පෙබරවාරි පිළිබඳ දුර්මතය හා ලෙඩා වෛද්‍යවරයා වන්න හැදීම


ලොව පුරා භාවිතයට ගැනෙන ක්‍රි.ව. දිනදර්ශනය මෑතකාලීනව නිර්මාණය වී ඇති එකකි. ජූලියස් සීසර් රෝම අධිරාජ්‍යයාගේ නියමයෙන් සොසිජනස් නමැති තාරකා විද්‍යාඥයා විසින් මෙම දිනදර්ශනය සකසන ලදී. නමුත් එහි වූ යම් යම් අඩුපාඩු නිසා භාවිතයේදී ගැටලු මතුවිය. මාස සති දිනවල පරස්පරතා තිබුණි. පසුව ග්‍රෙගරි පොප් නමැත්තා විසින් එය සංශෝධනය කර වර්තමානයේ අප භාවිත කරන දිනදර්ශනය බවට පත් කළේය. එය අපට බටහිරින් ආ තවත් හෙනයකි.

මෙරට කිසිදු රටකට නොදෙවෙනි වූ අපටම ආවේණික උසස් සංස්කෘතියක් හිමිව තිබූ බව පොතපත පරිශීලනයේදී දක්නට ලැබේ. අවාසනාව නම් සංකර හැමදෙයම කරපින්නා ගැනීම තුළ සංස්කෘතියේ ගුණාංගද සංකර වන්නට වීමය.

වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, වෙද මහතා, ජ්‍යෝතිෂවේදී මහතා සමග රොද බැඳුණු සුන්දර ගම දැන් නැත. ජ්‍යෝතිෂයට ආගමක් නැත. පුරාණ ඉසිවරුන් මනසින් දැක බලා ගොඩනගා ඵල ලබාගත් උතුම් ශාස්ත්‍රය ආරම්භ වූ දිනයක් නිශ්චිතව කිව නොහැක. බොරුවට ආයුෂ නැත කී පරිදිම ජ්‍යෝතිෂයේ සත්‍ය බව නිසාම අදටද නොනැසී පවතී. එක් එක් ජනවර්ග මෙය භාවිතයේදී තම ආගම හා සම්බන්ධ කරගනී. එවන් වූ ශාස්ත්‍රයට ආ එක් හෙනයක් ලෙස පෙබරවාරි මාසයේ දින අඩු බව කියන දුර්මතය දැක්විය හැක. ඉහතින් සඳහන් කළ ක්‍රි.ව. දිනදර්ශනය ජ්‍යෝතිෂයට අදාළ නැත. චන්ද්‍ර මාස, සූර්ය මාස පදනම් කරගනිමින් මෙය ගොඩනැගී ඇත. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙන අප්‍රේල් 13 හෝ 14 සිට මේෂ රවි ලෙස වසර ඇරඹී වෘෂභ රවි, මිථුන රවි ආදී ලෙස මීන රවි දක්වා මාස දොළොස පවතී. එය දින 29ක් පමණ වේ. දෙසැම්බර් මැද සිට ජනවාරි මැද දක්වා අතර කාලයේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව දුරුතු මස ඇරඹි පසළොස්වක අමාවක සහිතව පුර අව ලෙස දින 29ක් පමණ චන්ද්‍ර මාස ක්‍රමය පවතී. එය දුරුතු, නවම්, මැදින් ලෙස මාස 12 නම් කෙරේ. කෝණ මාස හතරෙන් එක් කෝණයක් වන ධනු රවිය නමැති මාසය දෙසැම්බර් 13, 14 පමණ ලබා ජනවාරි 13, 14 පමණ තෙක් පවතී. නැවත මාර්තු 14 පමණ සිට අප්‍රේල් 12, 13, 14 පමණ තෙක් මීන රවි කෝණ මාසය පවතී. ඒ අනුව පෙබරවාරි යනු කෝණ මාසයට පවා හසු නොවුණු යෝග බල සහිත සුබ නැකැත් යෙදෙන වැදගත් කටයුතු ඉටුකිරීමට සුබ වන මාසයකි. තවද මෙය උත්තරායනය හෙවත් සෞම්‍ය අයනයට අයත් නවම් මාසයේ හා මැදින් මාසයේ කොටස බැගින් හිමි වන සුබ කාලයකි. පදනමක් නැති පුහු මත නිසා බොහෝදෙනා පෙබරවාරි මාසයේ සුබ කටයුතු කරන්නට බිය වේ. එය බොරු කටකතාවක් පමණි. බටහිර කැලැන්ඩරය මතම යැපෙන අය බටහිර අදහස මතුකර පෙන්වන්නක් මිස එය ජ්‍යොතිෂය නොවේ.

