වෙල් ලියැඳි වසා වැවුණු අව්වට පිච්චී ගිය පුරන් වූ වෙල් මූකලාන ඈතින් ඈතට දිස්වේ. වෙල් යායෙන් ඔබ්බට මතුවී පෙනෙනුයේ දුහුවිල්ලෙන් වැසී ගිය ගහ කොළ පිරි වන පෙතය. ගිනිගහන අව්වේ පිච්චෙමින් මා අනුරාධපුරය - හොරොව්පොතාන මාර්ගයේ හොරොව්පොතාන නගරය තෙක් පැමිණ ඉනික්බිතිව කපුගොල්ලෑව මාර්ගයේ පිවිස සිටිමි. සැතැපුම් හැත්තෑවකට ආසන්න දුරක් ගෙවූ තැන්හි සිඳී වියළී ගිය වැව් බිම් ළං ළංව පෙනෙන්නට විය. දැන් දැන් “දුටුවැව” ගමේ වෙල් ඉහත්තාවේ උඩ පැල් දෙක තුනක් දිස්වේ.
මේ දිස්ත්‍රික් දෙමායිමයි. මා පය ගසා සිටිනුයේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ උතුරු මායිමේය. තවත් සැතපුම් කිහිපයක් ගිය තැන්හි යාංඔය මහ කැලෙන් ඔබ්බට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මායිම මුණගැසේ. ඉකුත් යුද සමයේ මෙරට පතළ වූ “දුටුවැව” ගම්මානය දිස්ත්‍රික් දෙමායිම සලකුණු කරයි.
මේ සාවියට මාස කිහිපයකින් වැසි පොදක් හෝ නොවැටුණු බව දුටුවැව ගමේ අහුමුලු හොඳින් දත් අහිංසක කොලු ගැටයෙකු වන “හෂාන්” අප සමග පැවසූයේය. වයස ඉක්ම වූ මේරූ බවක් කම්කටොළු සපිරි මේ ජීවන වටපිටාව ඔහුගේ මුහුණට ගෙන දී තිබේ.
“මේ ගිනි ගහන අව්ව අපිට දැන් හොඳට පුරුදුයි. ඊයේ මීටත් වැඩිය රස්නෙයි. මේ කාලේ හැමෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. කරදර එකක් නෙමෙයි. යුද්දේ තිබ්බ කාලේ මේ ගමට හරියට කරදර සිද්ධ වුණා. ඒත් ඒ කාලේවත් මිනිස්සු ගම දාලා ගියේ නෑ. ගමේ කිහිප දෙනෙක් ඒ කාලේ කොටි ගහලා මැරුවා. ඒත් අපේ අප්පච්චිලා කොහොම හරි ජීවිත බේරගෙන ගමට වෙලා හිටියා. මිනිස්සු මැරිච්ච ඒ යුද්දේ ඉවරයි. දැන් තියෙන්නේ ජීවත් වෙන යුද්දේ.”
දුටුවැව ගමේ ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිව යන්නක් බවට අනුමාන කළ හැකිය. අතීතයේ පටන් අදටත් නටඹුන් ශේෂ විහාර බිම පිරිවරා ගම පවතින්නට ඇතැයි යන්න ජනප්‍රවාදගතව පවතී.
අදත් විවිධ කම්කටොලු මැද පවුල් 200ක 700ක පමණ පිරිසක් දුටු වැවට වී දිවි ගෙවති. ගුරු පාරේ සිට රුක්ගොමු අතරින් බැලූ විට ගමේ මහ වැව දිස්වේ. එය අඩියටම සිඳී ඇත. උසස් පෙළ විභාගයද සමත්ව වැව් තාවලුවල මී හරක් දක්කන “හෂාන්” ගමේ වැව් ගැන හොඳින්ම දනී. පෑවිල්ලෙන් අඩියටම සිඳී ගිය වැව් පිටිවල තරම ඔහුට ආගන්තුක නොවේ.
