මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. එමෙන්ම මෙවර මැතිවරණයේදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව තිබේ. ඒ එය කණ්ඩායම් දෙකකට බෙදී, එක්සත් ජාතික පක්ෂයේ කොටසක් එහි හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙනි. මේ තත්ත්වය තුළ මැතිවරණ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීමට අපි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතාව සම්බන්ධ කර ගතිමු.
එක්සත් ජාතික පක්ෂයේ දෙදරීම ඔබ දකින්නේ කොහොමද?
එක්සත් ජාතික පක්ෂය තුළ යම් දෙදෙරීම් ලක්ෂණ වරින්වර අපට දැකගත හැකි වුණා. නවක මන්ත්‍රීවරයෙකු ලෙස 2010 වසරේ සිට මම මෙය අත්දැක තිබෙනවා. කොහොම වුණත් 2015 ජනාධිපතිවරණයේදී පක්ෂයේ සියලු කොටස් එක්ව සටන් කිරීම හේතුවෙන් අපට ජයග්‍රහණය ලබාගත හැකි වූවා. මෙය යළිත් පක්ෂය ශක්තිමත් වූ අවස්ථාවක් වනු ඇතැයි එ.ජා.ප.යට ආදරය කරන සියලු දෙනාගේම බලාපොරොත්තුව වුණා.
එහෙත් සත්‍යය නම්, එය සිදුවූයේ නැහැ. පිල් බෙදුණා. පෞද්ගලික න්යායපත්ර ක්‍රියාත්මක වුණා. මේ තත්ත්වය මත තමයි අපි 2018 පළාත් පාලන මැතිවරණයට ගියේ. මේ මැතිවරණයේදී පක්ෂය දැවැන්ත පරාජයක් ලැබුවා. මේ තත්ත්වය මත තමයි ගැටුම් උත්සන්න වෙන්න පටන් ගත්තේ.
මේ ගැටුම් නිරාකරණය කරන්න නේද "රුවන් විජයවර්ධන කමිටුව" පත් කළේ?
ඔව්. මම හිතනවා ඒ අදහස තිබෙන්න ඇති කියලා. අපේ ප්‍රධාන අරමුණ වුණේ 2020 මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය යෝජනා පක්ෂයට ඉදිරිපත් කිරීමයි. මගේ ප්‍රධානත්වයෙන් පත්වුණු කමිටුවට මා ඇතුළු තවත් සාමාජිකයන් 17 දෙනෙකු සිටියා. අපි සියලු දෙනාම ඒකමතිකව තීරණය කර කමිටු වර්තාව හරහා මූලික යෝජනා 09ක් ඉදිරිපත් කළා. මේ යෝජනා සියල්ලම අප ඉදිරිපත් කළේ, පක්ෂය තවත් කාලයක් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑම උදෙසායි. පක්ෂයට අවශ්‍ය කරන ශක්තිය, ජවය එන්නත් කිරීමට අප මේ යෝජනාවලින් බලාපොරොත්තු වුණා.
එහෙත් එහෙම වුණේ නෑ නේද?
යෝජනා කිහිපයක් ක්‍රියාත්මක වුණා. එහෙත් ප්‍රධාන යෝජනා පස්සට දැමුවා. ඒවා කරන්නට පක්ෂයේ ව්‍යවස්ථා වෙනසක් අවශ්‍යයි කියන එක තමයි පක්ෂ නායකයන්ගේ මතය වුණේ.
එදා රුවන් විජයවර්ධන කමිටුවේ සිටි අනෙක් සාමාජිකයන් අතරින් බොහෝ දෙනා අද සිටිනුයේ සමගි ජන බලවේගය සමගයි?
ඔව්. ඒක ඇත්ත.
ඇයි එහෙම වුණේ ?
අපි නිර්දේශ කළේ, පාරදෘශ්‍යභාවයක් සහිත වෙනසක්. විශේෂයෙන්ම මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයකින් පසුව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සහ පාර්ලිමේන්තු කණ්ඩායම් සාමාජිකයන්ගේ ඡන්දයෙන් නායකත්වය තීරණය විය යුතුයි යන්න සහ පක්ෂයේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීකරණයට ලක්විය යුතුයි යන්න අපේ මූලික යෝජනා දෙක වුණා. එය ඉටු වුණේ නෑ. මේ නිසා බොහෝ දෙනෙකු කලකිරීමට ලක් වූ බව පිළිගත යුතුයි.
