැදගත්ම අමුද්‍රව්‍යයක් වනුයේ බඩඉරිඟුය. සෝයා රනිල කුලයේ භෝගයකි. රනිල කුලයේ භෝගවල නොමැති ඇතැම් ඇමයිනෝ අම්ල අනෙකුත් ධාන්‍ය වර්ගවල අඩංගු වේ. එහෙයින් එසේ අහිමි වන අනෙකුත් ඇමයිනෝ අම්ල එකතු කිරීම සඳහා ධාන්‍යයක් ලෙස බඩඉරිඟු ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී එකතු කිරීම සිදුකරයි. මෙලෙස සෝයා සමග බඩඉරිඟු මිශ්‍ර වීමෙන් වඩාත් හොඳ ගුණවත් සංයෝගයක් බිහි වේ.

ත්‍රිපෝෂවල වැඩි වශයෙන් අඩංගු වෙන්නේ බඩඉරිඟුය. මෙලෙස බඩඉරිඟු වැඩියෙන් එකතු කිරීමට ආහාරයේ රසය, ප්‍රියමනාප ස්වභාවය හා නිෂ්පාදනයේ ස්වභාවය ආදිය හේතු වී ඇති බව පෙනී යයි. ත්‍රිපෝෂ සඳහා අමුද්‍රව්‍ය දේශීයව සපයා ගැනීම වර්තමානයේ සිදුකරන අතර, නියමිත ප්‍රමිතියට අනුව අමුද්‍රව්‍ය නොමැති අවස්ථාවලදී විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීම සිදුවේ. ත්‍රිපෝෂවල 66%ක්ම අඩංගු වන්නේ බඩඉරිඟුය. 30%ක් සෝයා, පිටිකිරි 3%ක්, විටමින් හා ඛනිජ ලවන මිශ්‍රණය 1% ක් ලෙස අඩංගු කර ඇත.

ලෝකයේ වගා කරන ධාන්‍ය අතර තුන්වෙනි තැන බඩඉරිඟුවලට හිමි වේ. එසේම ලෝකයේ බඩඉරිඟු නිෂ්පාදකයන් අතර ප්‍රමුඛයා වන්නේ ඇමෙරිකාව වේ. මුල් කාලයේ විදේශ ආධාර හා අනුග්‍රහ යටතේ ත්‍රිපෝෂ සඳහා බඩඉරිඟු ලබාගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවේද බඩඉරිඟු සාර්ථකව වගා කළ හැකිය. ඒ අනුව 1975 වර්ෂයේ සිට දේශීය වශයෙන් වගා කරන ලද සෝයා හා බඩඉරිඟු ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදාගෙන ඇත. විවිධ වර්ෂවලදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සෝගම්, තිරිඟු, සහල් වැනි ධාන්‍ය යොදාගත හැකිද යන්න පරීක්ෂාවට ලක්කර ඇත.

නමුත් මෙම ධාන්‍ය වර්ගවල උසස් තත්ත්වයේ ප්‍රෝටීන අඩංගු නොවීම හේතුවෙන් අවසානයේ බඩඉරිඟු හා සෝයා ත්‍රිපෝෂවලට අඩංගු කර තිබේ. 1986 වර්ෂයේ ත්‍රිපෝෂවල කෝලීෆෝම් නමැති බැක්ටීරියාවක් අඩංගු වී ඇති බව අනාවරණය වී ඇත. ඒ නිසාම ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ  ධාන්‍ය ගබඩා කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වනු ලබයි. එසේ නොමැති වුණොත් ඇති වන දිලීරයක්  හරහා අහිතකර පිළිකාකාරක විෂ සංයෝගයක් බිහි වේ. ඕනෑම ධාන්‍යයක් නියමිත ආර්ද්‍රතාව යටතේ ගබඩා නොකොළොත් මේ තත්ත්වය ඇති විය හැකිය. ඒ අනුව ලංකාවේ ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරය ඉතාම පරිස්සමින් සාම්පල ගණනාවක් පරීක්ෂා කර ත්‍රිපෝෂ සඳහා අමුද්‍රව්‍ය යොදාගනු ලබයි. මන්දයත් කුඩා දරුවන්ට මේ ආහාරය ලබාදෙන නිසාම වස විස අඩංගු විය නොහැක.