“ගමේ වැව් තුනක් තියෙනවා. ඒ ඔක්කොම වැව් ගොඩවෙලා, ජපන් ජබර ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල මේ වැව් ඔක්කොම අඩියටම හිඳිලා තියෙන්නේ. වහින කාලෙට යන්තන් අඩි දෙක තුනක් තමයි වතුර අල්ලන්නේ. ඒ තරං මේවා ගොඩවෙලා තියෙන්නේ. සමහර වැව්වල වාන, හොරොව්ව එහෙමත් හොඳ නෑ. යන්තම් මහ කන්නෙට විතරයි හරියට මේ වැව්වලින් කුඹුරු කරන්ඩ වෙන්නේ.
ඒකත් සමහර කාලෙට නෑ. යුද්දෙන් බැට කාපු ගමක ජීවත්වෙන මිනිස්සු විදිහට අපිට කාගෙන්වත් පිහිටක් නෑ.”
“හෂාන්” පැවසූ ලෙසම ගම තුළ පිහිටි වැව් කිහිපයක්ම රොන්මඩ පිරී, අහිතකර ජලජ ශාක බෝවී, ගොඩවී ඇති හෙයින් මේ නිකින්නේ පහසුවෙන්ම වැව් සිඳී යන අයුරු දැකගත හැකිය. මෙසමයෙහි මතුවන මේ ජල අර්බුදය දුටුවැව ගමෙන් ඔබ්බට කලාපය පුරා විහිද පැතිර පවතින්නකි.
දිය පොදක් ඇත්තේ එහෙමත් වැවකය. එයද වියළි සුළඟට හසුවී දිනෙන් දින වියැකී යයි. වැස්ස කෙරෙහි වූ විස්වාසයෙන් කෙරෙන හේන්, කුඹුරු ගොවිතැන දුටුවැව ගමේ ලොකුම ආදායම් මාර්ගයයි. වැව් පිටිවල, කැලෑ රොදවල දිගේලි කළ මී හරක්, එළ හරක් ගැමියන්ගේ අතට එදිනෙදා ආදායමක් උපයා දෙයි.
දුටුවැව යනු එක්තරා අන්දමක හුදෙකලා ගමකි. ගමේ තනි රකිනුයේ ගම වටකර ඇති රූස්ස කැලයයි. ගැමියන් පවසන ආකාරයට මේ මහ කැලය නේක වන සතුන්ගේ රජ දහනකි. මේ නිකිණි පාළුවේ කලාපයේ සමහර වැව් යටතේ කළ වී වගාවේ අස්වනු අමුවෙන්ම කපා ගැනීම ගැමියන්ගේ සිරිතය. ඒ අසීරුවෙන් තමන් රැකගත් වගාව වනඅලින් විසින් අසානාසි කරාවිය යන බිය හේතුවෙනි.
අලි රංචු සමග ගෙන යන සටන දැන් ඔවුනගේ දෛනික දින චර්යාවේ අනිවාර්ය පංගුවක් වී ඇති සෙයකි. ගම් මායිමෙන් අලිවැටක් ඉදිකොට දෙන ලෙස කොතෙක් ඉල්ලීම් කොට ඇතත් මෙතෙක් එය වියළි සුළඟේ ගසා ගිය තවත් එක පොරොන්දුවක් පමණක් වී ඇත. පෑවිල්ලේ මතුවන අහේනියට ආහාර, ජලය සොයා ගම් වදින සද්දන්ත අලි නිවාස වෙත කඩා වැදී මරණ බිය බෝ කර තිබේ. කලාපයේ ගැමියනට මියෙන තෙක් දෝමනස්ස සපිරි මෙම ජීවිතෙන් ගැලවුමක් නැත.
දුටුවැවේ “එච්.එම්. සමරසිංහ” මහතා මෙම අත්දැකීම් අතර හොඳින් පදම් වූවෙකි. ඔහු අප සමග හඬ අවදි කළේ මෙලෙසිනි.
