පරපුරක ඉදිරි ගමන සාර්ථක වීමට නම් කායික මෙන්ම මානසික සෞඛ්‍යයද ඉතා වැදගත්ය. මේ හේතුවෙන් කුඩා අවධියේ සිටම කායික, මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දී තිබේ.
ලෝක මානසික සෞඛ්‍ය දිනය මේ මස 10 වැනිදාට යෙදී ඇති අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ 'වෙනස් වන ලෝකයක තරුණ පරපුර සහ එහි මානසික සෞඛ්‍ය' යන්නයි. යොවුන් වියේ දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගවලට ගොදුරු වී ඇති බව ලෝක ගණනය කිරීම්වලට අනුව සොයාගෙන තිබේ. මානසික රෝග හඳුනාගැනීමද අපහසු අතර මේ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට දෙමවුපියන්ටද, සමාජයටද වගකීමක් තිබේ.
ලෝකයේ වෙසෙන යෞවනයන් රෝගිවීම හා අනතුරුවලට ලක්වීම අතර 16%කටම හේතුවී ඇත්තේ මානසික රෝග වේ. නව යෞවනයන්ගේ රෝග හා දුබලතා අතුරින් තෙවැනි තැනට විශාදය පත්ව තිබේ.ලෝක පාසල් සමීක්ෂණයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේද පාසල් සෞඛ්‍ය සමීක්ෂණයක් සිදුකර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 24%ක් පමණ යෞවන වියේ (10 – 24) පසු වෙයි. ඒ අතර 7.9%ක් නව යෞවන වියේ (13 – 17) පසු වේ.
මොවුන් අතරින් 05%ක් කාන්සාවෙන්ද, 09%ක් තනිකමෙන් සහ 06%ක් සමීපතම යහළුවන් නොමැතිකමෙන් පෙළෙන බව අනාවරණය වී ඇත. නව යෞවනයන්ගෙන් 51%ක් අනෙක් සිසුන් කාරුණික සහ උදවු සහගත බව තමන්ට දැනෙන බව ප්‍රකාශ කළද 39%ක් අනෙක් සිසුන්ගේ හිංසනයට ලක්ව ඇති බවද සමීක්ෂණයකින් හෙළිවි තිබේ.
මේ අතරින් නව යෞවනයන්ගෙන් 09%කට සියදිවි හානි කරගැනීමේ සිතුවිලි පහළ වී ඇති අතර, 07%ක් සියදිවි හානි කරගැනීමට උත්සාහ කර ඇති බවද අනාවරණය කරගෙන තිබේ. මෙවැනි කරුණු සලකා බැලීමේදී නව යෞවන වියේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බව පැහැදිලිය.මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා සහ සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය වෛද්‍යවරියන් මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.
මේ තරම් අඩු වයසකදී තමන්ගේ ජීවිතය එපා වීම ලොකු ගැටලුවක් - මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා
යොවුන් වියේ අවශ්‍යතා බොහොමයක් තිබෙනවා. මේ නිසා ළමුන්ට, වැඩිහිටියන්ට වගේම මේ අයටත් සෞඛ්‍ය සේවා සැලසීම අවශ්‍යයි. මේ අවධියේදී අහිතකර බලපෑම්වලට ඉලක්ක වන වයසක මොවුන් සිටින්නේ. මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිත කිරීමට පෙළඹෙන ප්‍රවණතාව වැඩි වෙනවා.
වයස අවුරුදු 25 වනතුරු මිනිස් මොළය වර්ධනය වෙනවා. මේ නිසා සමාජයේ ඇතිවෙන වෙනස්කම්වලට මුහුණදෙන්න දරුවා පිළියෙල කර තැබීම අවශ්‍යයි. බොහෝ වේලාවට මොවුන් අත්හදා බැලීම් කරන්නේ මේ විදිහට මනසේ ඇතිවෙන වෙනස්කම් නිසා. මේ නිසා තරුණ පුද්ගලයන්ට යහපත් දිවි පෙවෙතකට මගපෙන්වීමට අපි අවධානය යොමු කිරීම ඉතාම අවශ්‍ය වෙනවා.
