බටහිර ශිෂ්ටාචාරය තම පැවැත්ම සහ එහි අදාළත්වය ගැන මුහුණදෙන බරපතළම අර්බුදයට මුහුණදෙමින් සිටින්නේය. තම භූමියට එල්ල වූ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර විස්සකට පසු එක්සත් ජනපදයට තම පැරණි උපායන් සමග තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි බව ඔප්පු කොට ඇත. ශිෂ්ටත්වයේ පාරාදීසය තම ශිෂ්ටාචාරය බව පුරසාරම් දොඩන බටහිර බලය සදාචාරාත්මක වශයෙන් විශාල බිඳවැටීමකට ලක්වී ඇත.
පළමු කොටස
බටහිර ශිෂ්ටාචාරය තම පැවැත්ම සහ එහි අදාළත්වය ගැන මුහුණදෙන බරපතළම අර්බුදයට මුහුණදෙමින් සිටින්නේය. තම භූමියට එල්ල වූ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර විස්සකට පසු එක්සත් ජනපදයට තම පැරණි උපායන් සමග තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි බව ඔප්පු කොට ඇත. ශිෂ්ටත්වයේ පාරාදීසය තම ශිෂ්ටාචාරය බව පුරසාරම් දොඩන බටහිර බලය සදාචාරාත්මක වශයෙන් විශාල බිඳවැටීමකට ලක්වී ඇත. මෙම සේදී යන බලය සහ ව්‍යාජ කීර්තිය කෙසේ හෝ රැකගෙන තම බලය ව්‍යාප්ත කිරීම සඳහා නව උපායන් අවශ්‍ය වී ඇත. ඒ සඳහා නව පොදු සතුරෙකුද බිහිකළ යුත්තේය. වසර ගණනාවක් තිස්සේ පැවැති අඛණ්ඩ සටන්වලින් පසු සිරියාව ත්‍රස්තවාදීන්ගෙන් බොහෝ දුරට නිදහස් වුවද බටහිර බලවතුන් සිරියාව එක්සේසත් කිරීමට බාධා කරන බව නොරහසකි. මෙහි අරමුණ සිරියාව නව ඇෆ්ගනිස්ථානය බවට පත්කිරීම විය හැකිය.
අල්කයිඩා සංවිධානයේ ත්‍රස්තවාදීන් සිදුකළ සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරයට වසර විස්සක් සම්පූර්ණ වීම ජගත් ජනමාධ්‍ය බොහෝමයක් වඩාත් වැඩි අවධානයක් යොමු කරමින් සිහි කළ ආකාරය ගෙවී ගිය සති අන්තයේ දක්නට ලැබුණේ මෙවැනි වටපිටාවකය. සංවත්සරයට දින කිහිපයකට පෙර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් නිකුත් කළ විධායක නියෝගයට අනුව යමින් එෆ්.බී.අයි. සංවිධානය අදාළ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන තමන් සතුව ඇති රහස්‍ය ලිපිගොනුවලින් එකක් නිකුත් කළ අතර, එක්සත් ජනපදය තම රටට එරෙහිව එල්ල වූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය සිහිපත් කළේය.
මහජන පරිශීලනය සඳහා නිකුත් කරනු ලැබූ රහස්‍ය ලිපිගොනුවට අනුව ලොස් ඇන්ජලීස්හි සෞදි අරාබියේ කොන්සල් කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකු ගුවන් යානා පැහැරගත් ත්‍රස්තවාදීන් දෙදෙනෙකුට නවාතැන් පහසුකම් ලබා දී ඇති බව සඳහන් වේ. මේ අතර සෞදි අරාබිය යළිත් තම අහිංසකත්වය අවධාරණය කරමින් නිකුත් කළ නිවේදනයක සඳහන් කරනු ලැබුවේ අදාළ ප්‍රහාර සඳහා කිසිම සම්බන්ධයක් තම රාජ්‍යයට නොමැති බවය. මැදපෙරදිග සිතියම තමන්ට අවශ්‍ය ආකාරයෙන් හැසිරවීම සඳහා එක්සත් ජනපදයට සෞදි අරාබිය අත්‍යවශ්‍ය විය. මේ නිසා අනෙකුත් රටවල් කාබාසිනියා කිරීම සඳහා එක්සත් ජනපදය හඳුන්වා දුන් 'ආණ්ඩු වෙනස් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය' සෞදි අරාබියට හඳුන්වා දුන්නේ නැත.