“අලි කරදරේ තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. කරපු ගොවිතැන් බේරගන්ඩ පැල් උඩට වෙලා රෑ එළිවෙනකන් නිදි මරනවා. ඒත් පොඩ්ඩ බැරිවෙන කොට ඔක්කොම ඉවරයි. වාගොල්ලාකඩ ගම කෙළවරේ ඉඳන් යාංඔය කැලේ වට කරලා අලි වැටක් ගහලා දෙන්ඩ කියලා ඉල්ලන්නේ සෑහෙන කාලෙක ඉඳලා. කාලෙකට කලින් මැනගෙන ගියා කියලත් ආරංචියි. ඒත් තාමත් සිද්ධ වෙච්ච දෙයක් නෑ. පහුගිය ටිකේ අහල පහළ ගම්වල හතර පස්දෙනෙක් අලි ගහලා මැරුණා. යලේ වැව්වල ඉතුරු වෙච්ච වතුරෙන් අමාරුවෙන් වපුරපු කුඹුරු කෑලි මිනිස්සු අමුවෙන්ම වගේ කපා ගන්නේ අලි අසානාසි කරයි කියන බයට. ගෙවල්වල තියෙන වී සුවඳට අලි ඇදෙනවා. අමුවෙන් ගොයම් කපනකොට සමහරු හිතන්නේ අපි තන්හාවට එහෙම කරනවා කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි. අපි විඳින මේ කරදර ගැන කවුරුවත් දන් නෑ. එක ප්‍රශ්නයක් නෙමෙයි ගම්වල ජීවත් වෙන අපිට තියෙන්නේ. ඒත් ඒව ගැන හොයලා බලන්ඩ කෙනෙක් නැති එක තමයි ලොකුම කනගාටුව.”
ගම්මැද්දේ ජීවිත අවුරා දුක ඇවිලෙන මුත් දුටුවැවේ පිහිටීම පිටිසර සිරියාවට හොඳින්ම දෙස් දෙයි. වියළි කටුක පරිසරයට අභියෝග කරමින් අතු පතර ලා වැඩුණු පලු, වීර, කෝන්, දිවුල්, තිඹිරි ආදී ගස් ගම කෙළවර දිස්වේ. ගමේ වසර සිය ගණනක ආගිය තොරතුරු මේ විසල් වනස්පතීන් දැක ඇතිවාට සැක නැත. ගම කෙළවර මහ වැව පාමුල පිහිටි නටඹුන්ව, වල්වැදී ඇති විහාර බිම පෙර රජ දවසට නෑකම් කියන්නක් බව ගැමියන්ගේ විස්වාසයයි. මෙහි ඇති විසල් ගල් පව්, තැනිතලා, ගල් පොකුණු ආදිය ඒ වග සනාථ කරයි.
දුටුවැව ගමේ පුංචි ඉස්කෝලේ දරුවන් 100 දෙනෙකු පමණ ගුරුවරුන් කිහිපදෙනෙකු සමග මේ වන වදුලු, මූකලන් අතරේ ජීවිතයේ ආලෝකය සොයා අකුරු කරති. දුටුවැව ගමේ නාම මාත්‍රයක් දැකගත හැකිව ඇත්තේද පාසල ඉදිරිපස ඇති පුවරුවේ සහ අලුතින් ඉදිව ඇති විහාරස්ථානය අබිමුව පමණකි. සියලු දුෂ්කරතා සමග ගැමියන් පිහිට කොට පවතින අලුතින් ඉදිකොට ඇති දුටුවැව විහාරස්ථානය නටඹුන්ව ගිය ඉපැරණි විහාර බිම පෙනෙන මානයේ පවතී.
විහාරාධිපති පූජ්‍ය මැදවච්චියේ ධම්මසිරි හිමියෝ ගැමියන්ගේ ජීවන දුෂ්කරතා පිළිබඳව පැවසූයේ මෙවැනි කරුණු සමුදායකි.