එනිසා මෙවැනි හුඹස් බියෙන් මිදිය යුතුයි. විවාහයට, නිවාස ඉදිකරන්නට, අකුරු කියවීමට, ව්‍යාපාර ඇරඹීමට ආදී සුබ කටයුතු සඳහා 2021 පෙබරවාරි මාසයේදී සුබ දින යෙදී ඇත. පෙබරවාරි 04, පෙබරවාරි 18, පෙබරවාරි 22, පෙබරවාරි 24/25 වැනි දිනවල සුබ කටයුතු සඳහා සුබ නැකැත් යෙදේ.

ජ්‍යොතිෂවේදීන් නැකැත් සෑදීමේදී මෙම කරුණ නිසා අපහසුතාවයට පත්වේ. මන්ද පෙබරවාරි කියූ විගස සේවාදායකයාගේ මුහුණ වෙනස් වේ. එනිසා පෙබරවාරි යනු තවත් එක් මාසයක් බවත්, අඩු මාස කියා දෙයක් නැති බවත් අවබෝධ වන්නට ඇතැයි සිතමි.

ඊළඟ කාරණාව ලෙස දිනයට ඇති බිය සඳහන් කළ හැක. ගුරු හෝරාව, සිකුරු හෝරාව, බුධ හෝරාව සඳු හෝරාව ලෙස නැකැත් සෑදීමේදී සුබ හෝරා ගන්නා සේම ගුරුට අයත් බ්‍රහස්පති දිනය, සිකුරුට අයත් සිකුරාදා දිනය, සඳුට අයත් සඳුදා දිනය හා බුධට අයත් බදාදා දිනය සුබ වැඩ සඳහා යොදා ගනී. රවි දිනයේ ඵලය මධ්‍යමයි. ශනි දිනය අසුබයි.

නමුත් සමහරුන් බදාදා වැඩක් පටන් ගත්තොත් බදාගත්තා වගේ වැඩ කෙරෙන්නේ නැතැයි කියති. සඳුදා දිනයටත් මොකක්දෝ බියක් දක්වති. මේවා පුහු මතය. සඳුදා, බදාදා සුබ වැඩ කරන්න බිය නොවන්න. බදාදා, සඳුදා අසුබ බව ලියැවුණු පොතක්පතක් වත් නැත. තවද සඳුදා දිනට අධිපති සඳු ග්‍රහයාට හිමි සඳු හෝරාව ඕනෑම සුබ වැඩකට යොදා ගැනේ.

විවාහ නැකැත් සෑදීමේදී දෙදෙනාට සුබ වන දිනය සොයා දෙන්නේ ජ්‍යෝතිෂවේදියා විසිනි. ඔහු කරන්නේ ශාස්ත්‍රානුකූලව කරුණු කාරණා බොහොමයක් සොයා බලාය. වර්තමානයේ නැකැතට වඩා හෝටලයේ ප්‍රශ්නය කරපින්නාගෙන ඇත. පංචා්‍ය ශුද්ධිය සහිත විවාහ උත්සවයට ඉතා සුබ දින බොහෝ අය මගහැර ගනී. %එදාට අපට හෝල් එකක් නැහැ. අහවල් දිනයේ නම් පුළුවන කියා හෝටලයෙන් කිව්වා^ කියන අයත් සිටිති. ඡායාරූප ගැනීමේ ප්‍රශ්නයද එසේය. රාහු කාලයේ හෝ නිවසින් පිටවී ෆොටෝ ගහගන්න බලයි. එනිසා ඔබ ඔබගේ ජීවිතයේ වැදගත් කටයුතු කරන විට නිවැරදිව සිතා බලා කටයුතු කිරීමට උත්සාහ කරන්න.