ත්‍රිපෝෂ 1973 වර්ෂයේ ලංකාවේ නිෂ්පාදනයක් බවට පත්වූවකි. ත්‍රිපෝෂවලින් සත්‍ය වශයෙන්ම බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබී ඇතිද යන්න සොයා බැලීම සඳහා වයඹ සරසවිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත පරීක්ෂණයක් සිදුකර ඇත. 2008 වර්ෂයේ නිකුත් කරන ලද එම වාර්තාවේ තොරතුරු බොහෝමයක් මෙලෙස දැක්විය හැකිය.

ජාත්‍යන්තර ආයතනයක් වන Care ආයතනයේ අනුග්‍රහයෙන් ප්‍රෝටීන හා කැලරි මන්දපෝෂණය වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය හඳුන්වා දී තිබෙනුයේ 70 දශකයේදීය. ඉපදෙන දරුවන්ගේ උපත් බර අඩු වීමේ තත්ත්වය වළක්වා ගැනීමද එහි තවත් එක් අරමුණක් වී තිබේ. විශේෂයෙන් යකඩ හා විටමින් සම්බන්ධ ගැටලු එම යුගයේදීත් මෙරටදී වාර්තා වී ඇත. ඒම ගැටලුව මග හැරීම සඳහා ත්‍රිපෝෂ නොමිලයේ ලබාදුන්නද වර්තමානයේත් එම ගැටලුව දක්නට ලැබේ. 1973 සිට 2020 වර්ෂය දක්වා අවුරුදු 37ක් ත්‍රිපෝෂ නොමිලයේ ලබා දුන්නද මෙරට මවුවරුන් අතර යකඩ ඌනතාව අද වනවිටත් 20෴ත් 30෴ත් අතර පවතී.

එයට හේතුව ලෙස පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනුයේ ත්‍රිපෝෂ පවුලේ ආහාරයක් බවට පත්වීම (පවුලේ සෙසු සමාජිකයන් අතරද බෙදීයාම) නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී ඇති බවය. ජනතා මුදලින් මිලියන ගණනක් ත්‍රිපෝෂ සඳහා වියදම් වේ. මේ වියදමෙන් ලද එක් හොඳ ප්‍රතිඵලයක් වී ඇත්තේ සායන සඳහා මවුවරුන් ගෙන්වා ගැනීමට ත්‍රිපෝෂ උත්ප්‍රේරකයක් වී තිබීමය. ත්‍රිපෝෂවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමට තවත් එක් හේතුවක් ලෙස දිනකට නිර්දේශිත ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමද බලපා ඇත. ග්‍රෑම් 50ක ප්‍රමාණයක් ලෙස වූ නිර්දේශය මේ නිසා ග්‍රෑම් 100ක් බවට පත්කළ යුතුයි යනුවෙන් පරීක්ෂණයේ නිර්දේශවල සටහන් විය. ත්‍රිපෝෂවලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගැනීමට නම් තවදුරටත් දිනකට නිර්දේශ ප්‍රමාණයන් යළි සලකා බැලිය යුතු වේ.

(වයඹ සරසවියේ මානව පෝෂණවේද අධ්‍යයනාංශයේ මහාචාර්ය රේණුක සිල්වා

මහතාට විශේෂ ස්තූතිය)

ොරටේ අවශ්‍යතාවෙන් 100%ක් සපුරාලන්න ත්‍රිෙපා්ෂ වෙළෙඳ පොළට නිකුත් කරන්න තරම් බඩඉරිඟු අපිට නැහැ -  ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න

බඩඉරිඟු යොදා සකස් කරන අපේ රටේ වඩාත් ජනප්‍රිය ආහාරයක් වන ත්‍රිපෝෂ සඳහා දේශීය ගොවියන්ගෙන් අමුද්‍රව්‍ය ලබාගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?