ඇයි ඔබ පක්ෂය හැර ගියේ නැත්තේ?
එක්සත් ජාතික පක්ෂය හැර යන්න මට බැහැ. මේ පක්ෂය සහ මගේ පරම්පරාව එකට බැඳුණු එකක්. මේ පක්ෂය ආරම්භ කළ මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ට මගේ හදවතේ දැඩි ගෞරවයක් තිබෙනවා. ඒ ගෞරවය, භක්තිය කිසි දිනෙක නොනැසෙන එකක්. ඒ නිසාම අතීතයේදී අපේ පරපුරේ ඇතැමුන්ගේ අතින් සිදු වූ වැරදි, පක්ෂයට කරන්නෙ නෑ කියන මතයේ මම දැඩිව සිටිනවා. මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මට වගකීමක් මෙන්ම වගවීමක් තිබෙනවා කියා. “වළට වැටුණු මිනිහා වළෙන්ම ගොඩ ආ යුතුයි* කියලනේ අපේ කටවහරේ තියෙන්නේ. මම උමං හාරගෙන වෙන තැනකින් මතු වෙන්න උත්සහ කරන්නෙ නෑ. පක්ෂයක් හැටියට අපට ගොඩ ආ හැකියි. ඒ වගේම පක්ෂය ගොඩට එනවා.
ඔබ බොහොම විශ්වාසයෙන් යුතුව එය කියන්නේ කොහොමද?
ඔව්. මම එහෙම විශ්වාස කරනවා. විශ්වාස කරලා විතරක් නතර වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙනවා. කැප වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අනුගාමිකයන්ට මම කියන්නේ පක්ෂය ගැන විශ්වාසය තියන්න. මේ පක්ෂය මුහුණ දුන්න පළමු අර්බුදය නොවෙයි. මීට පෙරත් අර්බුද ඇති වුණා. ඒවා විසඳුණා. අප විසඳ ගත්තා. එයින් පසුව අපි දැවැන්ත ශක්තියකින් ඉදිරියට ආවා.
අවසන් වතාවට පක්ෂයේ විශාල දෙදරීමක් ඇති වුණේ 1991 දී. ඒ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේදීයි. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසුකම් තිබූ නායකයන් පක්ෂය හැර ගියා. මේ අවස්ථාවේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දැඩි කැපවීමෙන් කටයුතු කළා පක්ෂය රැක ගන්න. දෛවයේ සරදමකට මෙන් මෙවර පක්ෂය දෙදරා යෑමේ එක් පාර්ශ්වකරුවෙක් බවට එතුමාගේ පුතා සජිත් ප්‍රේමදාස මහතා පත් වුණා.
ඇතැමෙකුගේ අදහස ඔබට මේ අර්බුදය විසඳීමට මැදිහත් විය හැකි බවයි?
පක්ෂය වෙනුවෙන් ඒ කාර්ය පැවරෙනවා නම්, එය ඉටු කිරීමට මම සූදානම්. දෙපසකට බෙදී සිටියත් අප එකම දැක්මක්, එකම අරමුණක් ඇති කණ්ඩායමක්. එහෙයින් අපට එකතු වීමට බැරිකමක් නෑ. අවශ්‍ය වෙන්නේ දෙපාර්ශ්වයම නම්‍යශීලී වීම පමණයි.
එහෙම නම්‍යශීලී බවක් දෙපාර්ශ්වයෙන්ම පෙනෙන්නේ නෑ?
ඔව්. මේ අවස්ථාවේදී අපට එය පෙනෙන්නේ නෑ. නමුත් අපට ඉතිහාසය විසින් ඒ අවස්ථාව උදා කරදෙන බව මට විශ්වාසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වූ ඉරණම එක්සත් ජාතික පක්ෂයට හිමි කරදිය යුතු යැයි කෙනෙකු සිතනවා නම්, එය විහිළුවක්. එක්සත් ජාතික පක්ෂය දිය වී යා යුතු පක්ෂයක් යැයි කෙනෙකු සිතන්නේ නම්, ඒක මුළාවක්. ඒ වගේම නායකත්වය, බලය හෝ නායකත්වයට සමීප වීමේ අවශ්‍යතාව වැනි පෞද්ගලික කාරණා නිසා මේ පක්ෂය විනාශ වීමට ඉඩදිය යුතු යැයි කෙනෙකු සිතනවා නම් එය ඓතිහාසික වැරැද්දක්.
