සමාජයේ පිළිගැනිල්ලක් ලබාගැනීමට කවුරුත් කැමතිය. සමාජය කොයි ආකාරයකින් හෝ තමා ඉහළින් පිළිගතහොත් එය තමාට ආඩම්බරයක් යැයි සිතන අය ඉන්නවාය. එහෙම පිළිගැනිල්ලක් ලැබිල්ලෙන් තමන්ගේ ආත්ම ධෛර්යය ඉහළ යනවා යැයි පිළිගන්නා අය එමටය. උසස් පිළිගැනිල්ලක් ලද පසු තමාද මහත් ඉහළ මට්ටමේ අයෙකැයි සිතන අය ඉන්නවාය.
මේ නිසා එලෙස සමාජයෙන් නැති පිළිගැනිල්ලක් ලබා ගැනිල්ලට බොහෝ දෙනා විවිධ දේවල් කරනවාය. සමහරුන් තමා සමාජ සේවකයෙක් බව ප්‍රසිද්ධ වන්නට නොයෙක් සේවාවල් කරන්නේ මෙහෙම පිළිගැනිල්ල ඇතිකර ගැනීමටය.
තවත් අය පින්දහම් කටයුතුවල යෙදෙන්නේ තමන් දානපතියෙකු ලෙස පිළිගැනිල්ලක් ලබා ගන්නටය. මේ විදිහට තමන්ට ඉහළ පිළිගැනිල්ලක් ඇතිකර ගැනීමට නොයෙක් උපක්‍රම යෙදීමට විශාල මුදල් පවා වැයකරන අයද ඉන්නවාය.
සමහරුන් මෙහෙම පිළිගැනිල්ලක් ඇති කර ගන්නට උත්සහ කරන්නේ තමන්ගේ යටි අරමුණු ඉටුකර ගන්නටය. මෙහෙම පිළිගැනිල්ලක් සමාජය තුළ ඇතිකර ගැනීම ඇතැම් අයට හොඳ ආදායම් මාර්ගයක්ද වෙනවාය. ඕනෑම හොර බොරු වංචාවක් කරන්නට තමාට ඇති මේ සමාජයේ පිළිගැනිල්ල උපයෝගී කරගන්න පුළුවන් වෙනවාය.
අපේ රටේ දේශපාලනය කිරීමටද මෙලෙස සමාජය තුළ උසස් පිළිගැනිල්ලක් ඇතිකර ගැනීම හොඳය. බොහොම දේශපාලුවන් ඡන්දදාසලාගේ කතිරය ලබාගැනීම සඳහා කරන උප්පරවැට්ටියක් වන්නේ ඔවුන් තුළ හොඳ පිළිගැනිල්ලක් ඇතිකර ගැනීමය. එවිට ඒ පිළිගැනිල්ල ගැන වහවැටෙන මෝඩ ඡන්දදාසලා ඔවුන් තමන්ගේ ගැලවුම්කාරයන් යැයි සිතලා නොමග යනවාය. කපටි දේශපාලුවන්ට මේ සමාජ පිළිගැනිල්ල නිසා ඡන්දදාසලා දිනාගන්නට පුළුවන් වෙනවාය.
ඇතැම් අයට රට තුළ තිබෙන පිළිගැනිල්ල නොසෑහෙන විට ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනිල්ලක් ඇතිකර ගැනීමට කටයුතු කරනවාය. එහෙම පිටරටවලද පිළිගැනිල්ලක් ඇතිවූ විට තමන්ගේ ආත්මාර්ථකාමී අපේක්ෂා ඉටුකර ගන්නට ලෙහෙසියෙන් පුළුවන් වෙනවාය. ඇතැම් අයට තමන් උපන් රටේ පිළිගැනිල්ලක් නැති වුණාට වෙනත් රටවල පිළිගැනිල්ල නම් තදේට තියෙනවාය. ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ කියලා කියන්නේ මෙහෙම ලොව පුරා පිළිගැනිල්ලක් ලැබෙන අයටය.
කොහොම වුණත් මේ පිළිගැනිල්ලේ හොඳ පැත්තක්ද තියෙනවාය. කෙනෙකුට හොඳ පිළිගැනිල්ලක් තිබීම ඒ අය දිරිමත් කරවන්නක් වෙනවාය. ඒ පිළිගැනිල්ල උපයෝගී කරගෙන තව තවත් යහපත් දේවල් කරන්නට ඒ අය උනන්දු වෙන්න පුළුවන්ය. කෙනෙක් කරන හොඳ වැඩට නිසි අගය කිරිල්ලක් හා පිළිගැනිල්ලක් තිබීම අවශ්‍යය කියන්නේ ඒ නිසාය.
ඉස්සර අපේ රටේ දේශපාලන නායකයන්ට රට තුළ යහපත් පිළිගැනිල්ලක් තිබුණාය. ඔවුන් තුළ තිබූ හොඳ ගතිගුණ නිසා එම පිළිගැනිල්ල වැඩි වුණාය. ඒ අය රටට, ජාතියට යහපත් වැඩකොටසක් කරන අය ලෙස පිළිගැනිල්ලක් තිබුණාය. එහෙම පිළිගැනිල්ලක් තිබුණු නිසාම ඒ අයට ජනතා මෙහෙවරේ යෙදීමට පහසු වුණාය.
ඒත් අද අපේය කියන බොහෝ නායකයන්ට එහෙම පිළිගැනිල්ලක් නැත්තේය. ඒ හින්දා ඒ අය නැති පිළිගැනිල්ලක් ඇති කිරීමට එවිට උපාය මාර්ග යොදනවාය. පිටරටවලට විවිධ නිල කටයුතුවලට යන අපේ දේශපාලුවන්ට ඒ රටවලදී රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනිලි ලැබෙනවාය.
සමාජයේ පමණක් නොව ගෙවල් තුළද එකිනෙකා කෙරෙහි යහපත් පිළිගැනිල්ලක් තිබිය යුතුය. සැමියා බිරිය අතරද, දෙමාපිය දරුවන් අතරද යහපත් පිළිගැනිල්ලක් නොමැති වන්නේ නම් ඔවුන්ට යහතින් පවුල් කන්නට නොහැකි වෙනවාය. එකිනෙකා එකිනෙකාට විශ්වාසවන්ත පිළිගැනිල්ල තුළින් යහපත් කුටුම්භයක් නිර්මාණය වෙනවාය.
පාසල් දරුවන් තම ගුරුවරුන්ද හොඳට පිළිගන්නට පුරුදුවිය යුතුය. ගුරුවරයා පිළිගෙන ඔහු කෙරෙහි විශ්වාසය ඇතිකර නොගතහොත් හොඳින් අධ්‍යාපන කටයුතු කරන්නට බැරිය. පාසල්වලට එන නවක දරුවන් පිළිගන්නට ජ්‍යෙෂ්ඨ සිසුන් විවිධ ක්‍රියාමාර්ග ගන්නවාය. ලොව දියුණු රටවල නම් හා හා පුරා කියා පාසලට එන නවක දරුවා මල්පොකුරක් දී පිළිගෙන පන්තියට කැඳවාගෙන යනවාය.
විශ්වවිද්‍යාලවලට පැමිණෙන නවක ශිෂ්‍යයන්ද ආචාර සම්පන්නව පිළිගෙන දේශන ශාලාවලට රැගෙන යෑමට ලොව සරසවිවල විවිධ ක්‍රම තිබෙනවාය. එහෙත් අවාසනාවකට මෙන් අපේ රටේ නම් විශ්වවිද්‍යාලවලට එන අලුත් සිසුන් පිළිගන්නේ අමානුෂික ලෙස නවකවදය දීමෙන්ය. මෙහෙම නවකවදයෙන් පිළිගැනිල්ල කොතරම් දරුණු වෙලාද කිවහොත් සමහර සිසුන්ට තම අධ්‍යාපනය අවසන් කිරීමටද එය හේතු වෙනවාය. මනාල යුවළවල් පිළිගැනීමේ ගීත කියලා, වෙඩි පුපුරුවලා පිළිගන්නවාය. සමහර අලුත් ජෝඩු රැග් කරලාද පිළිගන්නට යහළුවන් කටයුතු කරනවාය.
උත්සව සභාවලට එන අමුත්තන් පිළිගන්නේ පිළිගැනීමේ ගීතයක් ගැයීමෙන්ය. මල්මාලා දමා, බුලත් හුරුළු දී පිළිගන්නවාය. ඉදිරියේ වැඳ වැටිලා පිළිගන්නා අවස්ථාද තියෙනවාය. ඉස්සර එක්තරා ඇමැතියෙක් කියලා තිබුණේ අපේ රටට එන සංචාරකයන් ඉඹලා පිළිගන්න ඕනෑ කියලාය. ඒත් අද නම් සංචාරකයන් ඉඹලා පිළිගන්න ගියොත් සිද්ධ වෙන්නේ මොනවද කියලා හිතා ගන්නවත් බැරිය. ඒ කොහොම වුණත් තම හිතවත්කම පෙන්වීමට වැලඳගෙන හාදු දී පිළිගැනිල්ල ලොව බොහෝ දියුණු බටහිර රටවල පුරුද්දක්ය.
අප සිංහල ක්‍රමයට නම් පිළිගන්නේ ඇඟිලි බැඳ ආයුබෝවන් කියලාය. ඒත් එහෙම සිංහල ක්‍රමයට පිළිගැනිල්ල තමන්ට මදි පුංචිකමක් යැයි සිතන අපේ කළු සුද්දෝ අතට අතදී ඉංග්‍රීසි ක්‍රමයට පිළිගන්නට පුරුදුවෙලා තියෙනවාය. ඉස්සර දඹදිව තිබුණු බමුණු සංස්කෘතිය අනුව සමාජයේ පහත් කුලවල අයට කිසිදු පිළිගැනිල්ලක් ලැබී තිබුණේ නැත්තේය. කුලවත් අය කුලහීනයන්ට සිදුකළ වෙනස්කම් සමාජයේ පිළිගැනිල්ලට ලක්ව තිබුණේ නැත්තේය. බුදු රජුන් සුනීත, සෝපාක වැනි සැඩොල් දරුවන්ද ශාසනයට ඇතුළත් කරගෙන ඔවුන්ට ඉහළ පිළිගැනිල්ලක් ලබාදුන් බව ප්‍රකාශ වෙනවාය.