කලාවක් තුළ නියැළීමට නිර්මාණශීලීත්වය මෙන්ම සංයමයද අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලාවන් තුළ නියැළෙන කලාකරුවන්ගේ සංයමය ඔවුන්ගේ නිර්මාණ තුළින් පිළිඹිබු වේ.
අතීතය පිරික්සීමේදී හමුවන ශෛලමය කැටයම් නිර්මාණ, ලී කැටයම් නිර්මාණ ආදිය තුළින් කලාකරුවාගේ දක්ෂතාවය සහ නිර්මාණශීලීත්වය පෙනී යයි. වර්තමානයේදී දෑතින් ශෛලමය කැටයම් සිදුකරන කැටයම්කරුවෝ අවම වුවත්, ලී කැටයම් ශිල්පීහු බොහෝ සිටිති. එවන් වූ ලී කැටයම්කරුවන් අතර ‘චමුදු පෙරේරා සුවිශේෂී වන්නේ ඔහු ‘පොල්ගෙඩිය භාවිත කරමින් අපූර්ව වූ නිර්මාණ බිහිකරන බැවිනි. ‘29 හැවිරිදි වියේ පසුවන චමුදුගේ මෙම අපූර්ව වූ නිර්මාණ හැකියාව පිළිබඳවයි මේ සටහන ගෙන එන්නේ.
"පොල්ගෙඩිය කියන්නේ කැටයම් මවන්න පුළුවන් ද්‍රව්‍යයක්. හැබැයි විශාල මහන්සියක් ගන්න ඕන" චමුදු කතාව ආරම්භ කළේ එලෙසනි.
චමුදු වෘත්තියෙන් සූපවේදියෙකි. වෘත්තියට අමතරව කැටයම්කරණයේ සහ චිත්‍රකරණයේ නිරත වන ඔහු පවසන්නේ කැටයම්කරණයත් මේ වන විට ඔහුගේ වෘත්තියක් ලෙසටම නිර්මාණය වී ඇති බවයි.
සංචාරක කර්මාන්තය දියුණු ප්‍රදේශවල පොල්කටු භාවිතයෙන් නිර්මාණය කර තිබෙන කෝප්ප, පිඟන් වැනි භාවිතයට ගත හැකි උපකරණ අප දැක තිබේ. නමුත් චමුදුගේ නිර්මාණයන් එලෙස භාවිතය ගත නොහැක. ඔහුගේ නිර්මාණ විසිතුරු භාණ්ඩයක් ලෙස බිත්තියේ එල්ලා තැබීමට, මේසයක් මත අලංකාරයට තැබීමට භාවිත කළ හැකිය. චමුදු පවසන්නේ බොහෝදෙනා පොල්කටු නිර්මාණ සඳහා යොමුව ඇති හෙයින් තමන් වෙනස් දෙයක් නිර්මාණය කිරීමට යොමු වූ බවයි.
සිය පවුල් පසුබිමත් මෙලෙස කැටයම්කරණයට යොමු වීමට හේතු වූ බව චමුදු පවසයි. ඔහුගේ පියාද දක්ෂ කැටයම්කරුවෙකි. ඒ ආභාසයත්, උපතින් ගෙනා දක්ෂතාවයත් නිසා ඔහුට මේ තරම් අපූර්ව වූ නිර්මාණ බිහිකිරීමට හැකි වී තිබේ.
“මේ හැම කැටයමක්ම මගේ හිතට එන ඒවා. කොහෙවත් තිබෙන නිර්මාණයක් මම පිටපත් කරන්නේ නැහැ. එක පොල්කටුවකට දාපු නිර්මාණයක් මට ඒ විදිහටම තව පොල්කටුවකට දාන්න බැහැ. ඒ වෙලාවේ හිතේ මැවෙන නිර්මාණය තමයි පොල්කටුවේ ඇඳෙන්නේ.”
කැටයම්කරුවෙකු තුළ තිබෙන සංයමය හා නිර්මාණශීලීභාවය චමුදුගේ කැටයම් තුළින් මනාව ඔප්පු කර තිබේ. ඉතා සියුම් අයුරින් එකම ඉරියව්වක සිට කැටයම් කැපීම ඉතා අසීරු කාර්යයකි. චමුදු පවසන්නේ ‘තම ආශාව මත කැටයම නිමා වන තෙක් නිර්මාණකරණයේ යෙදිය හැකි බවයි.
චමුදුගේ පොල් කැටයම් අතර සුවිශේෂී කැටයමක් ලෙස පොල්ගෙඩියෙන් නිර්මාණය කරන මිනිස් රූප දැක්විය හැක. හැඩයෙන් සමාන වූ පොල්ගෙඩි වලින් එකිනෙකට වෙනස් මිනිස් රූප මැවීම ඉතා දුෂ්කරය. එමෙන්ම එම රූප තුළ විවිධ හැඟීම් ප්‍රකාශ කිරීම අපූර්වය.
&මේ නිර්මාණවලට යන වෙලාව එකිනෙකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් පොඩි කැටයමක් නම් පැය තුනක් හතරක් විතර ගතවෙනවා. සමහර නිර්මාණ දවස් තුන හතරක් යනවා. ඒ දවස් තුන හතරෙම මගේ ඔළුවෙ තියෙන්නේ ඒ නිර්මාණය විතරයි.
