පිළිකා රෝගීන් බහුල වෙන්නේ ඇයි?


රෝගී වීම අප කාටත් පොදු අත්දැකීමකි. නමුත් ඒ රෝගී බව පුද්ගලයෙකුට සහ එම පුද්ගලයා අයත් පවුලට, සමාජයට යම් බලපෑමක් එල්ල කරන්නේ නම් එය කිසිවකුගේ සැනසීමට හේතුවක් නොවනු ඇත. 2008 වසර තුළ රජයේ රෝහල්වලට අලුතින් වාර්තා වුණ පිළිකා රෝගීන් ගණන 19309ක් වූ නමුත්, 2018 වසර වන විට එය 35107 දක්වා වර්ධනය වීම පැහැදිලිවම පිළිකා රෝගීන්ගේ වර්ධනය වීමක් ලෙස පෙනෙන්නට දැනෙන්නට හේතු වන්නකි. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ සමග අද කළ සාකච්ඡාවකි මේ.

පිළිකා සම්බන්ධයෙන් කතා කරන විට මේ රෝගය ශරීරයේ ඕනෑම අවයවයක් මුල්කොටගෙන ඇති වන අසාමාන්‍ය සෛල වර්ධනයක්, වෙනසක් ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකියි. එමෙන්ම මෙයට බලපාන හේතු හැමවිටම එකක් වන්නේ නැතිවා මෙන්ම ඇතැම් ලක්ෂණ පිළිකාවක් නොවන අවස්ථා ලෙසද මතු වන්නට පුළුවන්. එයට උදාහරණයක් පැවසුවහොත් ශරීරයේ ඇති වන සෑම ගැටිත්තක්ම පිළිකාවක ලක්ෂණයක් නොවන බව පැවසිය හැකියි. නමුත් ශරීරයේ කොතැනක හෝ ආගන්තුක වෙනසක් ඇති වුවහොත් එය කුමන අර්බුදයක්ද යන්න නොපමාව පරීක්ෂණයට ලක් කිරීම වැදගත්.

 පිළිකා අතරින් 3/1ක් මනුෂ්‍යයන්ගේ චර්යාවන් හේතුවෙන් ඇති වන නිසා ඒ තුනෙන් එකේ කොටස චර්යාත්මක වෙනස්කම්වලින් වළක්වා ගන්නට පුළුවන්. නමුත් අද බොහෝ විට අවාසනාවන්ත ලෙස මේ තුනෙන් එක කොටස පිළිකා වෙත ළඟා වන්නට මිස එයින් වළකින්නට දරන වෑයම වෙත දුරස්ථ බවක් දක්වනවා. අද බොහෝ දෙනෙකු ආහාර සහ ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් කතා කරන විට වැඩිපුර රසායනික ද්‍රව්‍ය මිශ්‍ර සකස් කළ මාංසමය ආහාර, කෘත්‍රිම රසකාරක හා බෝතල් කළ විවිධ සංයෝග අඩංගු පාන වර්ග මෙන්ම  දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මධ්‍යසාර ආදියට නැඹුරුවක් දක්වන අතර, ස්ථූලතාවයට හා ව්‍යායාම මඳකමට ඉබේම නතු වීම අවසනදී පිළිකා රෝගවලට අතවැනීමක්. එහෙත් ඒ ගැන බොහෝදෙනෙකු එතරම් තැකීමක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. දැන්  මිනිසුන් යම්කිසි ආහාරයක් මිලට ගන්නා විට එහි ඇසිරුමේ සඳහන් කල් ඉකුත්වීමේ දිනය වැනි කාරණා සොයා බැලීමට උනන්දුවක් දක්වතත්, ඒවායේ අඩංගු ද්‍රව්‍ය සඳහන් E අංක ආදිය සම්බන්ධයෙන් දැනුවත් බවක් නොවීම නිසාම පිළිකාකාරක ලෙස ක්‍රියා කළ හැකි වර්ණ සහ රසකාරක පිළිබඳ අවබෝධයන් නොමැතිව