බංග්ලාදේශයේ මෙහෙයුම් සඳහා ඉන්දිරා ගාන්ධි බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කරයි


ඉන්දීය වාර්තාවලට අනුව පාකිස්තානය ඉන්දියාවට එරෙහිව කටයුතු කළ සංවිධානවලට සහයෝගය ලබාදීම ආරම්භ කරනු ලැබුවේ, 1956 තරම් ඈත කාලයේදීය. එකල නැගෙනහිර පාකිස්තානයේ චිතගොන් කඳු පන්තිය පාකිස්තානයේ බුද්ධි සේවාව වූ අයි.එස්.අයි. (ඉන්ටර් සර්විස් ඉන්ටෙලිජන්ස්) විසින් ඊශානදිග ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ ෆිෂෝ නමැති පුද්ගලයෙකු විසින් මෙහෙවනු ලැබූ සන්නද්ධ කණ්ඩායමකට අවශ්‍යය රැකවරණය සහ පුහුණුව ලබාදී තිබේ.

1960දී අයි.එස්.අයි. ලාල්ඩෙන්ගා විසින් මෙහෙවනු ලැබූ මිසෝ ජාතික පෙරමුණට අවශ්‍ය පහසුකම් සැපයූ අතර, චීන බුද්ධි අංශ සමග සම්බන්ධතා ඇති කිරීමට ඊට සහයෝගය දක්වනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනයේ යුනාන් පළාතේ චීන බුද්ධි අංශ විසින් පිහිටුවන ලද පුහුණු කඳවුරු තුළ ඉන්දියානු නාගා සහ මිසෝ ගෝත්‍රිකයන් නියෝජනය කළ සන්නද්ධ කල්ලි පුහුණු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළේය. පාකිස්තානයෙන් වෙන් වීම සඳහා සටන් කරනු ලැබූ බෙංගාලි ජාතිකයන්ට ඉන්දිරා ගාන්ධිගේ ආණ්ඩුව සහාය දීමට තීරණය කරනු ලැබුවේ මෙවැනි වටපිටාවක් යටතේය.

කෙසේ නමුත්, ස්වාධීන බංග්ලාදේශයේ නිර්මාතෘ ඉන්දියාව යැයි කීම වැරදිය. ඉන්දියාවේ භූමිකාව නිර්මාණකරුවෙකුට වඩා පහසුකම් සපයන්නෙකු ලෙස සැලකිය හැකිය. නැගෙනහිර පාකිස්තානයේ මිනිසුන් බටහිර පාකිස්තාන පාලකයන්ගෙන් එල්ල වූ අනේක විධ හිරිහැර සහ නොසලකා හැරීම් නිසා ස්වාධීන වීමට තීරණය කිරීම නොවන්නට බංග්ලාදේශයක් නොතිබෙන්නට ඉඩ තිබිණි. ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම් අතිමහත්ය. ඔවුන්ගෙන් කී දෙනෙක් පාකිස්තාන හමුදාව විසින් අමානුෂික ලෙස ඝාතනය කළේද? පාකිස්තාන හමුදාව සහ අයි.එස්.අයි. ආයතනය විසින් නිර්මාණය කරන ලද අල් බදර් සහ අල් ශම්ස් වැනි ත්‍රස්තවාදී සංවිධාන විසින් බෙංගාලි බුද්ධිමතුන් කිහිපදෙනෙකු සමූල ඝාතනය කළේද? ස්වාධීන බංගලාදේශයක් සඳහා අඩිතාලම දැමුවේ ඔවුන්ගේ එම රුහිරයෙන් ලියැවුණු කැපකිරීමයි. ඉන්දිරා ගාන්ධිගේ නායකත්වයෙන් ඉන්දියාව සිදු කළේ, ඔවුන්ගේ කැපකිරීම් නිෂ්ඵල නොවන බවට වග බලා ගැනීමයි.

