වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් හා නුඹ
පිය රජු සෙවණේ උන්නේ
මේ කලකට පසුව අහම්බෙන් ඇසුණු ගීතයකි. මෙය ඉස්සර අපි විනෝද චාරිකාවක් යනවිට වුවද නිතර කියූ ගීතයකි. මේ ගීතය ඇසුණු විට ධාතුසේන රජතුමාත්, කාශ්‍යප රජතුමාගේ කතා වස්තුවත් මගේ මතයට ගලාගෙන පැමිණියේය. ඒ එක්කම මේ කතාවත් සමග ගැටගැහුණු දේශපාලනයක්ද හිතට පැමිණියේය. ඒ සිතිවිල්ල නම් අපේ රටේ ඉතිහාසය අරන් බැලූවිට තිබෙන්නේ පෞද්ගලිකත්වය පදනම් කරගෙන ඇති වූ දේශපානයක් නොවෙද යන්නයි.
මිගාර සෙනෙවියා යනු ධාතුසේන රජතුමාගේ සහෝදරියගේ පුත්‍රයාය. මිගාර අතැඟිලි පටල ගන්නේ ධාතුසේන රජතුමාගේ දූ කුමරිය එක්කය. දිනක් මිගාර තමන්ගේ බිරිඳට පහර දේ. තම දියණියට තුවාල වී ඇති බව දුටු ධාතුසේන රජතුමා මිගාරව මැරීමට හොයයි. නමුත් ඔහු පලා යයි. මිගාරව අල්ලා ගන්නට බැරි වූ තැන ධාතුසේන රජු කළේ තමාගේම නැඟණිය එනම් මිගාරගේ මව නිරුවත් කර පුළුස්සා මරා දැමීමයි. මිගාර ධාතුසේන රජුගෙන් පළිය ගන්නේ කාශ්‍යප කුමාරයා උසිගන්වා රාජ්‍ය බලය පැහැර ගෙන ධාතුසේන රජතුමාට සිටුවා පස් ගසා ඝාතනය කිරීමෙනි. අතිශය පෞද්ගලික කරුණක් නිසා ඇතිවුණු දේශපාලනික අස්ථාවරය වගේම ප්‍රෞඪ රජෙකුගේ නික්මයාම සිදුවූයේ ඒ ආකාරයෙනි.
මෑත ඉතිහාසය ගත් කලද තත්ත්වය එසේමය. 1948 නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුල්ම අග්‍රාමාත්‍යවරයා වූයේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාය. ඩී.එස්.ට අවශ්‍ය වුණේ සිය ධුර කාලයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම අගමැති ධුරයට ඩඩ්ලි පත් කිරීමටය. නමුත් මෙයට සර් ජෝන් කොතලාවලගේ කිසිදු කැමැත්තක් නැති වූයේ ඔහුත් අගමැති වීමට සිහින දකිමින් සිටි නිසාය. නමුත් ඩී.එස්. සේනානායකගේ අභාවයෙන් පසුව අගමැති වූයේ ඩඩ්ලිය. ඩඩ්ලිට සර් ජෝන් කොතරම් සමීප මිත්‍රයකු වූවද දේශපාලනීය වශයෙන් අවැසි සහාය ලබා දුන්නේ නැත. 1953 හර්තාලය නිසා එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය දෙදරා යන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ඩඩ්ලිට අග්‍රාමාත්‍ය ධුරය අතහැර ඉල්ලා අස්වීමට සිදුවීමය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ සර් ජෝන් කොතලාවලය. එක්සත් ජාතික පක්ෂයේ තවත් ප්‍රබලතම අමාත්‍යවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති තනතුර අපේක්ෂාවෙන් සිටි අයෙකි. නමුත් ඔහුටද අග්‍රාමාත්‍ය පුටුවට පාර කැපුණේ නැත. එම නිසා ඔහුද එක්සත් ජාතික පක්ෂය කඩාගෙන පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේය. බණ්ඩාරනායක 1956දී මැතිවරණය ජයග්‍රහණය කරමින් අගමැති ධුරයට පත් විය. නමුත් බණ්ඩාරනායක ඝාතනය වූයේ අවාසනාවන්ත ලෙසිනි.
බණ්ඩාරනායකගෙන් පසුව අග්‍රාමාත්‍ය ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊළඟට සිටියේ සී.පී. ද සිල්වා මහතාය. නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු විදේශගතව ප්‍රතිකාර ලැබූ බැවින් ඔහුට එම අවස්ථාව මග හැරී ගියේය. ඔහු අසනීප වුණු ආකාරයද පුදුම සහගතය.
