පිහිනුම් තටාකයකදී නාගන්න හිතන්න එපා


නිවාඩුවක් ගත කරන්න නිවාඩු නිකේතනයක ලැගුම් ගනිද්දී swimming pool එකේ නාලා relax වෙන එක අපූරු අත්දැකීමක්. සමහරු පීනන්න දන්නේ නැහැ කියලා swimming pool එකට බහින්න අදිමදි කරනවා. ඒත් pool එකට බහින්න පීනන්න පුළුවන් වෙන්නම අවශ්‍ය නැහැ. Pool එකේදී හැසිරෙන්න ඕනේ කොහොමද කියන දේ තමයි වැදගත්. ගොඩක් වෙලාවට පොදු නාන තටාකයක් භාවිත කරන්න වෙන වෙලාවට අපට එහිදී කළ හැකි නොහැකි දේවල් මොනවද?

මොනවද අඳින්නේ?

දිය නෑම වෙනුවෙන් නිම වුණු ඇඳුමක් භාවිත කරන්න. නිවාඩු නිකේතනවල තටාක පාලකවරු නයිලෝන් නාන ඇඳුම් නොවන, කපු ඇඳුම් ඇඳගෙන පූල් එකට බහින්න ඉඩ නොදෙන්නේ එවැනි ඇඳුම්වලින් වතුරට එකතුවිය හැකි විෂබීජ අවම කිරීම වෙනුවෙන් වගේම කපුවලින් වතුරට එකතු වෙන අව පැහැය වළක්වා ගන්න. කපු ඇඳුම්වලට රසායනික ද්‍රව්‍ය උරාගැනීමේ ප්‍රවණතාව වැඩියි. එය ඔබට අහිතකර වගේම වතුරේ සමතුලිතතාවටත් බාධාවක්. ඒ ඇරුණාම ඔබටත් කපු ඇඳුම්වලට වඩා නාන ඇඳුමක් ඇඳීම පහසුවක් වෙනවා. ඒ වගේම ඒ ඇඳුම තමන්ගේ ඇඟට ගැළපෙනවද කියලත් හිතල බලන්න.

කලින් නාගන්න

ඇයි pool එකට බහින්න කලින් නාගන්න කියන්නේ? ඔබේ සිරුරේ තියෙන දහදිය/ අපද්‍රව්‍ය pool එකේ වතුරට එකතු වෙන එක වළක්වන්න. ඒ වගේම pool එකෙන් පිටතට ඇවිල්ලත් ඔබේ සිරුර හොඳින් පිරිසුදු කර ගන්න, එහි තිබිය හැකි රසායනිකයන්  ඔබේ සමට අහිතකර විය හැකි නිසා. ඒ වගේම pool එකට බහින්න කලින් ඔබේ ශාරීරික අවශ්‍යතා ඉටුකර ගන්න. අතරමැදදී අවශ්‍ය වුණොත් pool එකෙන් එළියට යන්න ඔබට කම්මැලි හිතෙන්න පුළුවන්. 

පිළිවෙළට  ඉන්න

ඔබේ නිවාඩුවේදී ඔබේ නිදහස වැදගත් වුණත් පොදු නාන තටාකයකදී අනෙක් අය ගැනත් හිතන්න. අනිත් අයගේ මුහුණුවලට වතුර ඉහෙන විදියට පිහිනීමෙන් වැළකෙන්න, ඔබ පිරිසක් සමග ක්‍රීඩාවක යෙදෙනවා නම්, අන් අයට අවහිරයක් නොවෙන විදියට හැසිරීම වැදගත්. නිවාඩු නිකේතනයක pool එක කියන්නේ පිහිනුම් තරග තියෙන තැනක් නොවෙන බවත් මතක තියා ගැනීම වැදගත්. විවේකීව ඉන්නට අවශ්‍ය නම්, pool එක මැද නොවෙයි ඊට සුදුසු කොණක් තෝරගන්න.

ඔළුව තෙමෙයිද?

Swimming cap එකක්, goggles භාවිත කරනවා නම්, ඔබට වඩා පහසු ‍වේවි. ඔළුව තෙමෙනවට එහෙම නෙමෙයි. Chlorine වැනි රසායනිකයන් හිසකෙස්වලට අහිතකර නිසා වගේම ඔබට තිබෙන්නේ දිගු හිසකෙස් නම්, හිසකෙස් ඇදීම/ ලිහී යෑම වළක්වගෙන නිදහසේ ඉන්න පුළුවන් වෙන නිසා.

පොඩි ළමයි

පවුලේ අයත් එක්ක යන ගමනක් නම්, කුඩා දරුවන්ට වෙන් වුණු pool එකක වුණත් ඔබේ කුඩා දරුවන්ට අවශ්‍ය පැලඳුම් (eg: vest / child's cuddle jumper floatation device) භාවිත කරන්න. එය ඔබටත් දරුවන්ටත් නිදහසේ ඉන්නට මග පාදාවි. ඒත් ඔවුන් වෙත  අවධානයෙන් ඉන්න වගබලා ගන්න.

කනවද? බොනවද?

Pool ළඟ එකතු වෙලා drink එකක් ගන්න සමහරු කැමතියි. Pool එක ළඟ කෑම බීම ගැනීම තහනම් නම්, ඊට අවනත වෙන්න. ඒ නැතත් ලංකාව වගේ රටකදී සමහරුන්ගේ මත්පැන් ගැනීමේ රටාවල් පිටස්තර අමුත්තන්ට අප්‍රසන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් හිතන එක වැදගත්. 

පීනන්න දන්නවද?

ඔබ පීනන්න දන්න නොදන්න එක කෙසේ වෙතත්, නාන තටාකය භාවිත කිරීමේ නීති රීති මාලාව කියවලා බලන්න. ආරක්‍ෂිත උපදෙස්/ ගැඹුරු නොගැඹුරු තැන් ගැන සැලකිලිමත් වෙන්න.

ගැහැනු

Pool එකේ ඉන්න කාන්තාවන්ට අවහිරයක් නොවීමත් ඉතා වැදගත්. විශේෂයෙන් ලංකාවේ කාන්තාවෝ කොහොමත් නාන ඇඳුමක් ඇඳගෙන pool එකට බහින්නේ තරමක අපහසුවකින් නිසා ඔවුන්ට බැල්මකින් හෝ අපහසුවක් නොවීම කාට කාටත් හොඳයි. පොදුවේ ගැහැනු පිරිමි හෝ දෙස් විදෙස් සෑම කෙනෙකුටම අවහිරයක් නොවෙන්න හැම විටම වගබලා ගන්න.

නිමේෂා තන්ත්‍රිමුදලි

 



Recommended Articles