ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු ලංකාවෙන් වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව වැඩි අවධානයක් මෙරට සෞඛ්‍ය අංශ යොමුකර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව අවධානය යොමු කරමින් පසුගියදා (28දා) මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී සඳහන් වූයේ තවත් සැක කටයුතු ලක්ෂණ සහිත රෝගීන් තුන් දෙනෙකු පිළිබඳ පර්යේෂණ වාර්තා ලැබීමට නියමිත බවයි. මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු කරුණුයි.
ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදය
ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් වෛරසයේ ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු පසුගිය සතියකදී ලංකාවෙන් සොයා ගත් බවට වාර්තා වුණා.
මෙය රටෙහි පවතින වසංගත තත්ත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිළිබඳ ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙලෙස තොරතුරු ඉදිරිපත් කරනු ලබනවා.
(https://www.gavi.org/vaccineswork/five-things-we-know-about-delta-coronavirus-variant-and-two-things-we-still-need)
මෙම කරුණු සාකච්ඡා කිරීමට පෙර, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබාගන්නා ලද දත්ත බැවින්, මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් පැවසිය යුතුයි.
ඕනෑම වෛරසයක් ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිභවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිදුවෙනවා.
Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළත් සොයා ගැනීම අත්දකින්න ලැබුණා. මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරී ගිය රෝගී තත්ත්වය ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරීක්ෂණය කර තිබෙනවා. මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයන් අතර පැතිර යෑමයි.
මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා ශීඝ්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයා ගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා.
කෙසේ නමුත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තා මගින් පෙනී යමින් පවතිනවා. කිසිදු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100෴කින් අඩු කරන්නේ නැහැ. නමුත් දැනට ලංකාව තුළ සිදුකරගෙන යන එන්නත්කරණයෙන් පවතින ප්‍රභේද මෙන්ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට යෝග්‍ය වනවා.
මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කෝවිඩ් ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාළ වන බවයි.
මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේදවලට වඩා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid වෛරසයේ පැතිරීම තීව්‍ර වීමේ අවදානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගතයුතු පියවර කිහිපයක් තිබෙනවා.
1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන.
2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ.
3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන.
වැනි අවදානම් ස්ථාන හැකිතාක් මගහැරිය යුතුයි.
යම්කිසි නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදුවුවහොත්, මෙතෙක් පිළිපැදි සියලු ආරක්ෂක සෞඛ්‍ය පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.
වාර්තා වන ප්‍රභේදය කුමක් වුවත්, ඒවායින් වැළකීමට අනුගමනය කළයුතු ක්‍රමවේද වෙනස් වී නැහැ - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව
මේ දිනවල අපි කෝවිඩ් මර්දන කටයුතු වලදී වැඩි අවදානයක් ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් දක්වනු ලබනවා. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතව මුලින් වාර්තා වූ රෝගීන් පස්දෙනාගෙන් පසුව අලුතෙන් රෝගීන් වාර්තා වී නැහැ. නමුත් රෝගීන් තිදෙනෙක් ගැන දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එම තිදෙනාගේ ඩී.එන්.ඒ. සීක්වෙන්සිං පර්යේෂණ වාර්තා තවම ලැබී නැහැ. ඒ නිසා කියන්න තිබෙන්නේ ලංකාවෙන් මේ වනතුරු වාර්තා වී ඇත්තේ ඩෙල්ටා වෛරසය ආසාදිත රෝගීන් පස්දෙනෙකු පමණක් බවයි. වාර්තා වන ප්‍රභේදය කුමක් වුවත් ඒවායින් වැළකීමට අනුගමනය කළයුතු ක්‍රමවේද සියල්ල එකම ඒවායි. ඒවායේ වෙනස් වීමක් නැහැ.