මෑතකාලීනව සමහරක් උදවිය අනාවැකි කියන්න ගොස් වැරදීම තුළ ජ්‍යෝතිෂයට පහර ගසයි. ජ්‍යෝතිෂය යනු වැරදි අනාවැකි කියූ පුද්ගලයන් හෝ මා නොවේ. අප මෙය ඉගෙන ගෙන සේවයක් කරන්නට හදන පිරිසකි. යමෙක් අතින් වැරැද්දක් වූ පමණින් එය ජ්‍යෝතිෂයේ වරදක් නොවන බව සිතට ගත යුතුය. පෘථග්ජන අප කා අතිනුත් වැරදි සිදුවේ. එය ස්වාභාවිකය. වැදගත් වන්නේ එකම වරද දෙවරක් නොකිරීමට වගබලා ගැනීමයි. නිවැරදි වීමයි. වෛද්‍යවරයා දකුණු අත වෙනුවට වම් අත කපන අවස්ථා අප අසා ඇත. හෙදිය බෙහෙත වරද්දවා විදියි. නමුත් එය වෛද්‍ය වෘත්තියේ වරදක් නොව, කරන කෙනාගේ වරදක් බව තේරුම් ගත යුතුය. කුණාටු පැමිණේ. කාලගුණ අනාවැකි ඉතා තදබලය. ජනතාව බොහෝ කලබල වේ. නමුත් බලාපොරොත්තු වූ හානි වලින් 10෴ක් වත් සිදුනොවන අවස්ථාද ඇත. එය විද්‍යාවේ වරදක් නොවේ. භාවිත කරන උපකරණවල දෝෂ විය හැක. නමුත් එම අනාවැකිය ජ්‍යෝතිෂවේදියෙක් නිසා වැරදුණහොත් සමස්ත ශාස්ත්‍රයටම පහර දෙයි.

එනිසා මෙවැනි වූ කරුණු පිළිබඳ බුද්ධියෙන් විමසා බැලිය යුතුයි. තවත් පිරිසක් ජ්‍යෝතිෂයට අකමැති වන්නේ කේන්දර බලන්න ගියොත් තමාගේ අඩුපාඩු වැරදි දැනගනීවි යැයි බියෙනි. ඔවුන් කරන්නේ තමන් අකමැති දේට පන්න පන්නා පහර ගැසීමයි. හේතුව දන්නේ ඔහු පමණි. මේ සියල්ල අතරේ ඉතාම ඕනෑකමින් අවබෝධයෙන් ජ්‍යෝතිෂය ප්‍රයෝජනයට ගෙන තම ජීවිතය යහපත් කරගන්නා බුද්ධිමත් පිරිසක් සිටී.

සෑම ආගමකම ජ්‍යෝතිෂ සිද්ධාන්ත ගැබ්ව ඇත. පර්යේෂණාත්මකව සොයා බැලුවහොත් දැනගත හැක. එක් ආගමක දිනපතා කීප වතාවක් ආගම කියනු අපට පෙනේ. එම අවස්ථා ජ්‍යොතිෂයේ සඳහන් ප්‍රබල සුබ මුහුර්ථ යෙදෙන කාලයක් බව පෙනේ. උදෑසන බ්‍රහ්ම මුහුර්ථය, දහවල් අභිජිත් මුහුර්ථය, සවස ගෝඩලී මුහුර්ථය යෙදෙන අවස්ථා සුබ වැඩවලට යොදා ගනී. එම ආගම් කීමේ වන්දනාව සිදුවන විට මෙම සුබ මුහුර්ථ පවතී. දැන හෝ නොදැන එම අවස්ථාවේ කරන කටයුතු වලින් යහපත් ඵල ලැබේ. ඔවුන්ගේ ලෞකික ජීවිතයේ දියුණුව ඇතිවීමට ඉවහල් විය හැක. එය යහපත් ක්‍රියාවක් බව පෙනේ.

මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේගේ එක් දේශනාවක මෙසේ සටහන් වේ.

