පෝෂණ ඌනතා ජයගන්න සූදානම් වෙමු


රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඊළඟට අපට මුහුණ දීමට සිදුවන ආහාර හිඟ වීම පිළිබඳ විටින් විට අපි ඔබව දැනුම්වත් කරන්නෙමු. ඒ සඳහා කෙසේ පිළියම් යොදන්නේද යන්නත්, පෝෂණය හා ආහාර සුරක්ෂිතතාවය කෙසේ පවත්වාගත යුතුද යන්න පිළිබඳවත් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා සාරභූමි ශ්‍රී ලංකා යන ආයතන සමග එක්ව සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී වයඹ විශ්ව විද්‍යාලයේ මානව පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය ආචාර්ය රේණුක සිල්වා දැක්වූ කරුණු ඔස්සේ මේ ලිපිය සැකසේ.

අපි ඉන්නේ ඇත්තටම ආහාර අර්බුදයේ පේන මානයක

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අපිට මුහුණ දීමට සිදුවන ප්‍රධානම කරුණ බවට පත්වෙලා තිබෙන්නේ මේ ආහාර අර්බුදයයි. නමුත් අප සිහියේ තබාගත යුතු කරුණ වන්නේ මේ අර්බුදය ලංකාවට පමණක් උරුම වූ දෙයක් නොවන බවයි. විශේෂයෙන් මේ ආහාර සම්බන්ධ අර්බුදය කෝවිඩ් ප්‍රශ්නයත් සමග වෙනත් රටවල්වල ඇති විය හැකි බවට අප කල්තියාම පුරෝකථනයකට ලක් කළා. දැන් මෙය අපේ කෝණයෙන් බලන නිසා මේ තත්ත්වය අපිට දරුණුවට මතුවෙලා පෙනෙනවා. මෙය ශ්‍රී ලංකාවට සෘජු ලෙසම බලපාන්නේ අපිට මතුවූ ආර්ථික අර්බුදය කේන්ද්‍ර කරගෙනයි.

බොහෝ දෙනෙකු නගන චෝදනාවක් වන්නේ පොහොර හිඟය ලංකාව තුළ මතුවූ නිසා අපිට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවූ බවයි. නමුත් සඳහන් කළයුතු කරුණ වන්නේ පොහොර හිඟ වීම පමණක්ම මේ අර්බුදයට හේතු වුණේ නැහැ. දෙවෙනියට ගත්තොත් ලංකාව ඇතුළුව මුළු ලෝකයම මුහුණ දුන් කෝවිඩ් වසංගතයත් මේ අර්බුදයට හේතුවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. 

අපේ විෂය ක්ෂේත්‍රය ඔස්සේ ගත්තොත් අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවකට ලක්කරන කරුණක් වන්නේ, ආහාර සුරක්ෂිතතාව සිදුකරන ආකාරය පිළිබඳවයි. අප මෙහිදී මූලික ලෙසම සලකා බැලිය යුතු කරුණ වන්නේ මේ ආහාර සුරක්ෂිතතාවය ලෙස අප ගත යුතු වන්නේ වස විසෙන් තොර නවීන ආහාරයි. එය මෙහි එක් කොටසක් පමණයි.

ආහාර සුරක්ෂිතතාවය ලෙස සලකන්නේ ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න බවින් හා නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ආහාර, තම රුචිකත්වය අනුව, සුරක්ෂිතව, පෝෂ්‍යදායී බවින් හා ආර්ථික වශයෙන්ම ඕනෑම අවස්ථාවකදී හිඟයකින් තොරව ලබාගැනීමේ හැකියාවයි. ඒ කියන්නේ මේ ආහාර නැති වුණොත්, අපිට කුමන තත්ත්වයකට මුහුණ දීමට සිදුවන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමයි. අප මෙහිදී සාකච්ඡාවට ලක් කළොත් අපි ඉන්නේ ඇත්තටම ආහාර අර්බුදයේ පේනමානයක.