ඔබට පක්ෂයේ නායකත්වය ගැන අපේක්ෂාවක් නැද්ද?
මම කල්පනා කරන්නේ ඒ ගැන නොවෙයි. පක්ෂය ගැනයි. නායකත්වය කියන්නේ බලෙන් ලබාගත හැකි එකක් නොවෙයි. ඒ වගේම හොඳ නායකයන් මතු වෙන්නේ අරගලයකින් පමණක් නොවෙයි කියන එකත් අපට ඉතිහාසය කියා දෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ බල අරගලය නිර්මාණය කරන්නේ තමන් නායකයා විය යුතු යැයි වෙන් වෙන්ව තීරණය කළ පිරිස් එකතු වෙලා. ඔවුන්ට තිබුණේ තමන්ගේ සහ තමන්ට උල්පන්දම් දෙන කිහිප දෙනෙකුගේ අවශ්‍යතා ඉටු කර ගැනීමේ අභිලාෂයක් පමණයි. නායකත්වය ඒ ආකාරයේ සරල කාරණාවලට ලඝු කිරීමට කිසිවෙකුට බැහැ.
පක්ෂය රැකගැනීමට පළමුව උත්සාහ කළ යුතුයි. ශක්තිමත් පක්ෂයක් තිබේ නම්, ඔවුන්ට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් හිමි වෙනවා. එවැනි බලවත් පක්ෂයක් සහ පාර්ලිමේන්තු නියෝජනයක් තිබෙනවා නම්, ආණ්ඩු පක්ෂයේ සිට හෝ වේවා, විපක්ෂයේ සිට හෝ වේවා මේ දේශය වෙනුවෙන්, දේශයේ අනාගතය වෙනුවෙන් අපට දැවැන්ත මෙහෙවරක් ඉටු කළ හැකියි.
ඇයි ඔබ බියගමින් කැලණියට ආවේ?
ඒක පක්ෂයේ තීරණයක්. 2010 වර්ෂයේ සිට මම ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු ලෙසයි කටයුතු කළේ. බියගමින් කැලණියට ආවා කියලා මම දිස්ත්‍රික්කය වෙනස් කළේ නෑ. 2009 වර්ෂයේ බස්නාහිර පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූ දා සිටම මම බියගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළා. බියගම ජනතාව මට දැක්වූ ආදරය සහ ගෞරවය සැමදා මගේ සිතේ තිබෙනවා. මේ නිසාම තමයි බිගයම ආසනයේ සියලු පළාත් පාලන නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂය සමග රඳවා ගැනීමට මට හැකි වුණේ. එය මගේ ජයග්‍රහණයක් ලෙස නෙවෙයි මම දකින්නේ. මගේ ආසනයේ අපේ නියෝජිතයන්ගේ අවංකභාවය ලෙසයි මම දකින්නේ. ඒ අවංක බවට මගේ ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමතියි.
අනෙක් අතින් කැලණිය මට බොහෝ සමීප ප්‍රදේශයක්. ඓතිහාසික කැලණි විහාරය සහ හෙලේනා විජයවර්ධන කියන නම එකට බැඳී තිබෙන බව කැලණියේ අතීතය දන්නා ඕනෑම කෙනෙක් දන්නා දෙයක්. ඒ නිසා මට කැලණිය අලුත් තැනක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයටත් කැලණිය සුවිශේෂයි. ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා වනතුරුම කැලණිය ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළා. එහෙයින් රටටත්, පක්ෂයටත් සුවිශේෂී ආසනයක් ලෙසයි මම කැලණිය දකින්නේ. ඒ සුවිශේෂත්වය රටටත්, පක්ෂයටත් ආරක්ෂා කරදී කැලණිය ප්රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේම ජනතාවට මගේ සේවය දිගටම සිදුකිරීම තමයි මගේ අපේක්ෂාව.
ඔබට චෝදනාවක් තිබෙනවා?
මොකක්ද?
ඇමතිවරයෙකුව කටයුතු කරලත් පාක්ෂිකයන්ට රස්සා දුන්නේ නැහැ කියලා?
