පිච් එක හදන්නේ නැතිව මැච් එක ගහන්න බෑ


තරුණ කුසලතා නොසලකා හැර ඔවුන් අයාළේ යන තවත් ජන කොටසක් බවට පත්ව ඇතැයි සමාජය තුළ එදිනෙදා ඇසෙන පුවත් දක්වයි. සැබැවින්ම එසේ වන්නේ ඇයි? මේ ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සමින්ද ඥානරත්න මහතා සමග ‘අද' කළ සංවාදයකි.


? ඇත්තටම තරුණයන් කෙරෙහි යම් අර්බුද මතුවන්නේ ඇයි

අපි ලොකුවට සාක්‍ෂරතාව පිළිබඳ කතා කරනවා. ඉන්දියාව ගැන අපි හිතමු. එහි සාක්‍ෂරතාව අඩු වුණත් එයට වැඩියෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. නමුත් ලංකාවේ සාක්‍ෂරතාව 90%ක් වුවත් වැඩ කරන පිරිස ඉන්නේ 40%යි. එහෙම නම් අපි සාක්‍ෂරතාවෙන් ඉහළට ගියා යැයි උදම් ඇනීම පමණක් ප්‍රමාණවත්ද?

මෙයට හොඳම උදාහරණය ලෙස ආසන්නතම යෝජනාව අවුරුදු 35ට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීමට බලපත් නිකුත් කිරීම තහනම් කිරීමට ගෙනා යෝජනාව හිතන්න. එහි සමහර සාක්ෂි විමසුවොත් හොඳයි කියන දේ බැලූබැල්මට පෙනෙනවා. නමුත් එම යෝජනාව සමස්තයක් හැටියට ගත්තොත් අපට ඒ යෝජනාව තුළම මෙරට තරුණ පරපුර අයාළේ යෑම හෝ ඔවුන්ගේ ශ්‍රමය නොසලකා හැරීම පිළිබඳ සාක්ෂි හොයාගන්න පුළුවන්.

?තිස්පහට අඩු අයට එහෙම බලපත්‍ර නිකුත් කරන එක වරදක් නෙවෙයිද

පළමුව කිව යුත්තේ එවැනි යෝජනාවක් හදිසියේ ක්‍රියාත්මක කිරීම අවදානම්. මොකද ඒක ක්‍රමිකව ක්‍රියාත්මක කළ යුතු දෙයක්. එතැනදී මෙතැනට ඇදිලා යන තරුණයන්ගේ ඒ නැඹුරුව ගැන මැනවින් අධ්‍යයනයක් කරලා ඒ දිශානතියට ගැළපෙන ආකාරයේ ක්‍රමයක් සකස් නොකර මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම වැරදියි.

එනිසා එවැන්නක් අවශ්‍ය යැයි යෝජනා වෙනවා නම්, එයට කල්යල් බලා ඉදිරියේ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී එතැනට නැඹුරු වන පිරිස අවම කිරීමේ ක්‍රමයකට මෙතැන් සිට හෝ යායුතුයි. ඒ යෝජනාව ඵලදායී එකක් කර ගැනීමට අවශ්‍ය නම්, එයට දැන් යොමු වුණොත් තවත් අවුරුද්දකින් හමාරකින් ඒ කටයුතුවලට ප්‍රවේශයක් ලබාගත හැකි වෙයි. එහෙම නැතිව පිච් එක හදන්නෙ නැතිව මැච් එක ගහන්න ගියොත් සෙල්ලම් කරන්න යන අයට හානි කරයි.

අපේ ගැටලු විසඳීමේ ක්‍රමය තුළ පවතින එක් වරදක් තමයි ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් නොකර හදිසි තීරණවලට එළඹීම කියන දේ. මෑත කාලයේ හැම ආණ්ඩුවක්ම ගත් ක්‍ෂණික තීරණ තුළින් පැහැදිලි වුණා.

?අපේ පාසල් අධ්‍යාපනය පැත්ත හරහා තරුණ අර්බුදය විමසුවොත්

අඩුම තරමින් අවුරුදු දහතුනක් අධ්‍යාපනය ලබා උසස් පෙළට ආවට පස්සේ එතැනින් එහාට විශ්වවිද්‍යාලයට යනවාද, නොයනවා නම් මොකද කරන්නේ? එහෙමත් නැත්නම් උසස් පෙළින් පසු කොයිබටද කියන සංවාදය අපේ පාසල් පද්ධතිය තුළ අදටත් සාකාච්ඡා කරන්නේ නැහැ. සාමාන්‍ය පෙළ තුළදී හැළෙනවා නම්, එවැනි හඳුනා ගත් සිසුන් වෙනුවෙන් මොකද කරන්නේ යැයි සංවාදයක් බිහිකර ඔවුන්ට යායුතු මග පෙන්වීමට හැකි ක්‍රමයක් අපේ පාසල් පද්ධතිය තුළ සිදු වන්නේ නැහැ.

