මේ වන විට දිනෙන් දින රෝගීන් අඩු වීම සිදුව ඇත්තේ සිදුකරන පීසීආර් පර්යේෂණ ක්‍රම ක්‍රමයෙන් අඩු කර ඇති නිසා බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. මාර්තු මාසයේදීද මෙම ක්‍රියාවලියම සිදුවූ බවත්, මේ වන විට සිදුවන්නේද එයම බවත් ඔවුන් පෙන්වා දෙයි. ඔවුන්ගේ මෙම චෝදනාව පසුපස තිබෙන කතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතාව සම්බන්ධ කර ගතිමු.
පීසීආර් පරීක්ෂණ අඩු කර ඇති බව ඔබලා චෝදනා කරනවා.
මාර්තු අග සහ අප්‍රේල් මුල සතිවලදී ලංකාවේ රෝගීන් දිගින් දිගටම අඩුවෙන ස්වභාවයක් පේන්න තිබෙනවා කියලා අපි කිව්වා. එතකොට රටක් විදිහට තීරණ ගත්තා ඒ විදිහට රෝගීන් අඩු වෙන්නේ වසංගතය පාලනය වෙලා කියලා. අපි ඒ වෙලාවේදී බොහොම පැහැදිලිව පෙන්වූවා රෝගීන් අඩුවෙන වින්‍යාසය පීසීආර් පරීක්ෂණ කරන වින්‍යාසයට සමානයි කියලා. අපි මාර්තුවලදී ඒක කියනකොට අලුත් අවුරුද්දෙන් පස්සේ එය සත්‍ය වුණා. දැනුත් ඒ ගාණටම පීසීආර් පර්යේෂණ අඩුවෙලා තිබෙනවා. අපි අප්‍රේල් මාසයේ අග වන විට දවසකට පීසීආර් 26,000කට ආසන්න ප්‍රමාණයක් කළා. දැන් වෙනකොට අපි 5000 – 7000ක සාමාන්‍යයකට ගිහිල්ලා තියෙනවා.
පීසීආර් පර්යේෂණ අඩුවෙලා තියෙන්නේ කොයි කාලේ ඉඳලා වගේද?
මේක ක්‍රමානුකූලව සිදුවුණු දෙයක්. මාර්තු මාසයේ අඩු කළා. ඊට පස්සේ අප්‍රේල් මාසය වන විට දිනකට පරීක්ෂණ ප්‍රමාණය තුන්දාහ දක්වා අඩු කළා. මාස එකහමාරක් විතර අපි මේ ගැන මාධ්‍යයෙන් එකදිගට කියලා කියලා ඊට පස්සේ අපිට පුළුවන් වුණා අප්‍රේල් අවුරුද්දෙන් පස්සෙ සතියේදී දිනකට විසිපන්දාහට ගේන්න. නමුත් ඒකත් ප්‍රමාණවත් ධාරිතාවක් නෙවෙයි. ඊට පස්සේ නැවතත් මේ සංචරණ සීමා කාලය ඉවර කරන්න සුමානයකට පමණ කලින් ඉඳලා මේක ක්‍රමානුකූලව අඩු කරගෙන යන්න කටයුතු කරලා තිබෙනවා. අපිට එහි පැහැදිලි සම්බන්ධතාවයක් පේනවා. සංචරණ සීමා ඉවත් කිරීම සඳහා මේ පර්යේෂණ අඩු කරලා තිබෙනවාද කියන සැකය අපට මතුවෙනවා. මෙතන සිදුවන එකම දේ තමයි රටේ ආන්දෝලනයක් වුණු ගමන්, ජනාධිපතිතුමා කෑ ගහනකොට පීසීආර් පර්යේෂණ වැඩි කරනවා. ඊට පස්සේ ආයෙ අඩු කරනවා. මේක සැලසුමකට වඩා අත්හැර දැමීම නිසා සිදුවුණු දෙයක්.
ව්‍යාජ රෝග පාලනයක් ජනතාවට මවා පානවා කියලද ඔබ කියන්නේ?
රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියනවා එයා ආවට පස්සේ රසායනාගාරවල අතිරික්ත පීසීආර් පරීක්ෂණ දැන් එකක්වත් නැහැ කියලා. මේ ප්‍රශ්නය තේරුම් කර ගන්නේම වැරදි විදිහට. ඇත්තටම අතිරික්ත පීසීආර් පරීක්ෂණ නැත්තේ රසයනාගාරවල ධාරිතාවට සරිලන නිදර්ශක ප්‍රමාණයක් එන්නෙ නැති නිසා. එතකොට රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා උදම් අනන්න ඕනේ අතිරික්ත පීසීආර් පරීක්ෂණ නැති කළා කියලා නෙවෙයි, කොපමණ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණයක් කළාද කියලයි. දැන් සෞඛ්‍ය බලධාරීන් මේ විදිහට තමයි බොහෝ දේවල් අර්ථකථනය කර ගන්නේ. මේක ඔහු ඔහුගේ දක්ෂතාවයක් ලෙස පෙන්වුවත් මේ ඔහුගේ අදක්ෂතාවයයි. මේ අදක්ෂතාවයේ ප්‍රතිඵල එන්නේ තව සති හතරකින් විතර.
රජයේ රසායනාගාරවල හරියට සැලසුම් කළොත් දිනකට පීසීආර් පරීක්ෂණ 25,000ක් කළ හැකියි. පෞද්ගලික රසායනාගාරවල ධාරිතාව ගත්තොත් දිනකට 45,000ක් පමණ කළ හැකියි. වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි ආයතනවලට තවම බැරි වෙලා තියෙනවා පැය විසිහතරක් දුවන තත්ත්වයට පත් කරන්න. ඒකට ප්‍රධාන හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන ගතානුගතික තීරණ සහ පුද්ගලයන්. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාර තුනක් තිබෙනවා. ඒ තුනම එකතුවෙලා අද වෙනකොට 1000ක වැනි පරීක්ෂණ ප්‍රමාණයක් තමයි කරන්නේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළේ තිබෙන රසායනාගාරයේ සිදුවෙනවා. ඔවුන් දවසට 3000ක් පමණ කරනවා. ලංකාවේ ඉන්න වෛරසවේදීන් දහදෙනාගෙන් පස්දෙනෙක්ම ඉන්නේ MRI එකේ. ඒ ඉඳලත් MRI පැය විසිහතරක් දුවවන්න බැහැ. ඒ වගේම එකම එක ජාන අනුක විශ්ලේෂණයක්වත් කරන්න බැරි වෙලා තිබෙනවා. මේ වෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණවලට නිදර්ශක ගැනීම සීමා කර තිබෙනවා. අද වෙනකොට මාසයකට ආසන්න කාලයක ඉඳලා රෝහල්වල වාට්ටුවල පීසීආර් නිදර්ශක ගන්නෙ නැහැ. එක පැත්තකින් හදිසි ප්‍රතිකාරයක් අවශ්‍ය කෙනෙක්, හදිසි ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය කෙනෙක් පීසීආර් පරීක්ෂණයක් නොකර රෝහලකට ඇතුල් කර ගන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඔහුට පීසීආර් පරීක්ෂණ කරන්නේ නැහැ. එතකොට අපහසුතාවයට පත්වෙන්නේ ඒ රෝගියායි. මේ දෙකම නිසා වසංගතයට වඩා බරපතළ ප්‍රශ්නයකට ඔවුන් මුහුණ දීලා තිබෙනවා.
ස්ථානීය පීසීආර් යන්ත්‍ර සහ ජංගම රසායනාගාර සඳහා කළ ඉල්ලීම්වලට කුමක්ද සිදුවූයේ?