2015දී රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය මට ලැබුණා. එය හරිම බරපතළ බව තමයි බැලූ බැල්මට පෙනෙන්න තියෙන්නේ. එහෙත් මට අයත්ව තිබූ ආයතන අනුව 'රණවිරු සේවා අධිකාරිය', 'ජාතික ශිෂ්‍යභට බළකාය', 'ආරක්ෂක සේවා විද්‍යාලය' සහ බටලන්ද ආරක්ෂක අණ හා මාණ්ඩලික විද්‍යාලය යන ආයතන කිහිපය තමයි මට අයත්ව තිබුණේ. ඇතැමුන් සිතාගෙන සිටිනවා ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිවරයා වීම නිසා හා ඔහුට ඇති අනෙක් රාජකාරි නිසා රාජ්‍ය අමාත්‍යවරයාට තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ සියලු දේ පැවරුණේ කියලා. එහෙම දෙයක් සිදු වුණේ නෑ. අවම වශයෙන් ජනාධිපතිවරයා විදේශගත වනවිටත් ඒ බලතල මට පවරා ගියේ නෑ. හැබැයි පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරයා විදේශගත වූ අවස්ථාවලදී නම් මට ආරක්ෂක අමාත්‍යාංශයේ බලය පවරා දී ගියා. අනෙක් එක ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ පාක්ෂිකයන්ට රැකියා දෙන තැනක් නොවෙයි, සුදුස්සාට සුදුසු තැන දෙන තැනක්. මොකද එහිදී මූලිකත්වය දෙන්නේ රටේ ආරක්ෂාවට. ඒ නිසා වෙනත් ජනප්‍රිය අමාත්‍යාංශ, ඒ කියන්නේ 'විදුලි බලය', 'ඛනිජ තෙල්', 'වරාය', 'ගුවන් සේවා', 'සංස්කෘතික', 'නිවාස හා ඉදිකිරීම' වැනි ඇමති තනතුරුවලට වගේ ආරක්ෂක අමාත්‍යාංශයට රැකියා අවස්ථා සොයාගත නොහැකි බව යථාර්ථයක්. රාජ්‍ය ඇමතිවරයා වුණාම එය කොහොමත් අසීරුයි. එහෙත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි පසුගිය රජයේ සිටි බොහෝ ඇමතිවරු තමන්ගේ අමාත්‍යාංශවල එන පුරප්පාඩු සඳහා බඳවා ගනිද්දී මගේ ඉල්ලීම පිට බියගම මූලික කරගෙන ගම්පහ ජනතාවටත් අවස්ථාවක් දුන්නා. එහෙත් අවධාරණයෙන් කිව යුතු වන්නේ, මම යොමු කළේ තනතුරකට සුදුසුකම් ලැබූ පිරිස පමණයි. රටට සේවයක් කරන්නට නම්, තනතුරකට යොමු කළ යුත්තේ සුදුස්සන් පමණක් බවයි මගේ විශ්වාසය. අපේ රටට වැරදුනේ පාක්ෂිකත්වය රැකියාවක් කිරීමට සුදුසුකමක් යැයි සිතා කටයුතු කිරීම නිසයි.
තවත් දෙයක් මෙහිදී මතක් කළ යුතුයි. ගෙවී ගිය වසර 10ක කාලයේදී මම බියගමට කළේ මොනවාද? නැත්තේ මොනවාද? කියා බියගම ජනතාව දන්නවා. මැතිවරණයක් කාලයේදී පාක්ෂිකව බෙදුණ විට ඇතැම් දේවල් පසෙකට කළත්, කෙනෙකු කළ දේවල් අමතක නොකරන ජනතාවක් බියගම සිටින බව මම දන්නවා. මා ඔවුන්ට ගරු කරන්නේ, ආදරය කරන්නේ ඒ නිසයි.
මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මොකක් වෙයිද?
ජනාධිපතිවරණයක් පරාජයට පත් වූ පසුව පැමිණෙන මහා මැතිවරණය ඕනෑම පක්ෂයකට අසීරුයි. බෙදී වෙන්වී සිටියාම තවත් අමාරුයි. බොරුවට අපි තමයි මේ ඡන්දය දිනන්නෙ කියන්න මම කැමති නෑ. අපි එක්සත් ජාතික පක්ෂයේ අනුගාමිකයන්ට, 'අලියා' ලකුණට ආදරය කරන අයට කියන්නේ මෙය ඔබේ ශක්තිය රටටම පෙන්විය යුතු අවස්ථාවක්. ඒ නිසා ඉදිරියට එන්න. මැතිවරණය දවසේදී ගෙදරට වෙලා ඉන්න එපා. ඡන්ද පොළට එන්න. මැතිවරණ කොමිසම කියනවා නම්, ගෙදරින් පෑනක් අරන් එන්න කියලා පෑනක් අරන් ඇවිත් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්න. ඇත්තෙන්ම අපේ පාක්ෂිකයන් ගැන දැඩි විශ්වාසයක් මට තිබෙනවා. ඔවුන් විසින් අප ඉදිරිපත් කර ඇති නවක කණ්ඩායම පිළිගනු ඇතැයි මගේ විශ්වාසයක් තිබෙනවා.
