බංග්ලාදේශය නිර්මාණය කිරීම KGB වැඩක්ද?


බින්දුවේ සිට ඉහළට ගිය බංග්ලාදේශයේ කතාව - 04 

පාකිස්තානය දෙකඩ කර බංග්ලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් 1971දී නිර්මාණය කිරීම සඳහා ලෝකයේ ප්‍රධාන ඔත්තු සේවාවන් සැලකිය යුතු කර්යභාරයක් කරනු ලැබීය. ඒ අතරින් සෝවියට් සංගමයේ ප්‍රධාන ඔත්තු සේවාව වූ කේ.ජී.බී., ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ., පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය නමින් හැඳින්වෙන රෝ නමින් ප්‍රසිද්ධ ඉන්දියාවේ ප්‍රධාන ඔත්තු සේවය සහ පාකිස්තානයේ අයි.එස්.අයි. කළ කටයුතු ගැන විමසීම මෙම සිදුවීමේ ඇත්ත හඳුනාගැනීම සඳහා වැදගත් වේ.


දේශපාලන වැදගත්කමක් ඇති  බොහෝ ගැටුම්වලදී මතුපිට ස්ථිරයේ දක්නට ලැබෙන සිදුවීම්වලට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයක් එම ගැටුම්වල අභ්‍යන්තර ව්‍යුහය නිරීක්‍ෂණය කිරීමේදී හඳු‍නාගත හැකිය. නැගෙනහිර පාකිස්තානයේ ගැටුමේදී ඔත්තු සේවාවන්වල කටයුතු ගැන විමසීමේදී කේ.ජී.බී. සංවිධානය සිදුකළ මෙහෙයුම් ගැන මෙහිදී පළමුවෙන්ම අවධානය යොමු කිරීමට තීරණය කළෙමි.


එක්දහස් නවසිය හැට සහ හැත්තෑව දශක දෙක යනු සෝවියට දේශය ලෝක දේශපාලන බලයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා බවට පත් වී සිටි අවධිය විය. බොහෝ රටවල දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් තමන්ගේ මුදලට ගැනීමට හෝ බලයට නතු කර ගැනීමට සෝවියට් දේශයේ ප්‍රධාන ඔත්තු සේවාව වූ කේ.ජී.බී. සමත් වී සිටියේය.


1947දී ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වීමෙන් පසු ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම සඳහා සෝවියට් දේශය ඉන්දීය දේශපාලනඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් තම ග්‍රහණයට නතු කර ගත් අතර, ඔවුහු මාර්ගයෙන් දකුණු ආසියාවේ අනෙකුත් රටවල් තම බලපෑමට ලක් කිරීමට උත්සාහ කළේය. අනෙක් පසින් පාකිස්තානය  බටහිර රටවල් සමග සමීපව කටයුතු කළේය. එය සෝවියට් සංගමයේ නොසතුටට හේතු විය.
සෝවියට් සංගමයේ පළමු නියෝජ්‍ය අගමැති ලෙස සේවය කළ අන්ද්‍රේයි ග්‍රොමිකෝ, &පාකිස්තානය බටහිර රටවල කූට ජාලය සමග ගනුදෙනුවට ගොස් හොට පටලවාගත් බව* සඳහන් කරමින් අවස්ථා කිහිපයකදීම පාකිස්තානය විවේචනය කර ඇති බව සඳහන් වේ.

ආරම්භයේ සිටම අනුගමනය කළ බටහිර හිතවාදී ප්‍රතිපත්තිය නිසා සෝවියට් සංගමයට ඉන්දියාවේ තරම් පාකිස්තානයේ බලය ව්‍යාප්ත කිරීමට නොහැකි විය. සීතල යුද්ධයේදී  ඉන්දියාවේ කොංග්‍රස් පක්‍ෂය සමග සිදුකළ ශක්තිමත් ගනුදෙනුවලට සාපේක්‍ෂව ඒකාධිපති හමුදා පාලන තන්ත්‍රයක් පැවති පකිස්තානයේ කටයුතුවලට මැදිහත් වීම කේ.ජී. බී. සංවිධානයට දුෂ්කර කටයුත්තක් විය.

