ලංකාවේ සිවුදිගින්ම මේ දිනවල දැවැන්ත වන විනාශයක් සිදුවෙමින් පවතින බව බොහොම පැහැදිලි කාරණයකි. වන විනාශය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව කතා කළද, ආණ්ඩුවේ බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවද මේ වන තෙක් එවැනි ක්‍රියාමාර්ග ලබාගෙන නොමැති බව පැහැදිලිය.
මේ අතර මහවැලි ගඟ ආශ්‍රිතව පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහය පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
එයට විරෝධය පළකරමින් වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් පවා යවා ඇති අතර, ලංකාවේ වියළි කලාපයේ ඇති එකම ජාතික වනෝද්‍යානය වන ජලගැලුම් නිම්නය මැදින් මාර්ගයක් ඉදිකිරීමෙන් එහි ජෛව විවිධත්වයට හානි සිදුවීම, මහවැලි බී සහ සී කලාපවල ඇති අලි-මිනිස් ගැටුම තවදුරටත් උග්‍රවීම මෙන්ම ඉදිරියේදී මෙය පූර්වාදර්ශයක් කර ගනිමින් අනෙකුත් වනාන්තරවලටද හානි කිරීමට ඇති අවස්ථාව වැඩි වීම යන කරුණු පිළිබඳව මෙම ලිපිය මගින් අදාළ සංගමය අවධානය යොමුකර ඇත.
මෙම සිදුවීම සහ වර්තමානයේ සිදුවන පරිසර විනාශ කිරීම්වලදී ජනතාවගේ කාර්යභාරය සම්බන්ධයෙන් නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටි අතර, වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ තුන්වැනි වගන්තියට අනුව වසර දෙකක් මාර්ගය භාවිත නොකිරීම නිසා ජනතාවට මාර්ගය භාවිත කිරීමට ලබාදී තිබූ අයිතිය අහෝසි වී ඇති බව ඔහු සඳහන් කරයි. වසර 36කට පසු නැවත මෙම මාර්ගය භාවිත කිරීමට අවසර ලබාදීමේ හැකියාවක් නීතියට අනුව නොමැති බවද ඔහු සඳහන් කළේය එමෙන්ම මේ දිනවල සිදුවන පරිසර විනාශයන් සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය.
පරිසරයේ ආරක්ෂාවට තර්ජන
"මේවා එකින් එක සිද්ධි විදිහට හුදෙකලා කර අපි බලනවද, නැත්නම් සම්ප්‍රයුක්තයක් විදිහට බලනවද කියන එක වැදගත්. හුදෙකලාව බලනකොට අපිට පේනවා වන විනාශයට තුඩුදෙන තීරණ රැසක් බලධාරීන් ගනිමින් ඉන්නවා කියලා.
සම්ප්‍රයුක්ත වශයෙන් බැලුවම මට තේරෙන්නෙ වනාන්තරයක තියෙන වටිනාකම සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම හෝ අනවශ්‍යකම තමයි මේ තීරණවලට හේතුවෙලා තියෙන්නේ කියන කාරණය. රටක භූමි පරිභෝජනය පිළිබඳ සැලැස්මක් ඇතිකරනවා වෙනුවට, වෙලාවෙන් වෙලාවට එන අභියෝගවලට අදාළව ඒවා තාවකාලිකව මැඬපවත්වාගන්න තීරණ ගැනීමේ ප්‍රවණතාවක් අද දකින්න පුළුවන්.
ඊළඟට තියෙන තවත් බරපතළ තත්ත්වයක් තමයි පාරිසරික සැලසුම්, මෙවලම් නොතකා කටයුතු කිරීම. ඒ කියන්නේ පාරිසරික ඇගයීම් වාර්තා වගේ දේවල්. ඒවා තමයි තීරක මෙවලම්. තීරණ ගන්නේ ඒවා මත පදනම් වෙලා. මේවා නිසා සම්ප්‍රයුක්ත වශයෙන් නැත්නම් සමස්තයක් ලෙස බලනකොට අපිට භයානක අවදානමක පෙරනිමිති පේනවා.