ලෝකයේම යොවුන් වියේ දරුවන් අතර 20%ක් පමණ මානසික ගැටලුවලට යොමුවෙනවා. ඒ කියන්නේ පස්දෙනෙකුට එක් අයෙක්. මෙය පොඩි ගණනක් නොවෙයි, ඒ නිසාම අපි මේ සඳහා අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම ඕනෑම පුද්ගලයෙක් ඕනෑම අවස්ථාවකදී ජීවිතයේ එක් වතාවක් හෝ මානසික ගැටලුවකට මුහුණදෙනවා කියලත් හොයාගෙන තිබෙනවා.
යෞවනයන් අතර මානසික ගැටලුවලට හේතුවන ප්‍රධානතම හේතුව වන්නේ විශාදයයි. දරුවෙක් විශාදය වගේ රෝග තත්ත්වයකින් පෙළෙන විට දෙමවුපියන්ට එය හඳුනාගැනීමට හැකියාව තිබිය යුතුයි.ඒ වගේම සියදිවි නසාගැනීම වයස අවුරුදු 15 – 19 අතර වයස් සීමාවේ පුද්ගලයන්ගේ මරණවලට ප්‍රධානතම හේතුවක් වී තිබෙනවා. මේ තරම් අඩු වයසකදී තමන්ගේ ජීවිතය එපා වීම ලොකු ගැටලුවක් විදිහටයි අපි දකින්නේ.
පාසල් දරුවන් හා යොවුන් වියේ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් තිබෙනවා. එය නගරබද විතරක් නොවෙයි ගම්බදවත් ඒ තත්ත්වය වැඩියි. නගරවලට වඩා ගම්වල මේ තත්ත්වය වැඩි වෙලා තිබෙනවා.ලෝක පාසල් සමීක්ෂණයට අනුව ලංකාවේ නව යෞවනයන්ගෙන් 05%ක් කාන්සාවෙන් පෙළෙන බව හෙළි වෙලා තිබෙනවා. ඒ වගේම 09%ක් තනිකමෙන් පෙළෙන බවත් 06%ක් සමීපතම යහළුවන්, නොමැතිකමින් පෙළෙන බවත් අනාවරණය වෙලා තිබෙනවා.
අපි නිතරම කියනදෙයක් තමයි දරුවන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් ප්‍රශ්නය හඳුනාගන්න, තමන්ගේ ළඟම පුද්ගලයෙක් සමග මේ ප්‍රශ්නය කතා කරන්න කියලා. නමුත් එසේ නොමැති වීම තුළ සියදිවි නසාගැනීමට සිතුවිලි පහළ වෙලා තිබෙනවා 09% වගේ පිරිසකට. මේ අතර පිරිසක් ඒ සඳහා සැලසුමක් හදලා සියදිවි නසාගැනීමට තැත් කරපු අවස්ථාත් තිබෙනවා. මේවා නොසලකා හරින්නට පුළුවන් දේවල් නොවෙයි. මේ සම්බන්ධයෙන් අපි ලොකු මැදිහත්වීමක් කරන්න අවශ්‍යයි.
යෞවනයන් මේ විදිහට මානසික ගැටලුවලට යොමුවන්නේ ඇයි කියලා අපි සෙවිය යුතුයි. යෞවනයත් සමග කායික මානසික වෙනස්වීම්වලට දරුවන් යොමු වෙනවා. ඒ නිසාම මානසික ගැටලුවලට ලක්වෙන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ දරුවන්ට නින්ද අඩුයි. සමහරවිට අධ්‍යාපන කටයුතු නිසා, දුරකථන රූපවාහිනී ආදිය නිසා හෝ මේ අය වැඩි වෙලාවක් නිදිවර්ජිතව ඉන්න පුරුදු වෙලා. ඒක දරුවන්ගේ සෞඛ්‍යයට හානියක්.