යම් ආහාර අඩුවක් මතුවුණොත් ප්‍රථමයෙන්ම බලපාන්නේ කුඩා දරුවන්, වැඩෙන දරුවන් හා නව යෞවන වියේ පසුවන අයටයි 

ආහාර අර්බුදය මතුවීමත් සමග අපිට ඊළඟට මුහුණ දීමට සිදුවන්නේ පෝෂණය සම්බන්ධ ගැටලුයි.  මේ පෝෂණය සම්බන්ධ ගැටලු ගත්තොත්, දැනට අපේ ළමයින්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මෙහිදී මන්දපෝෂණය ලෙස අප අර්ථ දක්වන්නේ උස අඩු, බර අඩු, කෘෂ බවට පත්වීම මෙන්ම යකඩ ඌණතා ආදී ගැටලුයි. මේවා පසුගිය අවුරුදු 5,10වැනි කාල සීමාවන්වල අඛණ්ඩව පැවතුණා. එවැනි තත්ත්වයක සිටි අපිට මේ මතු වූ ආර්ථික අර්බුදයත් සමග ඉදිරියේදී ආහාර ලබාගැනීම සම්බන්ධව විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවී තිබෙනවා.

අපි කුටුම්භයක් ගත්තොත් එහි කුඩා දරුවන්, දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන්, තරුණ යන පිරිස් සියල්ලන්ම සිටිනවා. මේ පිරිසෙන් යම් ආහාර අඩුවක් මතුවුණොත් ප්‍රථමයෙන්ම බලපාන්නේ කුඩාදරුවන්, වැඩෙන දරුවන් හා නව යෞවන වියේ පසුවන අයටයි. ඊළඟට බලපාන්නේ කාන්තාවන්ටයි. මේ කාණ්ඩයන්ට වැඩිපුරම පෝෂණ ඌණතාවලට මුහුණ දීමට  සිදුවෙනවා. මීළඟට අප සොයා බැලිය යුතු කරුණ වන්නේ මේ පිරිස් වෙත මෙය බලපාන්නේ කෙසේද යන්නයි. මෙහිදී අප මුලින් සඳහන් කළ විදිහට දරුවන්ට මුහුණදීමට සිදුවූ ගැටලු තවත් උඝ්‍ර වැඩි වීමකට ලක්වෙනවා. ගර්භිණී මවක් ගත්තොත්, ඇයට පෝෂ්‍යදායී ආහාර නිසි ලෙස නොලැබුණොත්, දරුවා බිහිවූ මොහොතේ සිට වැඩෙන අවුරුදු ගණනාවක් දක්වා පෝෂණ ඌණතාවලට මුහුණ දීමට සිදුවෙනවා. තරුණ නව යෞවන වියේ පසුවන පිරිසට මෙහි බලපෑම ගත්තොත්, ඔවුන්ගේ වර්ධනය ප්‍රමාද කිරීමක් සිදුවෙන අතර, ඒ නිසා මිටි බවින් හා කෙසඟ ශරීර ලක්ෂණ වලින් යුක්ත පිරිසක් බවට පත්වෙනවා. දැඩි මන්දපෝෂණ ගති ලක්ෂණවලින් යුත් පිරිසක් මතු නොවුණත්, විශේෂයෙන් ශරීර අභ්‍යන්තරයේ නොයෙකුත් වෙනස්කම්වලට මුහුණ දීමට සිදුවෙනු ඇති. ඒ හරහා අපිට නිතර නිතර ලෙඩ රෝග සෑදීම, මේ ලෙඩ රෝග නිසා ගෙවල්වල ආර්ථික ගැටලු මතු වීම, දරුවන් රෝහල්ගත කිරීමට සිදුවුවහොත් රෝහල් ආශ්‍රිත ගැටලු, ප්‍රතිශක්තීකරණ හින වීම නිසා ඇති වන ගැටලු මෙන්ම යකඩ ඌණතා නිසා අස්ථි රෝග, රක්තහීනතාව ආදී ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම දියවැඩියාව හා හෘදරෝග සඳහාත් යම් ආකාරයකින් මේ පෝෂණ ඌණතා හේතු විය හැකියි.

