ශ්‍රී ලංකාව කෘෂි කාර්මාන්තය කේන්ද්‍ර කරගත් රටකි, අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස අප රට හඳුන්වනු ලැබූවේ එබැවිනි. එහෙත් කාර්මිකකරණයත් සමගම මෙරට කෘෂිකර්මාන්තය අඩාළ වූවා පමණක් නොව, කෘෂි රසායනික භාවිතයට ගොවියා හුරුවීමත් සමගම වස විසෙන් සපිරි ධාන්‍ය සහ එළවළු, පලතුරු අපේ ආහාරයට එක්වීමෙන් සමස්ත සමාජයම රෝගීන් බවට පත්වී ඇත. කෙසේ වුවද පසුගිය වසරේ කෝවිඩ් වසංගතයේ පළමු රැල්ලත් සමග නිවෙස්වලට කොටු වූ බොහෝ දෙනා සිය ගෙවත්තේ භෝග වගාවටත්, ඒ සඳහා ඕගනික් හෙවත් කොම්පෝස්ට් වැනි කාබනික පොහොර භාවිතයටත් පෙලඹුණි. මෙම ප්‍රවණතාව ත්‍රිවිධ හමුදා කඳවුරුවලද ඉතා ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක වුණි
පොලීසිය යනු මහජනතාව සමගින් ඉතා සමීපව කටයුතු කරන කාර්යබහුල ආරක්ෂක අංශයකි. එවන් රාජ්‍ය ආයතනයක කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ඇරඹීම අභියෝගාත්මකය. එහෙත් සිය දෛනික රාජකාරී කටයුතු නිසියාකාරව ඉටුකරමින් දැවැන්ත වගා ව්‍යාපෘතියක් සිය හිස මත දරාගත් පොලිස් නිලධාරීන් තිස් දෙනෙකුගේ ක්‍රියාන්විතයක් පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වහල මත ඉතා සාර්ථක ලෙස ආරම්භ කර ඇත. එහි නියමුවා වන්නේ බස්නාහිර, උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාය
&මම සමාජ විද්‍යා උපාධිධාරියෙක්. සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ආරම්භ වුණ මගේ විසි එක් වසරක සේවාව තුළ ලංකාවේ විවිධ පළාත්වල සේවය කරන්නට සිද්ධ වුණා. ඒ හැම තැනකදීම මම මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් මා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී එහි තිබූ වගුරු බිමක් වැවක් බවට නිර්මාණය කළා.
මම මෙහෙට ඇවිත් මාස හතක් වෙනවා. මේ ගොඩනැගිල්ල ඉදිකරලා වසර පනහකටත් අධික කාලයක් ගත වෙලා ඇති. මෙහි ඇති කොන්ක්‍රීට් වහලය වර්ග අඩි 3700කින් යුක්තයි. මම එය මුලින්ම නිරීක්ෂණය කළා. ඇත්තෙන්ම ඒ වන විට එය අහක දමන අබිලි ද්‍රව්‍ය වගේම තණකොළ ඇතුළු වල් පැළෑටිවලින් ගහන වෙලයි තිබුණේ. එය ඉතා අනාරක්ෂිත තත්ත්වයක් බව මට වැටහුණා. ඒ නිසා මම මගේ කාර්යමණ්ඩලයේ තිස්දෙනා කැඳවලා ඔවුන්ව මුලින්ම දැනුම්වත් කරලා, කණ්ඩායම් තුනක් හදලා මුළු කොන්ක්‍රීට් වහලම සම්පූර්ණයෙන්ම සුද්ධ කළා. ඉන්පස්සේ පොහොර බෑග්, ප්ලාස්ටික් බැරල් එහෙම හොයාගෙන මේ වගා ව්‍යාපෘතිය ටිකෙන් ටික ආරම්භ කළා. මේ සඳහා අපි පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිම මුදලක් යෙදෙව්වේ නැහැ. බීජ, පොහොර හැමදෙයක්ම අපිම සොයා ගත්තා. මුලින්ම අපි ජලය සපයා ගත්තේ පිටිපස්සේ ගලා බසින කැලණි ගඟෙන්. පස්සේ අපි ළිඳක් කපා ගත්තා. එහි භූගත ජලය හරිම පිරිසුදුයි. ප්‍රධාන ජල සැපයුමේ වතුර නැතිවුණත් පොලීසියට වතුර ප්‍රශ්නයක් දැන් නැහැ. මේ මාස හත ඇතුළත මේ වගා බිමේ විවිධ භෝග වර්ගවලට අමතරව කහ, ඉඟුරු, මස්බැද්ද, තුඹ කරවිල වගේ ඖෂධීය වටිනාකමින් යුත් වගාවකුත් තියෙනවා. මේ වන විට පැළ 2500ක සාරවත් වගාවක් ඇති කරන්න මගේ කාර්යමණ්ඩලයේ තිස්දෙනා උපරිම කැප කිරීමක් කරලා තියෙනවා. ඇත්තෙන්ම ඔවුන් සිය දෛනික රාජකාරිත් නිසියාකාරව ඉටුකරනවා වගේම මෙම කෘෂි ව්‍යාපෘතිය දියුණු කරන්න ඉතා අගනා වෙහෙසක් දරනවා. ඒ සඳහා ඔවුන්ට කිසිදු නියෝගයක් හෝ බලපෑමක් නැහැ. මෙහි ඵලදාව ඔවුන් අතර බෙදී යනවා. ඒ වගේම මෙම කාර්යාලයට සේවාවන් ලබාගන්න පැමිණෙන දුප්පත් අයටත් ලබාදෙනවා.