1959 අගෝස්තු 25 වැනිදා කැබිනට් රැස්වීමේදී බණ්ඩාරනායකට පිළියෙල කර තිබූ කිරි වීදුරුව සී.පී ද සිල්වා පානය කළේය. ඔහු ගිලන් වූයේ මේ කිරි වීදුරුව නිසාය. මෙය එවකට අගමැති බණ්ඩාරනායක ඝාතනය සඳහා වස දමා තිබුණේ යැයි සැකයක්ද මතුව තිබිණි.
1960දී සී.පී. ද සිල්වා සිටියදීම සිරිමාවෝ අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. සී.පී. ද සිල්වා තම පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර 1964 දෙසැම්බර් 03 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
නැවත 1970දී ඩඩ්ලිගේ පරාජයට හේතු වූයේ ජේ.ආර්. ජයවර්ධන බව දේශපාලන විචාරකයෝ පවසති. විශේෂයෙන්ම ඒ කාලය වන විට ඩඩ්ලි හා ජේ.ආර්. අතර පක්ෂයේ නායකත්වය සඳහා විශාල බල අරගලයක් ඇති වී තිබිණි. මෙහි ප්‍රතිඵලය වූයේ මහ මැතිවරණයට ජේ.ආර්.සම්පූර්ණ දායකත්වය නොලැබී යාමෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඩඩ්ලි පරාජයට පත් වී නැවත සිරිමාවෝ බලයට පත්වීමය.
නැවතත් 1977දී සිරිමාවෝ පරාජයට පත් කරමින් ඩඩ්ලිගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායකත්වට පැමිණි ජේ.ආර්.ජයග්‍රහණය කළේය. නමුත් 1982 වන විට ජේ.ආර්.ගේ ජනප්‍රියභාවයද ඉතා විශාල ලෙස අඩු වී තිබිණි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ජනප්‍රියත්වයද පිරිහී තිබිණි. ලංකාවේ පැවැති පළමු ජනාධිපතිවරණය 1982 පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූයේ හෙක්ටර් කොබ්බෑකඩුවය. මේ වකවානුවේදී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබිණි. නමුත් හෙක්ටර් කොබ්බෑකඩුව පරාජය කිරීමට හැකි තරම්
ශ්‍රී.ල.නි.පයේ උදවිය කටයුතු කළේය. සිරිමාවෝලා පවා කළේ හෙක්ටර් කොබ්බෑකඩුවගේ කකුලෙන් ඇදීමය. හෙක්ටර් කොබ්බෑකඩුවට නායකත්වය දෙන්නට තරම් ඔවුන්ගේ හිත් හදා ගන්නට බැරි විය.
ප්‍රේමදාසද එහෙමය. ජේ.ආර්.ගේ කැමැත්ත තිබුණේ පළමුව ගාමිණීටත් දෙවනුව ලලිත්ටත් අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමටය. ඒ වගේම ජනාධිපතිවරණය සඳහා ජේ.ආර්.ඉදිරිපත් වීමටය. නමුත් ප්‍රේමදාස බලහත්කාරයෙන් මෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගත්තේය. ඒ වගේම තමුන්ට තර්ජනයක් වෙතැයි සිතුණු ලලිත් ගාමිණිත් පක්ෂයෙන් එළියට යන තැනට වැඩ කළේය. ඒ තමන්ගේම බලය තහවුරු කර ගන්නටය.
චන්ද්‍රිකා, මහින්දලා, රනිල්ලා වගේම මෛත්‍රීලාත් මෑත කාලයේ කරපු කියපු වැඩවලින් පෙනෙන්නේද ඔවුන්ට ඇත්තේ පොදු අරමුණු නොව පෞද්ගලික කරුණු කාරණා හා ස්වකීය බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුම් බවයි. අතීතයේ පටන් සිදු වූයේ මේ කාරණයමය. හුදෙක් රටක් ලෙස සිදුවිය යුත්තේ අන් කිසිවක් නොව පෞද්ගලිකත්වය පසෙකලා ජනතාවගේ පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමය. අපි ඉතිහාසය වෙනස් කිරීමට කටයුතු කිරීමට කාලය එළැමී ඇත. ඒ සඳහා තීරණය ගත යුත්තේ අපගේ මහ ජනතාවය.