තම ඉන්දියානු සහකරුට සාපේක්‍ෂව 1951දී නිල වශයෙන් තහනම් කරනු ලැබූ පාකිස්තානයේ කොමියුනිස්ට් පක්‍ෂයට තමන්ට පක්‍ෂව රට තුළ කළ හැකි බලපෑම ඉතාම අවම වීම සෝවියට් සංගමයේ දැඩි කනස්සල්ලට හේතු වූ කාරණයක් විය. මේ නිසා තමන්ට හිතවත් පිරිස් ඒකරාශී කර ගෙන රහස් දේශපාලන කටයුතු සහ මෙහෙයුම් සිදුකිරීම ආරම්භ කළේය.

කේ.ජී.බී. ලිපිගොනුවලට අනුව කරච්චි සහ හයිද්‍රාබාද් නගරවල වාසය කළ කොමියුනිස්ට්වාදීන් විස්සක් පමණ එකතු කර 'සින්ද් පළාත් කමිටුව' නමින් පක්‍ෂයක් නිර්මාණය කිරීමෙන් පසු එය සමග කේ.ජී.බී. කරච්චි මූලස්ථානය රහස් සම්බන්ධතා පවත්වාගෙන ගියේය. එහි ප්‍රධාන අරමුණ වූයේ, බටහිර හිතවාදී දේශපාලන සහ මිලිටරි කණ්ඩායම් හඳුනාගෙන ඊට එරෙහිව විකල්පයක් ගොඩනැගීමය.


1970 දශකයේ මැදභාගය වන තෙක් කේ.ජී.බී. සංවිධානය විසින් මෙම රහස් දේශපාලන ව්‍යාපාරයේ කටයුතු සඳහා එක්සත් ජනපද ඩොලර් තිස්දහසක පමණ වාර්ෂික සහනාධාර ලබාදුන් බව සඳහන් වේ.  මේ අතර නැගෙනහිර පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වූ තවත් කුඩා රහස් කොමියුනිස්ට්වාදී කණ්ඩායමකටද රහසිගත අරමුදල් ලැබිණි.  එහෙත්, සින්ද් පළාත් කමිටුවේ නායකයන් ගණනාවක් සෝවියට් සංගමය සමග ඇති කර ගත් සම්බන්ධතාවලින් හිමි  වරප්‍රසාදිත ප්‍රයෝජනයට ගනිමින් ලාභ අපේක්‍ෂාවන්ට මුල්තැන දෙමින් කටයුතු කළහ.

මේ නිසා, සින්ද් පළාත් කමිටුව පිළිබඳ මොස්කව් පරිපාලනයට දැඩි බලාපොරොත්තුවක් නොතිබිණි. ඔවුහු, පාකිස්තාන කොමිනිස්ට්වාදීන් ලෙස පෙනීසිටිමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු වචනවලට පමණක් සීමා කර ව්‍යාජ මවාපෑම් ඉදිරිපත් කරමින් අතිශෝක්තියෙන් කතා කරන පිරිසක් පමණක් බව ඉතා කෙටි කාලයකදී මොස්කව් පරිපාලනය තේරුම්ගත් බව කේ.ජී.බී. රහස් ලේඛන පරීක්‍ෂා කිරීමේදී නිරීක්‍ෂණය කළ හැකිය. මේ නිසා කේ.ජී.බී. සංවිධානයට පාකිස්තාන පරිපාලනය තුළට තමන්ගේ ඒජන්තයන් ස්ථානගත කිරීම හැර විකල්පයක් නොතිබිණි.

පාකිස්තානයේ පළමු හමුදා පාලකයා වූ අයුබ් ඛාන්ගේ (1958-69) අභ්‍යන්තර කවයට ඇතුළුවීම කේ.ජී.බී. සංවිධානයට ඉතාම බැරෑරුම් කටයුතක් වූ නමුත් ඉතාම කෙටිකාලයක් තුළදී එරට විදේශ අමාත්‍යාංශය සහ ඊට අයත් රාජ දූත මණ්ඩල තුළ තම නියෝජිතයන් ඇති කර ගැනීමට හැකි විය. ඒවායේ සේවය කළ නොම්, කුරී, ග්‍රේම්, ගුල්යම් ආදි කේත නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ඒජන්තයන් කිහිපදෙනෙකු කේ.ජී.බී. සංවිධානයේ තොරතුරුකරුවෝ ලෙස සේවය කළහ.