දිනක් සරමක් බැනියමක් ඇඳ සෙරෙප්පු කුට්ටමක් දාගත් මහතෙකු උන්වහන්සේ හමුවට විත් ජන්මපත්‍රය දී පලාපල විමසා ඇත. ඔහු විසින් රැකියාව පිළිබඳ විමසූ කල්හී නාහිමියන් පවසා ඇත්තේ ඔහු රියැදුරකු බවය. ඔහු අවඥාවෙන් සිනහ වී ඇත. වැඩිදුරටත් නාහිමියන් පවසා ඇත්තේ ඔබ වාහන පදවන්නේ බිම නොවන බවය. අහසේ වාහන පදවන බවය. එවිට ඔහු සන්සුන් වී කරුණු අසා දැනගෙන ඇත. ජ්‍යෝතිෂය පරීක්ෂා කිරීමට එසේ පැමිණ ඇත්තේ ගුවන් නියමුවකු බව සඳහන්ය. ඉන් ඔහුගේ පුහු අදහස් බිඳීගොස් ඇත. නිවසට ගොස් ඔහුගේ භාර්යාවටද මෙය පවසා ඇත. ඇයටද මෙහි සත්‍ය දැනගැනීමට අවශ්‍ය වී ඇත. ඒ අනුව ඇයද පැමිණ පලාපල විමසා ඇත. ඔබ වේටර් කෙනෙක් සේ කටයුතු කරන බව නාහිමියන් පවසා ඇත. එයට එකඟ නොවී ඈ තවත් කරුණු විමසා ඇත. ඔබ වේටර් කෙනෙක් සේවය කරන්නේ භූමියේ පිහිටි හෝටලයක නොව අහසේ බව පවසා ඇත. එයද සත්‍යයක් වී ඇත. ඇය ගුවන්යානා සේවිකාවකි.

මෙරට විසූ අති දක්ෂ ජ්‍යෝතීර්වේදියකු වූ ශ්‍රී රාහුල හිමියන් සංදේශ කාව්‍යකරණයේදී ජ්‍යෝතිෂය මනා ලෙස යොදාගෙන ඇත. සැළලිහිණි සංදේශයේ සැළලිහිණියාට ගමන පිටත් වීමට පවසන්නේ ඉතා සුබ නැකැතකිනි. පහත කවියෙන් එය මනාව පෙන්නුම් කරයි. මෙම කවියට අනුව කටක ලග්නය උදාව ලග්නයේ ගුරු බලවත්ව සිටින කල, සඳු මේෂ රාශියේ දසවැන්නේ සිටිනා, අස්විද නැකැත යෙදුන සුබ මුහුර්ථයෙන් සැළලිහිණියාට තම ගමන පිටත්වන්නට යැයි කියයි.

උදේ සැපත් සුර ගුරු අලුකර අවට

සදේ මුදුන්පත අස්විද නැකැත සිට

නදේ සිතින් තම කුල දෙවියො සිහිකොට

යෙදේ සුබ ගමන් මිතුර මෙපුරෙන් තොපට

පරෙවි සංදේශයේදී පරෙවියාට තම ගමන පිටත් වන්නට කියන්නේද බලවත් නැකැතකිනි. ඉරිදා දිනයක දියවක තිථිය සහ හත නැකැත පවතින කල්හී, කන්‍යා ලග්නය උදාව පවතිද්දී, බුධ ලග්නගතව සිටියදී, කරණීයමෙත්ත සූත්‍රය සිහිකරමින් ගමන පිටත්වන්න යැයි කියයි.

දිනකර දින හතය සොමිදැරි ළඟ තුරු

පනවර නැමැද තෙරුවන් සිතිනි පිවිතුරු

සිරිබර මෙනුවරින් මනරම් ඉටු මිතුරු

සිහිකර යතුරුකර කරණී මෙත් සුතුරු

මා මෙම කොටස් ගෙනහැර පෑවේ වර්තමානයේ ජ්‍යෝතිෂයට කිසිත් නොදැන කරන ගැරහුම් දකින නිසාය. මෙහි සත්‍ය තේරුම් ගැනීමට නම් ජ්‍යෝතිෂය ඉගෙන ගන්නා මෙන් එම පිරිසට පවසා සිටිමි. ශාස්ත්‍රය හදාරන්නේ නොමැතිව කරන විවේචන ඵල රහිතය. මන්ද ඔවුන් එය දන්නේ නැති බැවිනි.

ඔබ සැමට යහපතක්ම වේවා.



Recommended Articles