බඩඉරිඟු යොදා ගනිමින් සකස් කරන ලද මිශ්‍රණයකින් මන්දපෝෂණ තත්ත්වය අඩු කළ හැකි බව ඒ යුගයේ ඇමෙරිකාව සොයා ගැනීමත් සමග තමයි මේ නිෂ්පාදනය ආරම්භ වුණේ. ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන්නේ බඩඉරිඟුයි. මීළඟට සොයා බෝංචි හා කිරිපිටි, විටමින් හා ඛනිජ ලවණ යොදාගනු ලබනවා.

වර්තමානය වනවිට විටමින් හා ඛනිජ ලවණ මිශ්‍රණය පමණයි අපි විදේශයන්ගෙන් ගෙන්වන්නේ. අනෙක් අමුද්‍රව්‍ය සියල්ල දේශීය ගොවියන්ගෙන් මිලදී ගනු ලබනවා.

ලංකාවේ වියළි කලාපයේ වගා කරනු ලබන භෝග ලෙස බඩඉරිඟු හා සෝයා හඳුන්වා දිය හැකියි. ඒ අනුව මොනරාගල, අම්පාර, බදුල්ල, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාවන් සිදුවෙනවා. යල හා මාස් කන්නයේ ලෙස කන්න දෙකක මේ භෝග වගාවන් සිදුකෙරෙනවා. යල කන්නයේ තමයි අපිට වැඩි වශයෙන් බඩඉරිඟු අස්වැන්නක් ලැබෙන්නේ. ආදි කාලයේ හේන් ගොවිතැනක් ලෙසයි බඩඉරිඟු වගා කළේ. ඒ අනුව සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල තමයි වැඩි වශයෙන් බඩඉරිඟු වගාවන් සඳහා ගොවීන් යොමු වෙන්නේ. ජනවාරි පෙබරවාරිවල අස්වනු නෙළීම සිදුකෙරෙනවා. මේ කාලයේදී තමයි අපිට වැඩි අස්වැන්නක් ලැබෙන්නේ. ලංකාවේ අවශ්‍යතාවට සරිලන ලෙස බඩඉරිඟු වගා කිරීමක් අතීතයේ සිටම අපේ රටේ සිදුවෙලා නැහැ. මේ නිසා අපිට කාලයක් පුරා විදේශයන්ගෙන් බඩඉරිඟු ආනයනය කරන්න සිදුවුණා. නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ දේශීය භෝග වගා සංකල්පය යටතේ විදේශයන්ගෙන් බඩඉරිඟු ගෙන්වීම තහනම් කර තිබෙනවා. මේ නිසා ගොවීන් ඉතාම උනන්දුවෙන් බඩඉරිඟු වගාවට යොමු වී තිබෙනවා. දැන් වෙනම අමාත්‍යාංශයක් යටතට මෙය යොමු කර තිබෙනවා.

පසුගිය කාලයේ බඩඉරිඟු හිඟයක් නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනයට බාධා ඇතිෙ වුණා නේද?