ෆීල්ඩ් මාර්ෂල් (එවකට ජෙනරල්) එස්.එච්.එෆ්.ජේ. මීනේක්ෂේව්ගේ නායකත්වය යටතේ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් සහ කේ.එෆ්. රුස්ටෝම්ජිගේ නායකත්වයෙන් යුත් දේශසීමා ආරක්‍ෂක බළකාය (බී.එස්.එෆ්) විසින් සිදුකළ විවෘත මෙහෙයුම් මෙන්ම රෝ සහ අයි.බී. විසින් ක්‍රියාත්මක කළ රහස් මෙහෙයුම්වලින් පාකිස්තානයට එරෙහිව බෙංගාලි ජාතිකයන් ගෙන ගිය අරගලය පරිපූර්ණ වී තිබිණි. කෙසේ වෙතත් ඉන්දිරා ගාන්ධිගේ දේශපාලන නායකත්වය සහ ගැටුම්වලින් විපතට පත් නිරායුධ ජනතාව මිලියන ගණනකට රැකවරණය ලබාදුන් ඉන්දියාවේ බටහිර බෙංගාලය, ඇසෑම් සහ ත්‍රිපුර ප්‍රාන්තවල සේවය කළ රාජ්‍යය සේවකයන් සහ අනෙකුත් ජනතාවගේ මානුෂීය සේවාව නොවන්නට තත්ත්වය තවදුරටත් සංකීර්ණ වීමට ඉඩ තිබිණි.

එසේම, 1971 ජනවාරි මාසයේදී පාකිස්තාන ඔත්තු සේවාව විසින් සහයෝගය දැක්වූ ජම්මු සහ කාශ්මීර විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන්යානයක් පැහැර ගැනීමට විරෝධය දැක්වීමක් වශයෙන්, පාකිස්තානය ඉන්දියාව හරහා නැගෙනහිර පාකිස්තානය වෙත සිදුකළ සියලුම පාකිස්තාන ගුවන් ගමන් තහනම් කිරීමට ඉන්දිරා ගාන්ධිගේ දැඩි තීරණය ගැටුම්වල ඉරණම තීන්දු කිරීමේ තීරණාත්මක සිදුවීමක් විය. එහිදී තම ගුවන්යානා සඳහා පියාසර කිරීමට මෙන්ම ඉන්ධන සැපයීමට ශ්‍රී ලංකාව සහාය දුන්නද, ඉන්පසු ඉන්දිරා ගාන්ධි විසින් ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුකළ බලපෑම නිසා පාකිස්තාන මෙහෙයුම්වලට විශාල බලපෑමක් සිදුවිය.

රෝ ආයතනයේ සේවය කළ ඉන්දීය රජයේ කැබිනට් ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් බී. රාමන් තම කාඕ බෝයිස් ඔෆ් රෝ කෘතියේ පෙන්වා දෙන පරිදි නැගෙනහිර පාකිස්තානයේ සිදුකළ ඉන්දීය බුද්ධි සේවාවේ කටයුතු ප්‍රධාන ආකාර පහකින් යුක්ත විය. එනම්, ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ සන්නද්ධ හමුදාවන්ට බුද්ධි තොරතුරු සැපයීම, බෙංගාලි නිදහස් සටන්කාමීන් රහසිගත පුහුණු කඳවුරුවල පුහුණු කිරීම, බටහිර පාකිස්තානයේ සහ විදේශයන්හි පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සේවය කළ බෙංගාලි ජාතික රාජ්‍ය සේවකයන් සමග සම්බන්ධ වී සටන්කාමීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාගැනීමට ඔවුන්ව පොළඹවා ගැනීම, චිතගොන් කඳු පන්තියේ කඳවුරු බැඳගෙන ඉන්දියාවට එරෙහිව සටන් කරනු ලැබූ නාගා සහ මයිසෝ ගෝත්‍රිකයන්ට එරෙහිව මෙහෙයුම් සිදුකිරීම සහ පාකිස්තාන හමුදාව විසින් නැගෙනහිර පාකිස්තානයේ බෙංගාලි ජාතිකයන් සමූල ඝාතනය කිරීම සහ ගැටුම් හේතුවෙන් අවතැන් වූ සරණාගතයන් ගැන වාර්තා ප්‍රචාරය කරමින් පාකිස්තානයට එරෙහිව මනෝවිද්‍යාත්මක යුද්ධයක් (ෂයිවෝර්) සංවිධානය කිරීම.

