පිපාසයට පැණි රස බීම හෝ සීනි යෙදූ පානයන් වෙනුවට පිරිසුදු ජලය පමණක් බොන්න


ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන බලපෑම් ඉන්දියන් සාගරයේ කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවටද අරුමයක් නොවේ. වසර කිහිපයක් තිස්සේ එහි බලපෑම් සෑම වර්ෂයකම ජනවාරි සිට අප්‍රේල්, මැයි දක්වා කාලයේ අපි ඉතා හොඳින් අත්විඳින්නෙමු. මෙම උෂ්ණාධික තත්ත්වය නිසා අපට එල්ලවන සෞඛ්‍ය ගැටලු ගණනාවකි. මේ පවතින කාලගුණික තත්ත්වය හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු පිළිබඳවත්, ඒවා වළක්වා ගැනීම පිළිබඳවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයකදී විද්වතුන් දැක්වූ අදහස්ය.


ඉදිරියේදී උෂ්ණත්වය වැඩි වන තත්ත්වයක් පවතින බැවින් වතුර පානයට වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි - සෞඛ්‍ය හා  දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන 

මේ ලෝකයේ ජීවත් වන අප සියලුදෙනාට තාපය වැදගත්. තාපය නොමැතිව අපගේ දෛනික ක්‍රියාකාරකම් සිදුකරගන්න අපහසුයි. නමුත් තාපය අපට හිරිහැර කරන කාලයක් තමයි වර්තමානයේ මේ උද්ගත වී තිබෙන්නේ. අවට පරිසරයේ තාපය ඉහළ ගොස් තිබීම අපට නවත්වන්න අපහසුයි. මීට වසර 40කට පමණ පෙර තිබුණු උෂ්ණත්වය නෙවෙයි අද තිබෙන්නේ. එදා ගහකොළ තිබුණා. අද වන ගහනය අඩු වෙලා. ඒ නිසයි අපි  මෙම කරදරය විඳින්නේ කියන එකයි මගේ අදහස. ඒ වගේම ලෝකයේම උණුසුම වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා ලෝකයම මුහුණ දෙන පාරිසරික බලපෑම්වලට අපිටත් අද මුහුණ දෙන්න සිදුව ඇති බව පෙනී යනවා. මේ වෙලාවේ අපිට මේ බලපෑමෙන් මිදෙන්නට බැරි වුණත්, එම බලපෑම් අවම කරගන්නට යම් යම් දේවල් කරන්නට හැකියාවක් තිබෙනවා.

ඒ නිසා අද සිට අපි යන හැම තැනකටම වතුර බෝතලයක් රැගෙන යෑම සිදුකළ යුතුයි. වතුර පානය කරන විටත් යම් කිසි දර්ශකයක් අනුව සිදු කළයුතු වෙනවා. ඒ අනුව අපි කියන්නේ මුත්‍රාවල පැහැය තද පාටයි නම් ඔබට වතුර පෙවෙන ප්‍රමාණය අඩු බව එයින් දර්ශනය වෙනවා. වතුර අවශ්‍ය ප්‍රමාණයට පානය කරන අයගේ මුත්‍රා ලා පැහැයක් ගන්නවා. ඒ අනුව අපි දන්නවා අපි බොන වතුර ප්‍රමාණය ප්‍රමාණවත්ද යන්න. මේ වෙලාවේ අපිට දැනෙන රස්නය නිසා සෞඛ්‍යමය තර්ජනයක් පවතිනවා මෙන්ම එය ඉදිරියට වැඩි වන බවත් පෙනී යනවා. ඒ නිසා දැන්ම හොඳින් වතුර පානය කරන්නට අපි හුරු විය යුතුයි.

උෂ්ණාධික කාලය වැඩි වෙන ස්වභාවය වසරින් වසර වැඩි වෙන පැත්තට තමයි බරව පවතින්නේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමණී ජයවර්ධන