ලංකාවට බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් පමණ අවශ්‍ය වෙනවා ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා. නමුත් මෙට්‍රික් ටොන් 160,000ක් පමණ තමයි දේශීය වශයෙන් ලැබෙන්නේ. ඒ අනුව මදිපාඩුව අපිට විදේශයන්ගෙන් ගෙන්වන්නට සිදුවෙනවා. ජනාධිපතිතුමා බඩඉරිඟු ගෙන්වීම තහනම් කළාට පසුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු හොඳටම මදි වෙලයි තියෙන්නේ. දැන් දේශීයව වැවෙන ප්‍රමාණය දේශීය පරිභෝජනයට මදි වෙලා තිබෙනවා. අපි මනුෂ්‍ය ආහාරවලට බඩඉරිඟු යොදා ගනිද්දී නිර්ණායක රැසක් අනුව බලනවා. උෂ්ණත්වය, තෙතමනය ආදී දේවල් රැසක් මැන බලනවා. මේවා සියල්ල මැන බලලා උසස් තත්ත්වයේ බඩ ඉරිඟු ඇටයි අපි මිලදී ගන්නේ. අපේ තත්ත්වයට පහළින් තිබෙන බඩඉරිඟු සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනෙනවා. අපි ටෙන්ඩර පටිපාටියකට අනුවයි බඩඉරිඟු ලබා ගන්නේ. අපිට අවශ්‍ය උසස් බඩඉරිඟු නැති නිසා ටෙන්ඩර සඳහා අයැදුම් කරන්න කට්ටිය අවම වී තිබෙනවා. අපි පුවත්පත්වල දැන්වීම් පළ කරලා ටෙන්ඩර කැඳෙව්වත් අවුරුදු ගාණක් අපිට බඩඉරිඟු සැපයූ සැපයුම්කරුවන්ටත් ගුණාත්මක බඩඉරිඟු සැපයීමට බැරි නිසා ඉදිරිපත් වී නැහැ. මේ නිසා අපි යම් අර්බුදයකයි සිටින්නේ. නමුත් අපි කෙසේ හෝ ගුණාත්මක බවින් යුතු බඩඉරිඟු පොඩි ප්‍රමාණයන්ගෙන් සපයන්න පුළුවන් සැපයුම්කරුවන් කිහිපදෙනෙක් එකතු කරගෙන නිෂ්පාදන සිදුකරනවා. නමුත් අවශ්‍යතාවෙන් 100%ක් සපුරාලන්න අපේ නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන්න තරම් බඩඉරිඟු අපිට නැහැ. නමුත් අපි කවදාවත් කර්මාන්ත වැහුවේ නැහැ. අපෙට යන්ත්‍ර නඩත්තු කිරීමේ කාලයක් තිබෙනවා. ඒ කාලයේදී අපි කොහොමත් නිෂ්පාදන කරන්නේ නැහැ. අපේ නිෂ්පාදනාගාරයේ දිවා රාත්‍රී නිෂ්පාදන සිදු කරනවා. අමුද්‍රව්‍ය අඩු නිසා අපි පැය 12ක වගේ කාලයක් තමයි නිෂ්පාදන සිදු කරන්නේ. අපිට දිනකට නිෂ්පාදන සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 50ක් පමණ අවශ්‍යයි. ඒ කියන්නේ අක්කර 30ක වගා කරන බඩඉරිඟු දවසකට අවශ්‍යයි කියන එකයි.

ඉදිරියේදී ත්‍රිපෝෂ හිඟ වෙයිද?

අපේ ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අතිරික්තයක් සුපෝෂ නමින් වෙළෙඳ පොළට හඳුන්වා දුන්නා. අඩු බර ළමුන්ට, කිරි දෙන මවුවරුන්ට හා ගර්භිණී මවුවරුන්ට තමයි නොමිලේ ත්‍රිපෝෂ දෙන්නේ. අපි දැන් සුපෝෂ නිෂ්පාදනය ගැන නොබලා අපිට ලැබෙන බඩඉරිඟුවලින් ත්‍රිපෝෂ පමණක්ම නිෂ්පාදනය කරලා සායනවලට යොමු කරන එකයි මේ දිනවල සිදු කරන්නේ. අපි කිසිම අඩුපාඩුවකින් තොරව සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රිපෝෂ ලබා දී තිබෙනවා. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රට වසා දැමීමේ ක්‍රියාවලියට අවතීර්ණ වූ කාලයේදීත් අපි අපේ නිෂ්පාදන කළා. සුදුවැල්ල හා වැලිසර කියන කෝවිඩ් තර්ජනය බහුලව තිබුණ ප්‍රදේශයකට මායිම්ව අපේ නිෂ්පාදනාගාරය පිහිටලා තිබුණත් අපේ සේවකයන්ගේ උනන්දුව මත අපි නිෂ්පාදන සිදුකළා. ඒ අනුව අපිට කොරෝනා කාලේදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා නිවෙස්වලට අඛණ්ඩව ත්‍රිපෝෂ බෙදාහැරීම සිදුකරන්නට හැකියාවක් ලැබුණා. දැන් අපි අපිට ලැබෙන බඩඉරිඟු ප්‍රමාණය ඉතාමත් හොඳින් කළමනාකරණය කරගෙන නිෂ්පාදන සිදුකරනු ලබනවා. නමුත් ඉදිරි මාස දෙක තුනේ අපිට ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ පිළිබඳව අපි ජනාධිපතිවරයා සමග සාකච්ජා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

බඩඉරිඟු සම්බන්ධයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ ඇති වූ කතාබහත් සමගම සමාජයේ වැඩි කතාබහක් බඩඉරිඟු සම්බන්ධයෙන් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?