එළඹෙන මහ මැතිවරණයේදී එ.ජා.ප.ය කොතරම් ආසන ප්‍රමාණයක් දිනයිද?
මම මාධ්‍යවේදියෙකු ලෙසත්, දැන්වීම් නිර්මාණකරුවෙකු ලෙසත් වැඩකර තිබෙන කෙනෙක්. මම දන්නවා ආකර්ෂණය සඳහා මාධ්‍ය සහ දැන්වීම් යොදා ගන්නා නොයෙක් ක්‍රම ගැන. ජනතාවගේ විශ්වාසය වැඩි කිරීමට අපි මෙච්චර ආසන ගණනක් ගන්නවා කියලා බොරු කියන එක එක් ක්‍රමයක්. අනෙක් පැත්ත ශක්තිමත් නැහැ කියන එකත් තව ක්‍රමයක්. ඒ සියල්ල අතහැරලා යථාර්ථයේ ජීවත් වෙන්න මම කැමතියි. අපි බෙදී වෙන්වෙලා ඉන්නේ. එය දෙපාර්ශ්වයටම පාඩුවක්. නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පසුව අපට නැවත එක්විය නොහැකියි. ඒ නිසා මේ අවස්ථාවේදී එ.ජා.ප.යේ ශක්තිමත් බව රටටම පෙන්වීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා තවත් දින 40කට වඩා කාලයක් අපට තිබෙනවා. මේ කාලය තුළදී මේ වනවිට ඇති සියලු පුරෝකථන වෙනස් කළ හැකියි. ඒකයි මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්නේ ඉදිරියට එන්න, අපි වැඩි මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට යවා පක්ෂය ශක්තිමත් කරමු, රැකගමු කියලා.
ඔබ ගම්පහ එ.ජා.ප. කණ්ඩායමේ ඉන්න එකම ශුද්ධ යූ.ඇන්.පී.කාරයා කියන්න පුළුවන්ද?
මම පක්ෂය හැර ගියේ නැහැ. ඒ වගේම තවත් එවැනි කිහිප දෙනෙකුම අපේ ලැයිස්තුවේ සිටිනවා. අප සියලු දෙනාටම එක්සත් ජාතික පක්ෂය රැකගැනීමට දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. ඒ වගේම අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා මෙවර අප සමග එකතුව තරග කරනවා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය පිළිගන්නා නිසයි අප සමග එකතු වූයේ. එවැනි බොහෝ දෙනෙකු මෙවර අප සමග සිටිනවා. මම විශ්වාස කරන්නේ මේ සියලු දෙනා එකතු වූ විට ඉතා ශක්තිමත් බලයක් ගොඩනැගිය හැකි බවයි.
ගම්පහ ඡන්දදායකයෙකු විසින් ඇයි ඔබට ඡන්දය දිය යුත්තේ?
ඒ ප්රශ්නය ගම්පහ ඡන්දදායකයාට යොමු කරන්න මම කැමතියි. මම ගම්පහ දේශපාලනය අරඹලා මේ ගෙවෙන්නේ 11 වැනි වසර. ඒ කාලයේදී මම ඔබට යම් සේවයක් කළාද? මේ අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය නියෝජිතයා කියලා ඔබට හිතට එකඟව ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වුණාද කියලා ඔබම ඔබෙන් අහලා බලන්න. පක්ෂය කඩන්න උත්සහ කළාද? අයථා ගනුදෙනු කළාද? බාර් දැම්මද? මත්ද්‍රව්‍ය විකුණුවද? මැරකම් කළාද? පාර්ලිමේන්තුවේ ගහගත්තද කියලා මතක් කරලා බලන්න. එවිට මට ඡන්දය දිය යුතුද? නැද්ද? කියලා ඔබට තීරණය කර ගන්න පුළුවන් වෙයි.