නොම් විසින් වසර හතක් තිස්සේ කේතාංකනය කළ සහ විකේතනය කළ රාජ්‍ය තාන්ත්‍රික කේබල් රාශියක් කුඩා කැමරාවකින්  ඡායාරූප ගත කරකේ.ජී.බී. සංවිධානයට ලබාදී ඇත. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පොතක් සඳහා තොරතුරු එකතු කරන එක්සත් ජනපද ප්‍රකාශන සමාගමක නියෝජිතයෙකු ලෙස පෙනී සිටි ඉංග්‍රීසි කතා කරන රුසියානු කේ.ජී.බී. නියෝජිතයෙකු විසින් ඔහු 1960දී බඳවා ගනු ලැබීය.

කෙසේ වෙතත් 1965දී තමන් විදේශ ඔත්තු ඒජන්සියක සේවය කරන බව සහ පසුගිය වසර පහ තුළ ඔහු ඉන් මාසික වැටුපක් ලබාගත් බව ඔහුට පිළිගැනීමට සිදුවිය. පාකිස්තානයට අයත් විදේශ රාජ දූත සේවා මණ්ඩල රාශියක කටයුතු කිරීමෙන් පසු 1967දී යළිත් පාකිස්තානයට පැමිණි ඔහු සමග කේ.ජී.බී. සංවිධානයට තිබූ සම්බන්ධතා බැඳ වැටිණි. නොම්, මෙන්, කුරී කේතාමයෙන් හැඳින්වූ නියෝජිතයාද බඳවා ගෙන ඇත්තේ, එලෙසය.

1961දී කේ.ජී.බී. නියෝජිත සේයිඩ් තමන්ට විශාල සමාගමක් ඇති බව පවසමින් ඉන්  පාකිස්තානයේ වාණිජ සාර්ථකත්වයට උපකාරී වනු ඇතැයි පවසා රවටමින් විදේශ අමාත්‍යාංශයේ ලිපි ලේඛන සැපයීමට කුරී පොලඹවා ගත් බව කේ.ජී.බී. රහස් ලේඛන පේනවා දෙනු ලබයි.

කේ.ජී.බී. සංවිධානය වෙනුවෙන් කිසිවෙකු හෝ මෙහෙය වන බව කුරී පසුව දැන ගත්තද ඔහු 1970 දශකය වන තෙක් අඛණ්ඩව වොෂිංටන්හි පිහිටි  පාකිස්තාන තානාපති කාර්යාලය ඇතුළු ලෝකයේ විවිධ තැන්වල පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලවලින් සහ විදේශ අමාත්‍යාංශයෙන් රහස් ලිපි සහ වෙනත් %වටිනා ලියකියවිලි^ කේ.ජී.බී. වෙත ලබාදී ඇත.

මේ ආකාරයෙන් කේ.ජී.බී. වෙත තොරතුරු ලබාදෙන සැලකිය යුතු පිරිසක් පාකිස්තාන පරිපාලන ව්‍යුහය තුළ නිර්මාණය කිරීමට මොස්කව් පරිපාලනය සමත් විය. විදේශ අමාත්‍යාංශයේ සේවය කරමින් කේ.ජී.බී. වෙත තොරතුරු ලබාදුන් ඉහළම නිලධාරියා වූයේ, පාකිස්තාන තානාපතිවරයෙකු ලෙස සේවය කළ ග්‍රේම් නමැති කේත නාමයෙන් හඳුන්වනු ලැබූ අයෙකි.