මෙලෙස ව්‍යුගත කෙරුණු මෙහෙයුම්වලින් ඉන්දීය ඔත්තු සේවය ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත නිවැරදි බුද්ධි තොරතුරු ලබාදීමට සමත් විය. එසේම නැගෙනහිර පාකිස්තානයේ බොහෝ බෙංගාලි රාජ්‍ය සේවකයන්ගේ සහයෝගිතාවෙන් සහ පාකිස්තාන සන්නද්ධ හමුදාවන්ගේ දුර්වල සන්නිවේදන ක්‍රමවේද නිසා එම මෙහෙයුම් වඩාත් පහසු විය.

රෝ ආයතනය බිහි කිරීමෙන් පසු කාඕගේ පළමු ක්‍රියාවන්ගෙන් එකක් වූයේ, පාකිස්තානයේ සහ චීනයේ තාක්‍ෂණික බුද්ධි (ටෙකින්ට්) තොරතුරු රැස් කිරීම සඳහා යුද හමුදා සංඥා බළකායේ කීර්තිමත් විශ්‍රාමික නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් අධීක්‍ෂණ අංශයක් පිහිටුවීම සහ අයි.බී. ආයතනයේ සේවය කළ කේතවලින් ආරක්‍ෂා කර ඇති රහස් ලේඛන කියවීමට (ක්‍රිප්ටෝග්‍රැපි) හැකියාව ඇති විශේෂඥයෙකුගේ ප්‍රධානත්වයෙන් රහස් ලේඛන කියවිය හැකි ඒකකයක් පිහිටුවීමය. එම අංශ දෙකම චීනය විෂයයෙහිලා කළ කටයුතුවල එතරම් සාර්ථකත්වයක් නැතත්, නැගෙනහිර සහ බටහිර පාකිස්තානය සම්බන්ධයෙන් සිදුකළ සේවාව අති විශිෂ්ඨ විය.

ජෙනරල් යාහ්යා ඛාන් ඇතුළු පාකිස්තාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නැගෙනහිර පාකිස්තානයේ සේවය කළ තම නිලධාරීන්ට උපදෙස් ලබාදීම සඳහා මූලික පූර්වාරක්‍ෂාවන් පවා නොගෙන නොසැලකිලිමත් ලෙස දුරකථන භාවිත කිරීම නිසා පාකිස්තාන සන්නද්ධ හමුදාවන්හි සන්නිවේදන කටයුතු අතිශය දුර්වල මට්ටමක පැවතුණි. මේ නිසා ඉන්දීය බුද්ධි අංශ සාමාජිකයන් මුහුණ දුන්නේ, බුද්ධි තොරතුරු සොයා යෑමට වඩා සිදු වූයේ, බුද්ධි තොරතුරු ඔවුන් වෙත නිරන්තයෙන් ගලා ඒමය. යාහ්යා ඛාන් විසින් සිදුකළ දුරකථන සංවාදවල පිටපත් සෑම දිනකම පාහේ ඉන්දිරා ගාන්ධි සහ නැගෙනහිර පාකිස්තානයේ මෙහෙයුම් සිදුකළ ඉන්දීය හමුදාවේ අණදෙන නිලධාරීන් වෙත ලැබිණි. එය ඉතාම කෙටි කාලයක් තුළදී ඉන්දීය බුද්ධි අංශ ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකීමේ වරදක් නැත.

