පෞද්ගලික රෝහල් COVID-19 පරීක්ෂාව හකුලා ගත්තේ රජය නියම කළ මිල නිසාද?


COVID-19 වෛරස ආසාදනයක් සම්බන්ධ පරීක්ෂා කිරීම් සිය රෝහල් හරහා සිදු කිරීම පිළිබඳව පෞද්ගලික රෝහල් මීට පෙර දැක්වූ උනන්දුව මේ වනවිට යම් තරමකින් පහව ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.  විශේෂයෙන්ම මෙම පරීක්ෂාවන් සඳහා අය කළ යුතු ගාස්තුව සම්බන්ධයෙන් රජය මිලක් නියම කිරීම ඊට හේතු වූ බවට විශ්වාස කළ හැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

මාර්තු මාසය මුලදී මෙරට තුළ පළමු ශ්‍රී ලාංකික COVID-19 ආසාදිතයා පිළිබඳව තොරතුරු අනාවරණයවීමත් සමගම පෞද්ගලික රෝහල් මෙම පරීක්ෂා කිරීම් සිය රෝහල් තුළ සිදුකිරීමට උනන්දු වූ අතර, ඒ සඳහා අවශ්‍ය වන පී.සී.ආර්. (PCR – Real Time Polymerace Chain Reaction) නම් පරීක්ෂණ උපාංගද විදේශයන්ගෙන් ඇනවුම් කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අතරින් එක් පෞද්ගලික රෝහලක් සිය COVID-19 පරීක්ෂාව සඳහා වැයවෙන ගාස්තුව ඇතුළත් සටහනක්ද ඉදිරිපත් කර තිබූ අතර, අවස්ථා තුනක් (DNA extraction, cDNA preparation, RT PCR) ලෙස සිදු කරන මෙම PCR පරීක්ෂාව සඳහා මූලික අය කිරීම රුපියල් 12,299ක් බවත් එහි සඳහන් විය.

එසේම අදාළ සාම්පල එකතු කිරීමේ නිරත සිය කාර්ය මණ්ඩලය අංගසම්පූර්ණ ආරක්ෂක ඇඳුම් ඇඳ සිටින බවත්, එම ඇඳුම් පවා එක් සාම්පල එකතු කිරීමකට පසුව විනාශ කිරීමට සිදුවන නිසා එම ඇඳුම සඳහා  වැය වන මුදල මෙම පරීක්ෂණ ගාස්තුවට එක් කෙරෙන බවත් රෝහල පවසා තිබුණි.

මීට අමතරව නිවසට පැමිණ සාම්පල එකතු කිරිමක් සිදු කරන්නේ නම් ඒ සඳහා වන ප්‍රවාහන ගාස්තුවද රෝගියාගෙන් අය කරන බවත් එහි සඳහන් විය. ඒ අනුව මෙම පරීක්ෂාවක් සඳහා අය කෙරන සම්පූර්ණ ගාස්තුව රුපියල් 20,000කට ආසන්න විය.

මෙලෙස COVID-19  සඳහා වන PCR පරීක්ෂාව සඳහා වන තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම හරහා තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය ඊට යොමුකර ගැනීමට උත්සාහ කරන බවත්, ඒ හරහා එම පරීක්ෂණ පවත්වාගෙන යාමට අවශ්‍ය අවසරයක් වේ නම් එය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එම රෝහල එහිදී සඳහන් කර තිබුණි.

එහෙත් ඒ වනවිටත් රජය මෙම පරීක්ෂා කිරීම් සඳහා කිසිදු පෞද්ගලික රෝහලකට අවසර ලබාදී නොතිබූ අතර, එවැනි අවසරයකින් තොරව එක් පෞද්ගලික රෝහලක් මෙම පී.සී.ආර්. පරීක්ෂාවන් පවත්වාගෙන ගිය බවටත් කෝවිඩ්-19  පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

එම පරීක්ෂාවකින් හඳුනාගත් COVID-19 ආසාදිත රෝගියෙකු IDH රෝහලට ඇතුළත් කෙරුණේ දින තුනකට පමණ පසුව බවටත් ඒ වනවිට එම පුද්ගලයා බොහෝ පිරිසකට රෝගය බෝ කර තිබූ බවත්, සෞඛ්‍ය බලධාරීන් එහිදී මාධ්‍ය වෙත පැවසීය.