කේ.ජී.බී. ලිපිගොනුවලට අනුව පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේ අනන්‍යතාව හෙළි කළ හැකි එකමකේ.ජී.බී. නියෝජිතයා වූයේ, 1966දී බඳවා ගන්නා ලද ගුල්යම් යන කේතනාමයෙන් හඳුන්වනු ලැබූ අබු සෙයිඩ් හසන්ය. ඔහු බඳවා ගන්නා අවස්ථාවේ සහ ඉන් පසුව අමාත්‍යාංශයේ සෝවියට් අංශයේ සේවය කළේය.  1970දී ඔහු බොම්බායේ මහකොමසාරිස් කාර්යාලයේ තුන්වැනි ලේකම් ලෙසත්, සෞදි අරාබියේ දෙවැනි ලේකම් ලෙසත්, අමාත්‍යාංශයේ පරිපාලන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය.

1979දී මිය යනවිට සංස්කෘතික, යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයට ඔහු මාරු කර තිබිණි. මේ ආකාරයෙන් බොහෝ දෙනෙකු කේ.ජී.බී. නියෝජිතයන් ලෙස සේවය කරනු ලැබූහ. මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ, ඇතැම් පිරිස් බඳවා ගැනීමේදී විවිධ ව්‍යාජ සමාගම් භාවිත කළ අතර, ඔවුහු කිසිවෙකු කේ.ජී.බී. සංවිධානයට සේවය කරන බව  ආරම්භයේදී දැන නොසිටියහ. එහෙත් පසු කාලෙකදී ඒ බව හෙළිදරව් වූ පසුද ඔවුන් දිගටම කේ.ජී.බී. සංවිධානයට සේවය කරනු ලැබීය.  


අයුබ් ඛාන්ගේ පරිපාලනයේදීත් ඉන් පසුවත් පාකිස්තානයේ කේ.ජී.බී. ක්‍රියාකාරකම්වල ප්‍රධාන අරමුණ වූයේ, එක්සත් ජනපදය පිළිබඳ සැකය රට පුරා පැතිර වීමය. 1965 සැප්තැම්බරයේ කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද්ධය නිසා එක්සත් ජනපදය පාකිස්තානයට ලබාදුන් හමුදා ආධාර අත්හිටුවීය. තමන්ට අවශ්‍ය මොහොතේදී එක්සත් ජනපදය පිටුපෑම පාකිස්තානයට දරාගත නොහැකි කාරණයක් විය. නමුත්, එය කේ.ජී.බී. සංවිධානයට වැදගත් අවස්ථාවක් විය.

තම මෙහෙයුම්වල ප්‍රධාන ඉලක්කය වූයේ, අයුබ් ඛාන්ගේ කීකරු විදේශ ඇමති වූ සුල්ෆිකාර් අලි භූතෝය. විදේශ ඇමති ධුරයේ කටයුතු භාර ගැනීමට වසර හතරකට පෙර ස්වභාවික සම්පත් පිළිබඳ අමාත්‍යවරයා වූ භූතෝ, සෝවියට් තානාපති මිහායිල් ස්ටෙපනොවිච් කපිට්සා සහ ඔහුගේ බිරිඳට ඔහුගේ පවුලේ උද්‍යානයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. කපිට්සාස්ගේ පරිවර්තකයා ලෙස ඉන් වසර තුනකට පසු කේ.ජී.බී. සේවයේ නිල උර්දු පරිවර්තකයා ලෙස කටයුතු කළ  තරුණ උර්දු කතා කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ලියොනිඩ් ෂෙබාර්ෂින් ඊට සහභාගි විය.

භූතෝ එහිදී තම අනාගත දේශපාලන අභිලාෂයන් ගැන විවෘතව කතා කර ඇත.  අනාගතයේදී විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමටත් ඉන් පසු  අගමැති සහ ජනාධිපති වීම තම එකම බලාපොරොත්තුව බවත් භූතෝ එහිදී සඳහන් කර ඇත.
ෂෙබාර්ෂින් විසින් භූතෝගේ සංවාදය %නිර්භීත නමුත් නොසැලකිලිමත් එකෙකු විසින් කළ විලාපයක් ලෙස^ තක්සේරු කර තිබේ. තම දේශපාලන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා භූතෝ පාකිස්තානය තුළ ඇමෙ‍රිකානු බලපෑම අවසන් කිරීමට උමතුවෙන් කටයුතු කළේය.