පිටරටින් ගෙන්වපු පලතුරු ටික නතර කරලා දේශීය ආහාර දෙස බලන්න අපිට දැන් සිදුවෙනවා

බොහෝ ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවන විදිහට මේ රටේ ආර්ථික ගැටලුකාරී බව තව බොහෝ කාලයක් පවතිනවා. ඒ නිසා අප මේ සඳහා අවශ්‍ය පියවරයන් ගැනීමට කල් ඇතුවම සූදානම් විය යුතුයි. මේ නිසා රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වුවත්, අප පෞද්ගලිකව මේ සඳහා අවශ්‍ය පියවරයන් ගැනීම ඉතාම වැදගත් කරුණක්. 2020, 2021 වගේ කාලය තුළදී කොපමණ මුදලකින් අපිට පෝෂණමය ආහාර වේලක් ගත හැකිද යන්න පිළිබඳව ලෝක ආහාර වැඩපිළිවෙළ සංවිධානය මගින් සිදුකළ පර්යේෂණයකින් කරුණු ගණනාවක් අනාවරණය කළා.

මෙහිදී අපිට අවශ්‍ය පෝෂණ වර්ග දෙකක් ඔවුන් පෙන්වා දුන්නා. ඉන් එකක් වන්නේ, ශක්තිය පමණක් (Energy) අවශ්‍ය ආහාර වේලක් ගැනීමට පවුලකට රුපියල් 209ක් වැනි මුදලක් ප්‍රමාණවත් බවයි. නමුත් සමබල පෝෂණීය ආහාර වේලක් ගැනීමට පවුලකට රුපියල් 454ක මුදලක් ප්‍රමාණවත් බව ඔවුන් අනාවරණය කළා. ඒ තත්ත්වය එක්ක සංසන්දනය කළ විට අපිට වර්තමානයේ කොපමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය වනවාද? සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ සියලුදෙනාම පෝෂ්‍යදායී ලෙස සමබල ආහාර වේලක් ගත යුතු බවයි. නමුත් ඇතැම් අවස්ථාවලදී ඉතාම අඩු ආදායම්ලාභී, දිළිඳු පවුල්වලට මේ ආකාරයෙන් සමබල ආහාර වේලක් ලබාගැනීමේ දැඩි නොහැකියාවක් මතුවෙලා තිබෙනවා. මෙවැනි අර්බුද මතුවෙන්න කලින් සිටම ලංකාවේ පවුල්වලින් සියයට 20කට පමණ නිර්දේශිත ආහාර වේලක් ලබාගැනීමේ හැකියාවක් පැවතුණේ නෑ. ඒ ඔවුන්ගේ පැවති ආර්ථික නොහැකියාව නිසා.

නමුත් මේ පවතින තත්ත්වයත් සමග ඒ හැකියාව තවත් පහළ වැටෙනවා. ඒ නිසා මේ තත්ත්වයට යම් පිළියම් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් දරුවන්ට දිවා අහාර ලබාදීමේ වැඩසටහනක් දියත් කළා. නමුත් ඒ වැඩසටහන් පවා මේ පවතින තත්ත්ව සමග නතර කිරීමට සිදුවීම ආවාසනාවන්ත දෙයක්. ඒ නිසා අපිට දැන් අවධානය ලබාදිය යුතු වන්නේ අපි වෙනදා ගත් ආහාර මේ ආර්ථික අර්බුදයත් සමග කොහොමද ඉදිරියට ලබාගන්නේ කියන දේ පිළිබඳවයි. අපි සුපර් මාකට් එකට ගිහින් බඩු මිලදී ගැනීමක් සිද්ධ කළා නම් අපිට දැන් සිදුවෙනවා ටිකක් පොළ පැත්තකට ගිහින් අපි ළමා කාලයේ රසවින්ද, මෙච්චර කාලයකට මගඇරුණු ආහාර නැවත සොයා බලා ආහාරයට ගන්න.