උගන්වනවා, විභාග තියෙනවා. සමත් වූවන් ගොඩ. නැති අය වළපල්ලට. එහෙම තැනකදී ඉච්ඡාභංගත්වයට පත් අයට ත්‍රිවීල් එකත් නැත්නම් තුවක්කුවක් අතට ගන්නද කියන්නේ. තුවක්කුව අතට ගන්නේ තරුණ අසහනය නිසා නම් තුවක්කුව වෙනුවට ත්‍රිරෝද රථයක් ගැනීම වරදක්ද කියන දේ අප පාලකයන්ගේ අවධානයට යොමු කළ යුතු කරුණක්.

ගෙදරට වී නිකම් කාලය නාස්ති කරන්න මේ වයසේ අයට බැහැ. ඒ අයටත් තමන් අපේක්ෂා කරන ලෝකයක් තියෙනවා. එහෙම වෙනකොට ඒ ලෝකයෙ ජීවත් වීමට ඔවුන්ට මිල මුදල් අතට අවශ්‍ය වෙනවා. සමහර අයට වයසත් සමග පවුලේ මවුපිය, බාල සහෝදරයන්ගේ වගකීම් කරපිට පැටවෙනවා. අද බොහෝ විට දකින දෙයක් තමයි අඩු වයසින් හරි තරුණ වියට පත්වූ විගස එවැනි අය විවාහයක් කර ගන්නවා. එතැනදී ඔවුන්ට තමන්ගේ කියා පවුල් ජීවිතයක් ගත කරන්න වෙනවා. මේ හැම දෙයක් සඳහාම තරුණයා මුහුණ දිය යුතුයි.

?තරුණයන්ට  වෘත්තීය පුහුණු ආයතන තිබෙනවා. ඔවුන් ඒවා භාවිතයට ගන්නෙ නැහැ නේද

වෘත්තීය පුහුණු ආයතන තියෙනවා. ඒවාට යොමුවන පිරිස අඩු නම්, හේතුව ඒ අය අතරින් සොයාගත යුතුයි. එහෙම නම්,  ඒවා කාටද? මම එහෙම ඇහුවේ අද එහෙම තැන්වලට යන පිරිස කොයිතරම් අඩුද? ඒ ගියත් ඒ වියදමවත් දරා ගැනීමට නොහැකි අයට තමන් තෝරා ගන්නා යම් පාඨමාලාවලදී එය බාධාවක් ලෙස සලකනවා. තරුණයන් අද දේශපාලකයන් පසුපස රැකියා හොයාගෙන යනවා.

එතැනදි ඒ අය කරන්නේ රස්සාවක් දෙන්න නම්, මන්ත්‍රී ලේඛනයේ ලියාපදිංචි විය යුතුයි කියන එක. එහෙම නැතිනම් මගේ ඡන්ද ව්‍යාපාරයෙ පෝස්ටර් ඇලවිය යුතුයි, හුරේ දැමිය යුතුයි කියන එක. එතැන් පටන් රැකියා ඉලක්ක කර ඔවුන් දේශපාලකයන් වන්දනාවක යනවා. බලය ලැබුණොත් මොකක් හරි තැනක කම්කරු හෝ තාවකාලික රැකියාවකට යොදවනවා. එතැන් පටන් රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දේශපාලකයාගේ වහලෙක් බවට පත් වෙනවා. ඒකද රටේ තරුණ අසහනයට විසඳුම විය යුත්තේ කියන ප්‍රශ්නය ගතවූ වසර හැත්තෑපහ විමසන විට දකිනවා.

හැම දේශපාලකයෙකුටම තම පළාතේ වෘත්තීය පුහුණු ආයතනවල අධ්‍යාපනය හැදෑරීමට තරුණයන්ට සිසුන්ට කෝටාවක් ලබාදීමේ ක්‍රමයක් සම්පාදනය කළ හැකියි. එම කෝටාව අනුව අඩුආදායම්ලාභී තරුණයන්ට පාසල් හැර යාමත් සමග දේශපාලකයා හරහා නොමිලේ ශිෂ්‍යත්ව ලබාදිය හැකියි. එවිට ඒ පුහුණුව ලබාගත් අය කවදාවත් නොමනා ගමනකට යොමු වෙන්නේ නැහැ.