උණුසුම අපි මනින්නේ අපේ පවනේ තිබෙන උෂ්ණත්වයයි. එයයි වාතයේ ආර්ද්‍රතාවයයි එකතුවී අපිට දැනෙන උෂ්ණත්වය යනුවෙන් තවත් එකක් තිබෙනවා. දැනෙන උෂ්ණත්වය හා මනින උෂ්ණත්වය අතර පැහැදිලි වෙනසක් දකින්නට ලැබෙනවා. මාධ්‍යවල අද සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක් වාර්තා වෙනවා යනුවෙන් සඳහන් කරන්නේ අපිට දැනෙන උෂ්ණත්වයයි. සාමාන්‍යයෙන් ලංකාවට ඉර මුදුන් වීම පිළිබඳ බැලුවොත් දකුණු අර්ධගෝලයේ සිට උතුරු අර්ධගෝලයට සූර්යයා ගමන් කිරීම ග්‍රීෂ්ම කාලයේ සිදුවෙනවා. ඒ අනුව ලංකාවට ඉහළින් ඉර මුදුන් වෙන්නේ අප්‍රේල් මාසයේ 5 වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළයි. මීට අමතරව අපි දැන් ඊසාන මෝසමේ අග භාගයේයි සිටින්නේ. අපිට නිරිතදිග මෝසම ආරම්භ වන්නේ මැයි මාසයේ අග කාලයේදීයි. මේ අතර කාලය අපි හඳුන්වන්නේ අන්තර් මෝසම් කාලය යනුවෙනුයි. මාර්තු, අප්‍රේල් හා මැයි මස මුල් සති කිහිපය මෙම අන්තර් මෝසම් කාලයට අයත් වෙනවා. මේ කාලයේදී දිවයින වටා විශේෂ සුළං රටාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. සුළඟ ඉතාමත්ම අඩුයි. මේ නිසා අපේ දහඩිය වාෂ්ප වී යෑමට බාධාවන් ඇතිවෙනවා. ඒ නිසයි අපිට දැනෙන උෂ්ණත්වය වැඩි. මේ තත්ත්වය මැයි මාසය අග නැත්නම් නිරිතදිග මෝසම ලංකාවේ ස්ථාපනය වනතුරුම පවතිනවා. නමුත් මේ අන්තර් මෝසම් කාලය තුළ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකියාවක් පවතිනවා. මේ ගිගුරුම් සහිත වැසි රාත්‍රී කාලයේ ඇතිවූ විට තාවකාලික සහනයක් ලැබෙන්නට පුළුවන්. වැස්සක් වැස්සම එම ප්‍රදේශයේ සිසිල් වීමක් සිදුවෙනවා. ‍

පො‍ළොවට උරාගන්න ජලය වාෂ්පීකරණය වනවිට සිසිලසක් ඇතිවෙනවා. නමුත් අධික උෂ්ණත්වය සහිත පවතින කාලගුණය මැයි මස අග වනතුරු පවතිනවා. අපි ගණිතමය ආකෘතියක් භාවිත කරමින් උපරිම උෂ්ණත්වයත්, ආර්ද්‍රතාවයත් එකතු කර අපිට දැනෙන උෂ්ණත්වය ගණනය කරනු ලබනවා. ඒ අනුව තමයි අපි ජනතාව සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින් මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එකතුව තමයි මේ උපදෙස් නිකුත් කරන්නේ. ජනවාරි මාසය කියන්නේ අපේ රටට සිසිල් මාසයක්. නමුත් මෙම වර්ෂයේ අපිට ජනවාරි මාසයේ සිට උෂ්ණත්වය අධික බවක් දැනෙන්නට වුණා. එයට හේතු වී තිබෙන්නේ ගෝලීය උෂ්ණත්ව සමග අපේ රටේ උෂ්ණත්වයද ඉහළ යෑම. ඊට අමතරව අපේ දිවයින ආශ්‍රිත මුහුද පිළිබඳ බැලුවොත් ඉන්දියන් සාගරයේ දිවයින ආශ්‍රිත ප්‍රදේශයේ ජනවාරි, පෙබරවාරි මාසවල සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක මුහුදේ මතුපිට උෂ්ණත්වය තිබුණා. ඒ නිසාත් අපේ රටේ උෂ්ණත්වය ඉහළ යන්නට හේතු වුණා. කෙසේ නමුත් මාර්තු, අප්‍රේල්, මැයි කියන්නේ ලංකාවේ උණුසුම් කාලගුණයක් පවතින කාලයක්. 