රටේ පර්යේෂණාගාරවල සිදුකරන ලද පරීක්ෂණ හා පෝෂණවේදීන්ගේ නිර්ණායක මතයි අපේ ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ. එසේ නොමැතිව අපිට ඕන විදිහට නිෂ්පාදනය කරන්න බැහැ. මෙතෙක් මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිතිව තිබුණේ. බඩඉරිඟු ප්‍රෝටීන් බහුල ආහාරයක්. අතීතයේ හේන් ගොවිතැන් කරපු ගම්මානවල ජීවත් වූ ළමයින්ට මන්දපෝෂණය තිබුණද කියලා හොයලා බලන්න. ඒ වගේම භීෂණ කාලවලදී මිනිස්සු ළමයින්ට කන්න දුන්නේ බඩඉරිඟු. හේන් ගොවිතැන් කරන ප්‍රදේශවල ළමයි උදේට කන්නේ බඩඉරිඟු. ඒ ළමයින් බොහෝම නිරෝගීව ඉන්නවා.

බඩඉරිඟුවල පෝෂණ ගුණය ඉහළ නිසාම වෙන්න ඇති ඇමෙරිකාව වගේ රටවල් මේවා වගා කරලා ආහාර ලෙස ගන්නේ. සමස්ත ලෝකයම බැලුවොත් ලෝකයේ අවශ්‍යතාව සපුරාලන්නට අවශ්‍ය බඩඉරිඟු නිෂ්පාදනය කරගන්නට බැරිවයි ඉන්නේ. අපේ රටේ මිනිස්සු බඩඉරිඟු ආහාරයට ගන්න පුරුදු වෙලා තියෙන්නේ තම්බලා, පොප්කෝන් විදහට, ත්‍රිපෝෂ විදිහට වගේ ක්‍රම කිහිපයකටයි. නමුත් බඩඉරිඟු උයලා කනවා කියන එක අපේ අයට අලුත් දෙයක් වෙන්න ඇති. නමුත් මට අනුවනම් අපේ නිෂ්පාදනයේ ප්‍රධාන දෙය බවට පත්වෙලා තියෙන්නේ බඩඉරිඟුයි.

අපි සත්ත්ව ආහාර ලෙස ගත් විට කුකුල්ලුන්ට, ගවයන්ට ලබා දෙන්නේත් බඩඉරිඟු ආශ්‍රිත නිෂ්පාදනයක්.

බඩඉරිඟු දේශීයව මහා පරිමාණයෙන් වගා කරද්දී යොදන වස විසත් වැඩි වෙයි කියලා ඇතැමුන් පවසනවා.?

බඩඉරිඟු කියන එක අපේ පරණ බීජවලින් තවදුරටත් වගා කළොත් අපිට අවශ්‍යය ප්‍රමාණයට පලදාව ගන්න බැරි වෙයි. ඒ නිසා අපි තායිලන්තයෙන් දෙමුහුම් බීජ ගෙනත් වගා කරනවා. ලංකාවේ මහඉලුප්පල්ලමෙන් දැනට පරීක්ෂණ කරනවා හොඳ බීජ හඳුන්වා දෙන්න. දෙමුහුම් බීජ වගා කරන විට අනිවාර්යෙන් පොහොර වර්ග භාවිත කරන්න සිදුවෙනවා. ඒ අනුව රජයේ අනුමත ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන ප්‍රමාණවලින් පොහොර යොදන්න සිදුවෙනවා. ලෝකය යන රටාව අනුව කාබනික පොහොර යොදා සිදුකරන වගාවන් වෙත ප්‍රවේශ වෙන්නත් අපේ රටේ දැනට ක්‍රමවේද සකසමින් තිබෙනවා.



Recommended Articles