?එහෙම නොවෙන්නේ ඇයි

නමුත් දේශපාලකයන් එවැනි යෝජනා ගෙනෙන්න කැමැති නැතිවා විය හැකියි. මොකද එහෙම වුණොත් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලදී නිකරුණේ කාලය කාදමන තරුණ පරපුරක් නැති වෙනවා. දේශපාලකයන් රැකියා දිය යුතු නැහැ. තරුණයක්ට රැකියා සොයා ගැනීමේ ක්‍රම උත්පාදනය කර දිය හැකියි.

?නමුත් විදෙස් රැකියා සඳහා තරුණයන් තුළ පවතින ඉල්ලුම වැඩියි. එහෙම වෙන්නේ ඇයි

අපේ රටේ අය කොරියාවේ හෝ වෙනත් රැකියාවලට යාමට කොයිතරම් තරගයක් තියෙනවාද? ඒ වැඩි වැටුපට මිස ටයිකෝට් ඇඳපැලඳ විධායක ශ්‍රේණියේ රැකියාවලට නෙවෙයිනෙ. ලංකාවේ වගේම දුක්මහන්සියෙන් සේවය කළ යුතු රියදුරුකමක්, මිකැනික්, පෙදරේරු රැකියා සඳහා විය හැකියි. එහෙම නම් වෙනස තියෙන්නේ ලැබෙන වැටුප නම් ඒ වැටුප මෙරටදී ඉපැයිය හැකි ක්‍රමයක් සම්පාදනය කිරීම රජයේ වගකීමයි.රටේ තරුණයන් රට යනවා කියන එක රජය ජයග්‍රහණයක් හැටියට දකින තැනට පත්කර ගැනීම වැරදියි.

?ඉට්කා ගිවිසුම අනුව තරුණ ශ්‍රමයට මොකද වෙන්නේ

ඒක දිග කතාවක්. කෙටියෙන් දැනට මෙහෙම හිතමු. ඉට්කා ගිවිසුම් හරහා ලංකාවට විදේශීය ශ්‍රමිකයන් ආවා කියමුකො. එතැනදි ඔවුන්ගේ වැටුප අඩුයි. අපේ අය වැඩි වැටුප් හොයාගෙන රට යනකොට රට තරුණයන් අඩු වැටුප් හොයාගෙන අපේ රටට එනවා කියන එකද එයින් කියන්නෙ.

අපේ තරුණ ශ්‍රමය තුළ වැඩි වශයෙන් ඉන්නේ නුපුහුණු හෝ අර්ධ පුහුණු ශ්‍රමිකයන්. ඒත් ඒ අයගේ පැත්තෙන් වෘත්තීයභාවය වැඩිදියුණු කිරීමේ ක්‍රමයක් පාසල් අධ්‍යපානය නිමවීමත් සමග සිදුවෙන්නේ නැහැ. එහෙම නම් අපේ රට තුළ මේ ශ්‍රමය පුහුණු ශ්‍රමයක් බවට පත්කර විදේශයකින් උපයන වැටුප මෙහිදී ලබාගත හැකි තැනට කටයුතු කිරීමට පාලක පක්‍ෂය කටයුතු නොකරන්නේ ඇයිද කියන ප්‍රශ්නය තියෙනවා.

එකක් ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම. එයට හේතුව දේශපාලකයන්ට තමන්ගේ පසුම්බිය මිස රටේ මෙම අර්බුද ගැන යොමු වීමට තරම් වුවමනාවක් නැතිකමයි. අනික තරුණ පරපුර වෙනුවෙන් මොන දේ කළත් එයට පෙර දැනට පවතින යාන්ත්‍රණයන් නැවත නියාමනය කළ යුතුයි. 

?තරුණ පරපුර තුළ රජයේ රැකියා කෙරෙහි පවතින ඉල්ලුම වැඩි බව පෙනෙනවා

රටක කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යනුවෙන් අංශ තුනක් තියෙනවා. අපේ රටේ මෙයින් සේවා කියන පැත්තට තියෙන නැඹුරුව වැඩියි. එයින් යැපුම් මානසිකත්වය තවත් ඉහළ යනවා. නමුත් ඔවුන් රටට කරන සේවය කුමක්ද කියන ප්‍රශ්නය කන්තෝරුවකට ගොඩවූ ජනතාව එයින් එළියට පැමිණි පසු නැවත විමසනවා.