මේ පසුබිමත් සමග ඇති වූ කතාබහෙන් පසුව පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, එම මොහොත වනවිට මෙම COVID-19 පරීක්ෂාව සිදුකළ හැක්කේ රජයේ රෝහල් තුළ පමණක් බව අවධාරණය කළේය. එසේම පෞද්ගලික රෝහල් වෙත මෙම COVID-19 පරීක්ෂාව සඳහා අවසර ලබා නොදීමට හේතුද ඔහු එහිදී සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් ඊටත් පසු දිනෙකදී සංවිධානය වූ මාධ්‍ය හමුවකට එක් වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය හඳුනාගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂාව සිදුකිරීමට මෙරට පෞද්ගලික රෝහල් කර ඇති ඉල්ලීමට රජය යහපත් ප්‍රතිකාර දක්වන බව ප්‍රකාශ කළේය.

"අපි  බලාපොරොත්තු වෙනවා පෞද්ගලික රෝහල් ඉතාමත්ම වගකීමෙන්, මුදල් ගැන විතරක් නොහිතා මේ කටයුත්ත සිදු කරාවි කියලා." අධ්‍යක්ෂ ජනරාල්වරයා එලෙස පවසා තිබුණි.

ඒ අනුව දැඩි කොන්දේසි රැසක් යටතේ මෙම අවස්ථාව පෞද්ගලික රෝහල් වෙත ලබාදෙන බව ඒ මහතා එහිදී පැවසීය. එහිදී පැය 24ක් තුළ අදාළ පී.සී.ආර්. පරීක්ෂාවේ ප්‍රතිඵල නිකුත් කළ යුතු බව මූලික කොන්දේසිය විය. එසේම එම කොන්දේසි අතර පැවැති වඩාත් වැදගත්ම කොන්දේසිය වූයේ උපරිම රුපියල් 6,000ක සිමාවකට යටත්ව පෞද්ගලික රෝහල් එම පරීක්ෂාව සිදුකළ යුතු බවයි.

"අපි  පෞද්ගලික රෝහල්වලින් ඉල්ලා සිටිනවා මේ පරීක්ෂාව රුපියල් 6,000කට වඩා වැඩි මුදලකට සිදු කරන්න එපා කියලා." විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

එසේම කිසියම් රෝහලක මෙවැනි පරීක්ෂාවක් සඳහා පහසුකම් නොමැති නම් රජයේ රෝහලක විද්‍යාගාරයක් හරහා එම රෝගීන්ගේ සෙම් සාම්පල පරීක්ෂාව සිදු කරගත හැකි බවත්, එතැනදී පෞද්ගලික රෝහල් රජයට රුපියල් 6,000ක මුදලක් ගෙවිය යුතු බවටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී පවසා තිබුණි.

ඒ අනුව තමන් බලාපොරොත්තු වූ ආකාරයේ ගාස්තුවක් මෙම පී.සී.ආර්. පරීක්ෂාවන් හරහා ලබාගැනීමට නොහැකිවීම මෙලෙස පෞද්ගලික රෝහල් එම පරීක්ෂාවන්ගෙන් ඉවත්වීමේ ප්‍රධානම අවස්ථාවක් බවට පත් වී තිබේ. යම් හෙයකින් මෙම පරීක්ෂා කිරිම් සඳහා රජය පාලන මිලක් ලබා නොදුන්නේ නම් පෞද්ගලික රෝහල් වෙතද මෙය 'කප්රුකක්' බවට පත්වීමේ අවස්ථාවක් පැවතුණු බව ඇතැම් දෙනාගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුව ක්‍රියා නොකරමින් තවදුරටත් මෙම වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීමට ජනතාව වගකීම් විරහිතව හැසිරුණහොත්, මෙම රෝහල් වෙත සිය අරමුණු ඉටු කරගැනීමට අනියම් උදව්වක් බවට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇත.

 



Recommended Articles