මීළඟට අපි නාගරික ප්‍රදේශයන් ගැන අවධානය යොමු කළොත් කොන්ක්‍රීට් ගොඩනැගිලි රැසක් පවතිනවා. මේ කොන්ක්‍රීට් ගොඩනැගිලි සූර්යයාගේ කෙටි තරංග අවශෝෂණය කරගන්නවා. මේ අවශෝෂණය කරගත් තරංග අධෝරක්ත කිරණ ලෙස පිටකරනු ලබනවා. මෙය අපි නාගරික තාප දූපතක් ලෙස හඳුන්වනවා. එයත් නාගරික ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යෑමට හේතුවක් වී තිබෙනවා. මීළඟට නගරවල වාහන අධිකව ධාවනය වෙනවා. ගොඩනැගිලි වල වගේම සිදුවීමක් වාහන වලත් සිදුවෙනවා. ඒ වගේම වායුසමීකරණ යන්ත්‍රවල දහනයන් සිදුවන විට වායු දූෂණයත් ඉහළ යනවා. මේ සියල්ලම සෞඛමය වශයෙන් ගැටලු ඇතිකරනවා. ඉදිරි මාස තුන සඳහා කාලගුණික තත්ත්වය සලකා බැලීමේදී වර්ෂාවේ අඩු වීමක් අපි දකිනවා. 

කාලගුණ නිවේදනයන් නිකුත් කරද්දී අපි අවදානම් දිස්ත්‍රික්ක පිළිබඳව තබන සටහන දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් ඊසාන දිග මෝසමේ අගයි ඉන්නේ. ඊසාන මෝසම රටෙන් ඉවත් වනවිට උෂ්ණත්වය වැඩි වෙන තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව දැනට බටහිර පැත්තට බරව දැනෙන උෂ්ණත්වය තවත් දින කිහිපයකින් ලංකාව පුරාවටම දැනෙන්නට පටන් ගනීවි. ඒ වගේම කියන්න අවශ්‍යයි අපේ රටට මේ උෂ්ණාධික කාලය වැඩි වෙන ස්වභාවය වසරින් වසර වැඩි වෙන පැත්තට තමයි බරව පවතින්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ තත්ත්වය අනාගතයේ වැඩි වෙයි කියලයි කටයුතු කළයුතු වන්නේ. 

පාසල් ක්‍රියාකාරකම් දෙස බලන විට පාසල්වල බිග් මැච් පවත්වන්නේ මාර්තු මාසයේයි. මේ කාලයේ සූර්යයා අපේ රටට මුදුන් වෙන්න ආසන්න කාලය වගේම අපේ රටට නිශ්චිත සුළං ප්‍රවාහයක් නොමැති කාලයයි. වැසි ඇතිවුණොත් තාවකාලික සහනයක් ලැබෙන්නට පුළුවන්. නමුත් වැසි නොමැති කාලයක එළිමහනේ කය වෙහෙසන මෙවැනි ක්‍රීඩාවන් පිළිබඳව යම් තීරණයක් ගත යුතුයි.

දැනට රටේ පවතින තත්ත්වය අනුව ඇතැම් පිරිසකට දැඩි සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්නට පුළුවන් - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර

 අපේ ශරීරයේ යම්කිසි උෂ්ණත්ව මට්ටමක් පවතින බව අපි හැමෝම දන්නා දෙයක්. මේ උෂ්ණත්ව මට්ටම අපිට පාලනය කරගන්නට බැරි වූ පසු සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. දැනට රටේ පවතින තත්ත්වය අනුව ඇතැම් පිරිසකට දැඩි සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්නට පුළුවන්. අපි දන්නවා උෂ්ණත්වය වැඩි වනවිට දහඩිය ලෙස ඉවතට ගිහින් තමයි අපේ ශරීරය සිසිල් කරගන්නේ. නමුත් ආර්ද්‍රතාවයේ පවතින ගැටලු නිසා දහඩිය ඉවතට යෑමක් සිදුවෙන්නේ නැහැ. එය බොහොම අපහසුකාරී වන්නේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය යාමනය කරගන්නට නොහැකි වන නිසායි.

කලන්ත ගතියක්, වැඩපල කරගන්නට බැරි ගතියක්, ඈලිමෑලි දුබල ගති, නිදිමත ගති මේ දිනවල මේ උෂ්ණාධික බව නිසා ඇතිවෙන්නට පුළුවන්. මීට අමතරව කය වෙහෙසා වැඩ කරනකොට අපේ ශරීරයෙන් දහඩිය පිටවෙනවා. දහඩිය ලෙස ජලය පිටවෙද්දී ලවණත් පිටවෙනවා. මේ නිසාත් විවිධ සෞඛ්‍යමය ගැටලු ඇතිවෙන්නට පුළුවන්.

Heat Rash 

කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද සමේ රතු පැහැති කුඩා බිබිලි ඇතිවීම.