1968ට පෙර අයි.බී. සහ ඉන් පසුව රෝ ආයතනය නැගෙනහිර පාකිස්තානයේ බොහෝ දේශපාලන නායකයන් සහ රජයේ නිලධාරීන් සමග සබඳතා ජාලයක් ගොඩනගා ගෙන තිබිණි. බටහිර පාකිස්තාන පාලකයන් අතින් බෙංගාලි නායකයන් සහ නිලධාරීන් අවමානයට ලක්වීම සහ නොසලකා හැරීම ඒ සඳහා මහෝපකාරී විය. කෙසේ නමුත්, වාර්තා පෙන්වාදෙන පරිදි, ඉන්දියාවට සහ එහි ආයතනවලට සතුරු වූ ප්‍රාදේශීය ජනගහනයේ එකම කොටස වූයේ බිහාර් සිට පැමිණි මුස්ලිම් සංක්‍රමණිකයන්ය. මෙම බිහාරි සංක්‍රමණිකයන් ඔවුන්ගේ බටහිර පාකිස්තාන පාලකයන්ට පක්‍ෂපාතී වූ අතර, බෙංගාලි ජාතිකයන් ඝාතනය කිරීම සඳහා ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළහ. එය ඇතැම් අවස්ථාවලදී බෙංගාලි විමුක්ති ව්‍යාපාරයට යම්කිසි බලපෑමක් කිරීමට සමත් වුවද, බිහාරි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු වූ හෙයින් ඔවුන්ගේ කටයුතු මර්දනය කිරීමට හැකි විය.

රෝ ආයතනයේ මනෝවිද්‍යාත්මක යුද්ධය පිළිබඳ (ශයිවෝර්) අංශය නිර්මාණය කරනු ලැබුවේද 1971දී පාකිස්තාන හමුදාවට එරෙහිව කටයුතු කිරීම සඳහාය. ඉන්දියාවේ තොරතුරු හා විකාශන අමාත්‍යාංශයේ මෙන්ම යුද හමුදාවේ සේවය කළ මාධ්‍ය වෘත්තිකයන් නිරන්තරයෙන් හමු වූ කාඕ ඔවුන්ගේ සාමුහික සහයෝගයේ ඇති වැදගත්කම පැහැදිලි කළේය. විශේෂයෙන් පාකිස්තාන හමුදාව විසින් සිදුකරනු ලැබූ ම්ලේච්ඡ ඝාතන සහ ගැටුම් හේතුවෙන් ප්‍රදේශයෙන් පලා යන මිලියන සංඛ්‍යාත සරණාගතයන් ගැන තොරතුරු වාර්තා කර ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වගකීම සඳහා එම සහයෝගය අතිශය තීරණාත්මක විය.

බී. රාමන් තම කෘතියේ සඳහන් කර ඇත්තේ, %ඇතැම් රාජ්‍යයන් ඉන්දියාව විසින් ගත් ක්‍රියාමාර්ගවලට සහයෝගය නොදැක්වුවද, නැගෙනහිර පාකිස්තානය සම්බන්ධයෙන් ඉන්දියාවේ මැදිහත්වීම ජාත්‍යන්තර වශයෙන් යුක්ති යුක්ත කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ, අගමැතිනි ඉන්දිරා ගාන්ධිටය,^ යනුවෙනි.

විශේෂයෙන්, ඉන්දියාවට එරෙහි ප්‍රධාන සතුරුකම එල්ල වූයේ, එක්සත් ජනපදයෙන් සහ චීනයෙනි. ඉන්දියාව පාකිස්තානය බෙදා වෙන් කිරීමේ සැලසුම ලෙස ඔවුන් වටහා ගත් දෙය සාර්ථක වෙනවා දැකීමට ඔවුහු කිසිවෙකුට අවශ්‍ය නොවීය. එසේම නැගෙනහිර පාකිස්තානයේ සිදුවූ සමාජ කැළඹීම් සහ සරණාගතයන් ලෙස එහි වැසියන් මිලියන ගණනක් තම ගම්බිම්වලින් නික්ම යෑම ඔවුහු දුටුවේ ඉන්දියාවේ සැලසුමක් ලෙසය. ඒ අනුව, ඇමෙරිකානු සහ චීන සහයෝගය නිරන්තරයෙන් හිමි වූයේ, පාකිස්තානයටය. එම තත්ත්වය ඉන්දිරා ගාන්ධි පරිපාලනය යටතේ කලාපීය දේශපාලන බලවතා බවට පත් වෙමින් සිටි ඉන්දියාව මොස්කව් පරිපාලනය වෙත සමීප වීමට හේතු විය.

