තිස් වසරකට අධික කාලයක් පැවති යුද්ධයෙන් පසුව මෙරට ඉතිහාසයේ සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස පාස්කු ප්‍රහාරය පෙන්වා දිය හැකිය. 2019 අප්‍රේල් 21 දින කිතුනු දේවස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශීය ජාතිකයන් 45ක් ඇතුළුව පුද්ගලයන් 270කට ජීවිත අහිමි විය. එමෙන්ම 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබූහ.
ශ්‍රී ලංකාවේ ජාතික දේශ සීමාවන් ඉක්මවා ගොස් ජාත්‍යන්තර මට්ටමින් පවා හෙලා දැකීමට ලක්වූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වූයේ ඉස්ලාමීය අන්තවාදී බලවේගයන්ට වුවත්, අද ඒ සම්බන්ධයෙන් බොහොමයක් දේශපාලනඥයන්ද වග කිවයුතු බවට ආගමික නායකයන් මෙන්ම ජනතාවද චෝදනා කරනු ලබයි.
මේ වන විට පාස්කු ප්‍රහාරයට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් නොලැබුණු යුක්තිය ඉල්ලමින් ජන විරෝධයක්ද එල්ල වී ඇති පසුබිමක, පාස්කු කොමිසම සඳහා රජය විසින් සිදුකළ වියදම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉල්ලා සිටි තොරතුරු ලබාදීම එම කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1) (අ) සහ 5(1) (ඌ) වගන්තීන්හි විධිවිධාන අනුව ප්‍රතික්ෂේප කරන බව, ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සිසිර කුමාර හේනාධීර මහතා විසින් දන්වා තිබේ.
පාස්කු කොමිසම වෙනුවෙන් සිදුකළ වියදම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා 2021 පෙබරවාරි 20 දින තොරතුරු අයදුම්පතක් යොමුකරන ලද අතර, එයට ප්‍රතිචාර දක්වමින් 2021 පෙබරවාරි 22 දිනැති ලිපියක් මගින් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් දින 21ක කාලයක් ඉල්ලා සිටින ලදී. නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධානයන්ට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නියමිත දිනයන්හි තොරතුරු ලබානොදුන් බැවින්, පනතේ විධානයන්ට අනුව 2021 අප්‍රේල් 15වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරීවරයා හට අභියාචනා කරන ලදී. නමුත් ඒ සම්බන්ධයෙන් වැඩකරන දින 22කට අධික කාලයක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මැයි මස 15 දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමටද අභියාචනා කරන ලදී.
එවන් පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාලය මගින් 2021 ජුනි මස 03වන දිනැති ලිපියක් මගින් පාස්කු කොමිසම සම්බන්ධයෙන් සිදුකළ වියදම් පිළිබඳව ඉල්ලා සිටි තොරතුරු, ලබාදීම ප්‍රතික්ෂේප කරන බව දන්වා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුව එම තොරතුරු ලබාදීමට නොහැකියාවක් පවතින්නේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(අ) සහ 5(1)(ඌ) වගන්තීන්ට ප්‍රකාරව වේ. නමුත් එම වගන්තිවල සඳහන් කරුණු පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී 5(1) (අ) වගන්තිය මගින් දක්වා ඇත්තේ, &පෞද්ගලික තොරතුරුවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන් වන විට, තොරතුරු හෙළිදරව් කිරීම යම් පොදු කටයුත්තක් හෝ සම්බන්ධතාවක් සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති අවස්ථාවකදී හෝ යම් තනි පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය කිරීමක් සිදුවේ නම්, මෙන්ම 5(1) (ඌ) වගන්තිය මගින් පෙන්වා ඇත්තේ යම් අපරාධයක් වැළැක්වීම හෝ ඒ පිළිබඳව සොයා ගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම හෝ ඔවුනට එරෙහි නඩු පැවරීම සම්බන්ධයෙන් බලවත් අගතියක් සිදුවන අවස්ථාවක හෝ නීතිය බලාත්මක කිරීම හෝ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ්‍රයක අනන්‍යතාව හෙළිවන අවස්ථාවකදී* පමණි.
නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් ඉහත පෙන්වා දුන් වගන්ති යටතේ පාස්කු කොමිසම වෙනුවෙන් සිදුකළ වියදම සම්බන්ධයෙන් වූ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණත්, ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ ඉල්ලා සිටි තොරතුරු ඉහත වගන්ති යටතට ගත නොහැක්කක් බවයි.
විශේෂයෙන්ම රටේ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන ලද පාස්කු කොමිසම වෙනුවෙන් වැය කළ මුදල් සම්බන්ධ තොරතුරු ලබාදීමෙන්, එහි පරීක්ෂණ කටයුතු හෝ අධිකරණ කටයුතු සඳහා හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම හෝ කෙනෙකුගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් ලෙස අර්ථගැන්වීම තුළින් පෙනී යන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලය තොරතුරු දැනගැනීමේ පනතේ පස්වන වගන්තියේ අනු වගන්ති අවභාවිත කරන බවයි.
පාස්කු කොමිසම ගත් තීන්දු තීරණ පවා මාධ්‍ය මගින් අනාවරණය කරමින් ජනගත කර තිබෙන පසුබිමක, ඒ සඳහා සිදුකළ වියදම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මේ ආකාරයෙන් වසන් කිරීමට උත්සාහ ගැනීම, මෙරට පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුකරන බරපතළ අභියෝගයක් මෙන්ම රාජ්‍ය කටයුතු වෙනුවෙන් සිදුකරන ලද වියදම්හි විනිවිදභාවය සම්බන්ධයෙන්ද ගැටලුවකි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලට අනුව ඉදිරියේදී එය විභාගයට ගැනීමට කටයුතු යොදා තිබේ.
මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කළ, තවත් පිරිසක් තුවාලකරුවන් කළ, මෙම ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයන්ට යුක්තිය පවා ඉටු නොවූ පසුබිමක, ඒ සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කොමිසමට ගිය වියදම් පවා සැඟවීමට උත්සාහ කරන ආණ්ඩුවකින් සැබෑ යුක්තිය බලාපොරොත්තු විය හැකිද?
රාහුල්සමන්තහෙට්ටිආරච්චි