ඒ පැකට් කළ ආහාර වර්ග භාවිතයට හුරු වෙලා. නමුත් මෙහිදී වැදගත්ම කරුණ වනුයේ මේවා දිනක් දෙකක් භාවිතයෙන් අදාළ වසකාරක ශරීරයට එකතු වී පිළිකාවක් ඇති වීම නෙවෙයි. කාලාන්තරයක් මේවාට ඇබ්බැහි වුවහොත් එය සිදුවීමට ඉඩ ඇති බවයි. රතු මස් වර්ග සම්බන්ධයෙන්ද ලොව පුරා මේ වන විට ගොඩනැගී ඇති මතය අනුව දැන් දැන් එම මස් වර්ග භාවිතයෙන් බොහෝ පුද්ගලයින් වැළකී ඇති බවක් දකින්නට ලැබෙනවා. දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය පිළිකාකාරක 7000ක් ශරීරයට කැඳවා ගැනීමක්. ඔබ භාවිත කරන ආහාර ද්‍රව්‍යවලින් ඇතුළු නොවන තරම් පිළිකාකාරක ප්‍රමාණයක් එම දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත දුම්වැටි යනාදියෙන් ශරීරයට ඇති වන්නට පුළුවන්. විශේෂයෙන්ම ව්‍යායාම මඳකම මෙන්ම ආහාර සහ චර්යාත්මක විෂමතා පිළිකා රෝගාදියට එක එල්ලේම බලපාන අතර, යම් කිසිවෙකු මෙවැනි භාවිතයන්ගෙන් ඈත් වුවහොත් ඔවුන් වළක්වාගත හැකි පිළිකා අවදානමට අයත් වෙනවා. විශේෂයෙන්ම මේ කරුණ ඔබ මතක තබාගත යුතුමයි. මනුෂ්‍ය ශරීරයේ පිළිකා මර්දනයට තුඩුදෙන ජානයක් ස්වාභාවිකව පිහිටා තිබෙනවා. මේ ජානය නිශ්ක්‍රිය කරන්නට හැකියාවක් දුම්වැටි සහ  දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලට පවතිනවා. කිසිදිනක එවන් නිෂ්පාදනයක් ඔබ භාවිත නොකර ඉන්නට වග බලාගතහොත් එයින් ඔබට පිළිකා අවදානමෙන් මිදීමේ හැකියාවක් ස්වාභාවිකව ලැබෙනවා. ඔබ නොදන්නවා නමුත් දුම්කොළ සහ දුම්වැටි ඔබට ඔබේ සිරුරට එක් දශමයක තරම් හෝ ගුණයක් ප්‍රයෝජනයක් අත් නොකරන අතර, ඔබව පිළිකා අවදානමෙන් ගලවාගත හැකි ස්වාභාවික ආරක්ෂාවද වනසා දමනවා. එයින් සිදුවනුයේ පිළිකා වර්ග පහළොවකට පමණ ඔබව කැඳවීමක්. මේ නිසා චර්යාත්මක වශයෙන් පිළිකාවලට ඇති අවදානම මර්දනය කරගන්නට 1/3ක හැකියාව උදා කරගන්නට ඔබට අමුතුවෙන් මුදලක් වියදම් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හැකිතාක් පිළිකාකාරකවලින් බැහැර ආහාරපාන භාවිතය, එනම් වැඩිපුර ආහාර රසකාරක සහ වර්ණකාරක අඩංගු ආහාරවලින් ඈත්වීම, පලතුරු එළවළු යනාදිය තෝරා ගැනීමේදී එවන් රසායනිකයන් හා ගැවසෙන දෑ  බැහැර කිරීම මෙන්ම ව්‍යායාමවල නිරතවීම, ස්ථූලභාවය පාලනය කිරීම, සීනි සහ මේදය අඩංගු ආහාර භාවිතයෙන් ඈත් වන්නේ නම්  ඔබට ඒ සඳහා අවස්ථාව ලැබෙනවා.  