පුළුල්ව සිතා ඡන්දය දෙමු!


පසුගිය සිකුරාදා සැබැවින්ම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඓතිහාසික දිනයක් විය. ඒ හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව මත තවත් පාර්ශ්වයක් විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණය විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

එක්සත් ජාතික පක්ෂයට මෙන්ම වත්මන් අදූරදර්ශී පාලනයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ශක්තිමත්ම අපේක්ෂකයා වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එම අභියෝගයට මුහුණදීමට ශක්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය තේරුම්ගැනීම හේතුවෙන් ඔවුන් හැකි තරම් උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා ගොනු කරමින්  ඔහු ජනාධිපතිවරණ සටනින් ඉවත් කිරීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමටයි.

කෙසේ වෙතත් ඒ හැම ක්‍රියාමාර්ගයක්ම පරාජයට පත්වීම එක්සත් ජාතික පක්ෂයේ පරාජය තව තවත් තහවුරු කරන්නක් විය. එසේම මෙම ඓතිහාසික තීන්දුවට පසුව ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ මෙන්ම අවප්‍රමාණය වූ රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය. එය ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවන් යහපත් දර්ශකයක් වෙයි. නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අප ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණයට පත්වීමෙන් අනතුරුව අප කෙරෙහි ආයෝජකයන් ඇතුළු විවිධ පාර්ශ්ව දක්වන විශ්වාසය මත කොටස් වෙළෙඳ පොළ මෙන්ම රුපියල තවදුරටත් ශක්තිමත් වෙනු ඇතැයි සඳහන් කළ හැකිය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී අවුරුදු 05කට ආසන්න කාලයක් ගත වුවද රට වෙනුවෙන්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යමක් කිරීමට ඔවුහු අපොහොසත් වූහ. මෙම කාලසීමාවම ඔවුන් සිදුකළේ රාජපක්ෂවරුන්ගෙන් මෙන්ම රාජපක්ෂවරුන්ට සහාය දැක්වූවන්ගෙන් පළිගැනීමට කටයුතු කිරීම පමණි. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙන්ම හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා සිදුකළ ප්‍රකාශ ඒ සඳහා හොඳම උදාහරණ වෙයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේද ආණ්ඩුවට බොරු පොරොන්දු දීමෙන් වන අතර, පාලනය ගෙන ගියේද ජනතාවට බොරු පොරොන්දු ලබාදෙමිනි. එතැනින් නොනැවතී අයෝජන සම්බන්ධයෙන්ද බොරු ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යැමීවට කටයුතු රජය ජනතාවට දුන් දේවල් අතර ප්‍රධාන වන්නේ ඉහළ යන ජීවන වියදම, ඉහළ බදු, ඉහළ විරැකියා අනුපාතය සහ බිඳ වැටුණු ආර්ථිකය යනාදියයි. 

යුද්ධයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවැරදි නායකත්වය යටතේ නිදහසින් පසුව ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගමන් කරමින් තිබුණු අතර, 2009 වසරේ යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව 2015 වසරේ ජනවාරි 08 වැනිදා දක්වා රටක් ලෙස අප අත්කරගෙන තිබූ සියල්ලම පසුගිය අවුරුදු 05ක කාලය තුළ අහිමි වී ගියේය.  

මෙසේ අහිමි වී ගිය ශ්‍රී ලංකාවේ සංවර්ධනය නැවතත් යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අප විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ අපගේ ප්‍රතිවිරුද්ධ බලවේගය හැකි තරම් ගෝඨාභය රාජපක්ෂ මහතා සටනින් ඉවත් කිරීමට විවිධ උපක්‍රම භාවිත කළේය. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලක පක්ෂයක් සිදුකරන මෙම ක්‍රියාමාර්ගය බරපතළ තත්ත්වයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එසේම එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් බාධා ඇති කරන්නක්ද වෙයි.  එක්සත් ජාතික පක්ෂය පුන පුනා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පවත්වාගෙන යන බවට සහතික වුවද, එයද ඔවුන්ගේ පසුගිය වැඩපිළිවෙළ සේම ප්‍රෝඩාකාරී ප්‍රකාශයක් වන්නේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරගැනීමද අවසන් වී ඇති හෙයින් සජිත් ප්‍රේමදාස මහතාත්, ඔහු වටා සිටින පාර්ශ්වත් සිය අනාරක්‍ෂිත තත්ත්වයන් පිළිබඳ වන බිය පසෙක දමා තම ප්‍රතිපත්ති හා න්‍යායපත්‍ර අනුව කටයුතු කළ යුතු වෙයි. එක්සත් ජාතික පක්ෂ පාලන කාලය වූ පසුගිය වසර හතරහමාරක කාලය තුළ ඔවුන්ට ගැටලු සඳහා විසඳුම් ලබාදීමට නොහැකි වූ වාතාවරණයක් තුළ සජිත් ප්‍රේමදාස මහතාගෙන් අනාගතයේදී බලාපොරොත්තු විය හැක්කේද එවැන්නකි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් ආණ්ඩුව අසමත් වීමේ වගකීමෙන් සජිත් ප්‍රේමදාස මහතාට ගැලවිය නොහැක.

‘නව ශ්‍රී ලංකාවක්’ යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ තේමා පාඨය යොදාගත්තද සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් තිබුණා නම් වසර පහක් තුළ නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අවස්ථාව තිබුණි.

 එළඹෙන ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට අවස්ථාව උදාකර දී තිබේ. මෙහිදී ජනතාව අවධානය යොමුකළ යුතු වන්නේ ශ්‍රී ලංකේය සමස්ත ජාතිය වෙනුවෙන් සේවය කරන, විදේශ ආයෝජන ආකර්ෂණය කරගත හැකි, ආර්ථිකය ශක්තිමත් කරන, ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගිය හැකි, අනවශ්‍ය බදු අහෝසි කළ හැකි නායකයෙකු පත්කර ගැනීමටය. ඒ හරහා ගැටලු රාශියකට විසඳුම් ලැබෙනු ඇත.

‘%ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ ලෙස නම් කළ ශ්‍රී ලංකාව නැවතත් ඒ තත්ත්වයට ඔසවා තැබීමට දැන් කාලය පැමිණ තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය තුළ යුද්ධය නිමා කරමින් පෙර නොවූ විරූ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් ඒ සඳහා අවශ්‍ය අඩිතාලම දැමීය. වසර පහක පමණ කාලයක් එය ආපස්සට ගියේය. නමුත් නොවැම්බර් 16 වැනිදා පත්වන අපගේ ජනාධිපතිවරයා හරහා එය සිදු කිරීමට අවස්ථාව තිබේ. නැවතත් ශ්‍රී ලංකාව යනු කවුදැයි ලොවට පෙන්විය යුතුය. ඒ සඳහා එළඹෙන ජනපතිවරණයේදි පුළුල්ව සිතා බලා ඡන්දය ප්‍රකාශ කළ යුතු වෙයි.

ලබන සතියේදී යළිත් හමුවෙමු!
සුබ අනාගතයක්!



Recommended Articles