Heat Stress 

කලන්ත ගතියක්, වැඩපල කරගන්නට බැරි ගතියක්, ඈලිමෑලි දුබල ගති, නිදිමත ගති දැනීම මූලික අවස්ථාවේදී දැනෙන අතර, මස්පිඬු පෙරළීම ලවන අසමතුලිතතාවය නිසා ඇති විය හැකිය. මෙය තවදුරටත් බලපෑම නිසා අපේ ප්‍රධාන ඉන්ද්‍රීයයන් වන හෘදය වැනි ඉන්ද්‍රීයයන්ට බලපෑම් ඇතිවිය හැකියි. ලවණ අසමතුලිත බව නිසා ඇඟ ඇතුළේ සමතුලිත බව ගිලිහීම නිසා ජීවිත අවධානම පවා ඇතිවෙන්න පුළුවන්. 
මේ නිසා පවතින උෂ්ණාධික තත්ත්වය සුළුකොට තකන්නට බැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙම උෂ්ණාධික කාලය ඉදිරි මාසයක දෙකක කාලයටත් බලපාන නිසා සුළුකොට තකන්න බැහැ. මෙම උෂ්ණාධික කාලගුණය අහිතකර ලෙස බලපාන කණ්ඩායම් අපිට හඳුනාගන්නට පුළුවන්. 
ඒ අය නම්, 

කුඩා ළමයින්

වැඩිහිටියන් මෙන් ශරීරයේ අවයව වැඩී නැති නිසා කුඩා ළමුන්ට මෙම උෂ්ණාධික තත්ත්වය දරාගන්නට අපහසුයි. 

වැඩිහිටි ජනතාව

ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩි වන අතර, ඔවුනට අධික උෂ්ණත්වය අහිතකර ලෙස බලපෑම් එල්ල කරයි.

රෝගීන්

හෘද රෝගීන්, නිදන්ගත පෙණහලු හා වෙනත් රෝග ඇති අයට මෙම තත්ත්වය දරාගත නොහැකියි.
මීට අමතරව එළිමහනේ වැඩකරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයට හා කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට වැඩි සෞඛ්‍ය බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඔවුන් මෙම උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ කය වෙහෙසා වැඩ කිරීම නිසා සෞඛ්‍යයට එල්ලවන බලපෑම අධිකයි. මීට අමතරව රථවාහන හැසිරවීම්වල යෙදෙන පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ඇඳුමේ ඇති රළු බවත් සමග එල්ලවන බලපෑම වැඩියි.
මෙම ගැටලුවලින් කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම්වලට ගමන් කරන්නට සිදුවෙනවා.

ලෝකයේ බොහෝ රටවල්වල මෙවැනි කාලගුණික තත්ත්ව පවතින කාලවලදී මිනිසුන් මිය යෑමේ තත්ත්වය ඉතා වැඩියි. මිය ගිය පුද්ගලයා හෘද රෝගයකින් මිය ගියත්, එයට හේතු වී තිබෙන්නේ උෂ්ණාධික කාලගුණයේ බලපෑම බව ඒ රටවල් හඳුනාගෙන තිබෙනවා. මේ නිසා අපි කෙටිකාලීන විසඳුම් කිහිපයක් මෙලෙස ඉදිරිපත් කළ හැකියි.

ජලය පානය කිරීම

මෙහිදී මතක තබාගත යුතු වන්නේ කුමන වේලාවකදී වත් පිපාසයට පැණි රස බීම හෝ සීනි යෙදූ පානයන් යොදා නොගත යුතු බවයි. විශේෂයෙන් මෙවන් දිනවල පිරිසුදු පානීය ජලය පානයට ගැනීම සිදුකළ යුතුයි. 

එළිමහනේ ගමන් කරන විට කුඩයක් රැගෙන යාම

වැඩිම උෂ්ණත්වයක් පවතින්නේ උදෑසන 11ත් සවස 3ත් අතර කාලයේදීයි. එම කාලයේ මෙන්ම උදේ 8 සිටත් අපිට උෂ්ණත්වය වෙනදාට වඩා වැඩි බවක් දැනෙනවා. ඒ නිසා කුඩයක් භාවිත කරන්නට වගේම කුඩ පාවිච්චි නොකරන පිරිමි පාර්ශ්වය තොප්පි පාවිච්චි කළ යුතුයි.

සැහැල්ලු ඇඳුම්, ලා පැහැති ඇඳුම් හා කපු ඇඳම් මේ දිනවල ඇඳීම ඉතාම උචිතයි. 