2018දී සලකා බැලුණු දත්ත අනුව රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලැබීම සඳහා අලුතින් ලියාපදිංචි වූ රෝගීන් සංඛ්‍යාව සලකා බැලීමේදී දිනකට රෝගීන් 64ක් වශයෙන් සඳහන් වුණා. එයින් මිය ගිය රෝගීන් සඳහන් වූයේ දිනකට 38ක් වශයෙනුයි. නමුත් පිළිකා හැදුණ හැම රෝගියාම මරණයට පත්විය යුතු නැහැ. චර්යාත්මක වෙනස්කම්වලින් තුනෙන් එකකට පිළිකා වළක්වාගත හැකි වෙතත්, තවත් තුනෙන් එකක පිරිසකට කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර වෙත යොමු වීමෙන් පිළිකාව ජය ගන්නට සහ ජීවිතය බේරාගන්නට පුළුවන්. මේ සඳහා තමන්ට වෙනදා නොතිබූ ලක්ෂණයක් මතුවූ වහාම සුවදිවි සායන සහ සුවනාරී සායන වෙත යොමු වී පරීක්ෂාවට ලක්වී, තත්ත්වය කුමක්දැයි හඳුනාගෙන  නිසි ආකාරයට ප්‍රතිකාර වෙත යොමු වීමෙන් ජීවිතය බේරා ගන්නට නියත වශයෙන්ම හැකියාව තිබෙනවා. මුල් අවස්ථාවේ හඳුනාගත් පිළිකාවක් ඇති විට ජීවිතය පිළිබඳ ආශාව සහ බලාපොරොත්තු නැති කරගන්නට අවශ්‍ය නැහැ.  ලංකාවේ කාන්තාවන් අතර බහුලම පිළිකාව පියයුරු පිළිකාවයි. අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම  තමන්ගේ පියයුරු ස්වයං පරීක්ෂාවකට ලක්කර ගැනීම නිවසේදීම වුවත් කරගන්නට පුළුවන්. පියයුරුවල පැහැයේ වෙනසක්, ප්‍රමාණයේ වෙනසක්, ගැටිත්තක් වැනි කිසියම් ලක්ෂණයක් දැකගන්නට ලැබුණහොත් නොපමාව සුවනාරී සායනයක් වෙත ඉක්මනින් යෑම වැදගත්. පිළිකා රෝග ප්‍රතිකාර සඳහා අපේක්ෂා රෝහලටම ආ යුතු නැහැ. දිවයින පුරා පිළිකා සඳහා ප්‍රතිකාර කරන ප්‍රධාන ෙරා්හල් අාශ්‍රිත මධ්‍යස්ථාන 24ක් පිහිටා ඇති අතරම, නාරාහේන්පිට නගර මධ්‍යයේම පිහිටා ඇති පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයට පැමිණ නොමිලේ පරීක්ෂාවට ලක්වෙන්නට කිසිම බාධාවක් කිසිවෙකුට නැහැ.  පුරුෂ පක්ෂයට වුවත් සුවදිවි සායනයකදී තමුන්ගේ පිළිකා සම්බන්ධව පවතින කුකුස ඉවත් කරගන්නට අවශ්‍ය කටයුතු සලසාගත හැකියි. විශේෂයෙන් පුරුෂ පක්ෂයට වැලඳෙන ලංකාවේ බහුලම පිළිකාව ලෙස මුඛ පිළිකාව හැඳින්විය හැකි වුවත්, පිළිකා යනු පියයුරු පිළිකාව හා මුඛ පිළිකාව පමණක්ම නොවේ. මුඛ පිළිකා සියයට දහසයක්, මහාඅන්ත්‍ර පිළිකා සියයට නවයක්, පෙණහලු පිළිකා සියයට අටක්  පවතින අතර, සියයට විසිහතක් පියයුරු පිළිකා සහ සියයට නවයක් තයිරොයිඩ් පිළිකා මෙන්ම කාන්තාවන්ටත් මහාඅන්ත්‍ර පිළිකා ඇතිවිය හැකියි. ඒ නිසා මේවායින් ඔබ ආරක්ෂිතදැයි කිසියම් වෙනසක් ඇති වූ වහාම සොයා බැලිය යුතුයි.