කෙසේ වෙතත්, සැප්තැම්බර් 11 ප්‍රහාරය මූලික කරගෙන නිර්මාණය කළ කුමන්ත්‍රණ න්‍යායන් රාශියක් පසුගිය දශක දෙක පුරාම විවිධ භාෂාවලින් ප්‍රසිද්ධ විය. එම ප්‍රහාරය ත්‍රස්තවාදයට නව අර්ථකථන සැපයීය. එසේම එය එක්සත් ජනපදයට තම බලය ව්‍යාප්ත කොට අවශ්‍ය ජන ඝාතන සිදුකිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය ලබාදෙනු ලැබීය. මේ නිසා ත්‍රස්තවාදියෙකු අතින් මියයන එක් ඇමෙරිකානුවෙකුගේ ජීවිතයට එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරවලින් ලාඕස්, වියට්නාම් හෝ කාම්බෝජය හෝ වෙනත් අප්‍රිකානු හෝ මැදපෙරදිග රටකදී ඝාතනය වන නිරායුධ සිවිල් වැසියන් ලක්ෂ ගණනට වඩා වැඩි වටිනාකමක් ලැබුණි. මන්ද ඇමෙරිකානුවන් අනෙක් රටවලට (ඔවුන්ගේ වචනවලට අනුව දුරාචාරාත්මක රටවලට) 'සදාචාරය උගන්වන්නේය'. එය කෙතරම් මිල අධික යන්න, එම රටවල මිනිසුන් මරා එය සම-පාර්ශ්වික (කොලැටරල්) හානි ගණයට දමන්නේය. නමුත් මෙම ව්‍යාපෘතිය අවසානයේ එම රටවලට ලැබුණු සදාචරයකුත් නැත, ඉතිරි වූ පුරුවසියෙකුත් නැත. බටහිර ශිෂ්ටාචාරය උගන්වන සදාචාරත්මක යුක්තියේ ඇත්ත මෙයයි.
සැප්තැමබර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය ජනාධිපති ජෝර්ජ් බුෂ් තමන්ගේ බලය රැක ගැනීම සඳහා සැලසුම් කළ ප්‍රහාරයක් බවට ඇතැමුන් චෝදනා කළ අතර, තවත් පිරිසක් සඳහන් කළේ එය මතුපිටින් පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවට සැඟවී ඇති ගැඹුරු රාජ්‍යයේ කුමන්ත්‍රණයක් ලෙසය. එය ඇමෙරිකානු බලය ශක්තිමත් කිරීම සඳහා ඉතාම සූක්ෂම ලෙස සිදුකළ කටයුත්තක් බව මෙහිදී ඉදිරිපත් වූ අදහස විය. මෙම කුමන්ත්‍රණ න්‍යයාන්වලට ගැඹුරට විහිදී ගිය සැකය සහ විවිධ සිදුවීම් එකිනෙක ගැළපීමේ හැකියාව තිබුණු නමුත් ඒවායෙහි පරම සත්‍යය යැයි පිළිගැනීමට හැකි විද්‍යාත්මක කරුණු කිසිවක් නැත. නමුත් මෙම අදහස් දේශපාලනික වශයෙන් විශාල බලපෑමක් කිරීමට සමත් වූ බව ඉතිහාසය පුරාම ඔප්පු කළ කාරණය වේ. මෙම විවාදය තවත් වසර ගණනාවක් ඉදිරියට ඇදෙනු ඇත.
කෙසේ වෙතත්, 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු සමස්ත ලෝකයටම ගෙවීමට සිදු වූ වන්දිය සුළුපටු නොවේ. ප්‍රහාරයේදී මියගිය නිරායුධ මිනිසුන් තුන්දහසකට අසන්න පිරිසකට 'යුක්තිය' සොයමින් ලෝකය පුරා ව්‍යාප්ත කරනු ලැබූ එක්සත් ජනපදයේ 'ත්‍රස්තවාදයට එරෙහි ව්‍යාපෘතිය' විසින් ඉරාකය, ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය තුළ පමණක් මිලියනයක පමණ නිරායුධ ජනතාවක් ඝාතනය කරනු ලැබීය. එසේම ඒ හේතුවෙන් අවතැන් වූ පිරිස මිලියන තිස්හතකි. මෙම කාලය තුළදී ඇමෙරිකානු ප්‍රතිපත්ති ක්‍රියාධරයන් තම මෙහෙයුම් සඳහා වියදම් කළ මුදල එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන අටක් බව බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ යුද පිරිවැය ව්‍යාපෘතිය විසින් පසුගිය සැප්තැම්බර් පළමු වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරනු ලැබීය. එය සමස්ත ලෝක ජනගහනයට පෝෂිත ආහාර වසර ගණනාවක් අඛණ්ඩව සැපයීමට හැකි මුදල් සම්භාරයකි.