පරිසරය විනාශ කිරීම සහ පැළ සිටුවීමේ වැඩසටහන්
ලංකාවේ තිබිය යුතු අවම වනගහනය 25%යි. නමුත් දැන් ලංකාවේ තිබෙන වනගහනය 17%යි. වනාන්තරයක් කියන්නේ ගස් ගොඩක් විතරක් නෙමෙයි. වනාන්තරයක් කියන්නේ ශාක සහ සතුන් අතර තියෙන සංකීර්ණ සබඳතා ජාලයක්. ඒ පද්ධතිය විනාශ කරන්න පුළුවන් වුණාට. ඒ පද්ධතිය ඒ විදිහටම යළි ගොඩනංවන්න බැහැ.
ඒකයි වනාන්තර අපිට මේ තරම් වැදගත් වෙන්නේ. ගස් වැව්වම ඒක පද්ධතියක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ලෝකයේ කොතැනකවත් මිනිස්සුන්ට තවම බැරිවෙලා තියෙනවා විනාශ කරපු පරිසර පද්ධතියක් ඒ ආකාරයෙන්ම යළිත් ගොඩනගන්න. ඒකට හේතුව අර සංකීර්ණ සබඳතා කියන ඒවා ආපහු හදන්න බැහැ. ඒවා අපි දන්නෙත් නැහැ. අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙලත් නැහැ.
ස්වාභාවික වනාන්තරයට ආදේශක නැහැ. පැළ සිටුවීම වන ආවරණයක් විදිහට උත්තරයක්. ඒත් ඒකෙන් තිබුණු විදිහට වනාන්තරයක් හදන්න බැහැ. මේ නිසා තිබෙන වනාන්තර කපල දාලා පැළ සිටුවන්න කටයුතු කරනවා කියන කාරණයේ ප්‍රායෝගිකභාවය දැන් ඔබට පැහැදිලි ඇති.
අවශේෂ කැලෑ
වෙනත් රජයේ වනාන්තරවලට මේ අය අලුතින් දාගත්තු නමක් තමයි අවශේෂ කැලෑ කියන්නේ. ඒක මේ අවුරුද්ද වෙනකම් භාවිතයේ තිබුණෙ නැති වචනයක්. 2020දී තමයි අවශේෂ වනාන්තර කියලා වැරදි වචනයක් හදාගෙන ආවේ. රජයේ නියෝගයකින් ප්‍රකාශයට පත්කරලා නැති වනාන්තර සියල්ලටම අපි එදා ඉඳලම කිව්වේ වෙනත් රජයේ වනාන්තර කියලා.
මේවා අතරේ යෝජිත රක්ෂිතත් තියෙනවා. දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සමහර යෝජිත රක්ෂිත පනස් ගණන්වල ඉඳලා නම් කරලා තියෙන ඒවා. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයෙන් ඉඩම් එළිපෙහෙළි කරනකොට ඒවා ඉතුරු කරලා තියෙනවා. විවිධ හේතු නිසා ඒවා රක්ෂිත විදිහට ගැසට් කරන එක දවසින් දවස කල් ගිහින් තියෙනවා. එහෙම නැතිව අවශේෂ කැලෑ කියලා දෙයක් නැහැ.
වන සංරක්ෂණ ආඥා පනතෙන් මේ වෙනත් රජයේ වනාන්තරවලට නීතිමය ආවරණයක් තියෙනවා. OSF (Other State Forests) කියලා තමයි මේවා හඳුන්වන්නේ. ඒක තමයි පරිපාලන නීතියේ තිබුණු වචනය. නීතිමය වශයෙන් හෝ පරිපාලන වශයෙන් හෝ සමාජයීය වශයෙන් හෝ මෙහෙම අවශේෂ වනාන්තර කියලා වචනයක් මෙතෙක් තිබුණෙ නෑ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ මෙවැන්නකි.
"2050 වනතුරු ක්‍රියාත්මක කරමින් සිටින ජාතික භෞතික සැලැස්මෙහි එන සංචාරක ව්‍යාපෘති වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන වනාන්තර හරහා මෙම මාර්ග ඉදිකිරීම සිදුවෙනවා. ඒ වගේම මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන වැඩසටහනට අවශ්‍ය මාර්ග පද්ධතිය සකස් කිරීමටත් මෙම ව්‍යාපෘතිය හරහා 2010 වසරේ චීන සමාගමක් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. නමුත් මෙම ව්‍යාපෘති මගින් ජනතාවට සිදුවන යහපතක් නම් නැහැ."
මෙම පරිසරවේදීන් සඳහන් කරන ආකාරයටම ජනතා මුදලින් සිදුකරන මෙම ව්‍යාපෘති ජනතා යහපත සඳහාම යොදවන්නේ නම් වඩා සාර්ථක වනු ඇත.