“මේ ගම්වල මිනිස්සුන්ට හරියට හේනක් පස්ස ගත්තොත් කන්නෙට අමතරේට කන්ඩ කුරහන් ටික ඉතුරු වෙනවා. දැන් ගොවිතැන් සත්තුන්ගෙන් බේර ගන්න මිනිස්සුන්ට ලොකු යුද්ධයක් කරන්ඩ වෙලා තියෙන්නේ. උන්ටත් කන්ඩ බොන්ඩ හිඟවෙලා හින්දා මිනිස්සු කරන ගොවිතැන් අසානාසි කරනවා. යන්තන් යල කන්නේ වපුර ගත්ත කුඹුරු කෑලි ටික ගොඩදාගන්ඩ වැවේ වතුර ඇති වුණා. ගමේ වැව් තුනක් තියෙනවා. පන්සලට උඩින් තියෙන්නේ මහවැව. මහ වැවට උඩින් පොඩි වැව් දෙකක් තියෙනවා. මහවැවෙන් තමයි මෙදා කුඹුරු කෙරුවේ. අක්කර 200ක් විතර මහට වපුරනවා. යලේ බාගෙට බාගයක් යාය මගඇරෙනවා. දැන් නම් වැව් තුනම අඩියටම වගේ හිඳිලා තියෙන්නේ. මේ දවස්වල හවස් වෙනකොට අලි රංචු එනවා වැවෙන් වතුර බොන්න. පන්සල් වත්තෙන් අලි පෙනී පෙනී යනවා. ගමේ පොඩි ඉස්කෝලේ කම්බි වැට අලි ගහලා කඩලා තව වැඩි දවසක් නෑ. තව දවස් යනකොට නාගන්නවත් වැවේ වතුර ටිකක් ඉතුරු වෙන එකක් නෑ. මේක තමයි අපේ ජීවිතේ. පන්සලේ බාගෙට හදාගත්ත බුදු මැදුරේ වැඩ ඉවර කරගන්ඩ තවම බැරි වුණා. වාහල්කඩ දොරත් බාගෙට හදපු ගමන්. අමාරුවෙන් ජීවත් වෙන ගමේ මිනිස්සුන්ට කොහොමද මං කරදර කරන්නේ.”
කෙතෙන් ලැබෙන වී අස්වැන්නත්, හේනේ කුරක්කන් සහ එළවළු ඵලදාවත් මෙහි ගැමියන්ගේ එදිනෙදා අාහාර සුරක්ෂිතතාවට හේතු වී තිබේ. වැව් තාවල්ලෙන් කංකුන්, මුකුණවැන්න, තැල් කොළ ආදී පලා අහුරක් නෙළා ගැනීමට මෙහි ලියන් සකසුරුවම් වේ. වැව් මාළු කිහිපදෙනෙකු නෙළා ගැනීමට දැල් එළීම, බිලී බෑම මෙහි ගැමියෙකුගේ සිරිතය. දඩ මස් සොයා කැලෑ වදින්නවුන් පිළිබඳ ආරංචිද විටෙක අසන්නට ලැබේ. මේ සාවියේ බොහෝ සාම්ප්‍රදායික ගම්මැදිවල ජීවන පෙවෙත එලෙසය.
යුද සමයේ අතෑර නොගිය මේ ගම් බිම් මෙසමයෙහි අතෑර යෑමට ඔවුනට හිතක් නැත. යන්නට වෙන අතක්ද නැත. එහෙයින්ම සියලු දුෂ්කරතා උරුමයක් කොට සලකා ගැමියෝ මෙහිම දවස ගෙවති.
“උදේ හත අට වෙනකන් කොහොමත් මේ හැමතැනකම වගේ අලි ඉන්නවා. හවස හය හත වෙනකොට කැලෙන් එළියට එන සත්තු එක්ක සමහරදාට එළිවෙනකන් යුද්දේ තමයි. නින්දක් නෑ. ළමයි ඉස්කෝලේ යන්නෙත් බයෙන්. මේ දවස්වල නම් ඉන්න අතක් නෑ. අලි වතුර බොන්න වැව්වලට එනවා. පොල් ගහක් නම් ලොකු කරගන්ඩම දෙන්නෑ.”
“හෂාන්” අප සමග අදහස් දක්වමින් පැවසීය.
හොරොව්පොතානේ සිට දුටුවැව තෙක් දවසට දෙවතාවක් දෙගම්මැදි යා කරමින් ලංගම බසයක් මේ මග ගෙවයි. එයද ඇතැම් දවසකට එක් ගමන් වාරයකට සීමා වේ. දවසේ අවසන් ගමන් වාරය සඳහා බසය එන හඬ ඈතින් ඇසේ. මා සියලු දෝමනස්ස සමග ආපිට එන මග බැලුවෙමි.
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග