දින 365 පුරා දවසේ පැය 24 තුළම පොලිස් නිලධාරීන් රටට සේවය කළද, රැකියාවේදී සිදුවන අසාධාරණකම් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට අවස්ථාවක් නොමැත. මේ නිසා වෘත්තීය ගැටලු කෙතරම් ඇති වුවද, ඒවා විඳ දරාගෙන සේවය කිරීමට පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් විසින් ගොඩනගා ගත් සංවිධානය විසින් පොලිස් නිලධාරීන්ට ඇතිව තිබෙන ගැටලු පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ පිළිබඳ %අද^ ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදයේ ලේකම් වෙදගේ ප්‍රසාද් මහතා සමග කතාබහක නිරත විය.
පොලිස් නිලධාරීන්ගේ ප්‍රමාණය
ආසන්න වශයෙන් රට තුළ අසූදහසකට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් සේවයේ නිරත වෙලා සිටිනවා. ඒ වගේම දෙදහසකට ආසන්න පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. පොදුවේ කියනවා නම්, තිබෙන රාජකාරිවලට අනුව සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. පවතින හිඟය නිසා පොලිස් ස්ථානයක සිටිය යුතු නිලධාරීන් ප්‍රමාණය නැහැ.
පොලිස් නිලධාරීන්ගේ වැටුප
වැටුප ගැන කතා කිරීමේදී පවුලක සිටින යැපෙන්නන්ගේ ප්‍රමාණය අනුව දැනට පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ට ලැබෙන වැටුපට පවුල් ඒකකය නඩත්තු කරන්න බැරි තත්ත්වයට පත්වෙලා සිටිනවා. මොකද වෙනත් රැකියාවක් වගේ නොමෙයි, පොලිස් නිලධාරියා රැකියාවට යනවා නම්, බිරිඳට රැකියාවට යෑම ඉතාමත් දුෂ්කර ක්‍රියාවක්. මොකද දරුවන් ගැන සොයා බැලීම මවටම තනිවම සිදු කිරීමට සිදුවන නිසා. මොකද පොලිස් නිලධාරියා රාජකාරිය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඒ නිසා තමන්ගේ දරුවන්ට බිරිඳගෙන් විශාල රැකවරණයක් ලැබෙන්න ඕන.
අවම වැටුප
පොලිස් සේවයේ පහළම ශ්‍රේණිය තමයි පොලිස් ආරක්ෂක සහායක සේවය. මෙම සේවයේ සිටින කෙනෙකුට ලැබෙන්නේ රුපියල් තිස්දෙදහසකට ආසන්න ප්‍රමාණයක්. පොලිස් සහායක සේවයේ පිරිසක් පොලිස් කොස්තාපල් තනතුරට ඇතුළත් කරලා තියෙනවා. කොහොම වුණත් පවතින ආර්ථික තත්ත්වය නිසා පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ට ලැබෙන වැටුප ජීවත් වීමට ප්‍රමාණවත් නැහැ.
සංයුක්ත දීමනාව
පොලිස් නිලධාරීන්ට සංයුක්ත දීමනාවක් ලබා දෙනවා. ඇති වූ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මේ වසරේ අගෝස්තු 21 වැනිදා සංයුක්ත දීමනාව දෙගුණයක් කිරීමට තීරණය කරනවා. ඉන් පසුව එම දීමනාව ගෙවන්න ආරම්භ කළත් බොහෝ පොලිස් නිලධාරීන්ට එම දීමනාව තවම ලැබී තිබෙන්නෙ දින 08ක් වගේ කාලයකට. මේ වනවිට වැඩි වූ මුදල ගෙවන්නේ නැහැ. ඒත් රාජ්‍ය බුද්ධි අංශයේ පිරිස්වලට මෙම දීමනාව ගෙවනවා. මේ පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි වුණේ සංයුක්ත දීමනාව දෙගුණයක් කිරීමට තීරණය කළත් ඊට අදාළව අයවැයකින් මුදල් වෙන් නොකිරීම නිසා මෙම මුදල ලබා දීමට නොහැකි වී තිබෙන බවයි.
රාජ්‍ය බුද්ධි අංශයේ වෙනම අරමුදල් තිබිලා තියෙනවා හදිසි අවශ්‍යතාවකට ගන්න. ඒක නිසා ඔවුන්ට ඒ මුදල් ගෙවනවා. හැබැයි ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සමග සිදුකළ සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කරන්නේ මෙම මුදල ගෙවිය යුතුයි කියලා. පොලිස් නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු පිළිබඳ අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් භාර දෙන්න පසුගිය 12 වැනිදා ගියා. හැබැයි ජනාධිපතිතුමා හමුවෙන්න බැරි වුණා. ඒත් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සමග සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණා.