මම මූර්ති ඉගෙන ගනිද්දි භාවිත කළේ ආම්පන්න කීපයක් විතරයි. සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාවිතයට ගන්නා කියත් තල, පිහි වගේ දේවල් තමයි මම කැටයම් කපන්න ගත්තේ. මේ සියලු කැටයමක්ම මම මගේ දෑතින්මයි නිර්මාණය කරන්නේ. මම හිතන්නේ ඒක තමයි මේ නිර්මාණ ඇතුළෙ තියෙන වටිනාකම.”
දෑතින් සිදුකරන නිර්මාණවල වටිනාකම අධික යැයි සමාජය තුළ මතයක් තිබේ. මේ නිසා බොහෝ නිර්මාණකරුවන් විදේශ වෙළෙඳ පොළට සහ සංචාරකයන්ට තම නිර්මාණ අලෙවි කිරීමට පෙළඹෙයි. චමුදු සඳහන් කරන්නේ දෑතින් සිදුකරන නිර්මාණයක් අනෙක් නිර්මාණවලට වඩා වෙනස් සහ නැවුම් බවක් තිබෙන බවයි. ඒ සඳහා නිර්මාණකරුවාගේ මහන්සිය, කැපවීම මත සාධාරණ මිලක් ඔවුන් තීරණය කරයි. නමුත් එය වැරදියට වටහාගත් අය එම නිර්මාණවල වටිනාකම හෑල්ලුකරන බවද ඔහු පවසයි.
චමුදු සූපවේදියෙකු ලෙස සිය ආයතනයේ සේවය කරන අතරතුරදී ආහාර උපයෝගී කරගනිමින්ද නිර්මාණ සිදුකරයි. තරුණයෙකු ලෙස මෙලෙස කැටයම් ක්ෂේත්රයේ නිරත වීම පිළිබඳව ඔහු තුළ පවතින්නේ ආඩම්බරයකි.
“මම එක්තරා කාලයකදී විදේශගත වෙනවා. ඉන්පසු නැවත ලංකාවට ඇවිත් කරන්න දෙයක් නැතුව කාලයක් හිටියා. ඒ කාලෙදි මේකට වැඩි බරක් දීලා වැඩකරන්න පටන් ගත්තා. මගේ නිර්මාණ සමාජ මාධ්‍ය හරහාත් ජනප්‍රිය වුණා. ඒ හරහා මට ඇරයුම් ආවා. ඒ වගේම මේ පසුගිය කෝවිඩ් කාලයේදී මේ පැත්තට වැඩි බරක් දුන්නා.”
රජය මගින් දේශීය කර්මාන්ත නඟාසිටුවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වුවද, කිසිදු රජයකින් කැටයම් ශිල්පීන්ට දැනෙන ලෙසට අනුග්‍රහයක් ලැබී නොමැති බව ඔහු පවසයි. සංචාරකයන්ට අලෙවි කිරීමට හෝ සමාජ මාධ්‍ය මගින් තම නිර්මාණ අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරන්නේ ඒ නිසා බව චමුදු පවසයි. පොල්ගෙඩිය සුද්ද කිරීමේ පටන් නිර්මාණය අවසන් වනතුරු සියලු කටයුතු සිදුකරන්නේ චමුදු විසින්මය. මේ වන විට චමුදුගේ නිර්මාණ ලංකාව තුළ මෙන්ම විදේශයන් තුළද ජනප්‍රිය බව ඔහු පවසයි. ඉදිරියේදී තම නිර්මාණ එකතුකර ප්‍රදර්ශන පැවැත්වීමේ විශාල බලාපොරොත්තුවක් තිබෙන බව චමුදු පවසයි.
චමුදු කැටයම් නිර්මාණයට මෙන්ම චිත්‍ර ඇඳීමටද අතිදක්ෂයෙකි. එමෙන්ම පොල්කටු භාවිතයෙන් ආභරණ නිර්මාණය කිරීම, මූර්ති නිර්මාණ වැනි බොහෝ දේ ඔහු අමතරව සිදුකරයි. වර්තමානයේදී එක් රැකියාවකින් ජීවත් වීමට අපහසු බැවින් බොහෝදෙනා ස්වයං රැකියාවන්හී නිරත වීමටද පටන්ගෙන ඇත. කැටයම්කරණයටද බොහෝදෙනා අද වන විට පිවිස තිබෙන්නේ මෙය ස්වයං රැකියාවක් ලෙස සිදුකළ හැකි බැවින් යැයි චමුදු පවසයි. බොහෝ ආධුනික ශිල්පීන් තමාගෙන් උපදෙස් ලබාගන්නා බවද, ඔවුන්ට තමා දන්නා සියලු දේ නොපැකිළිව කියා දෙන බවද චමුදු පවසයි.
දේශීය කර්මාන්තයක් ලෙස පොදුවේ කැටයම් කලාව නඟාසිටුවීමට සහ ග්‍රාමීය කැටයම්කරුවන්ට අතහිත දී ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට රජයටද හැකියාවක් ඇත්නම් එය ඉතා වටිනා බව මෙම තරුණ කලාකරුවාගේ අදහසයි. කැටයම් කලාවට බොහෝ දෙනා නැඹුරුවීම තුළින්
ලංකාව තුළද ඒ සඳහා හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීමට හැකියාව පවතින බවද ඔහු පවසයි. නිර්මාණශීලීත්වය, උත්සාහය සහ ආශාව තමා සතුව තිබේ නම් කැටයම්කරණය ඉගෙන ගැනීම සහ එහි නියැළීම ඉතා පහසු බව චමුදුගේ අදහසයි.