මේ දිනවල පවතින අධික රස්නය නිසා ශරීරයේ වතුර ආලේප කිරීම සිදුකළ යුතුයි. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන් වුණත් ශරීරයේ ජලය ආලේප කිරීමෙන් ශරීරය සිසිල් කරගන්නට හැකියාවක් ලැබෙනවා.

මෙම කාලගුණික තත්ත්වයේ අහිතකර බලපෑම් නිසා යම් පුද්ගලයෙක් සෞඛ්‍ය ගැටලුවක සිටින බව දකින්නේ නම් වහාම ප්‍රථමාධාර ලබා දිය යුතුයි.

එළිමහනක සිටී නම් එම ස්ථානයෙන් සෙවණක් ඇති සිසිල් තැනකට රැගෙන යෑම.

ඇඳුම් ඉහිල් කිරීම. සිහිය තිබෙන අවස්ථාවක වතුර පානය කිරීමට ලබා දෙන්න.

මස්පිඬු පෙරළීමකදී ලුණු ලබා නොදී වතුර පමණක් ලබාදෙන්න.

 මෙලෙස ප්‍රථමාධාර ලබාදීමෙන් මඳ වේලාවකට පසු රෝගියා යථා තත්ත්වයට පත් නොවේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යා යුතුය.
එසේම මෙම අවස්ථාවේ කියන්නට අවශ්‍යයි විවිධ වර්ගයේ ආලේපන වර්ග, ක්‍රීම් වර්ග ආලේප කිරීම නිසා රෝම කූප අවහිර වීම සිදු වී දහඩිය පිටවීම සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකියි. ඒ නිසා මේ දිනවල තෙල් සහිත ක්‍රීම් වර්ග හා වෙනත් ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් වැළකෙනවා නම් හොඳයි.

මෙම කෙටිකාලීන විසඳුම් වලට අමතරව රටක් ලෙස දීර්ඝකාලීන විසඳුම් කරා යෑමද සිදුකළ යුතුයි. දේශගුණික විපර්යාස පිළිබඳ සැලකූ විට අපිට පෙනී යන්නේ අනාගතයේද අපේ රටට රස්නය අධික තත්ත්වයන්වලට වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවන බවයි. ස්වාභාවික විපත් වැඩි කාලයකට තමයි අපිට බහුලව මුහුණ දෙන්නට සිදුවෙන්නේ. වැස්ස ගැන අපි බැලුවොත් වැසි කාලයේ අධික වර්ෂාවත්, පායන කාලයට අධික උෂ්ණත්වයත් තමයි අපිට අත්විඳින්නට වෙන්නේ. ඒ අනුව අපේ රටේ අනාගතය එතරම් සුභ නොවන තත්ත්වයක් තිබෙන්නේ. හරිතාගාර වායූන් නිසා ලෝකයේ සෑම රටක්ම විපාක විඳින තත්ත්වයක් දැන් පවතිනවා. පෞද්ගලික මට්ටමෙන් මෙන්ම රටවල් හා අන්තර්ජාතික මට්ටමෙන් මෙම තත්ත්ව අවම කරගන්න උත්සාහ දැරිය යුතුයි. වියළි කාලයේ ජලය හා විදුලිය සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ නිසා අපි සියලුම දෙනා මේ ගැටලු පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. කුණු පිච්චීම නිසා ඇතිවන කාබන්ඩයොක්සයිඩ් පිළිබඳවත් අපි පෞද්ගලික මට්ටමෙන් හිතන්න අවශ්‍යයි. මොකද මේ දේවල් නිසා අනාගතයේ අපේ ළමයින්ට අපිට වඩා ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේවි.

අපේ රටේ සෑම පාසලකම පළමු වාරයේ තමයි ක්‍රීඩා තරග පවත්වන්නේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා අපේ ආයතනය එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබාදීමක් සිදුකර තිබෙනවා මෙවැනි කාලයකදී අනුගමනය කළයුතු පියවර මොනවාද යන්න පිළිබඳව. නමුත් අපේ රටේ අනාගතයේත් දිගින් දිගටම මේ කාලවලදී අධික උෂ්ණ කාලයක් පවතින නිසා ඒ පිළිබඳ කතිකාවතක් ඇති කරගෙන යම් වෙනස්කම් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා.

පාසල් ළමුන් වෙනුවෙන් නිර්දේශයන්

තද හිරු රශ්මියේ බලපෑම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දක්වන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය) ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පාසල් හා අධ්‍යාපනික ආයතන ප්‍රධානීන් වෙත දන්වා සිටියි. විශේෂයෙන් සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති නිසා ඇය විසින් මෙම අවස්ථාවේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශයන් මෙලෙස ඉදිරිපත් කර තිබේ. 