උසස්වීම් ලබා දීම
පොදුවේ කතා කරනවා නම්, උසස් වීම් ලබාදීම ගැන බොහෝ පොලිස් නිලධාරීන් තෘප්තිමත් නැහැ. එකට හේතුවෙලා තියෙන්නේ උසස් වීම් ලබාදීමේදී මේ වනවිට ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය. ඒත් මීට අවුරුදු 20කට විතර පෙර පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබාදීම සඳහා හොඳ වැඩපිළිවෙළක් තිබිලා තියෙනවා. එය ලකුණු ක්‍රමයක් යටතේ සිදු වෙලා තියෙනවා. ඒත් මේ වනවිට ලකුණු ලබාදෙන ක්‍රම‘වේදය පිළිබඳ ගැටලු ඇතිවෙලා තියෙනවා.
මෙතැනදී සේවා කාලය පදනම් කරගෙන වසරකට ලකුණු 04 බැගින් ලබාදෙන ක්‍රමවේදයක් තියෙන්නෙ. මෙතනදී වෙන්නේ උපරිම ලකුණු 50ක ප්‍රමාණයක් තමයි ලැබෙන්නෙ. ඒ කියන්නේ වසර 20ක් සේවය කළත් ඔහුට ලැබෙන්නේ ලකුණු 50ක්. හැබැයි අවුරුදු 12ක් වැඩ කරන කෙනාට ලකුණු 48ක් ලැබෙනවා. ඒක නිසා අපි රජයට යෝජනා කළා එක් වසරකට ලකුණු 02ක් බැගින් ලබා දෙන ක්‍රමයක් හදන්න කියලා. එතකොට වසර 25ක් වැඩ කරන කෙනාට ලකුණු 50යි. වසර 12ක් වැඩ කරන කෙනාට ලකුණු 24යි. මේ අනුව ලකුණු පරතරයක් තියෙනවා. ඒ වගේම අපි යෝජනා කළා විභාග ක්‍රමයකට ලකුණු 50ක් දෙන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන කියලා. මේ නිසා ජ්‍යෙෂ්ඨත්වයට ලබාදෙන ලකුණු 50න් ලබාගන්න ප්‍රමාණයයි, විභාගයේ ලකුණු 50න් ලබාගන්න ප්‍රමාණය එකතු කරලා උසස්වීම් ලබා දීමට කටයුතු කරනවා නම් කාටත් අසාධාරණයක් නැහැ.
විශේෂ ඒකකවල සේවය කරන පිරිස්වලට ලකුණු 10ක් ලබාදීම
විශේෂ ඒකකවල සේවය කරන පිරිස්වලට උසස්වීම් ලබාදීමේදී ලකුණු 10ක් හිමි වෙනවා. එත් පොලිස් ස්ථානවල සිටිමින් දරදිය අදින නිලධාරීන්ට ඒ වගේම ලකුණු දෙන ක්‍රමයක් නැහැ. මේ නිසා සම්මුඛ පරීක්ෂණයකට ගියාම විශේෂ ඒකකවල පිරිස්වලට නිකම්ම ලකුණු 10ක් ලැබෙනවා. පසුගියදා පොලිස් නිලධාරීන් 2,891කට උසස් වීම් ලබාදුන්නා. මෙතැනදීත් මේ ගැටලුව ඇතිවෙලා තියෙනවා. සෑම පොලිස් නිලධාරියෙකුටම සාධාරණව උසස්වීම් ලැබෙන්න ඕන. එහෙම නැති නිසා පොලිස් ස්ථානවල ඉන්න නිලධාරීන් ඒ පිළිබඳ කලකිරීමකින් සිටින්නේ.
පොලිස් නිලධාරීන්ගේ නවාතැන් ස්ථාන ගැටලු
පැය 12කට වැඩි කාලයක් දිනකට සේවය කරන පොලිස් නිලධාරීන් නවාතැන් ගන්න සමහර ස්ථානවල නිසියාකාරව වාත්රාශයවත් ලැබෙන්නේ නැහැ. සමහර ස්ථාන හොඳ තත්ත්වයේ තියෙනවා. සාගල රත්නායක මහතා විෂය භාර අමාත්‍ය ධුරය දරන කාලයේ ක්ෂණිකව ඒ ස්ථානවලට ගිහිල්ලා පරීක්ෂා කළා. එතැනදී හෙළි වුණා පොලිස් නිලධාරීන් නවාතැන් ගන්න ස්ථානවල තියෙන ගැටලු.