මම මෙහෙ වැඩ භාර ගන්නකොට අපේ නිලධාරීන් ආහාර ගත්තේ පිටින්. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඔවුන්ගේ ඒ ආහාර වේලට අයත් වෙලා තිබුණා. මම ඒ ක්‍රමය නැති කරලා මේ වහල උඩම ගොවිපොළේ පැත්තක පොඩි භෝජනාගාරයක් හැදුවා. දැන් එහි පිසින්නේ මේ ගොවිපොළෙන් නෙළා ගන්න එළවළු. කොටින්ම මිරිස් අපි වේළලා බ්ලෙන්ඩරෙන් කුඩු කර ගන්නවා. ඒ නිසා පිරිසුදු කෑම වේලක් අපේ නිලධාරීන්ට ලැබෙනවා. ඇත්තෙන්ම ඔවුන් දැන් කටයුතු කරන්නේ මානසික තෘප්තියකින් යුතුවයි.
මේ වගාවට අමතරව අපි මීමැසි පාලනයක් පවත්වාගෙන යනවා. ලෝකයේ බිඟු වර්ග විසිදාහක් පමණ ඉන්නවා. මී මැස්සාගේ සේවය නිසයි ලෝකය පවතින්නේ. ඔවුන්ගේ පරාග පෝෂණ ක්‍රියාවලිය නිසා ගස්වල ගෙඩි හට ගන්නවා. ඒ නිසා වෘක්ෂලතාවල පැවැත්ම වර්ධනය වෙනවා. අපිට ජීවත් වෙන්න ඔක්සිජන් ටික ලැබෙන්නේ ඒ නිසයි. මී මැස්සන් වඳ වුණොත් වසර හතරක් ඇතුළත ලෝක ප්‍රජාවටත් ඒ දේම සිද්ධ වේවි. කෘමිනාශක භාවිතය වගේම විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා අද මී මැස්සන්ගේ වර්ධනයට ලොකු තර්ජනයක් වෙලා.
මට මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න මුලින්ම බාහිර සහයක් ලැබුණේ දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සේනක පල්ලියගුරු මහත්මයාගෙනුයි. ඔහු මෙහි පැමිණි අවස්ථාවක මෙම වගා බිම දැකලා ඔහු කරන කාබනික පොහොර ව්‍යාපෘතියෙන් අපිට පොහොර කියුබ් තුන හමාරක ප්‍රමාණයක් පරිත්‍යාග කළා. ඒ වගේම ගරු පොලිස්පතිතුමා වගේම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාත් මෙම කටයුත්ත සඳහා මුල සිටම මට උපදෙස් දෙමින් ලොකු ශක්තියක් ලබාදුන් බව පැවසිය යුතුයි. ඒ වගේම ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර, පොලිස් පරීක්ෂක පෙරේරා, ප්‍රධාන රාජ්‍ය කළමනාකරණ නිලධාරිනී එස්.එම්.කේ චන්ද්‍රිකා මහත්මිය ඇතුළු මගේ කාර්යාලයේ හැමදෙනාම මේ කාර්යයේදී දැවැන්ත සහයක් ලබාදෙන බව පැවසිය යුතුයි.
සටහන / සේයාරු - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