නිතර නිතර ජලය පානය කිරීම.
විනාඩි 15-20 ට වරක් වත් වතුර උගුරු 8-10ක් පමණ පිපාසය නැති වූවත් පානය කිරීම යෝග්‍ය වේ.
සීනි අධික බීම භාවිත නොකළ යුතුයි. 

එළිමහනේ සිටින විට ඔළුව වැසෙන සේ (පන් තොප්පි) තොප්පි පැලඳීම.

එළිමහනේ ගමන් කරන විට සෑම විටම කුඩයක් භාවිත කිරීම.

අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම.

ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම. (පාසලෙන් පිට වුවත්)

අධික රස්නය ඇති විට මුහුණේ සහ අත්වල වතුර ගෑම.

දෛනික වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙ.ව.11.00 හා ප.ව. 3.30 තුළ එළිමහනේ අධික දහඩිය දැනෙන ව්‍යායාම හා කය වෙහෙස කරන ක්‍රීඩා නොකිරීම.

පාසල තුළ බීමට පිරිසුදු ජලය ඇති පමණ සපයා තිබීම. (දෙමාපියන්ට දරුවන් සඳහා අවශ්‍ය පමණ පිරිසුදු ජලය එවීමට දැනුම් දීම)

හැකි නම් කඩදාසිවලින් සෑදූ අවානක් රැගෙන ඒමට උපදෙස් දීම.

විශේෂයෙන්ම ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධව දැනුවත් කර හා පුහුණු කර තිබීම. ළමුන් හා ගුරුවරුන් ද දැනුවත් කිරීම. 

සෞඛ්‍ය ගැටලු මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රථමාධාර ලබාදීම හා ගැටලුසහගත අවස්ථාවලදී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම.

 ශරීරය වියළීම වළක්වා සිසිල් කර ගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම හා ශරීරයේ විවෘතව ඇති ප්‍ර‘දේශ තෙතමාත්තු කර ගැනීමට සිසුන් දැනුවත් කිරීම හා යොමු කිරීම.

පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘතව තැබීම හා අවශ්‍ය පියවර ගැනීම. විදුලි පංකා භාවිත කරන්නේ නම් පිරිසුදු වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් අනිවාර්යෙන්ම විවෘතව පැවතිය යුතුය.

තවද රෝගී තත්ත්වයන් සහිත දරුවන් (උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව) රෝගී තත්ත්වය සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීම.

පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය නිසා පහත සඳහන් ආකාරයේ අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි අතර, පහත ක්‍රියාමාර්ග ගැනීම අපේක්ෂා කෙරේ.

01. දහඩිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම (Heat Cramps) අත්පා හා උදරයේ මස්පිඬු වේදනාව හා පෙරළීම.

ප්‍රථමාධාර - සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම. (සෑම විනාඩි 15කටම වරක් වීදුරු භාගය බැගින්) මස්පිඬු පෙරළීම ඇති ස්ථානය මත සිහින් පීඩනයක් යෙදීම. 

02. අධික උෂ්ණත්වය මත ඇතිවන ආතතිය (Heat Stress) 

අධික දහඩිය දැමීම, ශරීර අප්‍රාණික බව, පිපාසය, ක්ලාන්තය. 
ප්‍රථමාධාර - සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ඇඳුම් ඉහිල් කර පවන් සැලීම. ක්ලාන්තය නොමැතිව හොඳින් සිහිය තිබේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම. (සෑම විනාඩි 15කටම වරක් වීදුරු භාගය බැලින්) ස්නානය, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම.

03. ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය (Heat Stroke)

අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩි වීම හා ශ්වසන වේගය වැඩිවීම, සිහිමඳ ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය, සිහිසුන් වීම,
ප්‍රථමාධාර - සිසිල් සෙවණ සහිත ස්ථානයකට ගෙනයාම, අනවශ්‍ය ලෙස ශරීරයට තද ඇඳුම් ඉවත් කිරීම, ඉහිල් කිරීම, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම. මෙය දැඩි අවදානම් තත්ත්වයක් බැවින් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුය. මෙවැනි අවස්ථාවකදී ළඟම රෝහලේ ගිලන් රථයක් ලබාගැනීමට ක්‍රියා කරන්න.



Recommended Articles