අපි ගත්තොත් පලතුරු ලංකාවේ බහුතරයක් පිරිස නිර්දේශිත කර තිබෙන පලතුරු වලින් දහයෙන් එකක්වත් ආහාරයට ගන්නෙ නැහැ. ඔබට පුදුම හිතෙන කරුණ වන්නේ ලංකාවේ ළමුන්ගෙන් සියයට 70ක් පමණ මේ අර්බුද මතුවෙන්න කලින් එක පලතුරක්වත් ආහාරයට ගෙන නැහැ. ඒ නිසා මේ අර්බුදය ඇතිවුණායින් පස්සෙ ඇතිවෙන තත්ත්වය හිතාගන්න පුළුවන්නේ. අපි ගත්තොත් ලංකාවේ ඇඹුල්, කෝලිකුට්ටු, සීනි, පූවාලු ආදී විවිධ කෙසෙල් වර්ග තිබෙනවා. නමුත් අපි සීමිත ප්‍රමාණයකින් තමයි මේවා ලබාගන්නේ. අඹ ගත්තොත් එක එක කාලෙන් කාලෙට හැදෙන දේවල් තියෙනවා. ඒවායිනුත් අපි ආහාරයට ගන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. එළවළු ගත්තත් එහෙමයි.

තවත් අපි මගහැරපු දෙයක් තමයි කොස්, පොලොස්, දෙල් වැනි දේවල්. ඒවා ගස් යටම වැටි වැටී යනවා. කිසිම කෙනෙකුට එහි වටිනාකමක් තිබුණෙ නෑ. මේ තත්ත්වයත් එක්ක අපිට සිදුවෙනවා පිටරටින් ගෙන්වපු පලතුරු ටික නතර කරලා, දේශීය ආහාර දෙස බලන්න. ගමේ වවන එළවළු මිලදී ගන්න අපිට සිදුවෙනවා. අපි සතුව පළා වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි ආහාරයට ගන්නේ ඉන් සීමිත කොටසක් පමණයි. මෙහිදී සඳහන් කළයුතු දේ වන්නේ සත්ත්ව ආහාර ගත්තොත්, මිලෙන් යම් වැඩි වීමක් සිදුවුවත් තවමත් දරුවෙක්ට දිය යුතු හොඳම ප්‍රෝටීන ප්‍රභවය වන්නේ බිත්තරයි. අනිත් හැම ප්‍රෝටීනයකට වඩා බිත්තර වටිනාකමෙන් වැඩියි.  ඒ වගේම ගත්තොත් අපිට දේශීය අල වර්ග තිබෙනවා. ඉන්නල, රාජ අල, දම් අල, කිරි අල වැනි විවිධ පෝෂණ ගුණයෙන් අනූන අල වර්ග ඒ අතර වෙනවා. වෙළෙඳ පොළට ගියාම මේ දේවල් මිලදී ගන්න දැන් අපි පෙළඹිය යුතුයි.

කලින් ලේසියට අපි ඇසුරුම් තුළ තිබෙන දේවල් මිලදී ගත්තත්, කම්මැලිකම් ඉවත් කරලා වෙහෙස මහන්සියෙන් ආහාර සොයා ගැනීමට දැන් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම ගෙවතු වගා ඇති කිරීම සඳහාත් යොමු වීමට කාලය පැමිණිලා තිබෙනවා. මෙහිදී ග්‍රාමීයව සිටින අය පමණක් නෙවෙයි, නගරවල සිටින අයත් දැන් දැන් වගා කටයුතු වලට යොමුවෙලා සිටිනවා. තට්ටු ගෙදරක සිටියත් ඔබට මේ වගා ක්‍රම ගැන සොයා බලන්න වෙනවා. මේ සඳහා රාජ්‍ය මට්ටමින් හෝ මැදිහත්වීමක් සිදුකළ යුතු වෙනවා. ඒ වගේම පාසල් දරුවන් තුළත් මේ වගාවන් සිදුකිරීමට අවශ්‍ය දිරිගැන්වීම සිදුකර ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතුයි.



Recommended Articles