1966 වසන්ත ඍතුවේදී කේ.ජී.බී. විසින් රෙබස් රහස් මෙහෙයුම ආරම්භ කරණු ලැබුවේ, එම තත්ත්වයෙන්  ප්‍රයෝජනය ගැනීම සඳහාය.  එක්සත් ජනපද තානාපති වෝල්ටර් මැක්කොනාගි විසින් අයුබ් ඛාන් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කරන බව පෙන්වීම සඳහා කේ.ජී.බී. ව්‍යාජ ලේඛන සකස් කර තෙවැනි පාර්ශ්වයක් මාර්ගයෙන් පාකිස්තාන රජය වෙත ලබාදී එක්සත් ජනපදය කෙරෙහි අයුබ් ඛාන්, භූතෝ සහ අනෙකුත් ඇමතිවරු අතර ඇමෙරිකානු විරෝධය පුළුල් කළේය. මේ නිසා ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටුම් උග්‍ර විය.  මෙහෙයුම සාර්ථක විය. 1966 ජුනි මාසයේදී භූතෝ තනතුරෙන් ඉවත් කිරීම ඇමෙරිකානු බලපෑමේ ප්‍රතිඵලයක් බව ඔහු දැඩිව විශ්වාස කළේය.

රෙබස් මෙහෙයුමෙන් පසු ස්පයිඩර් මෙහෙයුම 1966 ජූලි මාසයේදී  ක්‍රියාත්මක වූ අතර, එහි අරමුණ වූයේ, චීනය සමග අයුබ් ඛාන් තර කරගෙන සිටි සම්බන්ධතා කඩා බිඳ දැමීම සඳහා එක්සත් ජනපදය කුමන්ත්‍රණය කරන බව ඒත්තු ගැන්වීමය.

බටහිර ජර්මානු ටැරන්ටෙල් පුවත්පත් නියෝජිතායතනය භාවිත කර එක්සත් ජනපදය ව්‍යාජ ප්‍රතිරූපයක් නිර්මාණය කරන බව පාකිස්තාන බලධාරීන්ට දැනුම්දෙනු ලැබීය. අදාළ පුවත් නියෝජිතායතනයේ නිල ලිපි යැයි හඳුන්වමින් ව්‍යාජ ලිපි භාවිත කරමින් අයුබ් ඛාන්ට එරෙහි කාටූනයක් ඇතුළු ව්‍යාජ පුවත් වාර්තාවක් සකස් කර කරච්චි නුවර ජීවත් වූ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ට යැවීමට කේ.ජී.බී. කටයුතු කළේය. ඒ සඳහා සමාජ අවධානය යොමු කිරීමේ ප්‍රචාරක වැඩපිළිවෙළක්ද ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළේය.

මේ ආකාරයෙන් ඇමෙරිකානු බලපෑම දුර්වල කර ඇමෙරිකාව කෙරෙහි සැකය ව්‍යාප්ත කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන රාශියක් විවිධ මට්ටමෙන් බෙදාහැරීමට කේ.ජී.බී. කටයුතු කළේය. ඇතැම් අවස්ථාවලදී රහස් බුද්ධි තොරතුරු ලෙස සඳහන් කරමින් ව්‍යාජ තොරතුරු ලබාදීමටද කේ.ජී.බී. ඔත්තුකරුවන් පසුබට නොවුණි. ඒවා සැලකිය යුතු බලපෑමක් සිදුකිරීමට සමත් විය. ඇමෙරිකානුවන් තමන්ට එරෙහිව කටයුතු කරන බව අයුබ් ඛාන් ඇතුළු ආණ්ඩුව විශ්වාස කළහ.

සටහන - නිලන්ත ඉලංගමුව


සුල්ෆිකාර් අලි භූතෝ සහ සහ අයුබ් ඛාන්


පස්වැනි කොටස හෙට.

තෙවැනි කොටස කියවන්න



Recommended Articles