මෙම ඛේදජනක තත්ත්වය විසින් ඔප්පු කරනු ලබන්නේ කුමක්ද? එක්සත් ජනපදය විසින් ගෙවුණු දශක කිහිපය පුරාම මානව හිමිකම්, පෞද්ගලික නිදහස සහ යුක්තිය උදෙසා ස්වාධීන අධිකරණ වැනි අලංකාර වාග් මාලා ඔවුන්ගේ අවලස්සන දේශපාලන ව්‍යාපෘතියේ සැබෑ ස්වරූපය වසා ගැනීම සඳහා භාවිත කරන හිස් සහ මුලාවේ හෙළන වචන බවය. එකල තලෙයිබාන් පරාජයෙන් පසු බලයට රැගෙන ආ ආණ්ඩුව අන්ත දූෂිතයන්ගෙන් සහ වංචාකරුවන්ගෙන් පිරී තිබීමත්, සමාජ ගැටලු විසඳීමට යැයි කියමින් රාජ්‍ය නොවන සංවිධානවලට නිරපරාදේ සිදුකළ මූල්‍ය වියදමට අදාළ දත්තවලින් ඔප්පු කරන්නේ එයයි.
තම බලය සේදී යන සෑම විටම වෙනත් දුර්වල ජනවර්ගයක් මූලික කරගෙන සංවිධානාත්මකව ප්‍රචණ්ඩත්වය පතුරුවා හැරීම එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය වේ. මෙම සංවිධානාත්මක අපරාධවලින් නඩත්තු කරනු ලැබූ බලය ක්‍රමයෙන් සේදී යමින් පවතින අතර එය පරලොව යෑමට පෙර ඊට නව ජන්මයක් ලබාදීමට අවශ්‍ය වී තිබේ. මේ නිසා එක්සත් ජනපදයට නව ප්‍රවේශයක් ලබාගැනීම සඳහා නව ආකාරයක යම් බරපතළ සිදුවීමක් අවශ්‍ය වේ.
එක්සත් ජනපද හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් නික්ම යන විට එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වටිනා අවිආයුධ අත්හැර ගොස් ඇති බව ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබයි. එය අත්වැරදීමක් ලෙස සැලකිය නොහැකි බරපතළ කරුණකි.
වැදගත් වන්නේ අල් කයිඩා වැනි ත්‍රස්තවාදී සංවිධානයක් වසර විස්සකින් පසු යළිත් එරට බලය අල්ලා ගැනීම නොවේ. එනම් මානව ශිෂ්ටාචාරයේ නූතනම පුරවැසියන් තමන් යැයි පාරම්බාන පිරිස විසින් හඳුන්වා දෙන 'නූතනත්වය' කෙතරම් ඛේදජනක මෙවලමක්ද යන්නයි. හිටපු ජනාධිපති බුෂ් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ 'ත්‍රස්තවාදයට එරෙහි ව්‍යාපෘතිය' මගින් සිදුවූයේ කුමක්ද? එමඟින් සිදුකළේ අන්තවාදී බීජ වපුරා ප්‍රජාතන්ත්‍රවාදී අස්වැන්නක් බලාපොරොත්තු වීමය. වසර විස්සක විරාමයකින් පසු අස්වැන්න නෙළීමට අන්තවාදී බීජවල නියම උරුමකරුවා වන තලෙයිබාන් සංවිධානය සමත් විය.
මෙම ප්‍රවණතාව හඳුනාගැනීම සඳහා සැමුවෙල් හන්ටින්ටන් ඉතාම ප්‍රයෝජනවත් වන චින්තකයෙකි. ජෝර්ජ් ඩබ්. බුෂ් තම 'ත්‍රස්තවාදයට එරෙහි ව්‍යාපෘතිය' හඳුන්වාදීමට දශක ගණනාවකට පෙර හන්ටින්ටන් අනාගතයේ ගැටුම් ඇතිවීමට බලපාන මූලික කාරණා තුනක් පෙන්වා දුන්නේය. එනම් බටහිර චින්තනයේ ඇති අහංකාරකම, ඉස්ලාමීය චිනත්නයේ ඇති නොඉවසීම සහ චීනය තම බලය ව්‍යාප්ත කිරීමයි.