 දැන් අප ඔබගේ චර්යා සහ වෙනත් හුරුපුරුදුකම්වලින් මෙකල බහුලවම පිළිකා රෝගයට ගොදුරු වන්නට ඇති ඉඩකඩ සාකච්ඡා කර අවසන්. දැන් අප කතා කරන්නේ ඔබත්, නිවසේ අන් අයත් වටපිටාවේ අයත් පිළිකා අවදානමට යොමු කරන ඔබ කරන තවත් වරදක් පිළිබඳ කතා කරන්නටයි. නිවසට ඔබ ගෙන එන පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කරන්නේ පුළුස්සා දමමින් නම් එයින් නිකුත් වන දුම්වලින් ඔබවත්, ඔබේ සමීපතමයනුත් පරිසර දූෂණය හේතුවෙන් පිළිකා රෝගයට ගොදුරු විය හැකියි. මෙය තහවුරු කරන ලද හේතුවක්. කිසිවිටෙක ප්ලාස්ටික් සහ පොලිතීන් දහනය කරන්නට එපා. එය නිරන්තරයෙන් සිදුකරනවා නම් ඔබට කිසියම් දිනක ඔබ පමණක් නොව පවුලේ අයද අවාසනාවන්ත ඉරණමකට ගොදුරු කරන්නට සිදුවෙනවා. නාගරීකරණය තුළ සිරවුණු ඔබට පිළිකා වැඩි වෙන්නට හේතුව විවිධ වසකාරක සහිත ආහාර පරිභෝජනය, ව්‍යායාම මඳකම, අනිසි ලෙස තරබාරුවට ළඟා වීම, අධික තෙල් සීනි භාවිතාව නම් වැඩි වන පිළිකා රෝගීන් මැඬලන්න ඔබටත් කළ හැකි විසල් මෙහෙවරක් තිබෙනවා. මිල අඩු යැයි කියමින් ඔබ භාවිතයට ගන්නා සමහර උපකරණවලින් කාන්දු වන ක්ෂුද්‍ර කිරණ අවදානම, බිත්ති ආලේපන සඳහා යොදා ගන්නා නිසි ප්‍රමිතියෙන් තොර තීන්ත යනාදිය භාවිතයෙන් සහ ඔබ සම මත තවරන ආලේපන යනාදිය නිසි ආකාරයෙන් වගකීමක් සහිත නිෂ්පාදන හරහා භාවිත කරන්නට වග බලා ගන්න. තහවුරු කර නැතැයි කියමින් යම් යම් රසායනිකයන් පිළිකාකාරක නැතැයි ඇඟවීමට දරන වෙළෙඳ උපක්‍රමවලට හසු නොවෙන්න. එයින් පිළිකාවලට ගොදුරු වීමට ඇති අතුරු පාරවල් වසා දැමිය හැකියි. දැන් අප පිළිකා සම්බන්ධ තුනෙන් දෙකක කාරණා සාකච්ඡා කර අවසන්. තවත් තුනෙන් එකක් මේ අනුව ඉතිරියි. එය පිළිකා රෝගයෙන් අවසාන අදියර තෙක් පැමිණ ඇති රෝගීන් රැකබලා ගැනීම ගෞරවාන්විත හා සහනදායී මරණයක් වෙත රෝගියා ළඟාවන තුරු රෝගියාට සහන සත්කාර සැපයීමයි. නොපමා වෙමු. පිළිකාවට ගොදුරු නොවී අපි, අපේම අය සුරකිමු.

සටහන - නාලිකා රාජපක්ෂ



Recommended Articles