උපාධිධාරීන්ට ඇති එකම විකල්පය රජයේ රැකියාවක් පමණද? හොඳයි එතැනට ගියා කියමුකො. එතැන් පටන් කරන්නේ මොකක්ද? වැටුප් සමතැනට ගෙන ඒම වැටුප් වර්ධක, නිවාඩු, අරගල, ස්ථාන මාරු, උසස් වීම් වැනි තමන්ට පෞද්ගලික කාරණා මිස ජනතාවට අවශ්‍ය සේවා ගැන යොමු නොවීම නෙවෙයි නේද?

අනික් අතට මේ අයගෙන් බහුතරයක් රජයේ රැකියාවක්ම සොයා යන්නේ ඇයි? වැඩ අඩුයි. පඩි වැඩියි. නිවාඩු සහ වරප්‍රසාද වැඩියි. එතැනත් තමන්ගේ පෞද්ගලිකත්වය මිස රට වෙනුවෙන් හෝ තමන්ට වැටුප් ගෙවන ජනතාව වෙනුවෙන් සේවය  අපේක්ෂාව නෙවෙයි. එනිසා සේවා මිස නිෂ්පාදනයක් සිදු වෙන්නේ නැහැ. එවැනි රටකට ඉදිරියට යා හැකිද කියන ප්‍රශ්නය මම අහනවා. නමුත් වැඩ වැඩි කරලා, වැටුප් අඩුකළා නම් වැඩි දෙනෙක් රජයේ රැකියා අතහැර පෞද්ගලික අංශයට යයි. අනික විශ්‍රාම වැටුපක් පිළිබඳ තියෙන දිගුකාලීන අපේක්ෂාවත් රජයේ රැකියාවකට අනුබලයක් වෙනවා.

අධ්‍යාපන ක්‍රමයේ වරදක් තියෙනවා. විභාග අසමත් වුවත් ඔවුන් සමත්කම් දක්වන සහජ කුසලතා හෝ දිරිගැන්විය හැකි දක්‍ෂතා ගැන සොයා බැලීමේ ක්‍රමයක් පාසල් පද්ධතිය හෝ එයින් පසු රට තුළ ක්‍රියාත්මක නැහැ. වෙනත් දක්‍ෂතා ඇති අයට ඇගයීමක් නැහැ. ඔවුන් දෙස දකින්නේද අධ්‍යාපනය කඩාකප්පල් කරගත් පිරිසක් හැටියටයි.

ත්‍රිවිධ සංස්කෘතියකට දොස් කියන අය එතැනට තරුණයන් රියදුරන් ලෙස තල්ලු කළ අධ්‍යාපනය, විදුහල්පතිවරු, ගුරුවරු ගැන කතා නොකරන්නේ ඇයි? අඩුම තරමින් විභාග අසමත්ව නතර වූ අය හමුදාවට හෝ පොලීසියට නැතිනම් ත්‍රිරෝදයක හෝ ගතකරමින් සපයන සේවය තරම් මෙහෙවරක් ඉහළින්ම ඇගයුමට ලක්වූ අයගෙන් තමන් උපන් රටට ලබා ගැනීමට ඒඒ කාලවල පාලක පක්‍ෂය ගත් පියවර මොකක්ද කියන ප්‍රශ්නය තියෙනවා.

අන්න එහෙම වෙනකොට තුවක්කුව බැරි නම් ත්‍රීවීල් එක හරි, බස් එකකට ගොඩවෙලා ඔඩොක්කුවට ආධාර පත්‍රයක්, ස්ටිකරයක් විසිකර රුපියල් විස්ස, පනහ එකතු කර ගෙන එදාවේල පිරිමසා ගැනීම වරදක්ද?

ඒ තැනට ඒ වැරදි පූර්වාදර්ශ සැපයුවේ තරුණයන්ට මගපෙන්විය යුතු පාලක පක්‍ෂය නම්, තරුණ විමුක්තිය ගැන කතා කරන පාලකයන්, දේශපාලකයන්, රටවැසියන් කීදෙනෙකු එම යථාර්ථය ලෙස දකිනවාද කියන එක මටත් ප්‍රශ්නයක්.තරුණයා අත්හදා බැලීම්වලට යොදා නොගෙන ඔවුන්ට යායුතු මග පෙන්වන තැනට සංවාදය ඔවුන් සමග ආරම්භ කළ යුතුයි. ජාතික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ මේ හැමදෙයක්ම සියුම්ව හැදෑරීමෙන් පසුවයි.

ලාල් ජයසුන්දර

 



Recommended Articles