අපි ස්ථානීය පීසිආර් පර්යේෂණ යන්ත්‍ර දෙන්න කියලා ඉල්ලුවා. පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුව මිය ගිය පුද්ගලයාගේ මිනිය ගෙදරට ගේන්න දුක් විඳින්න ඕන නැහැ. ස්ථානීය පීසීආර් යන්ත්‍රයකින් පුළුවන් විනාඩි 32කින් ඒ පරීක්ෂණය දෙන්න. මේ ඉල්ලීම් ඉටු නොවුණාම අපි ලංකාවේ ඉන්න ධනපතීන්ට ලිව්වා. ඔවුන්ගේ අනුග්‍රහයෙන් ලංකාව පුරාම දැන් ස්ථානීය පීසීආර් පරීක්ෂණ යන්ත්‍ර වැඩ කරනවා. ඒ නිසා තමයි අද ඒ ප්‍රශ්නයෙන් රට බේරිලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර ආයතනවලට කිව්වාම ඔවුන් එකඟ වුණා තවත් ස්ථානීය පීසීආර් පර්යේෂණ යන්ත්‍ර අරන් දෙන්න. හැබැයි ඒ ආධාර ලබාදීලා මාස දෙකක් වුණත් තවම සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වුණා සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අවසන් කරලා මේක දෙන්න. ඒ වෙනුවට එයාලා කරන්නේ මේක තවත් සංකීර්ණ කරගෙන අලුතෙන් බලලා ඉන්ටර්නෙට් එකේ තිබෙන යන්ත්‍රත් ගේන්න. ජාත්‍යන්තරයෙන් මුදලුත් දීලා අමාත්‍යාංශයට බැහැ ඒ යන්ත්‍ර ලබාදෙන්න. මේ ප්‍රමාද වීම නිසා රෝගය සිව් ගුණයකින් වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම ජංගම රසායනාගාර දහයක් ඉල්ලුවාම ඒක දුන්නෙ නැහැ. දැන් නොමිලේ ජංගම රසායනාගාර පහක් දෙන්න ජාත්‍යන්තර ආයතන කිහිපයක්ම එකඟ වෙලා තිබෙනවා. ඒ ජංගම රසායනාගාර අරගෙන මොකද කරන්නේ, කොහොමද කරන්නේ කියන යෝජනාවලියම සකසා දුන්නේ රසයානාගාර සේවා වෘත්තීයවේදී ආයතනය. ජංගම රසායනාගාර දෙන්න කියලා ජාත්‍යන්තර ආයතනවලට ලිව්වෙත් අපි. හැබැයි දෙනවා කිව්වාම ඒවා සාකච්ඡා කරන්න අපිට කතා කරන්නේ නැහැ. මෙවැනි ක්‍රියාවලි හරහා තමයි මේ පර්යේෂණ ක්‍රියාවලි ධාරිතාව බිඳවට්ටලා තියෙන්නේ.
ආශ්‍රිතයන්ට පීසීආර් නැතිව ඇන්ටිජන් පරීක්ෂණ කිරීම පිළිබඳ රාවයක් පැතිරෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ඇන්ටිජන් පරීක්ෂණ පිළිබඳ අදහසක් නැති අය තමයි එවැනි මාර්ගෝපදේශන සකස් කරන්නේ. ඇන්ටිජන් එකක් නෙගෙටිව් නම් අනිවාර්යෙන් එය පීසීආර් එකකින් නැවත තහවුරු කරගත යුතුයි. ඇන්ටිජන් එකක් නෙගෙටිව් වෙන අයෙක් ආසාදිතයෙක් නොවෙයි කියලා හිතන එකම වැරදියි. ඒ අයට පීසීආර් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැතිනම් ඒ අයට ක්‍රමවේදයක් අපි පැහැදිලිවම යෝජනා කරලා තිබෙනවා. උදාහරණයක් විදිහට ස්ථානීය පීසීආර් පරීක්ෂණ. ස්ථානීය පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක් තිබෙනවා නම් ඇන්ටිජන් නෙගටිව් වාර්තා පූල් ක්‍රමවේදයකට ගන්න පුළුවන්. එහෙම ක්‍රම තියෙද්දි තමන්ගේ නොහැකියාව වසාගැනීමට මාර්ගෝපදේශන සකස් කරනවා.
මේ තත්ත්වය මත රට හුදෙකලා කිරීමක් කළයුතු බවට ඔබ විශ්වාස කරනවාද?
රට ලොක්ඩවුන් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නත් අපිට පර්යේෂණ කරන්න වෙනවා. අපි පහුගිය කාලේ සංචරණ සීමා පැනෙව්වානේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාටවත් පුළුවන්ද මේක මනින්න. වසංගත රෝග විද්‍යාවේ තිබෙනවා මැනීමේ ක්‍රම. සංචරණ සීමා දාපු නිසා රටේ මෙච්චර ප්‍රමාණයක් රෝගීන් අඩු වුණා, මෙච්චර මරණ ප්‍රමාණයක් අඩු වුණා කියලා කියන්න අපිට බැහැ. මොකද සංචරණ සීමා කාලයෙන් අනතුරුව කරන වැඩපිළිවෙළක් නැහැ. ඒක බොහෝවිට කියන්න පුළුවන් අහඹු පරීක්ෂණවලින්. ලොක්ඩවුන් කරනවා නම් ඊට පසු රෝගීන් අඩු කිරීමේ ක්‍රියාවලියකට යන්න ඕනේ. ලොක්ඩවුන් කරලා මිනිස්සු ටික ගෙදරට කරලා තිබ්බා කියලා ලොකු අර්ථයක් වෙන්නේ නැහැ.