මෙම වකවානුව එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්ගේ පරිපාලනය සහ චීනයේ මාඕ සේතුං පාලනය අතර පළමු රහසිගත සම්බන්ධතා පැවති කාලවකවානුව විය. එම රහසිගත සම්බන්ධතා සඳහා පහසුකම් සපයන ලද්දේ පාකිස්තානයේ හමුදා පාලකයන් විසිනි. නික්සන්ගේ ජාතික ආරක්‍ෂක උපදේශක හෙන්රි කිසිංජර් 1971 ජූලි මාසයේදී මාඕ සහ ඔහුගේ නිලධාරීන් සමග සාකච්ඡා සඳහා බීජිං වෙත පළමු රහසිගත සංචාරය කිරීමට ඉඩ සැලසීමෙන් යාහ්යා ඛාන් එක්සත් ජනපදයේ සහ චීනයේ හොඳ හිත දිනා ගත්තේය.

නමුත් ඔහු කිසිම දිනක මෙම රාජ්‍යයන් විශේෂයෙන් එක්සත් ජනපදය තීරණාත්මක මොහොතේදී තමන් මගහරිනු ඇතැයි සිහිනය කිඳු නොසිතන්නට ඇත.

කෙසේ වෙතත්, නැගෙනහිර පාකිස්තානයේ යුද්ධය එහි උච්චතම අවස්ථාවට ළඟා වූ විට, කිසිංජර්ගේ උපදෙස් පරිදි නික්සන්, එක්සත් ජනපද නාවික හමුදාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. එන්ටර්ප්‍රයිස් නෞකාව බෙංගාල බොක්ක වෙත ගමන් කරන ලෙස නියෝග කළේය. එය එහි ළඟා වූයේ, 1971 දෙසැම්බර් 11 වැනිදාය. එහි අරමුණ කුමක්ද? බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන අන්දමට, බංග්ලාදේශය මුදාගැනීමෙන් පසු යුද්ධය නවතා දැමීමට සහ බටහිර පාකිස්තානය තුළ අලුත් බෙදීම් ඇති නොකිරීම සඳහා ඉන්දියාවට අනතුරු ඇඟවීම විය හැකිය. ඇමෙරිකාවෙන් එල්ල වූ පීඩනය හමුවේ ඉන්දීය ප්‍රතිපත්ති සම්පාදකයන් දිගන් දිගටම ඉන්දීය ඔත්තු සේවාවලට එල්ල කළ පීඩනය වැඩි විය.

සැබැවින්ම, බංග්ලාදේශය නිර්මාණය වීමෙන් පසු, ඉන්දියාවට පාකිස්තානය සමග අනෙකුත් දේශසීමාවල පැවති ගැටුම් සන්නද්ධ මෙහෙයුම් මගින් විසඳීමට හැකියාව තිබිණි. විශේෂයෙන් යුද්ධයෙන් පසු පාකිස්තාන හමුදා සාමාජිකයන් අනුතුන්දාහකට වැඩි පිරිසක් යුද සිරකරුවන් ලෙස බංග්ලාදේශයේ රඳවා ගෙන සිටි තත්ත්වයක් හමුවේ පාකිස්තානය මුහුණදෙමින් සිටියේ, තම ඉතිහාසයේ ලැබූ පරාජයකට වඩා බරපතළ අවමන්සහගත තත්ත්වයකටය.

එක්සත් ජනපදය සහ චීනය ඔවුන්ගේ දේශපාලන අරමුණු දිනා ගැනීම සඳහා පාකිස්තානය ගැති රාජ්‍යයක් ලෙස භාවිත කළද, පාකිස්තානයට අවශ්‍ය අපහසුකම් ලබාදෙනු ලැබුවේ ඉතාම සීමිතවය. එම නිසා පාකිස්තානය මුහුණදී සිටියේ, ඉතාම අසීරු තත්ත්වයකටය.

මතු සම්බන්ධයි

- නිලන්ත ඉලංගමුව

සේයාරුව: හිටපු අගමැතිනී ඉන්දිරා ගාන්ධි සමග ආර්.එන්. කාඕ (ඇය පිටුපස) සහ අනෙකුත් රෝ සාමාජිකයන්

 



Recommended Articles