වසර විස්සකට පසු තලෙයිබාන් සංවිධානය යළිත් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගැනීම සහ එක්සත් ජනපදය තම 'ත්‍රස්තවාදයට එරෙහි ව්‍යාපෘතියේ' නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයෙන් නික්ම යෑමට හේතු වූයේ යැයි අනුමාන කළ හැකි කරුණු අවබෝධ කර ගැනීමට හන්ටින්ටන් අපට මාර්ගය පෙන්වා දෙයි.
මෙහිදී යළි යළිත් ඔප්පු වන්නේ “බටහිර විසින් ලෝකය ජයග්‍රහණය කළේ එහි අදහස්වල හෝ සාරධර්මවල හෝ ආගමේ [...] උසස්කම නිසා නොව, සංවිධානාත්මක ලෙස ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීමේ හැකියාව නිසාය" යනුවෙන් සැමුවෙල් හන්ටින්ටන් ඉදිරිපත් කළ අදහස බටහිර ශිෂ්ටත්වයේ ඇත්ත අවබෝධ කරගැනීම සඳහා අදටත් කෙතරම් නිවැරදි ලෙස අදාළ කරගත හැකිද යන්නයි.
ක්‍රමයෙන් මැළ වී යන යන බටහිර බලයට නව ජීවයක් ලබාදීම සඳහා එහි භාරකරුවන් කළ හැකි උපරිමයෙන් උත්සාහ ගනු ඇත. මන්ද එය ඔවුන්ගේ වගකීමයි. ඒ සඳහා තවත් 9/11 පන්නයේ ප්‍රහාරයක් අවශ්‍ය වී තිබෙනවා විය හැකිය. එවැනි ප්‍රහාරයකට අවශ්‍ය පරිසරය සකස් කිරීමට නම් තම 'ප්‍රයෝජනවත් සතුරන්ට' (යූස්ෆුල් එනෙමීස්) අවශ්‍ය පහසුකම් ලබා දී මතුපිටින් එම සතුරාට එරෙහිව හිස් වචන කතා කළ යුතුය. ඇෆ්ගනිස්ථානයෙන් නික්ම යනවිට තම රටේ ජනතාවගේ බදු මුදලින් සහ වෙනත් රටවලින් සූරාගත් සම්පත් භාවිත කර නිපදවනු ලැබූ එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වටිනා අවි ආයුධ අතහැර දමා නොනිල වශයෙන් තලෙයිබාන් ත්‍රස්තවාදීන්ට ඒවා ලබා දී යන්නේ නොදැනුවත්කම නිසා හෝ අසමත්කම නිසා නොවේ. එක්සත් ජනපදය සෑම විටම තම බලය රැකගැනීම වෙනුවෙන් මෙම දෙබිඩි රංගනය ඉදිරිපත් කරනු ලැබීය. එය 'පශ්චාත්-සත්‍යයට යටත් වූ ප්‍රජාතන්ත්‍රවාදයේ' ප්‍රායෝගකාරී භාවිතය ලෙස හඳුනාගත නොහැකිද?
බටහිර ශිෂ්ටාචාරය ලෝකයේ කේන්ද්‍රස්ථානය තමන් ලෙස දකින අතර, එහි ඉතිහාසය මානව ඉතිහාසයේ කේන්ද්‍රය ලෙස ඒත්තු ගැන්වීමට සෑම විටම උත්සාහ කරනු ලබයි. නමුත් එම අධිපතිවාදී චින්තනය සෑම විටම විනාශය අත්කර දුන්නේය. සැබෑ ත්‍රස්තවාදයේ මුල්බීජ ව්‍යාප්ත වූයේ මෙම ආධිපත්‍යය රැකගැනීම වෙනුවෙනි.
නිලන්ත ඉලංගමුව
දෙවන කොටස - https://www.ada.lk/opinion/ඇෆ්ගන්-ත්%E2%80%8Dරස්තවාදයට-පාර-කැපූ-සෝවියට්-කොමියුනිස්ට්වාදය/2-384676
තෙවන කොටස - https://www.ada.lk/opinion/තලේබාන්-ත්%E2%80%8Dරස්තවාදීන්ට-පෙර-ඇෆ්ගනිස්ථානයේ-දේශපාලනය/2-384729
හතරවන කොටස - https://www.ada.lk/opinion/අමීන්ගේ-නැගී%E2%80%8Bම/2-384988