වර්තමානයේ යෞවනයන්ගේ විවේක කාලසීමාව අඩුයි. ඔවුන් නිදහසේ ඉන්න, ක්‍රීඩා කරන්න යොමුවෙන්නේ නැහැ. පවුලේ උදවිය සමග එකට ඉන්න කාලසීමාව අඩුවෙලා තිබෙනවා. තරගකාරී අධ්‍යාපන ක්‍රමයත් දරුවන්ගේ මානසික රෝග වැඩි කිරීමට බලපෑමක් වෙනවා. දැනට අපේ රටේ තිබෙන අධ්‍යාපන ක්‍රමය දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. ඒක අපි හැමෝම දන්නවා. නමුත් වෙනසක් වෙන්නේ නැහැ. අැයි අපට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න බැරි කියලා හැමෝම හැමදාම කතා කරනවා. අධ්‍යාපන ක්‍රමය නිසා පාසල සහ දෙමවුපියන් අතර දරුවා ලොකු ගැටලුකාරී තත්ත්වයකට පත්වෙනවා. මොකද හැමෝම බලන්නේ විභාගයේ ප්‍රතිඵල දිහා පමණයි. මේ නිසාම අදහස්වල ගැටීමකුත් තිබෙනවා.
කොහොමද මේ මානසික ගැටලු හඳුනාගන්නේ?
දරුවෙක් මානසික ගැටලුවක ඉන්නවා කියලා අඳුනගන්න ටිකක් අමාරුවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක කොහොමද ඒ අය ප්‍රතිචාර දක්වන්නේ. ඇතැම් ෙව්ලාවට තද හිසේ කැක්කුමක් තිබෙනවා කියන්න පුළුවන්. පාසල් යන්න බැහැ කියනවා. බඩ රිදෙනවා කියනවා. බොහෝ වේලාවට මාංශ පේශිවල වේදනා තිබෙනවා නම්, උදාහරණයක් විදිහට බෙල්ල රීදීම, පිට රිදීම වගේ දේවල් දිගුකාලීනව තිබෙනවා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. නිදාගන්න ගියත් නින්ද යන්නේ නැතිකම, හදිසියේ නින්දෙන් ඇහැරෙන ගතිය වගේ දේවලුත්, කෑම අරුචිය ආදී ආහාර ගැනීමේ රටාවේ වෙනසක් තිබෙනවා නම් දරුවා ගැන අවධානය යොමුකළ යුතුයි.
හොඳට පාසල් වැඩ කරගනිමින් අධ්‍යාපන කටයුතුවල යෙදුණු දරුවෙක් අධ්‍යාපන කටයුතුවලින් බැහැර වෙලා වගේ දැනෙනවා නම් එවැනි අවස්ථාවල දරුවා ගැන සොයා බැලීම අවශ්‍යයි. දරුවා නිතර නිතර අසනීප වෙනවා නම්, දරුවාට නිතර කේන්ති යනවා නම් මේ දරුවාගේ වරදක් නොවෙයි. ඒ ගැන සොයා බැලීම වැදගත්. දරුවන්ගේ කුමන හෝ වෙනස් වීමක් දකිනවා නම් ඒ සඳහා දෙමවුපියන් යහපත් ලෙස මැදිහත් වීමයි අවශ්‍ය වෙන්නේ.
ප්‍රචණ්ඩත්වයයි, හිංසනයයි අද ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා - සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ
අයේෂා ලොකුබාලසූරිය
පාසල් ළමයින්ගෙන් බොහෝදෙනෙකුට ලෙඩ නැති වුණත් මානසික සෞඛ්‍ය ප්‍රශ්න තිබෙනවා. සතුටින් ඉන්න, තමන්ට ලැබෙන අභියෝග කොහොමහරි ඉෂ්ට කරගන්න පුළුවන් ළමයින් පිරිසක් බිහි කරන්නයි අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ. මානසික සෞඛ්‍ය ප්‍රශ්න ගැන කතා කරද්දී පාසල් ළමයින්ට තිබෙන ආතතිය ගැන තමයි බහුලවම කතා කරන්න සිදු වෙන්නේ.
අපේ රටේ පාසල් ළමයින්ගෙන් 48%කට විෂයානුබද්ධ ආතතියක් තිබෙනවා කියලා හෙළිවෙලා තිබෙනවා. පාසල් දරුවන්ගෙ පොත් පෙරළලා බලද්දී ඒ ගැන හොඳටම බලාගන්න පුළුවන්. ඒ වගේ විෂයන්වල ගුණාත්මකභාවය ගොඩක් ලොකු කරන්න ගිහිල්ලා ඒක ටීචර්ට උගන්නගන්නවත් බැරි තත්ත්වයකට ඇවිල්ලා. ඊට පස්සේ ටියුෂන් යන්න පුරුදු වෙනවා.