දැනට තිබෙන දත්ත වලට අනුව ඩෙල්ටා ප්‍රභේදය නිසා දරුණු අසනීපත් ඇතැම් ගහන වල ඇති වී තිබෙනවා - වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ
වෛරසයක් සහජයෙන්ම ගුණනය වීමේදී, නැත්නම් වර්ධනය වීමේදී වෙනස්කම් කිහිපයක් දක්වනවා. මේ ලෙස වෙනස්කම් විශාල සංඛ්‍යාවක් සිදුවුණොත් විකෘතිතාවයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ විකෘතිතා හෝ වෙනස් වීම් අලුත් ප්‍රභේදයක් ලෙස හඳුනාගැනීමට පුළුවන්. කෝවිඩ් 19 රෝගකාරකය වෛරසයක්. එය සාස් කෝවිඩ් වෛරස 2 ලෙස හඳුන්වනවා. එය ආර්.එන්.ඒ වෛරස අනු කාණ්ඩයට අයත් වෙනවා. එනම් වෛරසයේ ජානමය සංඝටකය තමයි ආර්.එන්.ඒ. ලෙසින් හඳුන්වන්නේ. ආර්.එන්.ඒ. වෛරස, ඩී.එන්.ඒ වෛරස වලට වඩා විකෘතිතා හෝ වෙනස්කම් දක්වන්න තිබෙන සම්භාවිතාව වැඩියි. සාස් කෝවිඩ් වෛරසය පළමුවෙන්ම හඳුනාගත්තාට පසුව 2020 ජනවාරියේ සිට මේ දක්වා ගෝලීය වශයෙන් පැතිරෙනකොට විකෘතිතා දක්වා වර්ධනය වෙලා ප්‍රභේද වෙනකන් දැන් වැඩි වර්ධනය වෙලා තිබෙනවා. සුවිශේෂීම කාරණය තමයි මේ වෛරසය ශීඝ්‍ර වශයෙන් සමාජයක පැතිරෙනවා නම් ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාව ඉතා ඉහළයි.
යම්කිසි රටක, පළාතක, අර්ධද්වීපයක විශාල වශයෙන් පැතිර යනවා නම්, නැත්නම් පැතිරීමේ ශීඝ්‍රතාවය ගොඩාක් වැඩි නම් ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාව ඉහළයි. එනම් අලුත් ප්‍රභේද ඇති වීමේ සම්භාවිතාවක් නැත්නම් අලුත් ප්‍රභේදයකට අත වැනීමක් බවට පත්වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සති කිහිපයකට පෙර මේ ප්‍රභේද නම් කරන්නට නව වර්ගීකරණයක් හඳුන්වා දුන්නා. මේ ප්‍රභේද යම්කිසි රටක නමක් අනුව නම් නොකර ග්‍රීක හෝඩියේ ඇල්ෆා වලින් පටන් ගෙන ග්‍රීක අකුරු වලින් හඳුන්වන්න තීරණය කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා දක්වා ප්‍රභේද හඳුනාගෙන තිබෙනවා. මේ ප්‍රභේදත් විශේෂ සැලකිල්ලක් දක්වන ප්‍රභේද හා විශේෂ උනන්දුවක් දක්වන ප්‍රභේද (variant of interest and variant of concern) ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ අනුව variant of concern කියන කොටසට අයිති ප්‍රධාන ප්‍රභේද හතර ගැන තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. ඒ අනුව මේ නිතර හමුවන ප්‍රභේද හතර තමයි අපි මාධ්‍ය තුළත් නිතර දකින්නේ. මින් ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ අවධානය දිනාගෙන තිබෙනවා. මේ ඩෙල්ටා ප්‍රභේදය පළමුව ඉන්දියාවෙන් තමයි වාර්තා වුණේ. මෙය දැන් රටවල් 89ක පමණ පැතිරිලා තියෙනවා. ඒ වගේම මේ පැතිර ගිය රටවල ඉතා ශීඝ්‍රයෙන් මේ වෛරසය පැතිරිලා ගිහින් තිබෙනවා. ඇතැම් රටවල් වල පළමු හා දෙවන රැලි වලින් පසුවත් ශීඝ්‍ර ලෙස මෙම ප්‍රභේදය පැතිර ගොස් තිබෙනවා.
ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදයට (එංගලන්තයෙන් හඳුනාගත් ප්‍රභේදය) සාපේක්ෂව 60෴කට වඩා සම්ප්‍රේෂණ ශීඝ්‍රතාවක් නැත්නම් ප්‍රබලතාව වැඩියි. ඒ වගේම දැනට තිබෙන දත්තවලට අනුව දරුණු අසනීපත් ඇතැම් ගහන වල ඇති වී තිබෙනවා. මේ ප්‍රභේදය ලංකාවෙත් දැන් වාර්තා වෙලා තියෙන නිසා ලංකාවේ සෞඛ්‍ය අංශයන්ගේ විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා.
මීට අමතරව මේ ප්‍රභේදය වෙනස් වුණත්, කල්පිතයක් ලෙස ග්‍රීක හෝඩියේ අවසාන අකුර වන ඔමේගා දක්වා අලුත් අලුත් ප්‍රභේද ආවත්, රෝගය පැතිරීමේ ක්‍රම දැනට වෙනස් වෙලා නැහැ. මේ රෝගය කෙළ බිඳිති මගින් ශ්වසන මාර්ගයට ඇතුල් වීමයි සිදුවන්නේ. ඩෙංගු වගේ වාහකයෙක් මෙහි නැහැ. ඒ අනුව මෙහි පැතිරීමේ ක්‍රම එකම විදිහයි. ඒ නිසා කෝවිඩ් රෝගයට හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම අත්‍යාවශ්‍යයි.