රාජකාරි ස්ථානයෙන් පිට ස්ථානයකදී ලැබෙන යටිතල පහසුකම්
පොලිස් නිලධාරීන් කියන්නෙ ලංකාවේ ඕනෑම තැනක සේවය කිරීමට බැඳී සිටින කණ්ඩායමක්. මේ නිසා තමන් රාජකාරි කරන ස්ථානයේ ඉඳලා විවිධ පළාත්වලට විශේෂ රාජකාරිවලට යන්න වෙනවා. එතැනදී පොලිස් නිලධාරීන්ට ලබාදෙන ආහාර සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල ගැටලු ඇති වෙනවා. ඒ වගේම තමයි රාජකාරි යෙදවීමේදී ඒ නිලධාරීන්ගේ වැසිකිළි පහසුකම් ගැන කිසිදු සොයා බැලීමක් නැහැ. නවාතැන් ලබාදෙන ස්ථාන ගැනත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. හැබැයි ලෝකයේ බොහෝ රටවල විශේෂ රාජකාරි කටයුතුවල පොලිස් නිලධාරීන් යෙදවීමේදී ජංගම වැසිකිළි පද්ධති ස්ථාපිත කරනවා. ලංකාවේ රාජකාරි කටයුතු කරන ස්ථාන පරීක්ෂා කරන නිලධාරියෙකු පැමිණෙන විට එම ස්ථානයේ පොලිස් නිලධාරියෙකු නොමැති වුවහොත් ඒක විශාල ගැටලුවක් වෙනවා.
දිනක සේවා කාලය
ඒ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. මොකද පොලිස් නිලධාරියෙකු දිනකට පැය 12කට වැඩි කාලයක් සේවය කරනවා. රථවාහන අංශයේ නිලධාරීන් ගත්තාම විශාල පැය ගණනක් මහපාරේ හිටගෙන ඉන්න වෙනවා. මේ නිසා අව්වට වේලෙනවා, වැස්සට තෙමෙනවා. පොදුවේ ගත්තාම රථවාහන අංශයේ ඉන්න සමහර නිලධාරීන් ශ්වසන ආබාධවලට ලක්වෙලා තියෙන්නෙ. ඒ වගේම නහර ගැටගැසීම් වැනි රෝගාබාධවලට ලක්වෙනවා. මේ නිසා රාජකාරියේ යොදාගන්නා පැය ගාන ගැන යළි හිතන්න ඕන. ඒ වගේම රථවාහන රාජකාරියේ නිරත සෑම පොලිස් නිලධාරියෙකුටම මාර්ග රාජකාරියේදී පැලඳිය යුතු ආරක්ෂිත කබා නැහැ. මේ නිසා රාත්‍රී කාලයේදී පොලිස් නිලධාරීන් අනතුරුවලට ලක්වෙන්න පුළුවන්.
පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම
පොලිස් නිලධාරියාගේ අභිමතය මේ ඇඳුමෙන් පෙන්නුම් කරනවා. ඒක නිසා පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් ලෙස පොලිස් නිල ඇඳුම වෙනස් කිරීමට විරෝධය දක්වනවා. මේ නිල ඇඳුම ශරීරයට ගැළපෙන්නෙ නැහැ කියලා තියෙනවා. ඒක නිසා මුලින්ම හොයා බලන්න ඕන ඒ නිර්දේශ කරන්නෙ කවුද කියලා. මොකද නිල ඇඳුම වෙනස් කිරීමේදී ලොකු වියදමක් දරන්න වෙනවා. නිල ඇඳුම වෙනස් කිරීමට පෙර පොලිස් නිලධාරීන්ගේ ශරීර සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා කළ යුතු විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ ගැටලු මුලින්ම විසඳිය යුතුයි.
විශ්‍රාම වැටුප
බොහෝ පොලිස් නිලධාරීන්ට ලැබෙන්නේ අඩු වැටුපක් නිසා විශ්‍රාම වැටුප් ලැබීමේදීත් ලැබෙන්නෙ අඩු වැටුපක්. මොකද රාජකාරි කරන විට ලැබුණු වැටුපෙන් කොටසක් තමයි විශ්‍රාම වැටුප ලෙස ලැබෙන්නෙ. අතිබහුතරයක් පොලිස් නිලධාරීන් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ට රට තුළ වෙනත් රැකියාවක් කිරීමට තරම් වෘත්තීය පුහුණුවක් නැහැ. ඒක නිසා විශ්‍රාම වැටුපට අමතරව විශ්‍රාම යන නිලධාරීන්ගේ පවුල් නඩත්තු වන විධිමත් වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි.
මෙතැනදී ව්‍යාපාර සිදු කිරීම සඳහා අවශ්‍ය උදවු උපකාර කිරීමේ වැඩපිළිවෙළක් වුවත් සකස් කළ හැකිය.
පොලිස් නිලධාරීන්ගේ ගැටලු සමාජගත කිරීම
පොලිස් නිලධාරීන් රටට විශාල සේවයක් සිදු කළත්, ඒ පිළිබඳ මෙරට ජනතාවට දැනුමක් නැහැ. මේ නිසා පොලිස් නිලධාරීන්ට තියෙන වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු ගැනත් දැනුමක් නැහැ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අප සංගමය තීරණයක් ගෙන තියෙනවා. දිස්ත්‍රික් මට්ටමින් බැනර්, පෝස්ටර් ප්‍රදර්ශනය කරලා ජනතාව දැනුවත් කරන්න. මොකද පොලිස් නිලධාරීන්ගෙන් අතිබහුතරයක් කුමන හෝ ගැටලුවක් නිසා පීඩාවට පත්වෙලා ඉන්නෙ. ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කරලා තියෙන්නෙ.