ටියුෂන් යන්න පටන්ගත්තාම තනියම ඉගෙනීමේ කුසලතාව නැතිව යනවා. මේ වගේ ලොකු පාඩු වෙනවා. අපේ විෂය මාලා, ක්‍රියාකාරකම් මූලික කරගත් එකක් විය යුතුයි. එහෙම කරනවා නම් ඒකට කාලය වැඩියෙන් අවශ්‍යයි. නමුත් දැන් වෙන්නේ දේශන ආකාරයට පාඩම් උගන්වන එක පමණයි. ක්‍රියාකාරකම් කළොත් පමණයි අපට කණ්ඩායම් කුසලතා දියුණු කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන්නේ තරගකාරීත්වය මූලික කරගත්තු ගමනක්. අපි දරුවන් හුරුකළ යුත්තේ සහයෝගයෙන් කටයුතු කරන තැනටයි.
ඒ වගේම ශාරීරික, මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යන්නට අපි ක්‍රීඩා කරන්නට දිය යුතුමයි. එහෙම වුණත් තවමත් සෞඛ්‍ය විෂය පාසල්වල අනිවාර්යය විෂයක් වෙලා නැහැ. ඒ ගැන කනගාටුයි. යහපත් පුරවැසියෙක් හදන එකයි අපේ මූලික අරමුණ විය යුත්තේ. එහෙම නැතිව අධ්‍යාපනය විතරක් දීලා ඔහු හෝ ඇය වසර 10කින් විතර මැරිලා යනවා නම් රට එහෙම්මම බංකොළොත් වෙනවා මිස දියුණු වෙන්නේ නැහැ.
ළමයින්ට ප්‍රතිඵල ගැන හිතලා තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. අවුරුදු 20ක්වත් ගතවෙන්න ඕන ඒ තත්ත්වයට එන්න. ඒ නිසා දෙමවුපියන් ඔවුන්ට සුදුසු පරිසරයක් හදලා දෙන්න කටයුතු කළ යුතුයි. අවදානම් හැසිරීම්වලට අවශ්‍ය සුදුසු පරිසරය දෙමවුපියන් හදලා දීලා නැහැ.
කෑමක් දැක්කොත් ඒක රහයි නම් ඒක කන්න හිතුණොත් හෙට මැරෙනවා කිව්වත් ළමයි ඒක ගණන් ගන්නේ නැහැ. දැන් වතුර බෝතල්වලටත් වඩා අඩුවෙන් බියර් තියෙනවා. නමුත් මොන දෙමවුපිෙයා්ද ඒ වෙනුවෙන් කතා කරන්නේ. කවුරුත් කතා කරන්නේ නැහැ. නීතිරීති වල තියෙන්නේ පාසලක ඉඳන් මීටර් 500කට වඩා ඈතින් බාර් තියෙන්න ඕන කියලා. නමුත් පාසල අසලම බාර් තියෙනවා. නමුත් ඒවා වෙනස් කරන්න කවුරුත් කටයුතු කරන්නේ නැහැ.
සුදුසු නැති කෑම ගන්න එක නැවැත්තුවේ නැතිනම් තව අවුරුදු 10ක් යද්දී දරුවන්ට බෝ නොවන රෝග හැදිලා මැරෙන්නත් පුළුවන්.
මේ ගැන අපි බොහෝම හිතන්න අවශ්‍යයි. මොකද මේ තත්ත්වය වෙන රටවල් අත්දැක තිබෙනවා. දරුවන් ගැන හිතලා අපි කළ යුතු දේ කළ යුතුයි. දෙයක් සිදුවුණාට පස්සෙ කෑගහලා වැඩක් නැහැ.
එකිනෙකාට ගරු කරන්න දරුවන්ට උගන්වන්නේ බොහොම අඩුවෙන්. අනිත් අයව අගයන එකත් බොහෝම අඩුයි. ප්‍රචණ්ඩත්වයයි, හිංසනයයි අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. වැඩිහිටියාම තමයි ඒ දේවල් උගන්වලා තියෙන්නෙත්.